Monday, September 6, 2010
Thursday, September 2, 2010
18+ සහ අමුඩය ගැසීම
මේ දවස් වල හැමෝම වගේ කතා වෙන්නෙ 18+ ගැන. එහෙමත් නැත්තන් 18 වෙනි අණ්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධනය ගැන. සමහරු මේ ව්‍යවස්ථා සංශෝධනය ඉක්මනින්ම සම්මත කර ගත යුතු දෙයක් යැයි කියද්දී තවත් සමහරු කතා කරන්නේ මේකට විරුද්ධව. මේ කතාබහ දැක්කම මට මතක් වුනේ ජනප්රවාදයේ සුප්‍රකට අමුඩය ගැසීම් දෙකක් ගැන.
ජනාධිපති උන්නැහේගේ දෙවෙනි ධුර කාලය තවම පටන් ගත්තෙත් නැතුව ලබන නොවැම්බර් මාසෙ ඉඳන් අවුරුදු 7ක්ම ගෙඩි පිටින් දෙවෙනි ධුර කාලයක් තියෙද්දි තුන්වෙනි ධුර කාලයක් වෙනුවෙන් 18+ ව්‍යවස්ථාව සංශෝධනය ඉක්මනින් සම්මත කරගන්න හදන එක හරියට අර මුහුද හත්ගවුවක් තියෙද්දි අමුඩය ගැහිල්ල වගේ. 1/3 ක් නැතුව 18+ ට විරුද්ධව කෑ ගහිල්ල හරියට අර අතීසාරයට අමුඩය ගැහිල්ල වගේ.
ඔන්න මමනම් 18+ ට පස්සත් නෑ විපස්සත් නෑ. GSP+ අහිමි වෙලා ඇඟලුම් කර්මාන්තය අනතුරේ වැටිලා තියෙන මෙ වෙලාවෙ අතීසාර වලටයි මුහුදු යන්නයි පාවිච්චියට දේශීය අමුඩ කර්මාන්තයක්වත් පටන් ගනිච්චාවෙ .
Tuesday, August 24, 2010
වෙළඳ දැන්වීම් - ඔබන්න පෙර සිතා බලනු
මෑතකදී මම දැක්කා කිහිප දෙනෙක්ම අන්තර්ජාලයෙන් මුදල් උපයන ක්‍රම ගැන බ්ලොග් සටහන් ලියලා තියෙනවා. මෙයින් ජනප්‍රියම ක්‍රමයක් තමයි වෙළඳ දැන්වීම් එබීම (Bux Sites) . සමහර අයනම් තමන්ට ඩොලර් කීපයක් (සමහර විට ඩොලර් ශත ගණනක් ) හම්බ වුණා කියලා payment proof පවා දාලා තිබ්බා. මේ ක්‍රමයට මුදල් හොයන්න හිතන අය මෙන්න මේ ප්‍රශ්න වලට උත්තර දුන්නානම්.
1. ඇමරිකානු ඩොලර් එකක් ශ්‍රී ලංකා රුපියල් කීයද ?
2. මාසයකට උපයාගත හැකි මුදල රුපියල් වලින් කීයද?
3. වෙළඳ දැන්වීම් එබීමට මාසයකට ගතකරන විනාඩි ගණන?
4. මාසයකට අන්තර්ජාලය භාවිතා කරන කාලය ?
මෙන්න වැදගත්ම ප්‍රශ්නෙ
5. වෙළඳ දැන්වීම් එබීම සඳහා භාවිතා කරන අන්තර්ජාල සම්බන්ධතාවයේ මාසික ගාස්තුව?
තව බෝනස් ප්‍රශ්නයක් විදිහට කැමතිනම් ලාභ අලාභ ගිණුමකුත් හදන්න.
