Thursday, May 27, 2010

දුක්ඛ සත්‍යය පටලවා ගැනිල්ල




කශූගෙ බුද්ධාගම පාඩමේ කතන්දරේ කියෙවුවම මට වෙන්න ගිය අකරතැබ්බයක් මතක් වුනා.  මේ වෙසක් කාලෙ හුදී ජනයාගේ බුද්ධාලම්බන ප්‍රීතිය වැඩි කරවන්න ඒ කතන්දරේ ලියන එක සුදුසුයි කියලා හිතුනා. 

කශූගෙ කතන්දරේට හසිත දාල තියෙන කොමෙන්ට් එකේ හැටියටම තමයි ඒ කාලෙත් වැඩ සිද්ධ වුනේ. පාලි ගාථා වල තේරුම ග්‍රීක් වුනාට ගිරවෙක් වගේ ගාථා කටපාඩමෙන් කියන්න පුළුවන්කම තමයි පොර ළමයෙක් වෙන්න ඕනෙ වුනේ.

ඔන්න ඉතින් එක්තරා කාලයක එක්තරා වාර විභාගයක් සමයේ මකර අධිරාජයා වන මම බුද්ධධර්මය ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලියනා කල්හි මෙවන් පැණයක් මතු විය.

ප්‍රශ්නය: දුක්ඛ ආර්ය සත්‍යයේ අඩංගු කරුණු ලියන්න ?

ඕක ඉතින් මහ ලොකු ප්‍රශ්නයක්යැයි. ඉපදීම, ජරාවට පත්වීම , ලෙඩවීම ....ඔහොම ලැයිස්තුවක්නෙ තියෙන්නෙ. දඩ බඩ ගාලා කටපාඩම් කරගෙන තිබ්බ ලැයිස්තුවම ලියලා දැම්මා.

ඒ කාලෙ දැන් වගේ නෙවෙයි. ප්‍රශ්න පත්තරේකට උත්තර ලියලා තව පාරක් කියවලා හරි වැරදි බලන්නත් කාලය ඉතුරු වෙනවා. දැන් ඉතින් අපි වයසට ගිහිල්ල හින්දා හරි වැරදි බැලිල්ල කෙසේ වෙතත් අහල තියෙන ප්‍රශ්න වලට උත්තර ලියා ගන්නවත් කාලෙ මදි (වයසට යාම දුකකි ) 

ඔන්න ඉතින් මම උත්තර පත්තරේ ආපහු මුලක ඉඳන් කියව කියව හරි වැරදි බැලුවා. මෙන්න බොලේ එක තැනක මේ මගේ අත් අකුරෙන්ම ලියල තියෙනවා 

"ඉපදීම දුකකි, බුදුවීම දුකකි, පිරිණිවන්පෑම දුකකි"
 
හෆොයි ඉපදීම , පිරිණිවන්පෑම නම් දුක් වෙන්න පුළුවන්. ඒත් බුදුවීම දුකක් වෙන්නෙ කොහොමද ?

වහාම පෙරළලා බැලුවා ප්‍රශ්න පත්තරේ. ප්‍රශ්නය: දුක්ඛ ආර්ය සත්‍යයේ අඩංගු කරුණු ලියන්න ?. ඕකට ලියන්න ඕනෙ උත්තරේ මගේ දිව අගම තිබුණා. මට හොඳට මතකයි උත්තරේ පටන්ගන්නෙ ඉපදීම කියන වචනෙන් කියලා. ඒත් කොච්චර උත්සාහ කළත් මට මතක් වුණේම ඉපදීම, බුදු වීම , පිරිණිවන්පෑම කියන තුන. අන්තිමට කොහොම හරි ස්ථානෝචිත ප්‍රඥාව යොදලා අර මතක තිබ්බ ඉපදීම කියන වචනෙයි සතර පෙරනිමිති වලින් තුනකුයි දාල බාග උත්තරයක් ලිවුවා. හොඳ වෙලාවට පැවිදිවීම දුකක් කියලා නොලියන්න තරම් සිහි කල්පනාව තිබ්බා. අර බුදුවීම දුකකි කියලා ලියපු එක ,මොකක්ද ලියලා තියෙන්නෙ කියලා හොයා ගන්න බැරි වෙන්න කුරුටු ගාලා දාන්නත් අමතක කළේ නෑ.

