Friday, December 26, 2014

පෙර දළනිඳු දිය කඳ රට බිම් ගලත - 2004 මුහුදු කම්පාවට වසර 10 යි.

.
 
පෙර දළනිඳු දිය කඳ රට බිම්.......... ගලත
සුරකුල හිමි රකිනුව ලක මැවූ............සත
මනකල ඒ සමුදුර පැහැයෙන්...........දිමුත
වඳු සල පිළිම හිමි සිරි සරණ.........සියපත

~ සැළලිහිණි සන්දේශය ~ 

කැළණිතිස්ස රජ සමයේ රහතන්වහන්සේ නමකට කළ අපරාධය නිසා සමුදුර ගොඩ ගැලූ බව සඳහන්. එදා මුහුද ගොඩගැලීම නැවැත්වීම සඳහා ශක්‍ර දෙවියන් පිළිම වහන්සේ නමක් තැන්පත් කළ බව කියවෙනවා.

ඉහත රූපයේ වම්පස ඇත්තේ ශක්‍ර දෙවියන් විසින් වතුර ගලා ඒම නැවැත් වීමට තැබූ බවට විශ්වාස කරන සල පිළිම වහන්සේ . දකුණු පස දැක්වෙන්නේ සක් දෙව් රජ විසින් සල පිලිම වහන්සේ තැන්පත් කරන අයුරු කැළණි විහාරයේ සිතුවමට නගා ඇති ආකාරය.

මහ රහතන් වහන්සේව තෙල් කටාරමකට දැමීම

 කැළණිතිස්ස රජ සමයේ මුහුද ගොඩ ගැලීම


2004 සුනාමි ව්‍යසනයේදී නිරුපද්‍රිතව වැඩ සිටින බුදු පිළිම වහන්සේ නමක්

[ 26 - Dec - 2014 ]

Friday, October 31, 2014

රෝදය

.
දේදුන්නේ පාට හතයි
හතේ සිකුරු මනමාලයි
මනමාලිගෙ සිරියාවයි
සිරියාවේ ගිනි ඇවිලෙයි

සකිය සගව්වට රෝදය කැරකෙනවෝ !!!
හොක්කි හොක්කි හූඌඌඌඌ
 
 
 

[ 31 - Oct - 2014 ]

Tuesday, April 8, 2014

මාර්ක් සකර්බර්ග්ට තෙරුවණ් සරණයි




මාර්තු මස 21 වැනිදාට යෙදුනු ලෝක කවි දිනයට සමගාමීව,සිහල කවි සංගමයේ සහ කෝකිල හඬ පුවත්පතෙහි පූර්ණ අනුග්‍රහය ඇතිව මුහුණුපොතෙහි සඳැස් කවි තරඟයක් පැවැත්වුණා. මුහුණු පොතේ නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් මැතිතුමාට තිසරණ සරණ පතමින් මමත් පුංචි කවි පන්තියක් ඉදිරිපත් කළා.


මෙත් සිත පතුරා සියලු සතුන්.............වෙත
අත් හැර සක්විති මහ රජ ...........,....සම්පත
මර සෙන් පරදා ලැබුවේ බුදු.......... ...නෙත
නමදිමු මුනිඳුන් පහදා බැති..................සිත

සසර කතර ගණඳුර.................. දුරලන්නට
තම නැණ පමණින් පිහිටට............ගන්නට
දෙසුව මුනිඳු දෙව් බඹ මිනිසුන්.............හට
අවසර සිරි සදහම්.....................නමදින්නට

මුනිඳුන් පෑ පිළිවෙත්..................,පුරමින්නේ
සිල් සමාධි ගුණයෙන්,,,,,,,,,,,,,,,,,,දිදුලන්නේ
සිවු දිග මුනි බණ පද...................පතුරන්නේ
තෙවනුව මහ සඟ ගණ...............නමදින්නේ

පෙර කල ලියවුණු පුස් කොළ...........මතුපිට
රස ගුණ අරුතින් පිරි හෙළ..............කවියට
මෙවන් අරුම තැන් සාදා..................දුන්නට
තෙරුවණ් සරණයි සකර්බර්ග්................හට




