Friday, November 30, 2012

හඳට හාවෙක් ආපු හැටි ( විශ්මලන්ත ජන ප්‍රවාදයක් )


ඔන්න එකමත් එක නලාවක හා උන්නැහේ කෙනෙක් උන්නා. ( ඔව් ඔව් නලාවක තමයි. කැලෑවක නෙවෙයි. මේක ඇවිල්ලා විශ්මලන්තයනෙ ). ඒ හාවට ගවුවක් දිග නැට්ටක් තිබ්බා. ( ඔව් ඔව් ගවුවක් . කිලෝමීටරයක් නෙවෙයි ) .

මේ ඉන්නෙ ඒ හාවා. පේනව නේද නැස්ටෙ දිග :-o


ඔය හාවගෙ නැස්ටෙ අග්ගිස්සෙ හිටියා කිනිතුල්ලෙක් . පේනව නේද කිනිතුල්ලගෙ සයිස් එක.



ඔය කිනිතුල්ලා හැම පැය 23යි විනාඩි 54යි තත්පර 18කටම පාරක් හාවගෙ නැස්ටෙ අග්ගිස්ස හපා කෑවා. ඒ හපා කෑමේ වේදනාව එයින් විනාඩි කීපයකට පස්සෙ අන්වායාම තීර්යක් තරංගයක් ඔස්සේ හාවගෙ මොළේට ගලා ආවා. එහෙම වේදනාව ආපුවම හාවා නලාව දෙක වෙන්න  හූඌඌ කියන්න පටන් ගන්නවා.

මේ තියෙන්නෙ එහෙම වෙච්ච වෙලාවක පැපරාසි පූසෙක් DSLR කැමරා එකකින් ගත්ත ෆොටෝ එකක්.



මේ හා හූවේ අනුවර්තී කාලයේ එක යට අගය නලාවේ ස්වභාවික සංඛ්‍යාතයට ආසන්න වශයෙන් ආසන්න වීම නිසා නලාට සරසුලක් වගේ අනුනාදය වෙවී කම්පා වෙන්න පටන් ගත්තා. ඔය නලාවෙ හිටපු නරියන්ට මේක ලොකු ප්‍රශ්නයක් වුනා. මොකද හූඌඌඌ කීම නරියන්ගේ පරම  ඒකාධිකාරී අයිතියක් නොවැ.

හාවෙක් නරි ඒකාධිකාරයට තර්ජනය වෙන ආකාරයට හූඌඌ කීම ගැන නලාවෙ නායක නරිය බොහොම කෝප වුනා.  නායක නරියා කෝපයෙන් වෙවුලන ආකාරය තමයි මේ දැක්වෙන්නේ.

මේක අර කලින් ෆොටෝ එක ගත්ත පැපරාසි පූසගෙ බාප්ප ගත්ත ෆොටෝ එකක්. ඒක අරන් තියෙන්නෙ DSLR කැමරා එකකින් නෙවෙයි. ඒකයි කොලිටිය අඩු.

මේ නරියම තමයි අර එක පාරක් පොඩ්ඩි කෙල්ලව රැවැට්ටුවෙත් .




නායක නරියගෙ කෝපය ගැන බය වෙච්ච අවශේෂ නරි ටික එකතුවෙලා මේකට විසඳුමක් හොයන්න කියල නරි මහදැනමුත්තට පෙත්සමක් යැවුවා.

මේ ඉන්නෙ නරි මහදැනමුත්තා. උන්නැහැගෙත් ෆොටෝ එකක් දැම්මෙ නැත්තන් උන්නැහැ තරහ වෙයි නොවැ.



"මේක බොහොම සුළු ප්‍රශ්නයක් . වේදනාව තියෙන්නෙ නැට්ටෙ වුණාට හාවගෙ කඳ කොටසනෙ කෑ ගසන්නෙ. එක නිසා ශල්‍යකර්මයක් කරල නැස්ටෙන් හාවගෙ කඳ කොටස එහෙම පිටින්ම කපා ඉවත් කරන්න ඕනෙ." නරි මහදැනමුත්තාගේ නිර්දේශය අනුව නරි උසාවිය නියෝග කළා.

හාවව බලහත්කාරයෙන් අත් අඩංගුවට ගත්තු නරි පොලීසිය හාවව ශල්‍යකර්මයකට භාජනය කළා. නැට්ටෙන් එහෙම පිටින්ම ඉවත් කරපු හාවගෙ කඳ කොටස ප්‍රතිචක්‍රීයකරණය කරන්න නරි මාළිගාවෙ කුස්සියට යැවුණා. නිර්වින්දනය කරල තිබ්බ නැස්ට කොටස ( ඔව් කිනිතුල්ලත් එක්කමයි ) නැවත සිහිය ලැබෙන තුරු කියලා රෝහලේ ඇඳට යැවුනා. 

ඒ ශල්‍යකර්මයේ අවසන් අදියරේදී හා අයිතිවාසිකම් උල්ලංඝනය කෙරුනේ නෑ කියල පෙන්නන්න සාක්ෂියක් හැටියට ගත්තු ෆොටෝ එකක් තමයි මේ.



කොහොම වුණත් මේ වැඩේ වෙච්ච විදිහ අසාධාරණයි කියලයි අවශේෂ හාවන්ගේ කල්පනාව වුනේ. නරි උසාවියකින් හාවෙක් ගැන තීන්දුවක්  දෙන්න බලයක් නෑ කියන එකයි හා පාර්ලිමේන්තුවේ අදහස වුණේ .

හාවන්ගේ විශේෂ නියෝජිත කණ්ඩායමක් මේ අවනඩුව ගැන ඇමරිකාවෙ මහරජතුමාට පෙත්සමක් ඉදිරිපත් කළා.


කොහොම වුණත් වෙච්ච දේ වෙලා ඉවරයිනෙ. ඒක නිසා ඇමරිකාවෙ මහ රජතුමා තීරණය කළා අසාධාරණයට පත් හාවන්ට අනුග්‍රහයක් විදිහට විශේෂ අබ්‍යවකාෂ යානයක් ( ඔව් ඔව් අභ්‍යවකාශ  යානයක් නෙවෙයි ) යවලා හඳ මත හාවාගේ උඩුකය චිත්‍රයක් ප්‍රතිනිර්මාණය කරන්න.

මේන් කොරල තියෙන්නෙ.


ඔන්න ඔහොමයි දුවේ පුතේ හඳට හාවෙක් ගියේ.

කතාව සඳහා අනුග්‍රාහක දායකත්වය:
 හා හා හරි හාවා සහ පුත්‍ර  සමාගම


ප.ලි

1. ජනකතාවෙ හා පාර්ලිමේන්තුවක් ගැන කියවුණාට ඇත්තටමනම් තියෙන්නෙ බකමූණු පාර්ලිමේන්තුවක්ලු

2. ගෑණු ළමයින්ගෙ මූණ හඳට උපමා කරල තියෙනවලු. (සිසිවන වුවන )

[ 30 - NOV - 2012 ]