Saturday, July 18, 2009

බලය බෙදා හැරීම


මේ දවස් වල 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ට අදාළ බලය බෙදීම ගැන ගොඩාක් කතා වෙනවනෙ. 13 කියන්නෙ අශුභ අංකයක් හින්දා ඒක 13+ කරන්න යනවා කියලා කතාවකුත් තියෙනවා. ඉතින් ඔය බලය බෙදීම ගැන සිදුවන කතාබහ හින්දා මට පරණ සිද්ධියක් මතක් වුනා.

අපේ ඉංජිනේරු උපාධිය සම්පූර්ණ කිරීමේ සුදුසුකමක් විදිහට තාක්ෂණික විෂයයන්ට අමතරව වෙනත් පොදු විෂයයන් (General Electives) Credits 15 කට ඉගෙන ගන්න ඕනෙ. (1 Credit = 15 Lecture Hours). කළමනාකරණය, සමාජ විද්‍යාව, දේශපාලනය , සංගීතය, චිත්‍ර හා මූර්තිකරණය වගේ දේවල් තමයි Generel Electives වලට අයිති. හැබැයි මේ විෂයයන් සමත් වීම පමණයි අවශ්‍ය. මේවා GPA ( Z-Score වගේ එකක් ) ගණනය කරන්න පාවිච්චි කරන්නෙ නැහැ. ඒක නිසා ගොඩක් දෙනා මේ විෂයයන් වලට A, A+ එහෙම ගන්න උත්සාහ කරන්නෙ නැහැ. C, C+ වගේ එකක් අරගෙන යන්තම් සමත් වෙන ගානට තමයි මහන්සි වෙන්නෙ.

අපි ඉගෙන ගත්ත එක විෂයයක් "ශ්‍රී ලංකාවේ දේශපාලනය" (Poitical Issues in Sri Lanka) . ඒකෙ ප්‍රධාන වශයෙන් තිබ්බෙ ශ්‍රී ලංකාවෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, මැතිවරණ ක්‍රමය, සහ දේශපාලන ගැටළු ගැන.

අපි ඔය විෂය ඉගෙන ගත්තෙ 2005 ජනාධිපතිවරණය කැඳවලා තිබුණු කාලෙ. ඉතින් ලෙක්චර්ස් වලදි එකම ගාලගෝට්ටියක්. වාද විවාද ගොඩායි. හැබැයි හරිම විනෝදජනකයි. මැතිවරණ උණුසුම අස්සෙනෙ ඉගෙන ගන්නෙ.

ඔයින් මෙයින් ඒ Subject එකේ Exam එකත් ආවා. අපේ එක යාළුවෙක් ඒ විෂයට ලියාපදිංචි වෙලා තිබුණත් එකම ලෙක්චර් එකකටවත් ඇවිත් නැහැ. විභාගෙ කාලසටහන ගැන දැනගෙන ඉඳලත් නැහැ . ඉතින් අන්තිම මොහොතේ විනාඩි 5 ක විතර ක්ෂණික පුනරීක්ෂණයක් කරගෙන තමයි විභාගෙට ගියේ. ඉතින් අපේ යාලුවාට විභාගයට ගියාට මේ විෂය කළුද සුදුද කියලවත් අදහසක් තිබිලා නැහැ.

විභාගෙට අහලා තිබුණු එක ප්‍රශ්නයක් තමයි "ශ්‍රී ලංකාවේ බලය බෙදා හැරීමේ ව්‍යුහයන් විස්තර කරන්න" (Explain the Structures for devolution of Power in Sri Lanka ) කියන එක. අපේ මේ යාළුවා විදුලි ඉංජිනේරු විෂය ධාරාව හදාරපු කෙනෙක්. ඉතින් එයාට Power කියන වචනෙ දැකපු ගමන් මතක් වෙලා තියෙන්නෙ විදුලි බලය. ඉතින් එයා ලංකාවෙ විදුලි බලාගාර වල පිහිටීම, ඒවායේ ධාරිතා , ඒවා එකිනෙක සම්බන්ධ කරන හැටි , ඉදිරියේදි හදන්න තියෙන බලාගාර වගේ දේවල් ගැන පිටු ගාණක් පුරා ඇට්ටි හැලෙන්න ලියලා.


අපිට ඔය කියන විෂය ඉගැන්නුවෙ කලා පීඨයෙන් ආපු කථිකාචාර්යවරු. අපේ යාළුවාගේ උත්තරය ගැන කලා පීඨයේ රස කර කර කතා වුණාලු. අපේ පීඨයේ කථිකාචාර්ය වරුන්ටත් වටින් ගොඩින් ආරන්චි වෙලා, මාර ලැජ්ජාවක් වුණේ.

කොහොම හරි පවු කියල හිතල වෙන්න අන්තිමට අපේ යාළුවාට C එකක් දීලා තිබුණා.

[ 18 - JULY - 2009 ]



3 comments:

Kasun said...

:D :D

යාළුවෙක් said...

අපට තිබුණ කාර්යක්ෂම කඩඉම් විභාගය කියල රජයේ නිලධාරින්ට එකක් අද. ඒකෙ ඇඩ්මිෂන් ආවෙ සඳුදා. කාටවත් හරියට සූදානම් වෙන්න වෙලාවක් නැති නිසා ඔහේ ලියනව වගේ තමයි ලිව්වෙ. ඕකෙ තියෙනවා මුදල් රෙගුලාසි කියල විෂයක්. ඒ පේපර් එකට බලාගත්තු එකක්වත් ආවෙ නෑ. ඉතිං අපි රෙගුලාසි හදල තමයි ලිව්වේ.

සමහර විට අපි ගැන දුක හිතිල එයාල නිකුත් නොකරපු රෙගුලාසි අංක වලට අපේ උත්තර සමාන කරල අපට ලකුණු දෙයි.

malee_msg said...

හෙහෙහ්.. අර කව්දෝ මන්දා පස් මහ බැළුම් ලිව්වා වගේ වෙන්න ඇති

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D