[ 08 - Apr - 2014 ]

Monday, March 24, 2014

හේතු ඵල දහම - මට තේරෙන හැටියට

මූණු පොතේ සමූහයක මුස්ලිම් නමක් තියෙන කෙනෙක් ප්‍රශ්නයක් අහල තිබ්බා හේතුඵල දහම කියන්නේ මොකක්ද කියලා. ඒ ප්‍රශ්නෙට මගේ අවබෝධයේ හැටියට දීපු උත්තරේ බ්ලොග් එකටත් දාන්න හිතුනා. 

 --------------------------------------------------------------------------------------------------------------

හේතු ඵල දහම හෙවත් පටිච්ච සමුප්පාදය කියන්නෙ බුදුදහමේ තියෙන මූලිකම දෙයක්. බුදු දහමේ හැටියට මේ විශ්වයේ තියෙන එක් දෙයක් හැර අනිත් සියලුම දේ හේතු ප්‍රත්‍ය ඇසුරින් හට ගන්නෙ. මෙතනදී හැම දෙයටම ප්‍රධාන හේතුවක් සහ අතුරු හේතු තියෙනවා. උදාහරණයක් විදිහට අඹ ඇටයක් පැල වීමේදී ප්‍රධාන හේතුව අඹ ඇටය කියල ගන්න පුලුවන්. අතුරු හේතු විදිහට ඒකට අවශ්‍ය හිරු එළිය, පොහොර වගේ අනිත් හේතූන් ගන්න පුලුවනි.යම් දෙයක් ඇති වීමේ ප්‍රධාන හේතු හොයා ඉවත් කළොත් ඒ දේ නැවත ඇති වෙන්නේ නෑ.  

බෞද්ධයන් වන අපගේ අරමුණ තමයි සසර දුක නැති කිරීම හෙවත් නිර්වාණ අවබෝධය. ( නිර්වාණය කියන්නේ දිව්‍ය ලෝකය වගේ තැනක් නෙවෙයි ). දුක් නැති කරන්නනම් ඒ දුක් වලට හේතු අපි තේරුම් ගන්න ඕනෙ.  

දුක් කියන්නේ මොනවද කියල බුදු හාමුදුරුවො විස්තර කරන්නෙ මෙහෙමයි. ඉපදීම, වයසට යාම(ජරාවට පත් වීම ) , ලෙඩ වීම, මරණය, කැමති පුද්ගලයන් හා කැමති වස්තූන්ගෙන් වෙන්වීම, අකමැති පුද්ගලයන් හා වස්තූන් සමඟ එක් වීම, කැමති දේ නොලැබීම. ඔන්න ඔය කාරණා තමයි දුක් හැටියට දක්වල තියෙන්නෙ. අපි අපේ ජීවිත අත්දැකීම් එක්ක බැලුවොත් අපිට විඳින්න වෙන හැම දුකක්ම ඔය කරුණු වලින් එකකට අයිතියි.  

ඔය දුක් සහිත දේවල් අපි හැම දෙනාටම දකින්න, විඳින්න සිද්ධ වෙන නිසා ඒවා දුක් කියල තේරුම් ගැනීමේ ගැනීම පහසුයි. ඊලඟට අපි බලමු මේ දුක් වලට හේතුව. දුක් වලට ප්‍රධාන හේතුව තමා ඉපදීම. ඉපදීමක් සිද්ධ වුණේ නැත්තන් ඔය දුක් සහිත දේවල් වලට මුහුණපාන්න වෙන්නෙ නෑ. ඊලඟට තවත් අඩියක් යටට ගිහින් බලනවා ඉපදීමට හේතුව මොකක්ද කියලා. ඔහොම ඔහොම ගැඹුරට හේතු සහ ඒ හේතු වල ඵල දක්වන ධර්මය තමයි හේතුපල දහම කියන්නෙ. 

