Friday, December 7, 2012

අග බිසවට විරුද්ධව දෝෂාභියෝගයක්

.
මේ ඉන්නෙ අපේ කැකිල්ලේ මහා රාජෝත්තමයන් වහන්සේ. පේනවනෙ ඇඟ පුරා, බඩ පුරා. ..... පුරා මොළේ තියෙන බව
කැකිල්ලේ රාජෝත්තමයට දවසක් බොහොම නුවණක්කාර අදහසක් පහළ වුණා. 

"දැන් ඉන්න අග බිසව ලස්සන මදි. හරී මෝඩයි. නපුරුයි. ඒක නිසා අලුත් අග බිසවක් සරණ පාවා ගන්න කල වයස හරි දැන්"

ඔන්න ඔහෙම හිතපු කැකිල්ලේ රාජෝත්තමයා තමන්ගෙ අදහස රාජ සභාවට දැන්නුවා.  

"අවසර දේවයන් වහන්ස . අපේ ව්‍යවස්ථාවෙ හැටියට ඔබතුමාට අගබිසවව දික්කසාද කරන්න බෑ සාමාන්‍ය කෙනෙකුගෙ වයිෆ් කෙනෙක්ව දික්කසාද කරනව වගේ. ඒක නිසා රාජ සභාවට දෝෂාභියෝගයක් ගේන්න වෙනවා" පුරෝහිත තුමා කිවුවා.

"ග් ර් ර් ර් . කරන මඟුලක් කරලා මේ අග බිසවව අයින් කරල මට හොඳ අග බිසවක්ව ගෙනත් දෙනවා" කැකිල්ලේ රජතුමා බොහොම කෝප වෙලා අඩි පොළොවෙ හප්පලා ගිගිරුවා.

ඔන්න ඉතින් කැකිල්ලේ රජතුමාගෙ රාජ නියෝගෙ අනුව කැකිල්ලේ රාජ සභාවට දෝෂාභියෝගයක් ඉදිරිපත් කෙරුණා. චෝදනාව තමයි "අග බිසව මෝඩ වැඩියි" කියන එක. චෝදනාව විභාග කරන්න රජවාසල කවටයා, උයන් පල්ලා, අරක්කැමියා, කරණවෑමියා,ඇත් ගොවුවා, අස් ගොවුවා සහ රෙදි අපුල්ලන්නාගෙන් යුත් රාජ සභා කමිටුවකුත් පත් කෙරුණා.

කමිටුවෙ සභාපති වුණේ රාජ කවටයා.රාජ සභා සම්ප්‍රදාය අනුව කටයුතු කරපු කමිටුවේ සභාපති තුමා අග බිසව කමිටුව ඉදිරියට කැඳවගෙන එන්න කියල රාජ පුරුෂයෙකුට නියෝග කළා.

රාජ පුරුෂයා දුවල දුවල ගිහින් අග බිසවට දැන්නුවා රාජ සභාවට යහපත් වෙන්න කියල. මේ ඉන්නෙ අග බිසව රාජ සභාවට ඇවිත්.

"ඔබතුමියට විරුද්ධව දෝෂාභියෝගයක් ඉදිරිපත් වෙලා තියෙනවා. චෝදනාව තමයි ඔබතුමිය හරි මෝඩයි කියන එක. අපේ මහ රජතුමා වගේ මහා නුවණක්කාරයෙකුට ඔබතුමිය මෝඩ වැඩී. ඔබතුමිය මේ චෝදනාවට වැරදි කරුද නිවැරදි කරුද ?"

දෝෂාභියෝග කමිටුවේ සභාපති කවටයා අග බිසවට එල්ල වෙලා තියෙන චෝදනාව දැනුම් දුන්නා ( ඔව් ඔව් චෝදනාවට කවටයා අතිනුත් කෑල්ලක් වැඩිපුර දාලා. ඒ රජතුමාගෙන් 1 දා ගන්නනේ. රජතුමාත් පැත්තක ඉඳන් බලා ඉන්නවා මොකෝ වෙන්නෙ කියල )

"හහ් .. . මළ කෝලං තමුසෙල අද විහිලු කරන්න මාවද අල්ල ගත්තෙ. මට ඔය කෝලං වලට වෙලාවක් නෑ. මම යනවා උයනට මල් කඩන්න "

එහෙම කියපු අග බිසව ගස්ස ගස්ස යන්න ගියා

දැන් චෝදනා විභාග කරන්න අග බිසව නෑනේ. ඊලඟට ගත යුතු පියවර ගැන සාකච්ඡා කරන්න දෝෂාභියෝග කමිටුව රහසිගතව රැස් වුණා.