කොන්ෆියුසිස් පඬිතුමාගේ ප්‍රසිද්ධ කියමනක් තියෙනවා 
.
I hear and I forget. 
I see and I remember. 
I do and I understand.
.
කියලා. 

ඒ දවස්වල විභාග අරමුණු කරගෙන කටපාඩම් කරපු දුක්ඛ ආර්ය සත්‍යය ඇත්තටම සත්‍යයි කියලා දැන් දැන් තමයි තේරෙන්නෙ. උදාහරණයක් විදිහට ලෙඩවීම (ඉස්කෝලෙ යන්න කම්මැලි කමට දා ගන්න බොරු ලෙඩ නෙවෙයි ) දුකක් කියලා තේරුම් ගන්නනම් ඒ අත්දැකීම ලබන්නම ඕනෙ. 

බුදුරජාණන් වහන්සේට චතුරාර්ය සත්‍යය තමන් විසින්ම අවබෝධ කරගන්න සාරාසංඛ්‍ය කල්ප ලක්ෂ ගාණක අත්දැකීම් ඉවහල් වෙන්න ඇති. බුද්ධත්වයට පත්වෙන්න පාරමිතා පුරන්න ඕනෙ කියන්නෙ ඒ අත්දැකීම් ලබා ගන්න වෙන්න ඇති.  

[ පාරමිතා සම්පූර්ණ කිරීම ගැන මම මීට කලින් ලියපු අදහසක් මෙතනින් කියවන්න. ]

ඔබ සැමට චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීමට හැකි වේවා!!!
ප්‍රීති වෙසක් !!!



[ 27 - May - 2010 ]

Thursday, May 20, 2010

මෙදා පොටෙත් E-කේක්



කේක් සඳහා අනුග්‍රාහක දායකත්වය : 
රුවන්තිකා කුමාරි

ඔන්න හැමෝම ඇවිත් කේක් කෑල්ලක් කාලා යන්න

ගිය අවුරුද්දෙ කේක් එකත් තවම ඉතුරුයි. 
කෑවෙ නැති අය මෙතනින් ගිහින් කන්න

[ 20 - May - 2010 ]

Monday, May 3, 2010

මේ ජීවන කතරේ - සැප දුක සමබර වේ !!!



"බල්ලෝ අපිට හරිම කීකරුයිනේ. බල්ලා අපිව සලකන්නේ උන්ගේ ස්වාමියා කියලා. ඒත් පූසගෙන් කවදාවත් එහෙම සැළකිලි බලාපොරොත්තු වෙන්න එපා. ගෙදර පූසා කොහොමත් ඉන්නේ ගෙදර උගේ, ඌ අපිට ගේ රෙන්ට් එකට දීලා වගේනේ... නැද්ද මං අහන්නේ...

මම ලියපු " ලංකාවට පූසො ගෙනාවෙ කවුද ? "  කියන ලිපියට පැතුම් පුංචිහේවා සහෝදරයා දක්වපු අදහසක් ඒ. ඔය උඩින් තියෙන පින්තූරෙ බැලුවම ඒ කතාවෙ ඇත්තක් නැත්තෙත් නෑ කියල හිතෙනවා.

හැබැයි ඉතින් සමහර අය කිරි, මාලු ඔලු වගේ දේවල් දීල පූසට රෙන්ට් එක ගෙවනවට අමතරව පූසන්ගෙන් වැඩිපුර ලකුණු දාගන්න කියලා අමතර සැළකිලිත් දක්වනවා. හැබැයි ඉතින් ඒ වැඩි සැළකිලි දක්වද්දි පූසන්ගෙ පැත්තෙන් හිතන්නෙ නැති එක තමයි වැරැද්ද. ඇල්බට් අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයට අනුවනම් මේ වගේ අවස්ථාවකදි පූසගෙ නිර්දේශ රාමුවට සාපේක්ෂව තමයි බලන්න ඕනෙ. එහෙම කළේ නැති වුනාම වෙන දේ පේනවා නේද. (පහළ පින්තූරෙන් )


දිය පාරක් ලඟ යාන්තමට රත් වෙච්ච ගල් තලාවක දිගා වෙලා කකුල් දෙක වතුරෙ ඔබාගෙන ඉන්නකොට මාර සනීපයි. හැබැයි ඉතින් ඒ සැප ගල රත් වෙනකම් විතරයි.


[ 03 - May - 2010 ]