හේතු ඵල දහම තේරුම් ගන්න ගොඩක් අමාරු එකක් (මේක හරියටම තේරුම් ගත්ත කෙනා නිර්වාණය අවබෝධ කර ගන්නවා ). හේතු ඵල දහම විස්තර වෙන සූත්‍ර සිය ගණණක් තිබෙනවා. එක් එක් පුද්ගලයන්ගේ තේරුම් ගැනීමේ හැකියාවන් අනුව එක් එක් අවස්ථා වල දේශනා කරපුවා. සමහර තැන් වල අර මම කිවුවා වගේ මතු පිටින් අපිට පෙනෙන ඉපදීම, වයසට යාම, ලෙඩ වීම වගේ දුක් සහිත දේවල් වලින් පටන් අරගෙන ගැඹුරට විස්තර කරනවා. තවත් තැන්වල ගැඹුරින් පටන් අරන් මතුපිට දක්වා විස්තර කරනවා. තවත් සමහර තැන් වල මැදින් පටන් අරන් දෙපැත්තට විස්තර කරගෙන යනවා.  

හේතු පල දහම විස්තර කරන එක ආකාරයක් තමයි මේ 

අවිජ්ජා පච්චයා සංඛාරා - අවිද්‍යාව නිසා සංස්කාර හට ගනී  
සංඛාර පච්චයා විඤ්ඤාණං - සංස්කාර නිසා විඤ්ඤාණය ඇතිවේ.  
විඤ්ඤාණ පච්චයා නාමරූපං - විඤ්ඤාණය නිසා නාම රූප හටගනී.  
නාම රූප පච්චයා සලායතන - නාම රූප නිසා ආයතන හය හට ගනී  
සලායතන පච්චයා ඵස්ස - ආයතන හය නිසා ස්පර්ශය හට ගනී  
ඵස්ස පච්චයා වේදනා - ස්පර්ශය නිසා විඳීම හටගනී  
වේදනා පච්චයා තණ්හා - විඳීම නිසා තණ්හාව හට ගනී  
තණ්හා පච්චයා උපාදාන -තණ්හාව නිසා උපාදාන (බැඳීම) හට ගනී  
උපාදාන පච්චයා භවෝ - බැඳීම නිසා භවය හටගනී  
භව පච්චයා ජාතී - භවය නිසා ඉපදීම ඇතිවේ 
ජාති පච්චයා ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්සං - ඉපදීම නිසා ජරාව, මරණය සෝක වැළපීම් දුක් දොම්නස් සෝ සුසුම් ඇති වන බව පටිච්චසමුප්පාද ධර්මතාවයයි.  

කෙනෙකුට ඇති වෙන්න පුලුවන් තව ප්‍රශ්නයක් තමයි අවිද්‍යාවට හේතුව මොකක්ද කියලා. හැබැයි ඇත්තටම මේවා එකක් අනෙක මත පවතින දේවල්. ඒ කියන්නෙ අවිද්‍යාව නිසා සංස්කාර පවතිනවා වගේම සංස්කාර නිසා අවිද්‍යාව පවතිනවා. ඒක උපමාවකින් පැහැදිළි කරනවනම් මෙහෙමයි. හිතන්න දර කෝටු මිටි 2ක් V අකුර අනිත් පැත්ත හරවල වගේ එකිනෙකට හේත්තු කරලා තියෙනවා. ඒ එක් එක් දර කෝටු මිටිය අනිත් දර කෝටු මිටියට හේත්හු වෙලා නිසයි කෙලින් තියෙන්නෙ. හේතු පල දහමේ එක් එක් කොටස් අතර සම්බන්ධතාවයත් ඒ වගේ.   

තෙරුවණ් සරණයි !!!

