Monday, March 29, 2010

එක එක අය කියපු කතා -03

 

පහුගිය ජනාධිපතිවරණය කාලෙ එක එක අය එක එක කතා ගොඩාක් කිවුවනෙ.


මේ පාර පාර්ලිමේන්තු මැතිවරණය ගැනනම් කට්ටිය වැඩිය කතා නැහැ. ඒත් එහෙන් මෙහෙන් ඇහිච්ච කතා ටිකක් මම එකතු කර ගත්තා. ඔන්න අහගන්න.

==================

* පංචායුධ කුමාරයා කියන්නෙ අර අතේ තිබ්බ ඔක්කොගෙන්ම දමල ගහල හරි ගියෙ නැති වුනාම බොරුවක් කියලා යකෙක්ව රවට්ටපු කෙනා නේද ? බොරු කියලා යක්කු රවට්ටන එකනම් අනුමත කරන්න පුලුවන්. ඒත් මහජනතාව රවට්ටන එක ??

* පාර්ලිමේන්තුවට යවන්න  වැඩිපුරම සුදුසු නළු නිලියො තමයි. මොකද ඕකට යන අය ගිහින් කරන්නෙත්  රඟපාන එකමනෙ. [ පාර්ලිමන්ට් ජෝක් ]

* එකෙක් කැළණිය පැත්තේ, අනිකා ගම්පොළ පැත්තේ. ( නාවලපිටිය තියෙන්නෙත් ගම්පොළ පැත්තෙ )

* මේ චන්දෙන් පස්සෙ ආයෙ කාළෙකට චන්දයක් නැතිලු. එහෙම වුනොත් මහජනතාවට දෙයියන්ගෙම පිහිටයි !

* බැ(රි)සිල් නොගනින් අබරෝ!

* මාස 6ක් ඇතුළත් පාර්ලිමෙන්තුව අහෝසි කරනු !

* ජනාධිපතිවරණයේදි දාපු චන්ද ටික මේ පාර නිෂ්ක්‍රීය කරන්න ඕනෙ [ජනාධිපතිවරණයේදී හොරචන්ද 4ක් දාපු කෙනක්] .

සැ:යු
===
මේවා මේ එක එක අය කියපු කතාය. මකර අධිරාජයාගේ අදහස් නොවේ .2010 පාර්ලිමේන්තු මහමැතිවරණය ගැන මකර අධිරාජයාගේ නිල ප්‍රකාශය අප්‍රේල් 1 වෙනිදා උදෑසන බලාපොරොත්තු වන්න !

[ 29 - Mar - 2010 ]

Sunday, March 21, 2010

අපායේ යමවරණ උණුසුම

 

මකර අධිරාජයා ඊයෙ හදිස්සියේම අපායට ගියා. ඒ එක්දින නිල සංචාරයක් සඳහා. ඒ වෙද්දි අපාය හොඳටම ගිනියම් වෙලා. ඒ ලෝදිය හින්දානම් නෙවෙයි , අපායටත් මැතිවරණ උණුසුම. වර්තමාන යම රජතුමා දැන් විශ්‍රාම යන වයසත් පහු කරලා හින්දා , අලුතින් යම රජතුමෙක් පත් කර ගන්නවද , එහෙමත් නැත්තන්  ඉදිරි වසර 6 සඳහාත් වර්තමාන යම රජතුමාවම තියා ගන්නවාද කියලා තීරණය කරන යමමත විචාරණයකට අපායෙ යමවරණ කොමසාරිස්තුමා විසින් ඒ වෙනකොට දින නියම කරලා.  

මේ යම රාජ පදවියේ සුවිශේෂත්වය තමයි යම රජතුමාට අධිකරණ හා විධායක යන බලතල දෙකම ලැබීම. අපායේ ව්‍යවස්ථාදායකයක් නෑ. අදිසි(පාතාල) යම නීතිය යටතේ පාලනය වෙන අපායෙ ව්‍යවස්ථාදායකයක් තිබිලා වැඩකුත් නෑ. අපායට මොන නියෝජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදයද ? 

ඉතින් තමන්ගෙ නිල රාජ්‍යතාන්ත්‍රික කටයුතු ඉක්මනින් ඉවර කරපු මකර අධිරාජයා වර්තමාන යමරජතුමාගේ ආරාධනයෙන් යමමත විචාරණ නිරීක්ෂණ චාරිකාවකටත් එකතු වුණා.

