Sunday, May 15, 2011

අනාවැකි දෙකක් !!


1. තිලකරත්න ඩිල්ෂාන් එදාමෙදාතුර ලංකාවේ බිහි වෙච්ච සාර්ථකම ක්‍රිකට් නායකයා වෙනවා. ඊලඟ ලෝක කුසලානය දිනන්නෙ ලංකාව.

2.  මහින්ද රාජපක්ෂ ලංකාවේ ජනාධිපතිකම දරන්නෙ තව උපරිම අවුරුදු 3යි. එයින් පස්සෙ පාලනයේ මාරුවක් වෙනවා.

බලමු මේ අනාවැකි දෙක හරි යයිද කියලා.

Disclaimer
=======
අනාවැකි වල නිවරද්‍යතාවය පිළිබඳව වගකියනු නොලැබේ !

[ 15 - May - 2011 ]

Saturday, May 14, 2011

නොගැලපෙන සත්තු ඉවත් කරනු !!



ලෝක කුසලානෙ අන්තිම තරඟෙන් පැරදුනත් ලංකාව ඉන්දියාවට ක්‍රිකට් වලින් දෙවෙනි වෙන්න කැමති නෑ. ( එහෙම නැතුවත් බෑනෙ ආශ්චර්යය සඳහා යන ගමනෙදි ). ඒක හින්දා ඔන්න ඉන්දියාවෙ IPL එකට තරඟයක් විදිහට SLPL කියල එකක් පටන් ගන්න යනවා. 

පළාත් 6කින් කණ්ඩායම් හයක්ලු. ඒ ඒ පළාත් වල කණ්ඩායම් වලට සත්තුන්ගෙ නම් තමයි දාල තියෙන්නෙ. 
  • රුහුණ රයිනෝස් (Ruhuna Rhinos)
  • බස්නාහිර බෙයාර්ස් (Basnahira Bears)
  • කඳුරට කයිට්ස් (Kandurata Kites)
  • ඌව යුනිකෝන්ස් (Uva Unicorns)
  • වයඹ වුල්ව්ස් (Wayamba wolves)
  • උතුර ඔරික්සස් (Uthura Oryxes) 
  • නැගෙනහිර නාගස් (Nagenahira Nagas)

ඔන්න ඔතන පොඩි නොගැලපීමක් තියෙනවා. පළාත් වල නම් සිංහලෙන් කියල සතාගෙ නම ඉංග්‍රීසියෙන් කිවුවම ඒක මොකක්දො මොකක්දො වගේ. ඒක හින්දා ඒ ඒ පළාත් වලට ගැලපෙන විදිහට සත්තුන්ගෙ සිංහල නම් ටිකකුත් දැම්මනම්  මරේ මරු. වැඩේට ගැලපෙන නම් මේ තියෙන්නෙ.
  • කඳුරට කබරගොයිස්
  • නැගෙනහිර නරියෝස්
  • උතුර උලමෝස්
  • රුහුන රිලව්ස්
  • ඌව ඌරෝස්
  • වයඹ වවුලෝස්
  • බස්නාහිර බලු කුක්ස්.
තනි සිංහලෙන් නම් තිබ්බම සුද්දන්ට තේරෙන්නෙ නැහැනෙ . පවුනෙ. ඒක හින්දා එයාලට යාන්තමට තේරෙන්න අන්තිමට එස් අකුරක් විතරක් දාමු. SLPL වල දේශීයත්වය රැක ගනිමු !

මාධ්‍ය දායකත්වය - ලසිත් බෙනරගම



ප:ලි
==
බැන්කි මූන් එක්ක තරහක් තියෙනවනම් බස්නාහිර බකමූන්ස් කියල වුණත් දාන්න පුළුවන්


[ 14 - May - 2011 ]

Sunday, May 8, 2011

මෙන්න තවත් ඡන්ද ප්‍රතිපලයක්

මම කලින් කිවුවනෙ පහුගිය සති දෙකේ සිංගප්පූරුවේ මැතිවරණ උණුසුම ඉහළ ගිහින් තිබ්බ හැටි. ඔන්න ඊයෙ ඒක ඉවරයි . ප්‍රතිපලය ආණ්ඩු පස්සයට මන්ත්‍රීවරු 81 යි විපස්සයට මන්ත්‍රීවරු 6 යි. මෙච්චර ගොඩක් තිබිලත් 1965 න් පස්සෙ බිහි වෙච්ච දුර්වලම ආණ්ඩුවලු. පවූඌඌඌඌ කියල හිතෙනවා නේද ?