----------------------------------------------------------------
//
බුදු දහමේ හැටියට මේ විශ්වයේ තියෙන එක් දෙයක් හැර අනිත් සියලුම දේ හේතු ප්‍රත්‍ය ඇසුරින් හට ගන්නෙ// මේ කොටස ගැන පොඩ්ඩි අහල තිබ්බා කොමෙන්ටුවක. සබ්බේ සංඛාරා අනිච්චා
සබ්බේ සංඛාරා දුක්ඛා
සබ්බේ ධම්මා අනත්තා


මේ දැක්වෙන්නේ බුදුදහමේ මූලික සංකල්පයක් වන ත්‍රිලක්ෂණය. එනම් අනිත්‍ය, දුක්ඛ හා අනාත්ම ස්වභාවය.

සංස්කාර කියන වචනයට විවිධ තේරුම් තියෙනවා. මෙතනදී සංස්කාර ධර්ම ලෙස අදහස් වන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හට ගන්නා සියළුම දේ. ඒ දේවල් වලට පොදු ලක්ෂණ තමයි

1. හට ගැනීමක් තිබීම

2. වෙනස් වෙමින් පැවතීමක් තිබීම
3. නැති වීමක් තිබීම

සංස්කාර ධර්ම වල මේ ස්වභාවය හඳුන්වන්න උප්පාද, තිථි, භංග කියන වචන භාවිතා වෙනවා . එවැනි සංස්කාර ධර්ම සියල්ලම අනිත්‍ය සහ දුක් සහිත දේ ලෙස හඳුන්වනවා


නිර්වාණය සංස්කාර ධර්මයක් නෙවෙයි. එහි හේතු ප්‍රත්‍ය වලින් හටගැනීමේ ,පැවත්මේ හෝ නැති වීමේ ස්වභාවයක් නෑ. එම නිසා නිර්වාණයේ අනිත්‍ය සහ දුක්ඛ ලක්ෂණ නැහැ. නමුත් නිර්වාණයත් අනාත්මයි. එහිත් මමය මාගේය කියා ගත හැකි ස්වභාවයක් නෑ.

ඒ නිසා සබ්බේ සංඛාරා අනිච්චා, දුක්ඛා කියා සියලු සංස්කාර ධර්ම වල අනිත්‍ය සහ දුක්ඛ ස්වභාවය කියනවා. අනාත්ම ලක්ෂණයට නිර්වාණයද ඇතුලත් කර සබ්බේ ධම්මා අනත්තා කියනවා.


[ 24 - Mar - 2014 ]

Friday, March 14, 2014

උස් තැන් දැක හැකිලෙන්නේ ...

.

උස් තැන් දැක හැකිලෙන්නේ


මිටි තැන් දැක පුප්පන්නේ


පූසන් බව සිතමින්නේ


පුංචි බබා හිනැහෙන්නේ

[ 14 - Mar - 2014 ]

Monday, February 17, 2014

පූස් නගරාධිපති

.
දන්නවද ? ඇමරිකාවෙ එක්තරා නගරයක නගරාධිපති මිනිහෙක් නෙවෙයි පූසෙක්.

ඇලස්කාවෙ Talkeetna කියන නගරයේ තමයි මේ අපූරු පූස් නගරාධිපති තුමා ඉන්නෙ.  Stubbs යන නමින් හැඳින්වෙන මේ අපූරු පූස් නගරාධිපතිතුමා 1997 වසරේ සිට මේ දක්වාම (2014) අඛණ්ඩව Talkeetna නගරයේ නගරාධිපති ධුරය හොබවනවා.

දේශපාලකයෙක්ව නගරාධිපති තනතුරට පත් කර ගත්තට වැඩක් නෑ කියල හිතපු නගර වැසියො එකතු වෙලා Stubbs කියන නැට්ටක් නැති පූසව  නගරාධිපති තනතුරට පත් කර ගත්තලු. 


මේ ඉන්නෙ නැට්ට නැති නගරාධිපති

මේක විහිලුවට වගේ කරපු දෙයක් වුණත් මේ ගැන ආරංචිය පැතිරුණාම මේ අපූරු නගරාධිපතිවරයාව බලන්න සංචාරකයො වැල නොකැඩී එන්න පටන් ගත්තලු. ඒකෙන් සංචාරක කර්මාන්තය දියුණු වෙලා නගරය දියුණු වෙන්න පටන් ගත්තලු. ඉතින් නගර වැසියන්ටත් සතුටුයිලු.  ඉතින් නගර වැසියො තීරණය කළාලු Stubbs ව යාවජීව නගරාධිපති හැටියට දිගටම තියා ගන්න.


