Monday, December 22, 2008

වලිගය නැති ගොනා.


අපේ ජනාධිපති තුමාගේ බලසම්පන්න කම ගැන කියන්න මම ලියපු " රාක්ෂ දෙයියන්ගේ බලේ " බ්ලොග් පෝස්ට් එක කියවන්න ඇතිනෙ.( කියෙවුවෙ නැත්තම් මෙතනින් ගිහින් කියවන්න ) .

හැබැයි මහින්ද මාමා පහුගිය දවසක හරිම දුක හිතෙන කතාවක් කියල තිබ්බා. කෙරවලපිටියේ තාප විදුලි බලාගාරය විවෘත කරන උත්සවයේදී එතුමා එතුමාට මේ කතාව කියනකොට ඇඬුනලු. එතුමා කියන විදිහට එතුමාට මහේස්ත්‍රාත්වරයෙකුට තරම් වත් බලයක් නැතිලු. පවු නේද ?

එතුමාට දුක හිතුනට මටනම් ඒ කතාව අහල මටනම් සතුටු හිතුනා. එතුමා මේ නොකියා කිවුවෙ අධිකරණය විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ වලිගයක් විදිහට කටයුතු කරන්නෙ නැතුව ස්වාධීනව කටයුතු කරනවා කියන එකනෙ. රජයෙන් කළ යුතු දෙය නොකෙරෙන විට ඒවා කරවා ගැනීමට අධිකරණයේ පිහිට පැතීම හැර වෙන විකල්පයක් අපි වගේ සාමාන්‍ය ජනතාවට නැහැ. ඉතින් ස්වාධීන අධිකරණයක් තියෙන එක ගැන මටනම් සතුටුයි.

මේ සති අන්තයේ පුවත්පත්වල වැඩ්යෙන්ම කතාබහට ලක් වෙලා තිබ්බෙ ඉන්ධන මිල අඩු කිරීමට දීපු ශ්‍රේෂ්ඨාධිකර්ණ තීන්දුව ගැන. ඉතින් මේ දේවල් ගැන කියවනකොට මට පරණ කවියක් මතක් වුනා. මම ඒ කවිය අදට ගැලපෙන විදිහට පොඩ්ඩක් වෙනස් කලා.


ගොන් රෑනක් මේ සිරිලක කකා....................උනී
අසරණ ගොනුන් වලිගය නැතුව වැනි............වැනී
නායක ගොනුට අධිකරණය බැටය.................දුනී
ජනපති තුමා වලිගය නැති ගොනා............... වැනී

රට කන ගොනුන් වැනි දේශපාලකයන්ගේ වලිගයක් නොවීම ගැන අධිකරණයට මගේ උපහාරය!!!

[ 21 - Dec - 2008 ]

අපේ පර්ස් (PURSE) එක


පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වාර්ෂිකව පවත්වන වැදගත් කටයුත්තක් පහුගිය 18 වෙනිදට යෙදිල තිබ්බා.ඒක තමයි Peradeniya University Research Sessions 2008 (PURSE - පර්ස්). ගිය අවුරුද්දෙ පර්ස් එක (PURSE 2007) සංවිධානය කලේ අපි. බුදු අම්මෝ අපි ගිය පාර ඒකට කාපු කට්ට මතක් වෙනකොට කටට කෙළත් උනනවා.


පේරාදෙණිය විශ්ව විද්‍යාලය

මේ පාර ප්‍රධාන සංවිධානය දන්ත වෛද්‍ය පීඨය මගින්. දත කට පූට්ටු කර ගන්න ඇති. කොහොම හරි පර්ස් එක හොඳට සංවිධානය කරල තිබ්බා. එහෙම නොකියා බැහැ මොකද මාත් සංවිධායක කමිටුවක හිටියා :-) . අවසාන උත්සවයේ ආරධිතයො වුනේ ලංකාවේ දකුණු කොරියානු තානාපති තුමා සහ ජනාධිපති උපදේශක ආචාර්ය ජයන්ත ධනපාල මහතා. ධනපාල මහත්තයා ඉතාම හොඳ කතාවක් කරා. එතුමාගේ අදහස් සෑහෙන වටින ඒවා. එතුමාට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලේකම් වෙන්න බැරි වුනේ අපරාදෙ.

මම සම්බන්ධ වෙච්ච පර්යේෂණ පත්‍රිකා 4 කුත් එදා ඉදිරිපත් කලා. මෙන්න ඒවයේ විස්තර.