රජ්ජුරුවෝ උඩයි උඩයි


මේකත් බලන්න

[ 08 - May - 2011 ]

Sunday, May 1, 2011

සිංගප්පූරුවේ මැතිවරණ උණුසුම


පසුගිය 19 වෙනිදා මධ්‍යම රාත්‍රියේදී අතිගරු ජනාධිපති නාදන් මැතිතුමා විසින් සිංගප්පූරු පාර්ලිමේන්තුව විසුරුවා හැරුණා. එයින් පසුව පසුගිය 27 වැනිදා 14 වැනි පාර්ලිමේන්තු මහා මැතිවරණයට නාම යෝජනා කැඳවුණු අතර මැතිවරණය මැයි 7 වෙනිදා පැවැත්වීමට නියමිතයි. 

සිංගප්පූරු පාර්ලිමේන්තුවේ ආසන ගණන 87යි . එයින් ආසන 82ක් සඳහා මැතිවරණය පැවැත්වෙනවා. ඉතිරි ආසන වල අපේක්ෂකයන්ට නිතරඟ ජයක් ලැබිලා .

 පාර්ලිමේන්තුව

ලංකාවෙ වගේ නෙවෙයි මෙහේ පාර්ලිමේන්තුව විසුරුවා හැරලා සතියක් ඇතුළත මැතිවරණය පවත්වන්න ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන සපයල තියෙනවා. ඒ වගේ සතියක් ඇතුළත මැතිවරණ පවත්වපු අවස්ථාත් ඉතිහාසයේ තියෙනවාලු. මේ පාරනම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සිට මැතිවරණ දිනය දක්වා දවස් 17ක් තියෙනවා. යන්තම් සති දෙකයි.හරිහමන් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවක් සැළසුම් කරන්නවත් කාලෙ මදි.

එ වුණාට කාලෙ මදි කියලා පසුබාන්නෙ නැතුව පාලක මහජන ක්‍රියාකාරී පක්ෂයනම්  (Peoples Action Party ) දැවැන්ත මැතිවරණ ප්‍රචාරයක් ආරම්භ කරලා . බලන්න පින්තූර ටික

හිටපු අගමැති සහ අනාගත අගමැති

 ලංකාවෙ වගේම තමයි 
ලයිට් කණු  හරිම ප්‍රයෝජනවත්

මැතිවරණ ප්‍රචාරක රථයක්
 
ලයිට් කණු වල වගේම  මාර්ග සංඥා කණු වලත් බැනර් එල්ලීම නිසා මේ වගේ හාස්‍යජනක දර්ශනත් මැවිලා තිබ්බා


මහජන ක්‍රියාකාරී පක්ෂය නවත්වනු !!!

කොහොම වුණත් මේ පාරත් මහජන ක්‍රියාකාරී පක්ෂය නවත්වන්න බැරිවෙයි. විපස්සය සෑහෙන දුර්වල බවයි පෙනෙන්නේ. 

පසුගිය වසර තුළ බදු බර හා ජීවන වියදම සෑහෙන්න ඉහළ ගිය බවට විපස්සය චෝදනා කළත් ඔවුන් පැහැදිළි විකල්ප ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරලා නෑ.  ඒ අතරේම ආණ්ඩුව විසින් ශ්‍රීලංකා මොඩලයේ පරිගණකාශ්‍රිත  ඡන්ද මංකොල්ලයකට සූදානම් වන බවටත් චෝදනාවක් තියෙනවා ( කාටද ආඩම්බර ? ).  ඒකනම් අර බැට් කරන්න බැරි වුණේ පිච් එක ඇද හන්දා වගේ කතාවක් වෙන්න ඇති. 
[ 01 - May - 2011 ]

Tuesday, April 26, 2011

වැසිකිළි යාමෙන් පසු අත් සෝදනවාද ?