ඔයිට වඩා හොඳ නැද්ද ඔය Mouse එක විකිණුවානම්. අහල ඇතිනෙ මී කුණක් විකුණලා පොහොසත් වෙච්ච සිටුතුමාගෙ කතාව
[ 24 - Aug - 2010 ]
Tuesday, August 17, 2010
GM Garry Kasparov සමඟ දවසක්
තමන් ප්‍රිය කරන නළු නිළියන්ගේ, ක්‍රීඩකයන්ගෙ එහෙමත් නැත්තන් සුපර් ස්ටාර්ලගෙ අත්සන් ගන්න, ඒ අයට අතට අත දෙන්න එහෙමත් නැත්තන් ඒ අය සමඟ ඡායාරූප වලට පෙනී සිටින්න සමහරු උන්මාදයකින් වගේ හැසිරෙන ආකාරය අහපු, දැකපු වෙලාවල් වලදි "මේ මොන කෝළමක්ද ?" කියලා මට හිතිච්ච වාර ගණන බොහොමයි. ඒ වුණත් ඒ අයගෙ හැඟීම් මොන වගේද කියලා පහුගිය සතියෙ මට තේරුම් ගියා. ඒ සුපිරි චෙස් ක්‍රීඩක ගැරී කැස්පරොව් සම්බන්ධ වන වැඩසටහන් කීපයකට සහභාගි වීමේදී.
"ලෝකයේ බිහිවුණු විශිෂ්ඨතම චෙස් ක්‍රීඩකයා කවුද ?" කියන ප්‍රශ්නයට වැඩිපුරම හම්බ වෙන උත්තර දෙකෙන් එකක් තමයි ගැරී කැස්පරොව් ( 13 වන ලෝක ශූරයා) කියන නම. අනිත් උත්තරේ බොබී ෆිෂර් (11 වන ලෝක ශූරයා) . විශේෂ ආරාධනාවක් මත ගැරී කැස්පරොව් පහුගිය ඉරිදා එක්දින සංචාරයක් සඳහා සිංගප්පූරුවට ආවා. ඒ ඔහු සිංගප්පූරුවට ආපු පළවෙනි වතාව. සිංගප්පූරුවේ සිටින චෙස් ක්‍රීඩාලෝලීන්ට මේක අති විශේෂ අවස්ථාවක් වුණා.
කැස්පරොව්ට සුපිරි ආරක්ෂාවක් ලබා දී තිබුණු ආකාරය
කැස්පරොව් සහභාගි වෙච්ච පළවෙනි වැඩසටහන තමයි ඔහුගේ හොඳම තරඟයක් විශ්ලේෂණය කිරීම. විශ්මයජනක සංකලන සහ උපක්‍රම වලින් පිරුණු ඒ තරඟයේදී කැස්පරොව්ගේ ප්‍රතිවාදියා වුණේ තවත් සුපිරි ක්‍රීඩකයෙක් වෙස්ලින් ටොපලොව් (Veslin Topalov). ටොපලොව් තමයි වර්තමානයේ ක්‍රියාකාරී ක්‍රීඩකයන් අතරින් අංක 2 . ඒ තරඟය මෙතනින් බලන්න පුළුවන් .
එයින් පසුව තමයි සමරු සටහන් ලබා දීම අවස්ථාව. සමරු සටහන් ලබා දෙන්න කලින් කැස්පරොව් සහ සිංගප්පූරු ජාතික කණ්ඩායම නියෝජනය කරන ප්‍රබල ක්‍රීඩකයන් දෙදෙනෙක් අතර ප්‍රදර්ශන තරඟ දෙකකුත් පැවැත්වුණා. ඒ තරඟ දෙකෙන්ම ජයගත්තෙ කැස්පරොව්.
කැස්පරොව්ගෙන් මකර අධිරාජයාට සමරු සටහනක්
මේ තියෙන්නෙ කැස්පරොව්ගෙ අත්සන
( හොර අත්සන් ගහන්න එහෙම පුරුදු වෙන්න එපා ඕං )
( හොර අත්සන් ගහන්න එහෙම පුරුදු වෙන්න එපා ඕං )
දිනයේ වඩාත්ම විනෝදජනක අංගය වුණේ කැස්පරොව් විවිධ වයස් සීමාවල ක්‍රීඩකයන් 22 දෙනෙකු සමඟ එක්වර තරඟ කරන ප්‍රදර්ශන තරඟය (Simultaneous Exhibition Match). ක්‍රීඩකයන් රාශියක් සමඟ එකවර ක්‍රීඩා කරන එවැනි තරඟයක් පැවැත්වෙන්නේ කෙහොමද කියලා පහත වීඩියෝවෙන් බලන්න.
