Wednesday, April 14, 2010

ආකිමිඩිස්ට වැරදුනාවත්ද ?



අමිලගේ මෙන්න මේ සිතුවිල්ල කියෙවුවාම ඉස්කෝලෙ යන කාලෙ ලීවර ගැන ඉගෙන ගනිද්දි කරපු අති පණ්ඩිත වැඩක් මතක් වුනා.

ලීවර මූලධර්ම පිළිබඳව මුලින්ම ගණිතානුකූල අධ්‍යයනයක් කළ පුද්ගලයා විදිහට සැළකෙන්නෙ ග්‍රීක ජාතික ගණිතඥ ආකිමිඩිස්. ලීවර වල බලසම්පන්න බව ගැන කියන්න ආකිමිඩිස් යොදාගත්ත ප්‍රසිද්ධ කියමනක් තමයි "මට හිටගෙන ඉන්න තැනක් දෙන්න, මම  පෘතුවිය  පෙරළන්නම් (ලීවර යොදාගෙන) " ["Give me a place to stand, and I shall move the earth."] .

අපිට ලීවර ගැන උගන්නපු ගුරුතුමා ඔය ප්‍රසිද්ධ කියමන ගැනත් අපිට කිවුවා. අපිටත් ඉතින් ඒ දවස් වල ඕනෙ නැති දෙයක් නෑනෙ. දවල් කෑම කන අතරෙ ආකිමිඩිස්ගෙ ඔය කියන කියමන ගැන අපි අතරෙ ලොකු විවාදයක් ඇති වුනා.  ආකිමිඩිස්ට ඉන්න තැනක් දීම, ඉල්ලන තරම් දිග පොල්ලක් දීම වගේ දේවල් කොහොමටවත්ම ප්‍රායෝගික නෑ. ඒත් අපි වාද කළේ ආකිමිඩිස්ට පය ගහගෙන ඉන්න තැනක් දුන්නත් , ඉල්ලන තරම් දිග පොල්ලක් දුන්නත් ඇත්තටම ආකිමිඩිස්ට පෘතුවිය පෙරළන්න පුලුවන්ද බැරිද කියලයි.  අවසාන තීරණය වුනේ ආකිමිඩිස්ට පෘතුවිය පෙරළන්න පුලුවන්ද කියලා ගණිතානුකූලව අධ්‍යයනය කරලා බැලීම. මෙන්න මෙහෙමයි අපේ ගණනය කිරීම් කලේ.

උපකල්පන: 

1. ආකිමිඩිස්ට ඉන්න තැනක් සහ අවශ්‍ය තරම් දිග සහ ශක්තිමත් පොල්ලක් තියෙනවා. 

2. පෘතුවිය පෙරළන ලීවරයේ ධරය විදිහට යොදා ගන්නේ චන්ද්‍රයා. (පෘතුවියට ළඟපාතින්ම හොයාගන්න පුළුවන් ගැළපෙන ප්‍රමාණයේ ධරය තමයි හඳ ).

3. ආකිමිඩිස්ට යෙදිය හැකි උපරිම බලය 100Kg ක බරකින් ඇතිවෙන බලයට සමානයි.

ඔන්න ඊළඟට ලොකු ප්‍රශ්නයක් ආවා. මේ ගණනය කිරීම කරන්න පොළොවෙ ඉඳන් හඳට තියෙන දුරයි, පොළොවෙ බරයි ඕනෙ. දැන් වගේ අන්තර්ජාල පහසුකම් තිබුණානම් පටස් ගාල Google Search එකක් දාන්න තිබ්බා. අපිට ඒ දවස් වල අන්තර්ජාල පහසුකම් නැති හින්දා පුස්තකාලයේ පොත් පෙරළලා පෙරළලා ඕනෙ කරන දත්ත හොයා ගන්න තුරු ගණනය කිරීම පහු වෙනිදාට කල් දාන්නත් වුනා.

ලීවර වල අඩු බලයක් යොදන පැත්තට පොල්ලෙ වැඩි දිගක් ඕනෙ. ඒ කියන්නෙ 10Kg බලයකින් 100Kg හොළවනවානම් 100Kg වල ඉඳන් ධරයට තියෙනවා වගේ 10 ගුණයක් දුරක් 10Kg ඉඳන් ධරයට තියෙන්න ඕනෙ.  ඉතින් පෘතුවියේ සුපිරි ස්කන්ධයයි අකිමිඩිස්ට යොදන්න පුළුවන් කියලා උපකල්පනය කරපු දුප්පත් 100Kg බලයයි පොළොවෙ ඉඳන් හඳට තියෙන දුරයි  දාලා ගාණ හදලා බැලුවාම ආකිමිඩිස්ට දෙන්න ඕනෙ පොල්ලෙ දිග කිලෝමීටර් කෝටි ප්‍රකෝටි ගාණක උත්තරයක් ආවා. ඒ උත්තරේ හාෆ්ෂීට් පිටුවක් පුරා ලිවුවා මතකයි.