මම පහුගිය දවසක බාබර් සාප්පුවට ගිහින් කොණ්ඩෙ තට්ටෙ ගාන පොරොත්තු ලැයිස්තුවෙ  (Waiting List) ඉන්න අතරෙ එතන තිබ්බ සඟරා වගයක් බල බල හිටියා. එක ලිපියක් තිබුණා ලෝකෙ අකාර්යක්ෂමම දේවල් 10යෙ ලැයිස්තුවක්. මේ දේවල් අකාර්යක්ෂමයි කියන්නෙ මේවායින් බලාපොරොත්තු වෙන කාර්යය ඉටු වෙන්නෙ නැති හින්දයි. සමහර ඒවායින් ඉටුවෙන්නෙ බලාපොරොත්තු වෙන දේවල් වලට සම්පූර්ණයෙන් ප්‍රතිවිරුද්ධ දේවල්.

ලැයිස්තුවෙ 10 වෙනියට තිබ්බේ පොදු වැසිකිළි කරාමය. මේ කරාමයෙන් බලාපොරොත්තු වෙන්නෙ වැසිකිළි යාමෙන් පසු අත් සෝදා පිරිසිදු කර ගැනීම. ඒ වුණාට අත් සෝදන්න කලින් අපිරිසිදු අත් වලින් කරාමය අරින්න සිද්ධ වෙනවා. අත් සෝදා ගත්තට පස්සෙ කරාමය වහද්දි  ආපහු අත් අපිරිසිදු වෙලා. 

ලැයිස්තුවෙ ඊලඟට තිබ්බෙ එක්සත් ජාතීන්ගේ සංවිධානය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අරමුණ තමයි ජාතීන් අතර සහයෝගීතාවය ඇති කර ලෝක සාමය රැකීම. ඒ වුණත් දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සෙ 1945දි  එක්සත් ජාතීන්ගෙ සංවිධානය පිහිටුවා ගත්තායින් පස්සෙත් ලෝකෙ පුරා රටවල් අතර යුද්ධ රාශියකුත් ඊට වඩා වැඩි ගණනක් අභ්‍යන්තර අරගලත් ඇති වෙලා තියෙනවා. (ගණන් හිලවු මතක නෑ )  . නිෂේධ බලය පිළිබඳ ප්‍රශ්න හින්දා එක්සත් ජාතීන්ගේ සංවිධානයට සාර්ථකව මැදිහත් වෙන්න පුළුවන් වෙලා තියෙන්නෙ මේවායින් ඉතාම අතළොස්සකට විතරයි .

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අකාර්යක්ෂමතාවය පෙන්වන අලුත්ම සාක්ෂිය තමයි ශ්‍රී ලංකා ආණ්ඩුවට සහ එල්.ටී.ටී.ඊ සංවිධානයට විරුද්ධව යුධ අපරාධ වාර්තාව. ඒක  ඉදිරිපත් කරන්න ක්‍රිකට් ලෝක කුසලානය ඉවර වෙනතුරුම බලන් හිටපු එකෙන්ම පේනවා එක්සත් ජාතීන්ගේ සංවිධානය පොදු වැසිකිළි කරාමයකටත් වඩා අකාර්යක්ෂම බව.

[ 26 - Apr - 2011 ]

Friday, April 1, 2011

සිංගප්පූරුවේ මෝඩ දිනය අද නෙවෙයි හෙට





ලොව පුරාම ජනතාව ජාති ආගම් භේදයකින් තොරව මහත් සොම්නසින් සමරන ජාත්‍යන්තර මෝඩ දිනය අදයි. හැබැයි මම ඉන්න සිංගප්පූරුවේදිනම් මේ වැදගත් දිනයට පොඩි වෙනසක් වෙලා.  

