තමන් ප්‍රිය කරන නළු නිළියන්ගේ, ක්‍රීඩකයන්ගෙ එහෙමත් නැත්තන් සුපර් ස්ටාර්ලගෙ අත්සන් ගන්න, ඒ අයට අතට අත දෙන්න එහෙමත් නැත්තන් ඒ අය සමඟ ඡායාරූප වලට පෙනී සිටින්න සමහරු උන්මාදයකින් වගේ හැසිරෙන ආකාරය අහපු, දැකපු වෙලාවල් වලදි "මේ මොන කෝළමක්ද ?" කියලා මට හිතිච්ච වාර ගණන බොහොමයි. ඒ වුණත් ඒ අයගෙ හැඟීම් මොන වගේද කියලා පහුගිය සතියෙ මට තේරුම් ගියා. ඒ සුපිරි චෙස් ක්‍රීඩක ගැරී කැස්පරොව් සම්බන්ධ වන වැඩසටහන් කීපයකට සහභාගි වීමේදී.
"ලෝකයේ බිහිවුණු විශිෂ්ඨතම චෙස් ක්‍රීඩකයා කවුද ?" කියන ප්‍රශ්නයට වැඩිපුරම හම්බ වෙන උත්තර දෙකෙන් එකක් තමයි ගැරී කැස්පරොව් ( 13 වන ලෝක ශූරයා) කියන නම. අනිත් උත්තරේ බොබී ෆිෂර් (11 වන ලෝක ශූරයා) . විශේෂ ආරාධනාවක් මත ගැරී කැස්පරොව් පහුගිය ඉරිදා එක්දින සංචාරයක් සඳහා සිංගප්පූරුවට ආවා. ඒ ඔහු සිංගප්පූරුවට ආපු පළවෙනි වතාව. සිංගප්පූරුවේ සිටින චෙස් ක්‍රීඩාලෝලීන්ට මේක අති විශේෂ අවස්ථාවක් වුණා.
කැස්පරොව්ට සුපිරි ආරක්ෂාවක් ලබා දී තිබුණු ආකාරය
කැස්පරොව් සහභාගි වෙච්ච පළවෙනි වැඩසටහන තමයි ඔහුගේ හොඳම තරඟයක් විශ්ලේෂණය කිරීම. විශ්මයජනක සංකලන සහ උපක්‍රම වලින් පිරුණු ඒ තරඟයේදී කැස්පරොව්ගේ ප්‍රතිවාදියා වුණේ තවත් සුපිරි ක්‍රීඩකයෙක් වෙස්ලින් ටොපලොව් (Veslin Topalov). ටොපලොව් තමයි වර්තමානයේ ක්‍රියාකාරී ක්‍රීඩකයන් අතරින් අංක 2 . ඒ තරඟය
මෙතනින් බලන්න පුළුවන් .
එයින් පසුව තමයි සමරු සටහන් ලබා දීම අවස්ථාව. සමරු සටහන් ලබා දෙන්න කලින් කැස්පරොව් සහ සිංගප්පූරු ජාතික කණ්ඩායම නියෝජනය කරන ප්‍රබල ක්‍රීඩකයන් දෙදෙනෙක් අතර ප්‍රදර්ශන තරඟ දෙකකුත් පැවැත්වුණා. ඒ තරඟ දෙකෙන්ම ජයගත්තෙ කැස්පරොව්.
කැස්පරොව්ගෙන් මකර අධිරාජයාට සමරු සටහනක්
මේ තියෙන්නෙ කැස්පරොව්ගෙ අත්සන
( හොර අත්සන් ගහන්න එහෙම පුරුදු වෙන්න එපා ඕං )
දිනයේ වඩාත්ම විනෝදජනක අංගය වුණේ කැස්පරොව් විවිධ වයස් සීමාවල ක්‍රීඩකයන් 22 දෙනෙකු සමඟ එක්වර තරඟ කරන ප්‍රදර්ශන තරඟය (Simultaneous Exhibition Match). ක්‍රීඩකයන් රාශියක් සමඟ එකවර ක්‍රීඩා කරන එවැනි තරඟයක් පැවැත්වෙන්නේ කෙහොමද කියලා පහත වීඩියෝවෙන් බලන්න.
Simultaneous Exhibition Match
මේ තරඟයේදී අනුවේදනීය සිද්ධියකුත් දැකගන්න හම්බ වුණා. කැස්පරොව් සමඟ තරඟ කරන්න අවස්ථාව හම්බ වෙච්ච ක්‍රීඩකයන් 22 දෙනා අතරින් එක්කෙනෙක් වාඩි වෙලා හිටියෙ සාමාන්‍ය පුටුවක නෙවෙයි. එයා වාඩි වෙලා හිටියෙ රෝද පුටුවක. එයාට සාමාන්‍ය චෙස් තරඟාවලියකදි ක්‍රීඩා කරන්න කොහොමවත්ම අවස්ථාවක් නෑ. මොකද එයාට අපිට වගේ පහසුවෙන් හා ඉක්මනින් අතපය චලනය කරන්න බෑ.
සාමාන්‍යයෙන් කෙනෙක් චෙස් ඉත්තන්ව චලනය කිරීමේදී කරන්නේ ඉත්තාව උස්සලා අදාල තැනින් තියෙන එක. නමුත් මෙයාට ඉත්තන්ව උස්සන්න බැහැ. ඒ වෙනුවට එයා කරන්නෙ හෙමීට හෙමීට ඉත්තාව අදාල තැනට ඇඟිල්ලෙන් තල්ලු කරගෙන යන එක.
කැස්පරොව් සමඟ තරඟ කළ ඒ සුවිශේෂී ක්‍රීඩකයා
මේ ප්‍රදර්ශන තරඟයේ සියළුම තරඟ 22 ට 0 ක් විදිහට ජයග්‍රහණය කළේ කැස්පරොව්. මේ පහළ පින්තූරෙ ඉන්න චූටි මල්ලියා තමයි කැස්පරොව් එක්ක අවසානය දක්වාම සටන් කළේ.
හැමදෙනාගේම අවධානය කැස්පරොව් වෙත යොමු වෙලා තියෙද්දි තමන්ගේම ලෝකයක තනි වෙච්ච පොඩ්ඩො දෙන්නෙක්
[ 17 - Aug - 2010 ]