 නගරාධිපති තැන්පත් ස්ටබ්ස් මැතිතුමා

මේ නගරාධිපතිතුමාට එච්චර බරපතල වැඩ රාජකාරි පැවරිලා නෑ. සංචාරකයන් ඉදිරියේ පෙනී සිටල පුරු පුරු ගාන එකයි නගරෙ තියෙන වෙළඳසැල් වලට ගිහින් ඒවයින් දෙන භෝජන සංග්‍රහ භුක්ති විඳින  එකයි තමයි නගරාධිපතිතුමට අයිති ප්‍රධානම සෙරමෝනියල් රාජකාරි. ඊට අමතරව  වාර්ෂික අයවැය ලේඛනය වගේ වැදගත් ලියකියවිලි වලට මඩ ගෑවුණු බළල් අඩි සළකුණක් තියලා ඒවා අනුමත කරන එකත් නගරාධිපතිතුමාගෙ රාජකාරියක්.


සංචාරකයෙක් නගරාධිපති තුමාව කුචි කුචි කරන අවස්ථාවක්


නගරාධිපතිතුමාට පොඩ්ඩක් විතර තරහ ගිහින්

අපේ නගරාධිපති තුමාට පහුගිය දවස් වල පොඩි අකරතැබ්බයකටත් මුහුණ දෙන්න වුණා. එතුමාගේ ආරක්ෂාවට හිටපු බ්ලැක් කැට් කොමාන්ඩෝස්ලගෙ සුලු අතපසුවීමකින් ප්‍රයෝජන ගත්ත මැර බවුවෙක් එතුමාව හපා කාලා. කොහොම වුණත් මේ වෙනකොට නගරාධිපතිතුමා සුවපත් වෙලා හොඳ සෞඛ‍ය තත්වයෙන් ඉන්නවලු.

නගරාධිපතිතුමාට එල්ල වූ අමානුෂික ප්‍රහාරය ගැන CNN ප්‍රවෘත්ති සේවය ගෙන ආ Breaking News එකක් මේ. [ http://edition.cnn.com/2013/09/04/us/alaska-cat-mayor-attacked/ ]


Breaking News by CNN

නගරාධිපති තැන්පත් ස්ටබ්ස් මැතිතුමාට චිරාත් කාලයක් යෙහෙන් වැජඹී දශරාජ ධර්මයෙන් නගරය පාලනය කිරීමට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පය මෙයින් අවසන් කරනවා. අසා සිටි ඔබ සැමට ස්තූතියි. 

අපේ ස්ටබ්ස් මැතිතුමාට ජයශ්‍රී !!!
ඤාව් ඤාව් ඤාව් ඤාවෝ !!! 

ප.ලි
====


** ලංකාවෙ ජනාධිපති විදිහට පූසෙක්ව පත් කර ගත්තනම් අපේ රටත් බලාගෙන ඉන්දෙද්දිම දියුණු වෙයි.



[ 17 - Feb - 2014 ]

Tuesday, January 21, 2014

බස්නාහිරින් පායන හිරු

.

නැගෙතත් අවර ගිරගින් දිනකර...............මඬල
සැලෙතත් සුනෙර පවනින් සෙදෙතත්....... අනල
පිපෙතත් ගිරි මුදුන් සෙල් වල..............පියුමුපුල
බොරු නැත්තේමය මහතුන් පැවසූ.........තෙපුල

සුභාෂිතයේ එන ඔය කවියෙන් කියවෙන්නෙ බස්නාහිරෙන් ඉර පෑව්වත් මහත්තුරු බොරු කියන්නෙ නෑ කියල. හැබැයි නෝනලනම් හරීඊයට බොරු කියනවා.