කාර්යාල දිනයක් වෙන අද දිනයේ මෝඩ දින ක්‍රියාකාරකම් වල යෙදීම තහනම් බවත් ඒ වෙනුවට ආසන්නතම සති අන්ත දිනය වන අප්‍රේල් 2වෙනිදා පවුලේ සාමාජිකයන් සහ මිතුරන් සමඟ මෝඩ දිනය සැමරීමට යොදා ගත හැකි බවත් රජය නිවේදනය කරලා තියෙනවා.  පසුගිය වසරවල් වල කාර්යාල වේලාවන් තුලදී මෝඩ දින සැමරුම් නිසා සිදුවූ යම් යම් සිද්ධීන් නිසා මේ තීරණය ගත් බවයි කියවෙන්නේ. 

ඔබ සැමට සාමය සතුට පිරි 
මෝඩම මෝඩ දිනයක් වේවා !!!

[ 01 - Apr - 2011 ]

Wednesday, March 23, 2011

කොල්ලා, බල්ලා, කෙල්ල සහ පූසා පිළිබඳ අතිවිශේෂ මකර අධිරාජ කොමිෂම


පහුගිය අවුරුද්දෙ අන්තිම දවස් වල බවුවෙකුටයි මියවුවෙකුටයි පොඩි පොඩි  අකරතැබ්බ දෙකකට මුහුණදෙන්න සිද්ධ වුණා. මේ සිදුවීම් දෙකම ආසන්න වශයෙන් එක හා සමාන සිදුවීම් වුණත් ඒ අවස්ථාවන් වලදි බවුවයි මියවුවයි දෙන්නා හැසිරිලා තියෙන්නෙ හාත්පසින්ම වෙනස් ආකාර වලට. එක හා සමාන සිදුවීම් වලදී බවුවා සහ මියවුවා වෙනස් ආකාර වලින් හැසිරීමට හේතුව මොකක්ද කියල හොයල බලන්න ඒ දවස්වලම විමර්ශනයක් කරන්න හිතන් හිටියත් මකර අධිරාජයාගේ කාර්ය බහුලත්වය හින්දා ඒක පොඩ්ඩක් අතපසු වුණා. කොහොම වුණත් මේක තවදුරටත් කල් දාන එක සුදුසු නැති හින්දා ඒ විමර්ශන කටයුත්ත අති විශේෂ  මකර අධිරාජ කොමිෂමක් මගින් අද පටන් සිදු කරනු ඇති. 

මෙන්න මේ කියන සිදුවීම් දෙකේ සාරාංශය. 
========================

මේ කියන බවුවයි මියවුවයි දෙන්නම වලවල් වලට වැටිලා. මියවුවව ගොඩ අරන් තියෙන්නෙ කොල්ලෙක්. බවුවව ගොඩ අරන් තියෙන්නෙ කෙල්ලෙක්. කොල්ලාගෙ පිහිටෙන් ගොඩ ගිය මියවුවා ඒ කොල්ලාට ස්තූතියි කියන්නෙවත් නැතුව පැනල ගියාලු. හැබැයි බවුවනම් කෙල්ලගෙ අතත් ලෙවකාලා හැකි උපරිම ආකාරයෙන් ස්තූතිය ප්‍රකාශ කරාලු. 

මේ සිදුවීම් දෙක ගැන සම්පූර්ණ වාර්තා දෙකක් දිනුකගේ සහ චාමිගේ බ්ලොග් වල පළ වෙලා තිබ්බා. මේ තියෙන්නේ ඒ ලිපි දෙක.

1. මියවුවාගේ සිද්ධිය - http://blog.dinuka.com/2010/10/31/post831.htm
2. බවුවාගෙ සිද්ධිය - http://reargate.blogspot.com/2010/11/blog-post.html

මියවුවන්ගේ සහ බවුවන්ගේ මාධ්‍ය ප්‍රකාශකවරුන්ගෙන් මකර අධිරාජ කොමිෂම මේ ගැන අදහස් විමසුවා.