==================================================

1. C.A Munasinghe and M. Sandirigama, "Security Analysis of SAS 3 - v1 Strong Password Authentication Protocol", in Proceedings of the Peradeniya University Research Sessions (PURSE) 2008, Sri Lanka, Vol. 13, pp 183-185, December 2008.

2. D.M.A.B. Mailewa, S.P.J. Perera, C.A. Munasinghe and T.D.B. Weerasinghe, "Types and Modes Combined Algorithm for Data Encryption and Decryption", in Proceedings of the Peradeniya University Research Sessions (PURSE) 2008, Sri Lanka, Vol. 13, pp 181-182, December 2008.

3. C.A Munasinghe and S.W. Buthpitiya, "Enhancing the Security of Authentication in Unix/Linux Systems with PAM", in Proceedings of the Peradeniya University Research Sessions (PURSE) 2008, Sri Lanka, Vol. 13, pp 186-188, December 2008.

4. S.W. Buthpitiya and C.A. Munasinghe, "Real-Time Ray-Tracing with Refraction", in Proceedings of the Peradeniya University Research Sessions (PURSE) 2008, Sri Lanka, Vol. 13, pp 165-168, December 2008.

====================================================


ඔන්න ඉතින් මේ අවුරුද්දේ පර්ස් එකනම් ඉවරයි.

[ 21 - Dec - 2008 ]

Saturday, December 13, 2008

අවලංගු බ්ලොග් සටහන



මා විසින් 9/16/08 දින ලියන ලද comparison of Politics of Sri Lanka & Ealam බ්ලොග් සටහන අවලංගු කරන ලද බව සලකන්න.

හේතුව : කරුගේ බල්ටිය
[ 13 - Dec - 2008 ]

කවුද යකා


මේ CLIP එක බලල කියන්නකො මේ යකා කවුද කියලා




[ 13 - Dec -2008 ]



පොඩි ලොකු භේදය.


පොඩි එකාට හුළං. පව් නේද ?




පුංචි බලු..............................රාලේ
මා ගෙදර නැති...................වේලේ
කවුද මගෙ.......................බෝලේ
පෙරල පෙරලා හිටියෙ.........මිදුලේ

[ 13 - Dec -2008 ]


Thursday, December 11, 2008

බිහිසුණු පූසෙක් ( මීයන්ට )


ඔන්න හෙට පෝය දවස හින්ද කාගෙ කාගෙත් පහන් සංවේගය අවුස්සනු පිණිස, උපාසක බළල්තඩියෙක්ගෙ ෆොටෝ එකක් මම මගේ බ්ලොග් එකේ දැම්මා.



සියළු මීයෝ මහත් වෙත්වා!!!
මගේ කටට... පැමිණෙත්වා!!!


[ 11 - Dec -2008 ]


අනාවැකි කී කවිය


මේ කවිය කවදා කවුරු විසින් කාට කිවුවද මන්දා.මේක ගැන මම අහල තියෙන තේරුම වෙන මොකක්දො එකක් ( හරියට මතක නැහැ ). ඒ වුනාට මටනම් හිතෙන්නෙ මේ කවිය අපේ රටේ දේශපාලන අනාගතය අතීතයේදී දිවැසින් වගේ දැකපු කවියෙක් කියපු දේශපාලන කවියක් කියල. ඔන්න බලන්නකො මේ කවිය අහල තියෙනවද කියල.


සූරිය උදා වනතුරු පිණි...................බෑවිල්ල  
පාරුව පදින තුරු ජලයේ...............සෙලවිල්ල
මාරුව බල බලා සිත යට...............කැරකිල්ල

කාරිය කෙරෙන තුරු කාගෙත්..........රැවටිල්ල

මේකෙ කියවෙන්නෙ අපේ දේශපාලකතුමාලගෙ බල්ටි ගැනම වෙන්න ඕනෙ. බලන්නකො අන්තිම පද දෙක. කාලෙකට කලින් ජාතික හෙළ උරුමය කිවුවා දේශපාලනය ඔරුවක් කියල. ටික කාලයක් ආසවට වගේ ඔරුව පැදල අයින් වෙනව කිවුවට තවම පදිනවා( ඔරු විතරක් නෙවෙයි බෙන්ස් කාරුත් පැද්දා ) . ඔරු මොකෝ පාරු මොකෝ දෙකම වතුරෙ යන වාහනනෙ. ඒක නිසා පාරුවත් දේශපාලනයට සම්බන්ධයි.

සූරිය උදා වනතුරු පිණි බෑවිල්ල කියන්නෙ UNP එක ගැන වෙන්න ඕනෙ. "කරු ආවොත් පායයි හිරු" කිය කිය පිණිබබා කිඹුහුම් ඇර ඇර හිටියෙ ඒ කට්ටියනෙ.



