Tuesday, April 26, 2011

වැසිකිළි යාමෙන් පසු අත් සෝදනවාද ?



මම පහුගිය දවසක බාබර් සාප්පුවට ගිහින් කොණ්ඩෙ තට්ටෙ ගාන පොරොත්තු ලැයිස්තුවෙ  (Waiting List) ඉන්න අතරෙ එතන තිබ්බ සඟරා වගයක් බල බල හිටියා. එක ලිපියක් තිබුණා ලෝකෙ අකාර්යක්ෂමම දේවල් 10යෙ ලැයිස්තුවක්. මේ දේවල් අකාර්යක්ෂමයි කියන්නෙ මේවායින් බලාපොරොත්තු වෙන කාර්යය ඉටු වෙන්නෙ නැති හින්දයි. සමහර ඒවායින් ඉටුවෙන්නෙ බලාපොරොත්තු වෙන දේවල් වලට සම්පූර්ණයෙන් ප්‍රතිවිරුද්ධ දේවල්.

ලැයිස්තුවෙ 10 වෙනියට තිබ්බේ පොදු වැසිකිළි කරාමය. මේ කරාමයෙන් බලාපොරොත්තු වෙන්නෙ වැසිකිළි යාමෙන් පසු අත් සෝදා පිරිසිදු කර ගැනීම. ඒ වුණාට අත් සෝදන්න කලින් අපිරිසිදු අත් වලින් කරාමය අරින්න සිද්ධ වෙනවා. අත් සෝදා ගත්තට පස්සෙ කරාමය වහද්දි  ආපහු අත් අපිරිසිදු වෙලා. 

ලැයිස්තුවෙ ඊලඟට තිබ්බෙ එක්සත් ජාතීන්ගේ සංවිධානය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අරමුණ තමයි ජාතීන් අතර සහයෝගීතාවය ඇති කර ලෝක සාමය රැකීම. ඒ වුණත් දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සෙ 1945දි  එක්සත් ජාතීන්ගෙ සංවිධානය පිහිටුවා ගත්තායින් පස්සෙත් ලෝකෙ පුරා රටවල් අතර යුද්ධ රාශියකුත් ඊට වඩා වැඩි ගණනක් අභ්‍යන්තර අරගලත් ඇති වෙලා තියෙනවා. (ගණන් හිලවු මතක නෑ )  . නිෂේධ බලය පිළිබඳ ප්‍රශ්න හින්දා එක්සත් ජාතීන්ගේ සංවිධානයට සාර්ථකව මැදිහත් වෙන්න පුළුවන් වෙලා තියෙන්නෙ මේවායින් ඉතාම අතළොස්සකට විතරයි .

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අකාර්යක්ෂමතාවය පෙන්වන අලුත්ම සාක්ෂිය තමයි ශ්‍රී ලංකා ආණ්ඩුවට සහ එල්.ටී.ටී.ඊ සංවිධානයට විරුද්ධව යුධ අපරාධ වාර්තාව. ඒක  ඉදිරිපත් කරන්න ක්‍රිකට් ලෝක කුසලානය ඉවර වෙනතුරුම බලන් හිටපු එකෙන්ම පේනවා එක්සත් ජාතීන්ගේ සංවිධානය පොදු වැසිකිළි කරාමයකටත් වඩා අකාර්යක්ෂම බව.

[ 26 - Apr - 2011 ]

Friday, April 1, 2011

සිංගප්පූරුවේ මෝඩ දිනය අද නෙවෙයි හෙට





ලොව පුරාම ජනතාව ජාති ආගම් භේදයකින් තොරව මහත් සොම්නසින් සමරන ජාත්‍යන්තර මෝඩ දිනය අදයි. හැබැයි මම ඉන්න සිංගප්පූරුවේදිනම් මේ වැදගත් දිනයට පොඩි වෙනසක් වෙලා.  

කාර්යාල දිනයක් වෙන අද දිනයේ මෝඩ දින ක්‍රියාකාරකම් වල යෙදීම තහනම් බවත් ඒ වෙනුවට ආසන්නතම සති අන්ත දිනය වන අප්‍රේල් 2වෙනිදා පවුලේ සාමාජිකයන් සහ මිතුරන් සමඟ මෝඩ දිනය සැමරීමට යොදා ගත හැකි බවත් රජය නිවේදනය කරලා තියෙනවා.  පසුගිය වසරවල් වල කාර්යාල වේලාවන් තුලදී මෝඩ දින සැමරුම් නිසා සිදුවූ යම් යම් සිද්ධීන් නිසා මේ තීරණය ගත් බවයි කියවෙන්නේ. 

ඔබ සැමට සාමය සතුට පිරි 
මෝඩම මෝඩ දිනයක් වේවා !!!

[ 01 - Apr - 2011 ]