මියවුවන්ගේ මාධ්‍ය ප්‍රකාශක
================


ප්‍රශ්නය: 

අදාළ සිද්ධියේදී ස්තූති කිරීමක්වත් කරන්නෙ නැතුව මියවුවා පැනල ගිහින් තියෙනවා. මේ ක්‍රියා කලාපය ඔබ අනුමත කරනවද ?

පිළිතුර :

අපේ මියවුවා ඒ සිද්ධියේදී කටයුතු කරලා තියෙන ආකාරය සම්පූර්ණයෙන්ම අනුමත කරනවා. ඒ වගේම සමාන සිද්ධියකදී බවුවා කටයුතු කරල තියෙන ආකාරය සම්පූර්ණයෙන්ම හෙළා දකිනවා. බවුවා සම්බන්ධ සිද්ධියේදී අත ලෙවකෑම මගින් බවුවා විසින් ඒ තැනැත්තියව බරපතල ජලභීතිකා අවධානමකට ලක් කරලා තියෙනවා. ඒක ස්තූතිය ප්‍රකාශ කිරීමක් කියලා පිළිගන්න බෑ. අපේ මියවුවාගේ සිද්ධියේදී ඒ කියන තැනැත්තාව හූරන්නේ හෝ  හපන්නේ නැතුව හැකි ඉක්මනින් ඉවත් වීම තමයි ඉතාම නිවැරදි ක්‍රියා පිළිවෙත. බුද්ධිමත්ව කටයුතු කර මියවුවන්ගේ ගෞරවය ආරක්ෂා කළ අපේ මියවුවාට ස්තූති කරන ගමන් බවුවාගේ වගකීම් විරහිත ක්‍රියා කලාපය නැවත වරක් තරයේම හෙළා දකිනවා. ඔවූඌ ඤාව් !


බවුවන්ගේ මාධ්‍ය ප්‍රකාශක
===============



ප්‍රශ්නය: 

මේ සිදුවීමේදී බවුවා කටයුතු කරල තියෙන ආකාරය ඉතාම ප්‍රශංසනීයයි කියල බොහෝ දෙනක් කියනවා. ඒ වුනත් මියවුවන්නම් කියන්නේ බවුවා වගකීම් විරහිතව කටයුතු කළා කියලයි.

පිළිතුර : 

මේ සිද්ධියේදී අදාළ බවුවා කටයුතු කරල තියෙන්නෙ ඕනෙම බවුවෙක් කටයුතු කරන සාමාන්‍ය ආකාරයෙන්. එහෙම හැසිරෙන එක සාමාන්‍ය බලු ගතියක්. ඒ බවුවාගේ ක්‍රියාවේ විශේෂ ප්‍රශංශනීයත්වයක් හෝ වගකීම් විරහිත බවක් අපි දකින්න්නේ නෑ.

==

මේ පිළිබඳව අදහස් විමසන්න මියවුවන්ගේ මහජන පාර්ශවය නියෝජනය කරන ගඩොල් පූසෙක්ව සම්බන්ධ කරගන්න උත්සාහ කළත් ඒ උත්සාහය සාර්ථක වුණේ නෑ.

මේ පිළිබඳව ඔබේ නොමසුරු අදහස් කොමිෂම ඉදිරියේ ප්‍රකාශ කරන ලෙස සි‍යළුම කොල්ලන්, කෙල්ලන් බල්ලන් සහ පූසන් ඇතුළු සියළු සත්වයන්ගෙන්ම මකර අධිරාජයා ඉල්ලා සිටිනවා.  ස්තූතියි !