Simultaneous Exhibition Match
මේ තරඟයේදී අනුවේදනීය සිද්ධියකුත් දැකගන්න හම්බ වුණා. කැස්පරොව් සමඟ තරඟ කරන්න අවස්ථාව හම්බ වෙච්ච ක්‍රීඩකයන් 22 දෙනා අතරින් එක්කෙනෙක් වාඩි වෙලා හිටියෙ සාමාන්‍ය පුටුවක නෙවෙයි. එයා වාඩි වෙලා හිටියෙ රෝද පුටුවක. එයාට සාමාන්‍ය චෙස් තරඟාවලියකදි ක්‍රීඩා කරන්න කොහොමවත්ම අවස්ථාවක් නෑ. මොකද එයාට අපිට වගේ පහසුවෙන් හා ඉක්මනින් අතපය චලනය කරන්න බෑ.
සාමාන්‍යයෙන් කෙනෙක් චෙස් ඉත්තන්ව චලනය කිරීමේදී කරන්නේ ඉත්තාව උස්සලා අදාල තැනින් තියෙන එක. නමුත් මෙයාට ඉත්තන්ව උස්සන්න බැහැ. ඒ වෙනුවට එයා කරන්නෙ හෙමීට හෙමීට ඉත්තාව අදාල තැනට ඇඟිල්ලෙන් තල්ලු කරගෙන යන එක.
කැස්පරොව් සමඟ තරඟ කළ ඒ සුවිශේෂී ක්‍රීඩකයා
මේ ප්‍රදර්ශන තරඟයේ සියළුම තරඟ 22 ට 0 ක් විදිහට ජයග්‍රහණය කළේ කැස්පරොව්. මේ පහළ පින්තූරෙ ඉන්න චූටි මල්ලියා තමයි කැස්පරොව් එක්ක අවසානය දක්වාම සටන් කළේ.
Saturday, August 14, 2010
රොබින්හුඩ්, කඩුකාරයෝ සහ ජෙනරාල්වරු
රොබින්හුඩ්ගෙ කතන්දරේ කියන්නෙ මම කැමතිම කතන්දර වලින් එකක්. මෑතකදී අළුත්ම රොබින්හුඩ් චිත්‍රපටියක් තිරගත වුණා. ඒකෙ රොබින්හුඩ් චරිතයට රඟපෑවෙ පරණ ජෙනරාල්වරයෙක්. ඒ තමයි කඩුකාරයා(Gladiator) චිත්‍රපටියේ හිටපු රෝම අධිරාජයාගේ අකටයුතුකම් වලට විරුද්ධව සටන් කරපු ජෙනරාල් මැක්සිමස් .
කොහොම වුණත් ජෙනරාල් මැක්සිමස්ගෙ චරිතයට වඩා මම කැමති රොබින්හුඩ්ගේ චරිතයට. රජවරුන්ගේ අකටයුතුකම් වලට විරුද්ධව කරන සටනකදි හමුදා නීතියට යටත් ජෙනරාල් වරයෙකුට වඩා කැළෑ නීතියට යටත් ,හ(ර්)න් කෙනෙකුගෙ පිහිටාරක්ෂාව ලබන රොබින්හුඩ් කෙනෙක් වඩාත් සුදුසුයි කියලයි මට හිතෙන්නෙ. ඒ කිවුවෙ ලංකාවෙ හැටියටනම් අයියනායක දෙවියන්ගෙ පිහිටාරක්ෂාව ලබන සරදියෙල් කෙනෙක් ??
