Wednesday, March 23, 2011

කොල්ලා, බල්ලා, කෙල්ල සහ පූසා පිළිබඳ අතිවිශේෂ මකර අධිරාජ කොමිෂම


පහුගිය අවුරුද්දෙ අන්තිම දවස් වල බවුවෙකුටයි මියවුවෙකුටයි පොඩි පොඩි  අකරතැබ්බ දෙකකට මුහුණදෙන්න සිද්ධ වුණා. මේ සිදුවීම් දෙකම ආසන්න වශයෙන් එක හා සමාන සිදුවීම් වුණත් ඒ අවස්ථාවන් වලදි බවුවයි මියවුවයි දෙන්නා හැසිරිලා තියෙන්නෙ හාත්පසින්ම වෙනස් ආකාර වලට. එක හා සමාන සිදුවීම් වලදී බවුවා සහ මියවුවා වෙනස් ආකාර වලින් හැසිරීමට හේතුව මොකක්ද කියල හොයල බලන්න ඒ දවස්වලම විමර්ශනයක් කරන්න හිතන් හිටියත් මකර අධිරාජයාගේ කාර්ය බහුලත්වය හින්දා ඒක පොඩ්ඩක් අතපසු වුණා. කොහොම වුණත් මේක තවදුරටත් කල් දාන එක සුදුසු නැති හින්දා ඒ විමර්ශන කටයුත්ත අති විශේෂ  මකර අධිරාජ කොමිෂමක් මගින් අද පටන් සිදු කරනු ඇති. 

මෙන්න මේ කියන සිදුවීම් දෙකේ සාරාංශය. 
========================

මේ කියන බවුවයි මියවුවයි දෙන්නම වලවල් වලට වැටිලා. මියවුවව ගොඩ අරන් තියෙන්නෙ කොල්ලෙක්. බවුවව ගොඩ අරන් තියෙන්නෙ කෙල්ලෙක්. කොල්ලාගෙ පිහිටෙන් ගොඩ ගිය මියවුවා ඒ කොල්ලාට ස්තූතියි කියන්නෙවත් නැතුව පැනල ගියාලු. හැබැයි බවුවනම් කෙල්ලගෙ අතත් ලෙවකාලා හැකි උපරිම ආකාරයෙන් ස්තූතිය ප්‍රකාශ කරාලු. 

මේ සිදුවීම් දෙක ගැන සම්පූර්ණ වාර්තා දෙකක් දිනුකගේ සහ චාමිගේ බ්ලොග් වල පළ වෙලා තිබ්බා. මේ තියෙන්නේ ඒ ලිපි දෙක.

1. මියවුවාගේ සිද්ධිය - http://blog.dinuka.com/2010/10/31/post831.htm
2. බවුවාගෙ සිද්ධිය - http://reargate.blogspot.com/2010/11/blog-post.html

මියවුවන්ගේ සහ බවුවන්ගේ මාධ්‍ය ප්‍රකාශකවරුන්ගෙන් මකර අධිරාජ කොමිෂම මේ ගැන අදහස් විමසුවා.

මියවුවන්ගේ මාධ්‍ය ප්‍රකාශක
================


ප්‍රශ්නය: 

අදාළ සිද්ධියේදී ස්තූති කිරීමක්වත් කරන්නෙ නැතුව මියවුවා පැනල ගිහින් තියෙනවා. මේ ක්‍රියා කලාපය ඔබ අනුමත කරනවද ?

පිළිතුර :

අපේ මියවුවා ඒ සිද්ධියේදී කටයුතු කරලා තියෙන ආකාරය සම්පූර්ණයෙන්ම අනුමත කරනවා. ඒ වගේම සමාන සිද්ධියකදී බවුවා කටයුතු කරල තියෙන ආකාරය සම්පූර්ණයෙන්ම හෙළා දකිනවා. බවුවා සම්බන්ධ සිද්ධියේදී අත ලෙවකෑම මගින් බවුවා විසින් ඒ තැනැත්තියව බරපතල ජලභීතිකා අවධානමකට ලක් කරලා තියෙනවා. ඒක ස්තූතිය ප්‍රකාශ කිරීමක් කියලා පිළිගන්න බෑ. අපේ මියවුවාගේ සිද්ධියේදී ඒ කියන තැනැත්තාව හූරන්නේ හෝ  හපන්නේ නැතුව හැකි ඉක්මනින් ඉවත් වීම තමයි ඉතාම නිවැරදි ක්‍රියා පිළිවෙත. බුද්ධිමත්ව කටයුතු කර මියවුවන්ගේ ගෞරවය ආරක්ෂා කළ අපේ මියවුවාට ස්තූති කරන ගමන් බවුවාගේ වගකීම් විරහිත ක්‍රියා කලාපය නැවත වරක් තරයේම හෙළා දකිනවා. ඔවූඌ ඤාව් !


බවුවන්ගේ මාධ්‍ය ප්‍රකාශක
===============



ප්‍රශ්නය: 

මේ සිදුවීමේදී බවුවා කටයුතු කරල තියෙන ආකාරය ඉතාම ප්‍රශංසනීයයි කියල බොහෝ දෙනක් කියනවා. ඒ වුනත් මියවුවන්නම් කියන්නේ බවුවා වගකීම් විරහිතව කටයුතු කළා කියලයි.

පිළිතුර : 

මේ සිද්ධියේදී අදාළ බවුවා කටයුතු කරල තියෙන්නෙ ඕනෙම බවුවෙක් කටයුතු කරන සාමාන්‍ය ආකාරයෙන්. එහෙම හැසිරෙන එක සාමාන්‍ය බලු ගතියක්. ඒ බවුවාගේ ක්‍රියාවේ විශේෂ ප්‍රශංශනීයත්වයක් හෝ වගකීම් විරහිත බවක් අපි දකින්න්නේ නෑ.

==

මේ පිළිබඳව අදහස් විමසන්න මියවුවන්ගේ මහජන පාර්ශවය නියෝජනය කරන ගඩොල් පූසෙක්ව සම්බන්ධ කරගන්න උත්සාහ කළත් ඒ උත්සාහය සාර්ථක වුණේ නෑ.

මේ පිළිබඳව ඔබේ නොමසුරු අදහස් කොමිෂම ඉදිරියේ ප්‍රකාශ කරන ලෙස සි‍යළුම කොල්ලන්, කෙල්ලන් බල්ලන් සහ පූසන් ඇතුළු සියළු සත්වයන්ගෙන්ම මකර අධිරාජයා ඉල්ලා සිටිනවා.  ස්තූතියි !

[ 23 - Mar - 2011 ]