[ 23 - Mar - 2011 ]

Saturday, February 26, 2011

එහෙම වුණේ ඇයි ? I Dont Know Why


අද තරඟය පැවැත්වුනේ 
ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේය.
 පැරදුනේ ඒකය. 
වැරැද්ද ක්‍රීඩාංගනයේ නමය. 
සූරියවැව තිබ්බ මැච් එකේදිනම් 
මෙහෙම වුණේ නැත.
ප.ලි 
===
පකිස්ථානයේත් තියෙන එකේ ලංකාවේත් ඔන්න ඔහේ ගඩාෆි ක්‍රීඩාංගනයක් තිබ්බාට කමක් නැත

මේකත් බලන්න
===========
ජීවිත සෙල්ලම සහ ක්‍රිකට් සෙල්ලම


[ 27 - Feb - 2011 ]

Wednesday, February 23, 2011

නයි බලපු හැටි



ඔන්න එකමත් එක අවුරුද්දක පේරාදෙණියෙ විශ්වවිද්‍යාලෙ වෛද්‍ය පීඨයෙන් ප්‍රදර්ශනයක් සංවිධානය කරල තිබ්බා. අපි යාළුවො තුන් හතර දෙනෙකුත් ගියා ඔය ප්‍රදර්ශනේ බලන්න.

ඉංජිනේරු ප්‍රදර්ශන වලනම් එක එක අමුතු අමුතු වැඩ කරන යන්ත්‍ර සූත්‍ර තිබුණට වෛද්‍ය ප්‍රදර්ශනයෙනම් එහෙම නෑ. එකම එක තැනක බැලුම් බෝල යොදාගෙන පෙණහැලි වල ක්‍රියාකාරීත්වය පෙන්වන උපකරණයක් තිබ්බා. ඒ ඇරෙන්න හැම තැනම වගේ තිබ්බේ කපා කොටාපු මිනිස් ශරීර , ඇටසැකිලි වගේ දේවල්. ඉතින් ඔය ප්‍රදර්ශන භාණ්ඩ අපිට වැඩිය හිතට ඇල්ලුවෙ නෑ.

ඔය අතරේ අපිට ආරංචියක් ආවා පණපිටින් නයෝ, ගැරඬියෝ එහෙම ඉන්න සර්ප විමානයක් ප්‍රදර්ශනේට තියල තියෙනව කියල. ඔන්න තියෙනවා බලන්න වටින දෙයක්. අපිත් ඉතින් පාරවල් හොයාගෙන ගියා සර්ප විමානෙ තියෙන පැත්තට.

බුදු අම්මෝ මෙන්න සර්ප විමානෙ බලන්න නයෙක් වගේ දිග  පෝලිමක්. විෂ සහිත ජීවී අකෘති තියෙන හින්දා සර්ප විමානෙ බලන්න එක පාරකට ඇතුල් කර ගන්නෙත් සීමිත පිරිසක් විතරයි.  පෝලිමත් පැයක් දෙකක් විතර දිග පෝලිමක්. ඉතින් එච්චර දිග පෝලිම ඉඳල බලන්න තරම් වටින දෙයක් තියෙනවද කියල විපරම් කරල බලන්න අපි කට්ටිය පෝලිමට පිටින් ගිහින්  සර්ප විමානෙ දොර කිට්ටුවට ගියා.  බලලා ඉවර වෙලා එන කෙනෙක්ගෙන් විස්තර අහන්න කියලා හිතාගෙන සර්ප විමානෙන් පිටවෙන දොර ගාවට තමයි ගියේ. සර්ප විමානෙන් පිට වෙන දොර ගාව මුරට හිටියෙ වෛද්‍යවරියන් වෙන්න ඉන්න නංගිලා කට්ටියක්.

අපේ එක යාලුවෙක් එක පාරටම කිවුවා 

"නංගි , මේ අපේ යාලුවෙක් ඇතුලෙ ඉන්නවා. පොඩ්ඩක් ඇතුලට යන්න පුළුවන්ද"

"හා හා එන්න එන්න"

ඔන්න අපි පිටිපස්සෙ දොරෙන් සර්ප විමානෙ ඇතුලට ගියා. 

"කෝ කවුද යාළුවා ?"

"නෑ නෑ නංගි  , මේ නයෙක්"

"නයෙක් ??"

අර නංගි කටත් බාගෙට ඇරගෙන නළලත් රැළි කරගෙන අපි දිහායි සර්පයො දිහායි මාරුවෙන් මාරුවට බලනවා. 

