Friday, October 29, 2010

පූසා ගැන ආසා හිතෙන කතාවක් ?

 

මට පහුගිය දවසක තැපෑලෙන් පූසෙක්ව හම්බ වුණා. බූසියක් වගේ පූසෙක්. ඔය උඩ ඉන්නෙ ඒ පූසා තමයි.මේ පූසාව මට එවුවෙ නවෝදා. අර එකමත් එක රටක හිටිය හා පැටියගෙ කතන්දරේ කියල දුන්නෙ එයාට. ආයෙ තව දවසක කොටියෙක්ව පෙන්නුවෙත් එයාටම තමයි.

මගේ බ්ලොග් එකේ පූසල ගැන එක එක කතා ලියලා තියෙනවා දැකලා තමයි ඔය පූසාව එවල තියෙන්නෙ . එයා මට කියනවා ඒ පූසා ගැනත් කතාවක් ලියන්නලු. හෆොයි, මම කොහොමද මේ අඳුරන්නෙවත් නැති පූසලට එක එක කතා හදන්නෙ. ඉතින් මම කිවුවා එයාටම ඒ පූසා ගැන කතාවකුත් හදලා එවන්න, එතකොට මම ඒ කතාව බ්ලොග් එකේ දාන්නම් කියලා. එයත් හා කිවුවා.

මම අද දාන්නම් කියල හිතාගෙන හිටියෙ ඒ පූසගෙ කතාව. ඒ වුණාට ඒ කතාව තවම මඟ එනවා. ඒක නිසා

පූසා ගැන ආසා හිතෙන කතාව
අද පළ නොවේ !!!

අද ඒ වෙනුවට මම මීට කලින් වෙන වෙන පූසල ගැන ලියපු එක එක කතා ටික ඔක්කොම එකම වහලක් යටින් කියවන්න.

පූසලා සම්බන්ධ වෙච්ච ලිපි.
==================
  1.  මල් මල් පූසා
  2.  බල්ලොත් එහෙමයි (මලී නඟාට පිළිතුරක්)
  3.  බිහිසුණු පූසෙක් ( මීයන්ට ) 
  4.  ඔබාමාගේ පූස් පොරොන්දුව
  5.  මගේ නිදහස් දින සිහිනය 
  6.  පවුල් ප්‍රශ්නයක්... 
  7.  කොපි කැට් 
  8.  උත්තමාචාරය !!! 
  9.  සෑම ගෙදරකම සිටිය යුතු සත්තු දෙන්නෙක් 
  10.  තුන්පත් රෑන් 
  11.  පනින්න පෙර සිතා බලනු !!!
  12.  කොළඹ පූසන්ට කිරි, ගමේ පූසන්ට කැකිරි
  13.  ලංකාවට පූසො ගෙනාවෙ කවුද ? 
  14.  මේ ජීවන කතරේ - සැප දුක සමබර වේ !!!
  15.  චෞර බිළාල
  16.  බබ්බුන්ගේ කතා 
  17.  භොරෙන් ෆොටෝ ගන්න ගිහින් ....
පූසලා ගැන විතරක් නෙවෙයි බවුවෝ , හාවෝ, නයෝ, කුරුල්ලෝ, මී හරකෝ, නරියෝ ඇතුළු විවිධ සත්තු ගැන ලියපු පරණ ලිපි ගොඩක් තියෙනවා. සත්තුන්ට කැමති කට්ටිය ඔය දකුණු පැත්තෙ තීරුවෙ මැද හරියෙ තියෙන ලිපි ගොනුව පොඩ්ඩක් අවුස්සලා බලන්නකො.

[ 29 - Oct - 2010 ]

Thursday, October 21, 2010

මනමේ නාට්‍යයේ ඇත්ත කතාව


\
හිටපු මනමේ කුමරු
ප්‍රවීණ රංගන ශිල්පී විජය නන්දසිරි

කතන්දර කාරයා මනමේ නාට්‍යය ගැන එක එක කයි කතන්දර කිවුවට පස්සෙ මටත් හිතුණා මනමේ නාට්‍යය ගැන පොඩි රහසක් හෙළි කරන්න ඕනෙ කියලා. මනමේ නාට්‍යය උනන්දුවෙන් බලපු සමහර අයනම් මේ රහස සමහර විට දන්නවත් ඇති.

