:: ජනාධිපති සීයා ::
මේ සිද්ධිය වෙලා තියෙන්නෙ මම චූටිම චූටි කාලෙ . ඒ කිවුවෙ 1988 දි . එතකොට මට වයස අවුරුදු 4යි. ඉතින් මේ කියන දේ වුනා කියලා මටනම් මතක නැහැ. හැබැයි අපේ ගෙදර අය මේ කතාව රස කර කර කියනවා සමහර වෙලාවට.
දැන් අපිට ඉන්නෙ රජ මාමා කෙනෙක් වුනාට, ඒ දවස් වල හිටියෙ ජනාධිපති සීයා කෙනෙක්. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාට මම ඒ දවස් වල කියලා තියෙන්නෙ ජනාධිපති සීයා කියලලු. ජනාධිපති සීයට මම ගොඩාක් ආදරෙයිත්ලු. ජනාධිපති සීයට කවුරු හරි මොනව හරි කිවුවොත් මට හොඳටම තරහත් යනවලු. මම කුරුටු බලි ඇඳලා ජනාධිපති සීයට යවපු ලියුමකට ස්තුති කරලා එතුමාගේ අත්සන සහිතව එවපු කාඩ් එකකුත් අපේ ගෙදර තියෙනවා.
ඉතින් එදා අපේ ගෙදර අයට මගෙන් බේරිලා වෙන මොකක් හරි වැඩක් කරගන්න ඕනෙ වෙලා තියෙන්න ඇති , මට සෙල්ලම් කර කර ඉන්න සෙල්ලම් බඩු ටිකකුත් ලඟට දීලා අහ අහා ඉන්න කියලා රේඩියෝ එකත් දාල දීල මාව කාමරේක තියල තිබ්බලු.
මෙන්න ටික වෙලාවකින් මම අඬාගෙන ආවලු එලියට "ජනාධිපති සීයා මැරිලාආආආ... " කියාගෙන. කවුද පුතාට කිවුවෙ කියලා අහපුවම අඬ අඬා කිවුවලු "රේඩියෝ එකේ කිවුවා ,ජනාධිපති සීයා ප්ලේන් එකේ යද්දි බෝම්බ ගහල මැරිලා" කියලා . ඉතින් මම අඬපු ඇඬිල්ලෙ හැටියට ගෙදර අයට හිතිලා තියෙනවා මේකනම් බොරුවක්නම් වෙන්න බෑ කියලා. ඉතින් කට්ටිය කර කර හිටපු වැඩෙත් නවත්තලා රේඩියෝ එක වටේට වට වෙලා මොකද වෙලා තියෙන්නෙ කියලා බලන්න.
බලනකොට කතාව ඇත්තලු. පකිස්ථාන ජනාධිපති ජනරාල් සියා උල් හක් (Zia-Ul-Haq) ගමන් කරපු ගුවන් යානයේ බෝම්බයක් පුපුරලා. රේඩියෝ එකේ ප්‍රවෘත්ති සිරස්තල වලට කියල තියෙන්නෙ "ගුවන් යානා බෝම්බ ප්‍රහාරයකින් ජනාධිපති සියා මරණයට පත් වෙයි" කියලා. ඉතින් මම පොඩි එකාට සෙල්ලම් කර කර ඉන්න අතරෙ ඕක ඇහිලා තියෙන්නෙ ජනාධිපති සීයා කියලා. මම සීයා සීයා කියලා කිවුවට රේඩියෝ එකේ ප්‍රවෘත්ති වලදිත් ජනාධිපති තුමාට ජනාධිපති සීයා කියල කියන්නෙ නැහැයි කියලා මට තේරුමක් තියෙන්නත් නැතුව ඇති .
:: ජනාධිපති සියා ::
කොහොමින් කොහොමින් හරි අන්තිමට, මැරිල තියෙන්නෙ ලංකාවෙ ජනාධිපති සීයා නෙවෙයි වෙන රටක ජනාධිපති සීයා කෙනෙක් කියල කියල තමයි මාව නලවගෙන තියෙන්නෙ .
[ 22 - Sep - 2009 ]
