මේ තියෙන්නෙ ජෙනරාල් මැක්සිමස් කොටියෙක් එක්ක සටන් කරන දර්ශනයක්.
හැබැයි මේක ජෙනරාල් කොටියට අතට අත දෙන දර්ශනයක් කියලත් කෙනෙකුට කියන්න බැරිකමක් නෑ. බලන්නකො දෙන්න අත් අල්ලගෙන ඉන්න අපූරුව
හැබැයි මේක ජෙනරාල් කොටියට අතට අත දෙන දර්ශනයක් කියලත් කෙනෙකුට කියන්න බැරිකමක් නෑ. බලන්නකො දෙන්න අත් අල්ලගෙන ඉන්න අපූරුව
[ 14 - Aug - 2010 ]
Sunday, August 8, 2010
අන්තර්ජාලයෙන් පවු පුරවා ගැනීම
---------------
අන්තර්ජාලය පාවිච්චි කරලා
අන්තර්ජාලය පාවිච්චි කරලා
හොර Softwares බාගත කරගන්න එපා
පවු සිද්ධ වෙනවා , අපායෙ යනවා
දිට්ඨධම්මවේදනීය කර්ම විදිහට
Malware ප්‍රශ්නත් ඇති වෙනවා
අන්තර්ජාලය අනතුරු සහිතයි
ප්‍රවේශමෙන් පරිහරණය කරන්න !!!
[ 08 - Aug - 2010 ]
Friday, August 6, 2010
සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලයේ රැග් කරන හැටි
රැග් එක, එහෙම නැත්තම් නවක වධය කියන එක ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල හා අනෙකුත් අධ්‍යාපන ආයතන වල පැතිරී ගිය දරුණු රෝගයක්. විකිපීඩියාවේ සඳහන් වන ආකාරයට නවක වධය වඩාත්ම දරුණු රට ශ්‍රී ලංකාව . [Wikipedia link]
සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලයේත් හැම අධ්‍යයන වර්ෂයක් ආරම්භයේදීම රැග් කාලයක් තියෙනවා. මේ රැග් එකට විශ්ව විද්‍යාල පාලන අධිකාරියේත් සම්පූර්ණ සහයෝගය හම්බ වෙනවා. විශ්ව විද්‍යාලයේ ආචර්යවරුන් පවා නවක සිසුන්ට රැග් එකට සහභාගි වීමට පොළඹවනවා. රැග් එකට සහභාගි විය යුතු ආකාරය, ස්ථාන, දින සහ වෙලාවන් ප්‍රසිද්ධියේ දැන්වීම් පුවරු වලත් සඳහන් වෙනවා.
මෙන්න විශ්ව විද්‍යාලයේ ප්‍රධාන පුස්තකාලය ඉස්සරහ රැග් දර්ශන කීපයක්. ලංකාවෙ වගේ අහු මුළු වල හැංගිලා නෙවෙයි රැග් කරන්නෙ.
මේ ළමයින්ව කූඩුවකට දාලා
හැබැයි මේ රැග් එක අමානුෂික නවක වධයක් නෙවෙයි. අධ්‍යයන වර්ෂයේ පළවෙනි සතිය තුළ නවක සිසුන්ගේ හැඩගැස්වීමේ සහ පිළිගැනීමේ වැඩසටහන් පැවැත්වෙනවා. විශ්වවිද්‍යාලයේ සාම්ප්‍රදායික කොඩි දිනය එන්නේ පළවෙනි සතිය අවසානයේදී. එදාට පැරණි සිසුන් සහ නවක සිසුන් කණ්ඩායම් වශයෙන් රට පුරාම ගිහින් කැට හොල්ල හොල්ල ආධාර එකතු කරනවා.
ලංකාවෙත් විශ්ව විද්‍යාල ශිෂ්‍යයො කැට හොල්ල හොල්ල ආධාර එකතු කරනවා දැකලා ඇතිනෙ. හැබැයි ඒ ආධාර වගේ මේවා එකතු කරන්නේ දේශපාලන පක්ෂ වල අරමුදල් වලටනම් නෙවෙයි. මේ එකතු වෙන ආධාර මුදල් යෙදවෙන්නේ වැඩිහිටි නිවාස, රෝහල් ආදී තැන් වල සුභසාධන කටයුතු වලට.