දේශපාලනයට ඕනෙ කරන මූලික සුදුසුකමක් තමයි බොරු කියන එක. හිරුණිකා නෝනා කෙනෙක් හින්දා එයාට ඒ සුදුසුකම හොඳටම තියෙනවා.

 හිරුණිකාට ජය වේවා !!!

ප.ලි
====
1 . මේක අනාවැකියක්. හිරුණිකා කවද හරි ලංකාවෙ ජනාධිපති වෙනවා.  
හැබැයි ඒ වෙන්නෙ මෙයින් අවුරුදු 38කින් පස්සෙ නැගෙනහිර පළාතෙන් බිහි වෙලා දැහැමෙන් සෙමෙන් , දශරාජධර්මයෙන් රට පාලනය කරන්න නියමිත මහා පුරුෂයාගේ පාලන කාලයට කලින්.  මෙන්න ඒ මහා පුරුෂයා ගැන අනාවැකිය.

2. ඔය "නැගෙතත් අවර ගිරගින්..." කියන කවිය මගේ බ්ලොග් එකේ පල කරපු දෙවෙනි වතාව මේ. පළවෙනි වතාවත් අනාවැකියක් ගැන.

[ 21 - Jan - 2014 ]

Saturday, January 18, 2014

කන කැස්බෑවා

මේ කියන්න යන්නෙ පහුගිය කාලෙ ආන්දෝලනයට ලක්වෙච්ච සුදු කැස්බෑවා ගැන නෙවෙයි. මේ ලිපිය ඇවිල්ලා කන කැස්බෑවො ගැන. කන කැස්බෑවො කිවුවෙ අර හොරෙන් හොරෙන් මසට මරන් කන කැස්බෑවො ගැන නෙවෙයි. අර විය සිදුරෙන් අහස බලන කණ කැස්බෑවා ගැනත් නෙවෙයි. ( ඒ කැස්බෑවට තියෙන්නෙ මුර්දජ "ණ" යන්නක් නෙ  ). මේ ඇවිල්ලා හපා කන කැස්බෑවො වර්ගයක් ගැන.

ලෝකෙ ඉන්න භයානකම කැස්බෑවො වර්ගයක් තමයි කිඹුල් කැස්බෑවා (Alligator snapping turtle) . මෙයාගෙ භයානක කම වචනෙන් විස්තර කරනවට වඩා පින්තූරයකින් පෙන්නන එක ලේසියි. මේ ඉන්නෙ සතා.


පේනව නේද යක්ෂ පෙනුම. මේ කැස්බෑවගෙ සපාකෑම සත්ව ලෝකයේ ප්‍රබලම සපාකෑම් වලින් එකක්ලු.  මිනිහෙක්ගෙ ඇටකටු කුඩු වෙන්න හපාකන්න පුලුවන්ලු මෙයාට.


 හපා කන්නම ඕනෙ නෑ. කොහොමද මෙයින් එක්කෙනෙක්ව පෑගුණොත් ? පේනව නේද පිටේ තියෙන උල් උල්.


පේනව නේද කටේ ලොකු ?


භයංකාර නියපොතු


පැටිය කාලෙනම් චූටිම චූටියි
හරි හුරතල්
චූටි නැස්ටකුත් Have


ලොකු වෙද්දි සද්ධන්ත වෙනවා


ශුඩු ඛිඹුල් කැෂ්භෑවොත් ඉන්නෝ

මෙයාල ජීවත් වෙන්නෙ මුහුදෙ නෙවෙයි. මෙයාල ඇවිල්ලා මිරිදිය කැස්බෑවො වර්ගයක්. වාසනාවකට වගේ ලංකාවෙ මේ වර්ගෙ කැස්බෑවො නෑ. හැබැයි දකුණු ඇමරිකාවෙ සංචාරයක යනවනම් මිරිදිය ජලාශ වලට, දියපාරවල් වලට එහෙම බහින්නෙ පරිස්සමින්.