ඔන්න මනමේ කුමාරයයි මනමේ කුමාරියි තක්ෂිලා නුවරින් පිටත් වෙලා වටපිට සිරි නරඹ නරඹ කැලේ මැදින් යනකොට හදිස්සියෙම වේදිකාව පිටිපස්සෙ ඉඳන් වැද්දො හතර දෙනෙක් කඩා පනිනවනෙ . දන්නවද ඒ වැද්දො ආවෙ කොහේ ඉඳන්ද  කියලා? ඒ අය ආවෙත් තක්ෂිලා නුවර ඉඳන්මයි. මනමේ කුමාරයයි කුමාරියි දෙන්න තක්ෂිලා නුවරින් පිටත් වෙනකොටම ඒ වැද්දෝ හතර දෙනත් ඒ පිටිපස්සෙන්ම එන්න පිටත් වුණා.

මතකද මනමේ කුමාරයට කුමාරිව විවාහ කරල දෙන දර්ශනය? අතපැන් වත් කරලා විවාහය කරවන්නෙ දිසාපාමොක් ඇදුරු තුමා. එතන ඉන්නවා නේද මුට්ටි, පැන් කෙණ්ඩි එහෙම අල්ලගෙන දිසාපාමොක්ගේ අතවැසි ශිෂ්‍යයෝ 4 දෙනෙක්. අන්න ඒ හතර දෙනා තමයි වැද්දන් වගේ වෙස්වලාගෙන හදිස්සියෙම කඩා පනින්නෙ. ඒ වැද්දො හතර දෙනා ගිහින් ඔත්තුව දීලා නායක වැද්දෙක්ව එක්කගෙන එනවනෙ. ඒ නායක වැද්දා වෙන කවුරුවත් නෙවෙයි ,ඒ තමයි තක්ෂිලා නුවර දිසාපාමොක් ආචාර්ය තුමා.

මේ කතාව විශ්වාස කරන්න අමාරුනම් ආයෙ මනමේ නාට්‍යය බලනකොට අමතක නොකර සැලකිල්ලෙන් බලන්නකො. නාට්‍යය ඉවර වෙලා නළු නිළියෝ ඔක්කොම වරකට දෙන්න තුන්දෙනා බැගින් වේදිකාව මැදට ඇවිල්ලා ආචාර කරලා පෝලිමක් හදනවනෙ. එතනට දිසාපාමොක් ආචර්යතුමායි මුට්ටි අල්ලපු ගෝලයෝ 4 දෙනයි එන්නෙ නෑ. මොකද ඒ අය දැන් ඉන්නෙ වැදි වේශයෙන් . 

දිසාපාමොක් ආචාර්ය තුමාවයි, ගෝලයෝ 4 දෙනයි , වැද්දෝ 5 දෙනෙකුයි ඔක්කොම 10 දෙනෙක්ව නඩත්තු කරන එක නාට්‍ය කණ්ඩායමේ අය වැයට බලපාන හින්දා වෙන්න ඇති මේ ජිල්මාට් එක දාල තියෙන්නෙ. ද්විත්ව චරිත නිරූපණය කියන්නෙත් මේකම තමයි. ටෙලිනාට්‍ය වල , චිත්‍රපටි වල එහෙම කැමරා ප්‍රයෝග යොදාගෙන ද්විත්ව චරිත නිරූපණය කරන අයව එකම දර්ශන තලයකට ගෙනෙන්න පුළුවන් වුණත් නාට්‍ය වල එහෙම බෑනේ. ඒක හින්දා දිසාපාමොක්ටයි ගෝලයෝ 4 දෙනාටයි විශ්ව විද්‍යාල වෙලාවෙන් පස්සේ පාට් ටයිම් වැද්දෝ වෙන්න ඉඩකඩ ලැබෙන විදිහට තමයි නාට්‍ය පිටපතේ ජවනිකා ලියවිලා තියෙන්නේ.