ඊට පස්සේ දවසක මේ කොඩි දිනයට ආධාර දීපු සියළුම දෙනාට ස්තූති කිරීමක් හැටියට සිසුන් විසින් විවිධාකාර සංදර්ශන පවත්වනවා. ඒකට තමයි රැග් දිනය කියන්නේ. මේ රැග් දිනය සඳහා සිසුන් විසින් අලංකාර සංදර්ශන රථ හා සංදර්ශන භාණ්ඩ හදනවා. අර උඩින් තියෙන්නේ රැග් දිනයට පෙර පුහුණු වීමක්.
ඇතෙක් ආකාරයට සැරසූ සංදර්ශන රථයක්
කලා සිසුන් හදපු කාල තුවක්කුවක්
ඇතාගෙ දළ සරසලා තියෙන්නේ
ඉවත දාන බීම බෝතල් වලින්
මේ අවුරුද්දේ NUS කොඩි දිනය හෙට. රැග් දිනය 11 වෙනිදා. වැඩි විස්තර සඳහා NUSSU Rag and Flag Day නිල වෙබ් අඩවිය ට යන්න.
[ 06 - Aug - 2010 ]
Thursday, July 22, 2010
Tuesday, July 20, 2010
බබ්බුන්ගේ කතා
බබ්බුන්ගේ පාරිභාෂික ශබ්ද මාලාව ටිකක් අමුතුයි. බල්ලා නෙවෙයි බව්වා, හරකා නෙවෙයි තැත්තා . ඔය වගේ වචන ගොඩාරියයි. සමහර වචන ඒ ඒ බබ්බුන්ටම ආවේණිකයි. ඒ වචන නොදැන බබ්බුත් එක්ක ගණුදෙනු කරන එකත් හරි අමාරු වැඩක්. පොඩ්ඩ බැරි වුනොත් අඬනවනෙ.
ඔන්න එකමත් එක දවසක ගෙවල් කීපයක කට්ටිය අපේ ගෙදර ආවා. එක එක වයස් වල චූටි බබ්බුත් කීපදෙනෙක්ම හිටියා. ඉතින් ඔය බබාල ඔක්කොමට එකම මේසෙ බයියං කන්න ලෑස්ති කලා. අතින් කන්න පුළුවන් බබාලට අතින් , එහෙම බැරි බබාලට අම්මලගෙ අතින්. බබ්බුත් හරි කැමති වුණා එහෙම එකට වාඩි වෙලා කන්න.
ඔන්න ඉතින් වැඩේ නැගල ගියා. වෙනදට කන්නෙ නැති බබාලත් අනිත් බබාලත් එක්ක තරඟෙට කනවා. ටිකකින් එක බබෙක් කාලා ඉවර වෙලා තරඟෙන් ඉවත් වුණා. "ආ පුතා , කාල ඉවරද? එන්න මම ජොජෝ දෙන්නම්" කියල ඒ බබාගෙ අම්ම ඒ බබාව එක්කන් ගියා.
ඕක දැකපු තව බබෙක්ගෙ මූණ හොඳටම ඇඹුල් වුනා.
"අම්මි මට ජොජෝ ඕනෙ"
"ජොජෝ නෑ පුතේ , බත් කාල ඉන්නකො , මම බම්බා ගෙඩියක් දෙන්නම්"
"නෑඈඈඈඈ ජොජෝ තියෙනවා"
"කවුද කිවුවෙ?, ජොජෝ හැදුවෙ නෑ පුතේ "
ඒ බබාගෙ අම්මා දැක්කෙ නෑ තව බබෙකුට ජොජෝ දෙන්නම් කියලා එක්කගෙන ගියපු එක. ඉතින් මේ බබා අසාධාරණයට විරුද්ධව අඛණ්ඩව සටන් කරනවා.