මෙයාලගෙ තව පින්තූර බලන්න ඕනෙනම් "Alligator snapping turtle" කියල  Google Image Search එකක් කරන්න Youtube වල මෙයාල හපා කන හැටි පෙන්නන වීඩියෝත් තියෙනෝ.

ප.ලි.
===

සිංගප්පූරුව පැත්තෙ යනවනම් බලන්න Chinese Garden එකේ කැස්බෑ එකතුවෙ මෙයාලගෙන් එක්කෙනෙක් හිටියා. ( 2011 දි. දැන්නම් ඉන්නවද දන්නෙ නෑ ).

[ 18 - Jan - 2014 ]

Thursday, January 2, 2014

මේ ගෝනා කොයින්දෝ ? - රෝස කැලෙන් ඇහින්දෝ !!!



අහල ඇතිනෙ නත්තල් සීයා නෝටි නැති ළමයින්ට තෑගි බෝග දෙන්න එන්නෙ පිණි මුවෝ 8 දෙනෙක් බැඳපු හිම කරත්තෙක කියල. හැබැයි ඉතින් ඒ හිම තියෙන පිණි මුවෝ ඉන්න රටවල් වල. ලංකාවෙ හිමවත් පිණි මුවෝවත් නැහැනෙ. ඉතින් ලංකාවෙ නත්තල් සීයා තෑගි බෙදන්න යන්නෙ ගෝන්නු 8 දෙනෙක් බැඳපු කරත්තෙකින්ලු. හැබැයි මේ පාර පොඩි අකරතැබ්බයක් වෙලා. පොඩි අතපසුවීමක් හින්දා එයින් එක ගෝනෙක්ව ආපහු එක්ක යන්න බැරි වෙලා.

ඒ අතරමං වෙච්ච ගෝනා අද උදේ අපේ වත්තට ආවා. බොරු නෙවෙයි ඇත්තම ඇත්ත. ඒ ආපු ගෝනා මගේ ඇස් පනාපිටම වගා ලිඳකට වැටුණා. මෙන්න බලන්න පින්තූර.


මේ අහල පහල කොහේවත් ගෝන්නු ජීවත් වෙන බවක් කවුරුත් අහල නෑ. ගෝනෙකුට ජීවත් වෙන්න පුලුවන් තරම් ලොකු කැලෑවකුත් ලඟපාතක නෑ. ඉතින් ඇත්තටම හිතා ගන්න බෑ මේ ගෝනා කොහෙන්ද ආවෙ කියල. උන්හිටි ගමන් ගහෙන් ගෙඩි එන්නා වගේ කඩා පාත් වෙලා ජබොක් ගාලා ලිඳට වැටුනම හිතා ගන්න බැරි වුණා මේ මොකෙක්ද කියල. මුලින්ම හිතුවෙ හරකෙක් කියල. ඒත් බලනකොට මුවෙක්ගෙ වගේ ඔලුව. ඒත් මුවෙක්ගෙ වගේ නෙවෙයි පාට. මුවෙක්නම් ඉතින් තිත් තිත් තිත් තියෙන්න එපැයි. අනික මෙයා සෑහෙන සද්ධන්තයි.


ඇත්තටම මෙයා ගෝන අම්ම කෙනෙක්. බඩේ බබෙකුත් ඉන්න එක්කෙනෙක්. මේ වගා ලිඳ එච්චර ගැඹුරු නැති වුණාට මෙයාට තුවාල වෙලා තිබ්බ හින්දයි බඩේ ඉන්න බබා හින්දයි වෙන්න ඇති මෙයාට උත්සාහ කළාට මේකෙන් ගොඩ එන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ.

ඉතින් අපි ඉක්මනින්ම පොලීසියටයි ,වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවටයි, පශුවෛද්‍ය කාර්යාලයටයි දුරකතන පණිවිඩ දුන්නා. ටෙලිෆෝන් එකෙන් කිවුවට පොලීසියෙ අය මුලින්ම විශ්වාස කලෙත් නෑ ගෝනෙක් වැටිල ඉන්නව කියල. මොකද මේ අහල පහල ගෝන්නු නැති නිසා. ඒ නිසා තාත්තට පොලීසියට ගිහින්ම පොලිස් අංකල් කෙනෙක්ව එක්ක එන්න වුණා.

