මකර අධිරාජයා ඊයෙ හදිස්සියේම අපායට ගියා. ඒ එක්දින නිල සංචාරයක් සඳහා. ඒ වෙද්දි අපාය හොඳටම ගිනියම් වෙලා. ඒ ලෝදිය හින්දානම් නෙවෙයි , අපායටත් මැතිවරණ උණුසුම. වර්තමාන යම රජතුමා දැන් විශ්‍රාම යන වයසත් පහු කරලා හින්දා , අලුතින් යම රජතුමෙක් පත් කර ගන්නවද , එහෙමත් නැත්තන් ඉදිරි වසර 6 සඳහාත් වර්තමාන යම රජතුමාවම තියා ගන්නවාද කියලා තීරණය කරන යමමත විචාරණයකට අපායෙ යමවරණ කොමසාරිස්තුමා විසින් ඒ වෙනකොට දින නියම කරලා.
මේ යම රාජ පදවියේ සුවිශේෂත්වය තමයි යම රජතුමාට අධිකරණ හා විධායක යන බලතල දෙකම ලැබීම. අපායේ ව්‍යවස්ථාදායකයක් නෑ. අදිසි(පාතාල) යම නීතිය යටතේ පාලනය වෙන අපායෙ ව්‍යවස්ථාදායකයක් තිබිලා වැඩකුත් නෑ. අපායට මොන නියෝජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදයද ?
ඉතින් තමන්ගෙ නිල රාජ්‍යතාන්ත්‍රික කටයුතු ඉක්මනින් ඉවර කරපු මකර අධිරාජයා වර්තමාන යමරජතුමාගේ ආරාධනයෙන් යමමත විචාරණ නිරීක්ෂණ චාරිකාවකටත් එකතු වුණා.
ඒ චාරිකාවෙදි අපිට දැකගන්න ලැබුණු දෙයක් තමයි යමපල්ලන් අති බහුතරයක් තමන්ගේ වර්තමාන යමරජතුමාට ඉතාම ආදරය කරන බව. වර්තමාන යමරජතුමාට තවදුරටත් යමරාජ පදවියේ කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමින් ඔවුන් විසින් ප්‍රදර්ශනය කර තිබුණු බැනර්, කටවුට් හා පෝස්ටර් වලින් උපුටාගත් සංවේදී ආකර්ෂණීය වැකි කීපයක් මේ.
* අපායට සුභ අනාගතයක් ! - ආයුබෝ වේවා යම රජාණෙනි !
* අපාය පෙරට ! - අපි යම රජුට !
* අපායට නවෝදයක් ! - යමපල්ලන්ට හෙටක් !
* අපා වසන්තය ගෙන ආ යම රජාණෙනි - යම පැටවුන්ගේ අපේක්ෂාව ඔබයි !
ඒ අතරෙ තවත් යමපල්ලො කොටසක් වර්තමාන යමරජතුමාගේ සේවා කාලය තවදුරටත් දීර්ඝ කරනවාට තදින්ම විරුද්ධත්වය දක්වන බව පෙනුනා. ඒ අය කියන්නෙ අපායට යමරාජ පදවියක් කියා එකක් සුදුසු නැති බවයි. ඔවුන් ඉල්ලා සිටිනේ ඒකයමරාජ පදවිය අහෝසි කරලා යමයන් 225 දෙනෙකුගෙන් සමන්විත යමව්‍යවස්ථාදායකයකට බලය පවරන ක්‍රමයක් අපායේ ඇති කළ යුතුයි කියලයි. වර්තමාන යමරජුට විපක්ෂ යමපල්ලන් යමබළකාය නමින් සංවිධානයකුත් පිහිටුවාගෙන තිබ්බා.
කොහොම නමුත් යමරාජපාක්ෂිකයන්ගේ අදහසනම් යමරාජ පදවිය අහෝසි කරලා යමව්‍යවස්ථාදායකයකට බලය පවරන ක්‍රමයක් ඇති කළොත් අපාය දිව්‍යලෝකයක් වීමේ අනතුරක් පවතින බවයි. වර්තමාන තත්වයන් යටතේ ඉල්ලුමට අනුව දඬුවම් සැපයීමට තරම් හැකියාවක් අපායට නැති බවත් මනුෂ්‍ය ලෝකයට දියුණුවට ගැළපෙන පරිදි අපාය අමු අපායක තත්වයට දියුණු කිරීමටනම් අත්දැකීම් බහුල වර්තමාන යමරජතුමා තව අවුරුදු 20ක් වත් යමරාජ පදවියේ සිටිය යුතු බවත් යමරාජපාක්ෂිකයන්ගේ අදහසයි. එහෙම තිබියදී යමරාජ පදවිය අහෝසි කරන ලෙස ඉල්ලා සිටින යමබළකායේ සිටින්නේ දිව්‍යලෝකයත් සමඟ එකතු වී කුමන්ත්‍රණ කරන කෙළෙහිගුණනැති යමපල්ලන් පිරිසක් කියලත් යමරාජපාක්ෂිකයන් චෝදනා කරනවා. ( මේ ගැන මකර අධිරාජයාගේ අදහස වුනේනම්, මොන ක්‍රමය ක්‍රමය යටතේ වුණත් බලයට පත්වෙන්නේ යමයෙක්නම් අපාය දිව්‍යලෝකයක් වීම වැනි විප්ලවයක් සිදුවිය නොහැකි බවයි )
කොහොම නමුත් අපායෙ අදහස් පළ කිරීමෙ නිදහස උපරිමයි. ඒක නිසා යමබළකායෙ පෝස්ටර් වලටත් අතරින් පතර අහුමුළුවල ඉඩකඩ ලැබිලා තිබ්බා. හැබැයි යම බළකායේ පෝස්ටර් එතරම් සංවේදී සහ ආකර්ෂණීය බවක්නම් පෙනුනේ නැහැ. ඒවායේ සඳහන් වුනේ මෙවැනි අදහස් .
* විශ්වාසනීය වෙනසක් සමඟ අපායට යහපාලනයක්.
* යළි පුබුදමු අපාය.
* යමරාජ පදවිය මාස 6කින් අහෝසි කරනු.
* යමරාජ පවුල ගෙදර යවමු.
* යමරජ කටු ඉඹුලටත් කෙළියා නේද?
යමමතවරණ නිරීක්ෂණ චාරිකාව සාර්ථකව අවසන් කරපු මකර අධිරාජායා අපායට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරලා ආපහු මකර රජදහනට පියාඹගෙන ආවා.
- මකර අධිරාජයාගේ සමඟ අපායේ කළ නිලසංචාරයේ අත්දැකීම් ඇසුරින් මහේෂ් විජේසේකරගේ මාධ්‍ය දායකත්වයෙන් සම්පාදිතයි -
[ 22 - Mar - 2010 ]