ඒ චාරිකාවෙදි අපිට දැකගන්න ලැබුණු දෙයක් තමයි යමපල්ලන් අති බහුතරයක් තමන්ගේ වර්තමාන යමරජතුමාට ඉතාම ආදරය කරන බව. වර්තමාන යමරජතුමාට තවදුරටත් යමරාජ පදවියේ කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමින් ඔවුන් විසින් ප්‍රදර්ශනය කර තිබුණු බැනර්, කටවුට් හා පෝස්ටර් වලින් උපුටාගත් සංවේදී ආකර්ෂණීය වැකි කීපයක් මේ.

* අපායට සුභ අනාගතයක් ! - ආයුබෝ වේවා යම රජාණෙනි !
* අපාය පෙරට ! - අපි යම රජුට !
* අපායට නවෝදයක් ! - යමපල්ලන්ට හෙටක් !
* අපා වසන්තය ගෙන  ආ යම රජාණෙනි - යම පැටවුන්ගේ අපේක්ෂාව ඔබයි !

ඒ අතරෙ තවත් යමපල්ලො කොටසක් වර්තමාන යමරජතුමාගේ සේවා කාලය තවදුරටත් දීර්ඝ කරනවාට තදින්ම විරුද්ධත්වය දක්වන බව පෙනුනා. ඒ අය කියන්නෙ අපායට යමරාජ පදවියක් කියා එකක් සුදුසු නැති බවයි. ඔවුන් ඉල්ලා සිටිනේ  ඒකයමරාජ පදවිය අහෝසි කරලා යමයන් 225 දෙනෙකුගෙන් සමන්විත යමව්‍යවස්ථාදායකයකට බලය පවරන ක්‍රමයක් අපායේ ඇති කළ යුතුයි කියලයි. වර්තමාන යමරජුට විපක්ෂ යමපල්ලන් යමබළකාය නමින් සංවිධානයකුත් පිහිටුවාගෙන තිබ්බා.

කොහොම නමුත් යමරාජපාක්ෂිකයන්ගේ අදහසනම් යමරාජ පදවිය අහෝසි කරලා යමව්‍යවස්ථාදායකයකට බලය පවරන ක්‍රමයක් ඇති කළොත් අපාය දිව්‍යලෝකයක් වීමේ අනතුරක් පවතින බවයි.  වර්තමාන තත්වයන් යටතේ ඉල්ලුමට අනුව දඬුවම් සැපයීමට තරම් හැකියාවක් අපායට නැති බවත් මනුෂ්‍ය ලෝකයට දියුණුවට ගැළපෙන පරිදි  අපාය අමු අපායක තත්වයට දියුණු   කිරීමටනම් අත්දැකීම් බහුල වර්තමාන යමරජතුමා තව අවුරුදු 20ක් වත්  යමරාජ පදවියේ සිටිය යුතු බවත් යමරාජපාක්ෂිකයන්ගේ අදහසයි.  එහෙම තිබියදී යමරාජ පදවිය අහෝසි කරන ලෙස ඉල්ලා සිටින යමබළකායේ සිටින්නේ දිව්‍යලෝකයත් සමඟ එකතු වී කුමන්ත්‍රණ කරන කෙළෙහිගුණනැති යමපල්ලන් පිරිසක් කියලත් යමරාජපාක්ෂිකයන් චෝදනා කරනවා. ( මේ ගැන මකර අධිරාජයාගේ අදහස වුනේනම්, මොන ක්‍රමය ක්‍රමය යටතේ වුණත් බලයට පත්වෙන්නේ යමයෙක්නම් අපාය දිව්‍යලෝකයක් වීම වැනි විප්ලවයක් සිදුවිය නොහැකි බවයි  )

කොහොම නමුත් අපායෙ අදහස් පළ කිරීමෙ නිදහස උපරිමයි. ඒක නිසා යමබළකායෙ පෝස්ටර් වලටත් අතරින් පතර අහුමුළුවල ඉඩකඩ ලැබිලා තිබ්බා.  හැබැයි යම බළකායේ පෝස්ටර් එතරම් සංවේදී  සහ ආකර්ෂණීය බවක්නම් පෙනුනේ නැහැ. ඒවායේ සඳහන් වුනේ මෙවැනි අදහස් .

* විශ්වාසනීය වෙනසක් සමඟ අපායට යහපාලනයක්.
* යළි පුබුදමු අපාය.
* යමරාජ පදවිය මාස 6කින් අහෝසි කරනු.
* යමරාජ පවුල ගෙදර යවමු.
* යමරජ කටු ඉඹුලටත් කෙළියා නේද?