ඔය අතරෙදි ගෝනෙක් ඇවිත් කියන ආරංචිය පැතිරිලා එයාව බලන්න කට්ටිය එක් රොක් වෙන්න පටන් ගත්තා. ඒ ආපු  සමහර අය එක එක ක්‍රම යොදල ගෝන අම්මව ගොඩට ගන්න උත්සාහ කළා . ඒකෙන් ගෝන අම්මා හොඳටම බය වුණා. හොඳ වෙලාවට ග්‍රාමනිලධාරිතුමා ඉක්මනින්ම එතනට ඇවිත් පොලීසියෙන් එනතුරු එක් රොක් වෙච්ච සෙනඟ පාලනය කර ගත්තා. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් උපදෙස් ලැබුනේ ඒ අය එනතුරු මොකුත් කරන්න උත්සාහ කරන්න එපා කියන එකයි. ගෝන අම්මව කලබල නොකර ඒ ඉන්න විදිහටම ඉන්න දෙන්න කියල ඒ අය කිවුවා.




පොලීසියෙන් ඇවිත් මිනිස්සුන්ට එන්න බැරි වෙන්න ලණු වලින් අදාල ප්‍රදේශය වට කරලා වනජීවී සංරක්ශන දෙපාර්තමේන්තුවෙ අය එනතුරු ගෝන අම්මගෙ ආරක්ෂාව තහවුරු කළා. 

අපිට කිට්ටුම වනජීවී සංරක්ෂණ කාර්යාලය තියෙන්නෙ කිලෝමීටර් 50කටත් එහා රන්දෙණිගල. එහේ ඉඳන් වනජීවී නිලධාරීන්ට එන්න තවත් පැය 2ක් විතර ගත වුණා. 

මෙන්න ඒ අය ඇවිත් ගෝන අම්මව ගොඩ ගන්න උත්සාහ කරන ආකාරය.





සෑහෙන පරිශ්‍රමයකින් පස්සෙ ගෝන අම්මව ගොඩට ගත්තා. මුලින්ම ලිඳේ ඉද්දිම බෙල්ලට කඹයක් දාලා එයාගෙ ඉස්සරහ කකුල් 2 කඹේකින් එකට ගැටගැහුවා. ඊට පස්සෙ ගොඩට ඇදල ගන්න අතරතුරේ පිටිපස්සෙ කකුල් දෙකත් එකට ගැටගැහුවා. ඊට පස්සෙ කකුල් 4ම එකට එකතු වෙන්න තව පාරක් ගැටගැහුවා. මේ දේවල් කරද්දි ගෝන අම්මා මරබයේ ලතෝනි දුන්නා. 

ඊට පස්සෙ ඉනිමඟක් මැස්සක් වගේ හදල ඒක උඩ පටවල ගෝන අම්මව වනජීවී අයගෙ වාහනේට උස්සගෙන ගියා. මේ තියෙන්නෙ එ අරගෙන යන විදිහ.




ගෝන අම්මව බලන්න සෑහෙන පිරිසක් එක් රොක්වෙලා හිටියා. ඉස්කෝලෙ ළමයි ගුරුවරුත් එක්ක ඇවිත් හිටියා. සමහර මුදලාලිලා කඩවල් එහෙමත් වහල දාලා ගෝන අම්මව බලන්න ආවා.




මේ ඉන්නෙ එක් රොක් වූ දහස් සංඛ්‍යාත ජනකායෙන් කොටසක්

ගෝන අම්මව එක්කන් ගිහින් තුවාල වලට බෙහෙත් කරලා බබාව හම්බ වුණාට පස්සෙ කැලේට යවයි. සමහර විට නත්තල් සීයටම ආයෙ බාර දෙයිද දන්නෙත් නෑ.

සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන 
========================










[ 02 - Jan - 2014 ]