කරු ආවොත් පායයිද හිරු ? ( බටහිරින්වත් )

නැගෙතත් අවර ගිරගින් දිනකර...............මඬල
සැලෙතත් සුනෙර පවනින් සෙදෙතත්....... අනල
පිපෙතත් ගිරි මුදුන් සෙල් වල..............පියුමුපුල
බොරු නැත්තේමය මහතුන් පැවසූ.........තෙපුල

[ 11 - Dec -2008 ]


Wednesday, December 10, 2008

නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ


- අධිකරණයට අපහාස පිණිස නොවේ -


මගේ යාලුවෙකුට ටික කාලෙකට කලින් පොඩි (ලොකු ) අකරතැබ්බයක් වුනා. එයා යතුරු පැදිය පැදගෙන යනකොට දන්නෙම නැතුව නීතියක් උල්ලංඝනය කරල. එයාගෙ අතින් වෙලා තියෙන වැරැද්ද තමයි මෝටර් ර්ථයක් ඉස්සර කිරීම. ඉස්සර කිරීමමමත් නෙවෙයි වැරැද්ද. අවාසනාවකට වගේ මෝටර් ර්ථයේ ඉඳල තියෙන්නෙ මහාධිකරණ විනිසුරු තුමෙක්. ඒකයි වැරැද්ද . මෝටර් ර්ථයට ඉස්සරහින් පොලිස් පෙරගමන් යතුරු පැදියකුත් තිබිලා.

මහාධිකරණ විනිසුරු තුමෙක් එහෙම පාරෙ බැහැල වාහනේක යනකොට ඉස්සර කරන එක නීතියෙ හැටියට වැරැද්දක්ලු . මමනම් එහෙම නීතියක් තියෙනව කියල දැනගත්තෙත් එදා.( නීතිය නොදැන සිටීම සමාවට කාරණයක් නෙවෙයි කියලනම් දැනගෙන හිටියා ). යාලුවනම් නීතිය දැනගෙන හිටියලු. හැබැයි එයා පෙරගමන් යතුරු පැදිය දැකල නැහැලු.

ඉතින් ඊට පස්සෙ යාලුවයි පොලිස්කාර මහත්තයයි අතර මෙහෙම දෙබස්කුත් ඇති වෙලා.

පොලිස් : කොහෙද යන්නෙ?
යාලුවා : ගෙදර යනවා.
පොලිස් : මොකද පිටිපස්සෙන් ඇවිත් ඕවර්ටේක් කලේ ?
යාලුවා : නැතුව ඉස්සරහින් ඇවිත් ඕවර්ටේක් කරන්නයැයි ?
පොලිස් : තමුසෙ දන්නවද මේ කාර් එකේ ඉන්නෙ අපේ නඩුකාර හාමුදුරුවො කියල ?
යාලුවා : දන්නවනම් ඕවර්ටේක් කරනවයැයි ?
පොලිස් : දැක්කෙ නැද්ද මගෙ බයික් එකේ හෙඩ් ලයිට් දාල තියෙනවා
යාලුවා : පිටිපස්සෙන් එනකොට ඕව පේනවයැයි ?


පොලිස්කාර මහත්තයට හොඳටම තරහ ගිහින් යාලුවව උසාවියට ඉදිරිපත් කරලා.නඩුව අහල තියෙන්න කාර් එකේ ගිය විනිසුරු තුමාමයි. " නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ ".පස්සෙ වැරැද්ද පිළි අරගෙන නඩුව සමථයකට පත් කරගෙන.

(සත්‍ය කතාවක්)


ඔන්න මගෙන් පෞද්ගලික බස් වලට හොඳ අදහසක්.නිකං බොරුවට රේස් දුවන්න ඕනෙ නැහැ.නඩුකාර හාමුදුරු කෙනෙක්ව බස් එකට නග්ග ගන්න.කවුරුවත් ඕවර්ටේක් කරන එකක් නැහැ.කොහොමද ටිකිරි මොළේ.


[ 10 - Dec -2008 ]

මම මලක් ගැසුවෙමි


පූසන්ට වගේ නෙවෙයි මටනම් මල් වල පාට හොඳට පේනවා. මම ඉතින් මකරෙක්නෙ .මේ මල මට හම්බ වුනේ බණ්ඩාරවෙල පූනාගල වත්තෙදි.

ලස්සනයිද ?

[ 10 - Dec -2008 ]

Monday, December 8, 2008

කාල් මාක්ස් ද ?????