ඔන්න ඕකයි මනමේ නාට්‍යයේ ඇත්ත කතාව.

ප.ලි
===
සිංහබාහු නාට්‍යයේ රඟපාන්නෙත් ඔය කට්ටියම තමයි. සිංහයා තමයි වැදි රජතුමා. මනමේ කුමාරයා ඔළමොළ ගති ඇති සොහෝයුරා වෙනවා


[ 21 - Oct - 2010 ]

Sunday, October 10, 2010

හොඳ ළමයා


වැඩිය කඩන නරක ළමයි 
හෙම නොවෙයි අපී

[ 10 - Oct - 2010 ]

Friday, October 8, 2010

අවුල් පාර්ලිමේන්තුව



කුඤ්චනාද කරනවා කියන්නේ අලියා කෑගහනවා කියන එකට. ඒ වුණාට අශ්වයෙක් කෑගහන එකට කුඤ්චනාද කරනවා කියල කියන්නෙ නෑ. අශ්වයා කෑ ගහන එකට කියන්නෙ හේෂාරවය කරනවා කියල. බවුවොනම් බුරනවා, කුකුල්ලු නම් කෙකර ගානවා, නයාල පිඹිනවා. ගෙම්බලා බක බක ගානවා.

මේ හැම වචනෙකකම අදහස ශබ්ද කරනවා කියන එක වුණාට ශබ්ද කරන්නෙ මොන සතාද කියන එක අනුව යොදා ගන්න වචනෙ වෙනස් වෙනවා. සිංහල භාෂාවෙ විතරක් නෙවෙයි ඉංග්‍රීසි භාෂාවෙත් මේ වගේ වචන තියෙනවා.

විවිධ වර්ග වල සත්තු කණ්ඩායම් හඳුන්වන්න පාවිච්චි කරන ඉංග්‍රීසි වචන ගොඩාරියයි. කූඹි රංචුවක්නම් an army of Ants , මාලු රංචුවක්නම් a school of fish , පූසො සෙට් එකක්නම් a clan of cats, කුරුල්ලෝනම් flock, මුවෝ, හරක් , බැටලුවෝ වගේ අයට herd. හාවොනම් warren එහෙම නැත්තන් nest. නයාලට  pit.  කිඹුලලට bask.  මේ වගේ වචන ගොඩාරියයි (වැඩි විස්තර ).

කොහොම හරි සත්තු අතරින් කණ්ඩායමක් සඳහා වන උත්තරීතරම වචනෙ අයිතිය හම්බ වෙලා තියෙන්නෙ බකමූණලට.  බකමූණල රංචුවකට කියන්නෙ A Parliament of Owls කියලා.

මේ තියෙන්නෙ අවුල් පාර්ලිමේන්තුවක්
ඒ කියන්නෙ අවුල් ව්‍යවස්ථාදායකය
එතකොට අර උඩින්ම තියෙන පින්තූරෙ 
තනියම ඉන්න බකමූණා කවුද ?
ඒ තමයි අවුල් විධායකය !!!

[ 09 - Oct - 2010 ]

Friday, October 1, 2010

ගම රට එපා වෙන්නෙ ඇයි ???




අද ළමා දිනේ දවසෙ ළමයි ගැන කතා දෙකක් මතක් වුණා. 

ඔන්න එකමත් එක කාලෙක රුසියාවෙ හිටපු ඒකා-අධිපති පාලක ස්ටාලින්ට පොඩි මාධ්‍ය සන්දර්ශනයක් පවත්වන්න හිතුනාලු .මේකට සහභාගි කරව ගත්තේ තෝරාගත් ජනමාධ්‍යවේදීන් සහ ඉස්කෝල වල ළමයි පිරිසක්ලු.