දවස් 7ක් නොකා නොබී රහසිගතව සාකච්ඡා කරපු දෝෂාභියෝග කමිටුව අවසානයේ තීරණයකට ආවා.

"අග බිසව දෝෂාභියෝග කමිටුවට පෙනී නොසිට නැගිටල ගිය නිසා එතුමියට විරුද්ධව මොකුත් කරන්න බෑ. අපේ රජතුමා අග බිසවට වඩා මහතයි. ඒ නිසා අපි එතුමාව මේ චෝදනා වලට වැරදි කරු කරනවා. අතීතයේදීත් එහෙම මහත වැඩි අයට විරුද්ධව තීන්දු දීමේ පූර්වාදර්ශ තියෙනවා. එම නිසා දෝෂාභියෝගයට වැරදිකරු වූ මහ රජතුමාව බලයෙන් පහ කරන්න මම නියෝග කරනවා"

කවටයා දෝෂාභියෝග කමිටුවේ තීරණය රාජ සභාවට දැනුම් දුන්නා.

ඒක අහපු රාජපුරුෂයෝ රජතුමාව ඇදගෙන යන්න පටන් ගත්තා.

"මේ මේ පොඩ්ඩක් ඉන්නවල කො. මම කියන දේත් අහනවල කො" රජතුමා කෑ ගැහුවා. ඒත් කවුරුවත් එතුමා කියන්න හදන දේට සවන් දෙන්න ලෑස්ති වුණේ නෑ.

                                                                         නිමි.

[ 07 - Dec - 2012 ]

Wednesday, December 5, 2012

ජෛව පාලනය





 1-ජවනිකාව

A\: මේකනං හැබෑම පුදුමයක්.

B\: ලෝක විනාශය වෙන බවට පෙරනිමිත්තක්.

C\: නෑ නෑ සක්විති රජකෙනෙක් පහළ වෙන බවට පෙරනිමිත්තක්.

D\: මොකක්ද මොකක්ද ඔය කියන පුදුමෙ.

A\: මෝල් ගහක දලු ඇවිල්ලලු.

D\: කෝ කෝ යමු බලන්න.

B\: එහෙම ආවට ගියාට බලන්න බැරිලු.

C\: කලින් දිනයක් වෙන් කර ගන්න ඕනෙලු.

A\:  දහදාහයිලු ටිකට්.

D\: කමක් නෑ යමු ඒ ගාණටත් වටිනවා.

2-ජවනිකාව

X\: අනේ මහත්තයෝ අද මෝල්ගහ පෙන්නන්න විදිහක් නෑ.

D\: එහෙම කොහොමද ?

A\: අපි ටිකටුත් අරන් ආවෙ.

X\: මේකනෙ මහත්තයො, පොඩි ප්‍රශ්නයක් වෙලා, ඒ මෝල්ගහ පිඹුරෙක් ගිලලා.

C\: කෝ එතකොට පිඹුරා.

X\: නාසා එකේ මහත්තුරු ඇවිල්ලා පිඹුරව අරන් ගියා හඳට යවන්න කියලා, "හඳේ ඉන්න හාවන්ව ජෛව පාලනයක්ද මොකක්දෝ කරන්න ඕනෙලු".

B\: මේක ඇවිල්ලා බටහිර අධිරාජ්‍යවාදීන්ගේ කූඨ කුමන්ත්‍රණයක්!


ප.ලි
====
1.
මේක ඇවිල්ලා කාලෙකට කලින් ONE | ZERO | ZERO අඩවියට මම යවපු එකක්. මගේ බ්ලොගෙත් දා ගන්න ඕනෙ කියල හිතුනා.

2.
හඳේ ඉන්න හාවට නැස්ටක් නැත්තෙ ඇයි කියල දන්නෙ නැති අය මේක බලන්න.

3.
ආකිමිඩිස්ට හඳ උඩ පොල්ලක් තියල පොළොව හොල්ලන්න පුලුවන්ද


[ 05 - Dec - 2012 ]