"නෑ නෑ, මේ නයෙක් කිවුවෙ නයෙක් ,  මේ මේ පොඩි නයෙක්, මේ මේ ..... පොඩි බොරුවක් " අපේ යාලුවා පැටලි පැටලි කිවුවා.

ඔන්න එතකොට තමයි අපිටත් තේරුණේ. අපිත් හිතුවෙ කවුරු හරි අරයගෙ යාළුවෙක් ඇත්තටම ඇතුලෙ ඇති කියලා.

"දැන් ඇතුලට ආපු එකේ සර්පයෝ ටික බලලම යන්නං නේද ?"

අර නංගි ඉනට අත් දෙක තියාගෙන අපි දිහා රවල බලාගෙන "හා හා හ්ම්" කිවුවා.

ඔන්න ඔහොමයි යාලු නයෙක්ගෙ මාර්ගයෙන් අපි නයි බැලුවෙ.

"ඇතුලෙ යාලුවෙක් ඉන්නව කියපු ගමන් කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතුව අපිව ඇතුලට එක්කරගෙන යයි කියලා මම හිතුවෙ නෑ. මටත් හිතා ගන්න බැරිවුණා මොකද කරන්නෙ කියල."'

නයාගෙ යාලුවා අපිට පස්සෙ කිවුවා.

ප.ලි
=====
  1.  නයි අරිනවා කියන එක ගැලපෙන්නෙ මේ වගේ පොඩි බොරුවලට නෙවෙයි. මෙන්න මේ වගේ ඒවට. රංගගේ  නයි ඇරිල්ල 
  2.  සර්පයෝ ගැන විස්තරාත්මකව දැනගන්න .  ප්‍රියන්තගේ සර්ප ලිපි පෙළ
[ 23 - Feb - 2011 ]

Thursday, February 3, 2011

හා හා හරි හාවෝ ! කැලේ මැදින් ආවෝ !


මතකයිද දන්නෙ නෑ ගිය අවුරුද්දෙ කොටියා ආපු හැටි. ඒ ආපු කොටියා ආපහු යන්නෙ අදයි. කොටියා වෙනුවට වැඩ බලන්න එන්නෙ හාවෙක්.  යන කොටියාට එන හාවාව මුනගැස්සුවෙ මෙන්න මෙ වගේ


තවත් චීන අලුත් අවුරුද්දක් උදා වෙලා. චන්ද්‍ර මාස ක්‍රමයකට අනුව සකස් වෙන චීන කැලැන්ඩරයේ මේ අවුරුද්ද වෙන් කරලා තියෙන්නෙ හාවාට. මේ පාර සැරසිලි වලට හාවො වගෙම හාවන්ගේ ප්‍රියතම ආහාරයක් වෙන කැරට් අලත් යොදාගෙන තියෙනවා. හා මස් තහනමක් සහ කැරට් ප්‍රවර්ධන වැඩසටහනුත් මේ අවුරුද්ද පුරාම ක්‍රියාත්මක වෙනවලු.

ඔබ සැමට සාමය සතුට පිරි 
කැරට් බේරෙන
සුබ අලුත් අවුරුද්දක් වේවා !!

පලි :
===
කවුරුත් පුල පුලා බලා සිටින ජලයට අධිපති කළු මකරාගේ අවුරුද්ද උදා වෙන්නෙ 2012 දි. සමහර අයනම් කියනවා 2012 දි ලෝක විනාශයක් වෙනවා කියලා. ඒ වුණත්
  1. දැනට අංශක 23 1/2 ක් වන පෘතුවි අක්ෂයේ ආනතිය අංශක 45 දක්වා වැඩි වීම.
  2. මුහුදේ ගිලී පවතින අත්ලාන්තිස් මහද්වීපය නැවත මතුවීම
  3. බඩු මිල සුළු වශයෙන් ඉහළ යාම
වගේ සුළු සුළු සිද්ධි කීපයක් ඇරෙන්න 2012 අවුරුද්ද සාමකාමීව පවත්වාගෙන යන බවට කළු මකරා මකර අධිරාජයාට පොරොන්දු වුණා.

[ 03 - Feb - 2011 ]