මේ සන්දර්ශනයට පෙරපුහුණුවක් එහෙමත් තිබ්බලු (එහෙම නැතුව බෑනෙ) . තිර පිටපතේ හැටියට ස්ටාලින් අහම්බෙන් යනවා වගේ ළමයි අතරට ගිහිල්ලා එක ළමයෙක්ගෙන් ප්‍රශ්න 2ක් අහනවලු. ඉතින් ඒ ප්‍රශ්න දෙකට උත්තර දෙන්න හොඳ හුරුබුහුටි කොලු පොඩ්ඩෙක්ව හොඳට කටපාඩම් කරවල පුහුණු කෙරෙවුවලු.

ඔන්න මාධ්‍ය සන්දර්ශනය දවසෙ තිර පිටපතේ හැටියට වැඩේ හොඳට නැහල ගියාලු. ස්ටාලින්ගෙ කතාවෙන් පස්සෙලු අර ළමයෙක්ගෙන් ප්‍රශ්න අහන අංගෙ තිබ්බෙ. ඔන්න ඉතින් ස්ටාලින්ගෙ ආරක්ෂකයො ස්ටාලින්ව අර ළමයා ගාවට එක්කන් ගියාලු  .  ඔන්න ජවනිකාව පටන් ගත්තලු


ස්ටාලින් :  පුතාගෙ අම්මා කවුද ?
ළමයා    :  ( මහා හයියෙන් ) , මගේ අම්මා තමයි සෝවියට් දේශය


ස්ටාලින් :  එතකොට පුතාගෙ තාත්තා කවුද ?
ළමයා    :  ( මහා හයියෙන් ) ජෝශප් ස්ටාලින්

ස්ටාලින්ට හරි සතුටුයිලු. ළමයා හිතුවටත් වඩා හොඳට ජවනිකාව රඟපාපු හින්දා. ඉතින් සතුට වැඩි කමට මේ ළමයට මොකක් හරි තෑග්ගක් දෙන්න ඕනෙ කියල හිතපු ස්ටාලින් ළමයගෙන් තව ප්‍රශ්නයක් ඇහුවලු


ස්ටාලින් :  පුතා කැමත්තෙන් බලාපොරොත්තු වෙන මොනව හරි දෙයක් තියෙනවද ?

ඔය ප්‍රශ්නෙට කලින් උත්තරයක් කටපාඩම් කරවල තිබ්බෙ නැහැලු.ඉතින් ඒ ළමයා තමන්ගේ හෘදසාක්ෂියට එකඟව මහා හයියෙන් බෙරිහන් දුන්නලු


ළමයා : මට අම්මයි තාත්තයි දෙන්නම නැති අනාථයෙන් වෙන්න ඕනියෝ.....
======================

ස්ටාලින් ගැන කතාවනම් කවුරු හරි දේශ ද්‍රෝහියෙක් සෝවියට් සමූහාණ්ඩුවේ රජය අපහසුතාවයට පත් කරන්න හදපු බොරු කතාවක් වෙන්න ඇති, ඒත් මේ දෙවෙනි කතාවනම් සකල සිරින් පිරි ශ්‍රී ලංකාවේ එකමත් එක පිටිසර ගමක පුංචි පාසලක ඇත්තටම වෙච්ච සිද්ධියක් කියලා අවුරුදු ගාණකට කලින් පත්තරේක තිබ්බා.

ඔන්න ඒ චූටි පන්තියෙ චූටි ටීචර් චූටි ළමයින්ට මගේ රට ගැන කියල දෙනවලු. ලංකාව තමයි ලෝකෙ උතුම්ම රට, සෞම්‍ය දේශගුණයක් තියෙනවා, ස්වභාවික විපත් නෑ. කෑමෙන් බීමෙන් අඩුවක් නෑ. පළතුරුද, කිරිද, බත්ද, පොල්ද..  ඔය හැම ජාතියකින්ම ලංකාවට කිසිම අඩුපාඩුවක් නෑ.