යමමතවරණ නිරීක්ෂණ චාරිකාව සාර්ථකව අවසන් කරපු මකර අධිරාජායා අපායට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරලා ආපහු මකර රජදහනට පියාඹගෙන ආවා.

 - මකර අධිරාජයාගේ සමඟ අපායේ කළ නිලසංචාරයේ අත්දැකීම්  ඇසුරින්  මහේෂ් විජේසේකරගේ මාධ්‍ය දායකත්වයෙන් සම්පාදිතයි -

[ 22 - Mar - 2010 ]

Saturday, March 20, 2010

මැතිවරණ කාලෙට එක එක අයට එක එක කවි, සින්දු



අසන්නන් වෙනුවෙන් මකර FM® වෙතින්

පූර්ව මැතිවරණ කාලෙට :
=============

නිල් පාට අයට
අපිට කන්න දෙනවනම් , අපිට බොන්න දෙනවනම් අපිට , මොන කෙංගෙඩියද තව අපි ඕනෙ කියන්නෙ ♫♫♫

කොළපාට අයට
සාදුකින් පෙළෙනවුන් දැන්වත් නැගීටිවු. අන්තිම.. සටනට.. සැරසෙවු ♫♫♫

රතුපාට අයට
උනුත් එකයි , මුනුත් එකයි , අපි හැමදා ජොලියෙ ඉන්නවා ♫♫♫

රජුන් තනන්නන් අංක 1 ට -
යෙනවානම් අනේ යෙපි අරන්, යෙන තෙනකට යෙන්න රත්තරන් ♫♫♫

රජුන් තනන්නන් අංක 2 ට
වෝප්පොඩේ වෝප්පොඩේ ♫♫♫


පශ්චාත් මැතිවරණ කාලෙට :
===============

නිල් පාට අයට
මට දැනෙනා ලෙසට මහරජ ඉබ්බාය. ( aka. ආයුබෝවේවා මහ රජාණෙනි  ) ♫♫♫

කොළපාට අයට
මේ රටේ මිනිස්සූ , තනිකර කෙළින්නෙ පිස්සූ ♫♫♫

රතුපාට අයට
පෙර කලේ තැනූ පැල දැන් දිරාලා, එම කලේ බැඳපු වැට ගොනු කඩාලා  ♫♫♫

රජුන් තනන්නන් අංක 1 ට
යේක තමයි යෙපි කිවුවේ යෙපිව නෙතුව බේ කියලා. ♫♫♫

රජුන් තනන්නන් අංක 2 ට
වෝප්පොඩේ වෝප්පොඩේ ♫♫♫

********************************************************************
 මන්ත්‍රීධුර අහිමිවන හිටපු කැබිනට් ඇමතිවරුන් වෙනුවෙන් විශේෂයෙන්ම  

ගිය පාර උඩින් දින්නෙ මං, මේ පාර ඇපත් නෑනෙ බං. 
සිඤ්ඤෝරේ  සිඤ්ඤෝරේ ♫♫♫
********************************************************************

[ 20 - Mar - 2010 ]


Thursday, March 18, 2010

මහා අවතාර



ජීවිතේ සමහර වෙලාවට අපිට හම්බ වෙන්නෙ අපි හොයන දේවල් නෙවෙයි.  AVATAR ගැන Google සෙවීමක් කරද්දි ( AVATAR Film එක ගැන නෙවෙයි ) අහම්බෙන් හමු වෙච්ච ලිපියක් නිසා කාලෙකට කලින් ආසාවෙන් කියවපු පොතක් මතක් වුනා. ඒ තමයි "යෝගී ජීවිතයට දොරටුව" නමින් සිංහලට පරිවර්තනය වෙච්ච පරමහංස යෝගානන්දතුමාගේ  "Autobiography of a Yogi" පොත . යෝගී ඉගැන්වීම් ගැන දැනගන්න කැමති කෙනෙක් කියවිය යුතුම පොතක් තමයි ඒක.

බුදු දහමේ වගේම තමයි යෝගී ඉගැන්වීම් වලත් මූලික සංකල්පය තෘෂ්ණාව නැති කිරීම. තෘෂ්ණාව නැති කරලා ඉහළම ආධ්‍යාත්මික තත්වයකට පත්වෙන යෝගීන්ව හඳුන්වන්නෙ මහා අවතාර (MAHAVATAR)  කියලා. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේත් කාලෙකට කලින් පහළ වෙච්ච මහා අවතාරයක් විදිහටයි ඔවුන් සළකන්නෙ. 