පස්සෙ තමයි පටලැවිල්ල තේරුම් ගියේ. එක බබෙක් ජොජෝ කියන්නෙ වතුර වලට. අනිත් බබා ජොජෝ කියන්නෙ දොදොල් වලට. අන්තිමට හැමෝටම බම්බා ගෙඩිය ගානෙ දීල තත්වය සමනය කර ගත්තා .
පස්සෙ තමයි පටලැවිල්ල තේරුම් ගියේ. එක බබෙක් ජොජෝ කියන්නෙ වතුර වලට. අනිත් බබා ජොජෝ කියන්නෙ දොදොල් වලට. අන්තිමට හැමෝටම බම්බා ගෙඩිය ගානෙ දීල තත්වය සමනය කර ගත්තා .
==================
බබ්බුන්ගෙ භාෂාවෙන් අපි කතා කරන්න ගියාම සමහර විට අපිටත් නොහිතන අකරතැබ්බ වෙනවා.
එකමත් එක රටක හිටිය හා පැටියගෙ කතන්දරේ කියල දීපු නවෝදයි මමයි දෙන්නම දැනට වඩා චූටි කාලෙ එකමත් එක දවසක මම එයාව වඩාගෙන ඇවිද ඇවිද හිටියා.
ඔන්න ඔය අතරෙ අපි හිටපු හරියෙන් පූසෙක් ගමනක් යන්න එනවා. මම නවෝදාට පූසව පෙන්නුවා.
"අන්න කිටියෙක්"
"නෑඈ.. පූඌ...සෙක්"
ඉතින් මමත් සෙකන්ඩ් වෙන්න කැමති නෑනෙ.
"කිටියෙක්ක්ක්ක් ..."
"නෑඈඈ ... පූඌඌඌ.....සා කියල කියන්නෙ" (එහෙම කියන ගමන් මගේ මුණත් කෙනිත්තුවා)
"කිටිය කියලත් කියනවා"
"නෑඈඈ"
"එහෙනම් ආපහු ගියාම අම්මගෙන් අහමුකො"
ඔන්න ඉතින් අපි ආපහු ගියාට පස්සෙ
"අම්මා, පූසා කොටියෙක්ද ?? පොඩි මාමා කියනවා පූසා කොටියෙක්ලු"
[ 20 - Jul - 2010 ]
Saturday, July 10, 2010
උපවාස කිරීමේ විකල්ප ක්‍රම
අතීතයේ එක්තරා දිනයක, එක්තරා විශ්වවිද්‍යාලයකදී:
ලොකු සහෝදරයා: "සහෝදරවරුනි, අපි මේකට විරුද්ධව උපවාසයක් කරන්න ඕනෙ"
පොඩි සහෝදරයෙක්: "ඒක කොහොමද කරන්නෙ?"
ලොකු: "කෑම කන්නෙ නැතුව ඉන්න ඕනෙ. අපි සනාතන මන්දිරය ඉස්සරහින් නැගිටින්නෙ නෑ ඉල්ලීම් ලබා දෙනකම්"
පොඩි: "ඒ කිවුවෙ ලන්ච් ටයිම් එකේදිවත් කැන්ටිමට එන්නෙ නැද්ද කන්න?"
ලොකු: "තොපිට පිස්සුද බොලව්. #$%&&&***@@@ ."
පොඩි: "අනේ කන්නෙ නැතුව ඉන්න අමාරුයිනෙ. බඩගිනි වෙනවනෙ ?"
ලොකු: "#$%&&&***@@@ ,එහෙනම් තොපි මේකට මොකක්ද කරන්න කියන්නෙ?"
පොඩි: "ඉල්ලීම ලබා දෙනකම් අපි නාන්නෙ නැතුව ඉමු !!!"
අනුග්‍රහය:
මන්චී !!!
නයිස් අයටයි නෝටි අයටයි
Subscribe to:
Posts (Atom)
