දැන් ඊළඟ ප්‍රශ්නෙ. ලීවර වල වැඩි බලයක් තියෙන පැත්ත පොඩි දුරක් ගමන් කරවන්න අඩු බලයක් තියෙන පැත්ත වැඩි දුරක් ගමන් කරවන්න ඕනෙ  (උඩින් තියෙන රූපෙ බලන්න).  ඉතින් පෘතුවිය සෙන්ටිමීටරයක් හොල්ලන්න ලීවර පොල්ලේ ආකිමිඩිස් අල්ලගෙන ඉන්න පැත්ත ගමන් කරවිය යුතු දුර තවත් හාෆ්ෂීට් පිටුවක් පුරා ලියවුනා. ආකිමිඩිස් ඉල්ලන්නේ හිටගෙන ඉන්න තැනක් . ඒත් ආකිමිඩිස්ට එකතැන හිටගෙනනම් ඒ තරම් දුරක් ලීවරයේ තමන් අල්ලගෙන ඉන්න කොන ගමන් කරවන්න බැහැ. ඉතින් අපි එකඟ වුනා ආකිමිඩිස්ට ලීවර පොල්ල අල්ලගෙන අභ්‍යවකාශයේ ගමන් කරන්න අවසර දෙන්න.

ඊළඟට අපි ගණනය කරලා බැලුවා ඒ දුර යන්න ආකිමිඩිස්ට කොච්චර කාලයක් ගත වෙනවාද කියලා. ලීවර පොල්ල අල්ලගෙන ආලෝකයේ වෙගයෙන් දිවුවත් ඒ දුර ගමන් කරන්න සාමාන්‍ය මිනිහෙක්ගෙ ජීවිත කාලයේදී බැරි බව  අපිට ආපු උත්තරෙන් පෙණුනා. ආකිමිඩිස් කියන්නේ මහළු කෙනෙක් හින්දා ඒ දුරෙන්  පොඩිම පොඩි කොටසක්වත් ආකිමිඩිස්ට යා ගන්න බැරි වෙයි කියලා අපි එකඟ වුණා. ඒ විතරක් නෙවෙයි අපි උපකල්පනය කරපු 100Kg බලයක් ආකිමිඩිස් වගේ මහළු කෙනෙක්ට යොදන්න පුළුවන්ද කියන සැකයත් මතු වුණා.  අවසාන නිගමනය වුණේ ඉල්ලන දේවල් ඔක්කොම දුන්නත් ආකිමිඩිස්ට පෘතුවිය සෙන්ටිමීටරයක්වත් හොල්ලන්න බැරි බවයි.

ඉතින් අපි වීරයො වගේ ගිහින් අපේ මහා සොයාගැනීම අපේ ගුරුතුමාට විස්තර කළා. ගුරුතුමාත් අපේ ගණනය කිරීම් , තර්කන ඔක්කොම හිනා වෙවී අහගෙන ඉඳලා අන්තිමට කිවුවා "කියන්නා කෙසේ කිවුවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි" කියලා කතාවක් තියෙනවා කියලා දන්නවා නේද? කියලා.

අලුත් අවුරුද්දේ නිවාඩු පාඩුවෙ ඉන්න වෙලාවෙ වෙන කරන්න වැඩකුත් නැත්තන් හාෆ්ෂීට් 4 5කුත් අරගෙන ගණන් හදලා බලන්න ආකිමිඩිස්ට පොළොව සෙන්ටිමීටරයක්  හොල්ලන්න කොච්චර කල් යනවද කියලා. ඕනෙ කරන ඔක්කොම දත්ත Google ගෙන් අහන්න.

ඔබ සැමට
කිරි ඉතිරෙන පැණි බේරෙන
සුභ නව වසරක් වේවා!

[ 14 - Apr - 2010 ]

Thursday, April 1, 2010

මහමැතිවරණය 2010- විද්‍යාත්මක ඇසින්



චාල්ස් ඩාවින් ඉදිරපත් කරපු පරිණාමවාදයේ  ස්‌වාභාවිකවරණය පිළිබඳ සංකල්පය අනුව පරිසරයට වඩාත්ම හොඳින් අනුවර්තනය විය හැකි ශක්තිමත් අය ඉතුරු වෙද්දී දුර්වලයන් විනාශ විය යුතුයි. ඒ වුනාට  අද ලෝකයේ සැළකිය යුතු පිරිසක් පිළිගන්න  ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සංකල්පය  ස්‌වාභාවිකවරණය පිළිබඳ සංකල්පයට පරස්පර විරෝධීයි. ප්‍රජාතන්ත්‍රවාදය මගින් දුර්වලයන් මෙන්ම ශක්තිවන්තයන්ද සමාන තත්වයේ ලා සැළකීම මගින් දුර්වලයන්ටත් නොනැසී සිටීමට අවස්ථාව ලබා දෙනවා. මෙය පරිණාමවාදයට අනුව ආපස්සට ගමන් කිරීමක්.

ලෝකයේ අනිත් රටවල් පටිසෝතගාමීව ගියාට කමක් නෑ. අපි අනුසෝතගාමී විය යුතුයි. ඒක නිසා වේගයෙන් පරිණාමය වෙන ශ්‍රී ලංකාවක් උදෙසා ඔබේ වටිනා චන්දයෙන් පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතරය ප්‍රජාතන්ත්‍රවිරෝධී කණ්ඩායමට ලබා දෙන්න.

- මෝඩයන්ගේ  දිනය වෙනුවෙන් මකර අධිරාජයාගෙන් පණිවිඩයක් -
 
[ 01 - Apr - 2010 ]