ඔහොම උගන්නනකොට එක චූටි ළමයෙක් අඬන්න පටන් ගත්තලු. "ටීචර් මම ඊයෙ රෑට කෑවෙත් නෑ, අද උදේට කෑවෙත් නෑ , තේ එකක් විතරයි බිවුවෙ, අනේ ටීචර් මටත් ලංකාවට යන්න ඕනෙ " කියලා
======================

හැබෑටම සමහර අයට මේ විදිහට ගම රට එපා වෙන්නෙ ඇයි. කේන්දරේ එපා කරපු අනං මනං ග්‍රහ යෝග තිබ්බමත් එහෙම වෙනවලු. හැබැයි ඒ මනුස්සයගෙ කේන්දරේද රටේ කෙන්දරේද කියලනම් හරියටම දන්නෙ නෑ. 

පලි:
----
කේන්දර ගැන යමක් කමක් දන්න මාරයා වගේ කෙනෙක්වත් ලංකාවෙ තත්කාල කේන්දරේ පොඩ්ඩක් බැලුවනම් මොකද?

[ 01 - Oct - 2010 ]

Friday, September 24, 2010

ඉස්පිලි පාපිලි නොමැති රටක් !!!


එකමත් එක චූටි ටීචර් කෙනෙක් මට කිවුවා එකමත් එක බබෙක් අකුරු වලට ඉස්පිලි පාපිලි දාන්න කැමති නැහැලු. ඉස්පිලි පාපිලි දාපුවම බෝල වගේ රවුමට තියෙන අකුරු කැත වෙන හින්දලු.

මේ බබා රූල් තියෙන පොත් වල රූල් දෙක අතරෙ ඉඩ පිරෙන්න බෝල ගෙඩි වගේ ලස්සනට අකුරු ලියන්න පුරුදු වෙලා. හැබැයි එහෙම රූල් දෙක අතරෙ ඉඩ පිරෙන්නම ලිවුවට පස්සෙ කෝ ඉස්පිලි පාපිලි දාන්න ඉඩක්. 

ඉතින් මම චූටි ටීචර්ට කිවුවා ඩබල් රූල් පොත් වල අකුරු ලියන්න පුරුදු කරන්න කියලා. චූටි ටීචර් කියනවා දැන් ඩබල් රූල් පොත් විකුණන්න තියෙනවා අඩුයිලු. තියෙන ඒවත් තනිරූල් පොත් වලට වඩා ගණන් වැඩිලු. ඒක හින්දා සිංහල භාෂාවත් ඉස්පිලි පාපිලි නැති ඉංග්‍රීසි වගේ භාෂාවක් කරන්න ඕනෙලු.

ඔන්න ඒ චූටි ටීචර්ගෙයි , ඉස්පිලි පාපිලි වලට අකමැති බබාලගෙයි දැන ගැනීම පිණිස මට චූටි කවියක් මතක් වුණා. මේ කවියෙන් කියවෙන්නෙ ඉස්පිලි පාපිලි නැති එකමත් එක රටක වෙච්ච චූටි සිද්ධියක්.


ටකර ටකර ටකර ................ලයා
කළෙත අරන ළඳට..............ගයා
ළඳ වටකර කබර..............ගොයා
කකල කාප....................දයබරයා

පවූඌඌඌඌ නේද ?


[ 24 - Sep - 2010 ]

Thursday, September 23, 2010

ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගියෙමි



(පින්තූරය ලොකු කරලා බලන්න පින්තූරය උඩ ඔබන්න)

මේ මම ඉන්නේ සිංගප්පූරුවේ පැරණි ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට. අඩවන් වූ දෙනෙතින් බලා ඉන්නවට වඩා එක ඇහැක් සම්පූර්ණයෙන් වහගෙන අනිත් ඇහැ සම්පූර්ණයෙන් ඇරගෙන ඉන්න එක ලේසියි කියලා මට හිතුණා.