මම සති තුනකට කලින් assignment එකක් දුන්නා. ඒකෙ මාරක රේඛාව (Deadline) ගිය සිකුරාදා. හැබැයි තවම ගොඩාක් අය ඒක කරල නැහැ. සමාජවාදී ක්‍රමයට assignments කරන්න ගියපුවම ඕක තමයි අවුල. කවුරුවත් කරන්නෙ නැහැ,අනිත් අය කරල දෙයි කියල බලන් ඉන්නවා.

කරපු නැති අයට බින්දු දෙන්නද? කාල් මාක්ස් (1/4 X Full Marks ) හරි බාග මාක්ස් (1/2 X Full Marks) හරි දෙන්නද කියල හිත හිත ඉන්නෙ.

ප්‍රසිද්ධ කාල් මාක්ස් (Karl Marx) වැඩ කරන අය වෙනුවෙන් කතා කරපු කෙනෙක්ලු. එයා මොනව හිතයිද මන්දා වැඩ නොකරපු අයට නිකංම හිටියට කාල් මාක්ස් (1/4 X Full Marks ) දුන්නොත්.
කාල් මාක්ස් (Karl Marx)

[ 08 - Dec -2008 ]

Saturday, December 6, 2008

සෙන්පති ජානක ඝාතනය කර මාස දෙකයි



සෙන්පති ජානක පෙරේරා 2008.10.06 දින අනුරාධපුරයේදී මරාගෙන මැරෙන ත්‍රස්තවාදියෙක් විසින් ඝාතනය කරන ලදී. ඒ පිළිබ්ඳ පරීක්ෂණ ඉතාම මන්දගාමී ලෙස සිදු කරනු ලැබේ. මේ වනතුරුත් කිසිදු තොරතුරක් සොයාගත නොහැකි වූ බව පොලීසිය පවසයි.

රජසැප විඳිනට රජ දරුවන් හට නුඹලා දෑතින් මන්දිර මැවුනේ.!!!

ඒ නුඹලාගේ දුක දැක ගන්නට මොන රජ දරුවද පැලකට වැඩියේ


(play with sound)

සින්දුවේ මුල් ගායනය: ටී. එම්. ජයරත්න
අයිවර් ඩෙනිස්
අමරසිරි පීරිස් සහ මාලනී බුලත්සිංහල


[ 06 - Dec -2008 ]



සත්‍ය සොයා ගිය ගමන


හැමදේම Internet එකෙන් හොයන මේ කාලෙ මට හිතුනා google වලින් සත්‍ය සොයා බලන්න.



හොයන්නාට හම්බ වේ කියනව වගේ මටත් හම්බ වුනා. හැම සත්‍ය යකටම උඩින් තිබ්බෙ චතුරාර්ය සත්‍ය.


හොයපු දේනම් හම්බ වුනා.
තේරුම් ගන්න බැරි එක තමයි දුක.
මොළයක් නැති එක තමයි හේතුව.
මාර්ගයක් ගැන මහා මාර්ග අමාත්‍යාංශෙං අහල බලන්න ඕනෙ.

[ 06 - Dec -2008 ]

බල්ලොත් එහෙමයි (මලී නඟාට පිළිතුරක්)

මගේ " මල් මල් පූසා " පෝස්ට් එක දැකලා මලී නඟාට දුක හිතිල. එයා මෙන්න මේ comment එක දාල ගිහිල්ල තිබ්බා.


බල්ලො ගැන මතක් කරේ නැහැකියල එයාට දුක හිතිල. අනේ පව් එයාගෙ සත්ව කරුණාව. :-p. ඔව් ඔව් බල්ලොත් එහෙම තමයි. බල්ලන්ටත් පාටවල් පෙනෙන්නෙ නැහැලු. කවුද නැහැ කිවුවෙ. දැන් හරි නේද ?

හැබැයි හරක් නම් එහෙම නැහැ. හරකුන්ට රතු පාට පෙන්නන්න බැරිලු. රතු පාට දැක්කම කුලප්පු වෙනවලු. හොඳ වෙලාවට ගොන් කරත්ත තිබ්බ කාලෙ ට්‍රැෆික් ලයිට් තිබ්බෙ නැත්තෙ. තිබුනනම් මොන ජංජාලයක් කර ගනියිද මන්දා?