ඔය උඩින් තියෙන පින්තූරෙ ඉන්නෙ මහාවතාර් බාබාජී තුමා. බාබාජීතුමා තමයි  හිමාල අඩවියේ වාසය කරනවා කියන  වර්තමාන ප්‍රධානම යෝගී ගුරුවරයා. බාබාජීතුමාගෙ ප්‍රධානම ඉගැන්වීම ක්‍රියා යෝග නමිනුයි හැඳින්වෙන්නේ. මෙ ක්‍රියා යෝග ක්‍රමයත් අපේ ගෞතම බුදුරජාණන් වහන්සේට බුද්ධත්වයට පත්වෙන්න උපකාරී වෙච්ච ආනාපානසති භාවනා ක්‍රමයට ගොඩාක් දුරට සමානයි.

අපි අදහන ථේරවාදී බුදුදහම අනුවනම්  එක කල්පයකට පහළ වෙන්නෙ එක බුදුවරයයි. නමුත් මහායාන බුදුදහමට අනුවනම් එකම කාලයේදී බුදුවරුන් රාශියක් ඉන්න පුළුවන්. අවශ්‍ය පාරමිතා සම්පූර්ණ කරන ඕනෑම කෙනෙකුට බුදු වෙන්න පුලුවන්නම් ඇයි එකම කාලයේදී බුදුවරුන් කිහිපදෙනෙක් පහළ වෙන්න බැරි කියන එක මට උත්තරයක් හම්බ වෙච්ච නැති ප්‍රශ්නයක්.

Links.

1. http://en.wikipedia.org/wiki/Mahavatar_Babaji

[ 18 - Mar - 2010 ]

Monday, March 1, 2010

ලංකාවට පූසො ගෙනාවෙ කවුද ?



ලංකාවෙ හංසයො නෑ. පූසොනම් ඉන්නවා. ඉන්නවානම් තමයි, ඒ වුනාට  ලංකාවට පූසලා ආවෙ කොහෙන්ද ?

බල්ලො ගැනනම් අපේ පැරණි ජනප්‍රවාද ගොඩාරියකම සඳහන් වෙලා තියෙනවා. විජය කුමාරයා ලංකාවට පය තියපු ගමන් මුලින්ම දැකල තියෙන්නෙත් බල්ලෙක්ලුනෙ.(බල්ලෙක් දකින එක සුභ ලකුණක්ද කියලනම් දන්නෙ නෑ). 

පූසලා ගැන තියෙන ජනප්‍රවාදනම් මම දන්නෙ 2යි. එකක් තමයි  තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවො ගුරු හිමියන්ට බළල් වසුරු කවපු කතාව (1 කොටස)(2 කොටස). අනිත් එක තමයි කොළඹ කොටුවෙ බළල් මස් ගිනි ගණන් වෙච්ච කතාව.

මේ කතන්දර දෙකම ලංකාවට පෘතුගීසීන් ආපු කාලේ ඒවා. එතකොට ලංකාවට පූසො ගෙනාවෙ පෘතුගීසීන්ද ? පූසා කියන්නෙ සූසා වගේ පෘතුගීසි පන්නයේ නමක්ද ?

එතකොට බළලා කියන්නෙ ? ඒක තමයි පූසගෙ සිංහල නම .පෘතුගීසි භාෂාවෙන් බළලාට කියන්නෙ ගටා (gata) කියලා. හැබැයි පිලිපීන භාෂාවෙන්නම් (Tagalog) බළලාට කියන්නෙ පූසා (Pusa) කියලා.

ලංකාවට බළල්ලු ආපු හැටියි, බළලා පූසා වෙච්ච හැටියි , බළල්ලු ගැන වෙනත් ජනප්‍රවාදයි දන්න කට්ටිය ඉන්නවනම් කියන්න.

ඤාව් !!!

===================================
පසු සටහන:

පූසො ගැන කුරුණෑගල යුගයෙන් තවත් සාක්ෂියක් හම්බ වුනා. කුරුණෑගල යුගයේ ලියවුණු උම්මග්ග ජාතකයේ සහ පන්සිය පනස් ජාතකයේ බළලා කියන වචනය සඳහන් වෙලා තියෙන බව පෙන්වාදීපු Anonymouse-3 ට බොහොම ස්තූතියි.

[ 01 - Mar - 2010 ]