හී... හී... මී හරකටත් හිනා

[ 06 - Dec -2008 ]


Friday, December 5, 2008

මල් මල් පූසා



ඇඟිලි තුඩට මල් පෙති වල ඇති ..........මෙලෙක
මට දැනෙනවා එය අල්ලන හැම............විටෙක
පාටක් කියා ගතියක් ඇත්නම්....................මලක
අයියෝ අත නොගෑවෙන එක තමයි.............දුක

( පූසො වර්ණ අන්ධයිලු. පවු .. )





[ 04 - Dec -2008 ]

Monday, December 1, 2008

රාක්ෂ දෙයියන්ගෙ බලේ


ඉස්සර හිටපු රජවරුන්ට අමුතු අමුතු නම් තිබ්බනෙ. වට්ඨ ගාමිණී අභය කියන එක කෙටි කරල වළගම්බා කරගත්තලු. හැබැයි දුට්ඨ ගාමිණී අභය කියන එක කෙටි කරල තියෙන්නෙ දුටු ගැමුණු කියල. ඒක දුටුගම්බා කියල කෙටි කර ගත්තෙ නැත්තෙ ඇයි කියල දෙයියො තමයි දන්නෙ.


දෙයියො ගැන කියනකොට රාසිංහ දෙයියන්ව මතක් වුනා.පරණ කවියකුත් තියෙනවනෙ,

මලේ මලේ තැඹිලිය වැන්න පොල්...........මලේ
රැලේ රැලේ මුහුදින් දමන දිය...................රැලේ
බලේ බලේ රාසිංහ දෙයියන්ගෙ................බලේ
ගලේ කොටුව බැන්දයි තිරිකුණා...............මලේ


කන්ද උඩරට දෙවෙනි රාජසිංහ රජ්ජුරුවො ගැනයි ඔය කවියෙ කියන්නෙ. රාජසිංහ කියන නමේ "ජ" අකුර ලොප් කරල තමයි "රාසිංහ" කියන්නෙ. ඒ කාලෙ ඔය නම ඇහුවම මිනිස්සු බයේ වෙවුලනවලු.

දැන් අපිට රජ කෙනෙක් නැහැනෙ. ඉන්නෙ රාජපක්ෂ ජනාධිපති. ඉතින් මට හිතුනා අපේ ජනාධිපති තුමාටත් ගරු ගාම්භීර, බය හිතෙන නමක් දාන්න ඕනෙ කියල.

රාජසිංහ කියන නමේ "ජ" අකුර ලොප් කලා වගේ රාජපක්ෂ නමේ "ජ" අකුර ලොප් කරල බැලුවා. ම්හ් ... .එතකොට එන්නෙ "රාපක්ෂ" කියල. ඒක කැතයි. නිකම් රා(Toddy) වල කැමතියි කියනව වගේ තෙරුමක් එන්නෙ. මතට තිතත් තිබ්බ කෙනෙකුට ඒ වගේ නමක් ගැලපෙන්නෙ නැහැ. මොකෝ කරන්නෙ ? "ජ"යන්න ගාව තියෙන "ප"යන්නත් අයින් කරල බැලුවා. නිකන් තියෙන "ප"යන්නනෙ. ආ ඔය ආවෙ හොඳ බය හිතෙන නමක්. "රාක්ෂ දෙයියො". අපූරුවට ගැලපෙනවා.

රාක්ෂ දෙයියො

ඉතින් මට හිතුනා නිකා ඉන්න එකේ අපේ "රාක්ෂ දෙයියො" ගැන කවියක් හදන්න ඕනෙ කියල. ඔන්න මම හදපු කවිය.බලන්න හොඳද කියලා?

මලේ මලේ ගෝඨාභය චූටි..................මලේ
කැලේ කැලේ කොටියාගේ වන්නි........කැලේ
බලේ බලේ රාක්ෂ දෙයියන්ගේ.............බලේ
ත්‍රස්ත බලය බින්දයි කිළිනොච්චි...........කැලේ


මේ කවියෙ අන්තර්ගතයනම් වැරදි තමයි. ඒ වුනාට crazy කවි සංකල්පනා වලට ඒ තර්ක valid නැහැ.

මේ කවියෙ "කොටියාගේ වන්නි කැලේ" කිවුවට ඒක කොටින්ගෙ නෙවයි. ඒක ශ්‍රී ලාංකික අපි හැමෝගෙම."ත්‍රස්ත බලය බින්දයි" කිවුවට තවම කිළිනොච්චියෙ තියෙන්නෙ ත්‍රස්ත බලය. ඒ වගේම "කිළිනොච්චි කැලේ" කිව්වට කිළිනොච්චිය නම් තොප්පිගල වගේ කැලයක්නම් නෙවෙයිලු.ලොකු ටවුන් එකක්ලු. දැකලනම් නැහැ. කවදහරි ගිහින් බලන්නම ඕනෙ.

[ 01 - Dec -2008 ]