[ 23 - Sep - 2010 ]

Sunday, September 12, 2010

දහ අට සන්නිය



නවය නපුරුය.
9 x 2 = දහ අටය.
ඒ නිසා දහ අට දෙගුණයක් නපුරුය.
දහ අට සන්නිය නටන්නේ  නපුරු යක්කුන්ව එළවන්නටය.
එළවපු පමණින් යකා නිකංම යන්නේ නැත.
යන යකා යන්නේ කොරහත් බිඳගෙනය.
කොරහ බිඳුනාම වෙන්නේ බරපතල පාඩුවකි.
එවිට හදිස්සියට අත දමන්නට එකක් නැතිවන්නේය. 
හදිස්සියට කොරහේ අත දාන්න වෙන්නේ අඬුව තියෙද්දී අත පුච්චා ගත්තාමය.
අඬුව තියෙද්දී අත පුච්චා ගන්නේ මකබාස්ලාය.
මකබාස්ලා ඉන්නේ යකාගේ කම්මලේය.
කම්මල යකාගේ නිසා කොච්චර එලෙවුවත් යකා ආපහු එන්නේ කම්මලටමය.

අන්තිමට නටපු නැටුමකුත් නැත 
බෙරේ පලුවකුත් නැත. 
හදිස්සියකට අත දමන්නට තිබුණු කොරහේ කෑලිත් නැත
යකා කියපු  තරම් කළුත් නැත.
යකාට ආවඩ අයුබෝ වේවා !!!

( H2N2 උණ විකාරයෙන් ලියන ලද්දකි )

[ 12 - Sep - 2010 ]

Monday, September 6, 2010

හිට්ලර් අද සිටියානම් ???


[ 06 - Sep - 2010 ]

Thursday, September 2, 2010

18+ සහ අමුඩය ගැසීම



මේ දවස් වල හැමෝම වගේ කතා වෙන්නෙ 18+ ගැන. එහෙමත් නැත්තන් 18 වෙනි අණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන. සමහරු මේ ව්‍යවස්ථා සංශෝධනය ඉක්මනින්ම සම්මත කර ගත යුතු දෙයක් යැයි කියද්දී තවත් සමහරු කතා කරන්නේ මේකට විරුද්ධව. මේ කතාබහ දැක්කම මට මතක් වුනේ ජනප්‍රවාදයේ සුප්‍රකට අමුඩය ගැසීම් දෙකක් ගැන.

ජනාධිපති උන්නැහේගේ දෙවෙනි ධුර කාලය තවම පටන් ගත්තෙත් නැතුව ලබන නොවැම්බර් මාසෙ ඉඳන් අවුරුදු 7ක්ම ගෙඩි පිටින් දෙවෙනි ධුර කාලයක් තියෙද්දි තුන්වෙනි ධුර කාලයක් වෙනුවෙන් 18+ ව්‍යවස්ථාව සංශෝධනය ඉක්මනින් සම්මත කරගන්න හදන එක හරියට අර මුහුද හත්ගවුවක් තියෙද්දි අමුඩය ගැහිල්ල වගේ. 1/3 ක් නැතුව 18+ ට විරුද්ධව කෑ ගහිල්ල හරියට අර අතීසාරයට අමුඩය ගැහිල්ල වගේ.

ඔන්න මමනම් 18+ ට පස්සත් නෑ විපස්සත් නෑ. GSP+ අහිමි වෙලා ඇඟලුම් කර්මාන්තය අනතුරේ වැටිලා තියෙන මෙ වෙලාවෙ අතීසාර වලටයි මුහුදු යන්නයි පාවිච්චියට දේශීය අමුඩ කර්මාන්තයක්වත් පටන් ගනිච්චාවෙ .

[ 02 - Sep - 2010 ]

Tuesday, August 24, 2010

වෙළඳ දැන්වීම් - ඔබන්න පෙර සිතා බලනු



මෑතකදී මම දැක්කා කිහිප දෙනෙක්ම අන්තර්ජාලයෙන් මුදල් උපයන ක්‍රම ගැන බ්ලොග් සටහන් ලියලා තියෙනවා. මෙයින් ජනප්‍රියම ක්‍රමයක් තමයි වෙළඳ දැන්වීම් එබීම (Bux Sites) . සමහර අයනම් තමන්ට ඩොලර් කීපයක් (සමහර විට ඩොලර් ශත ගණනක් ) හම්බ වුණා කියලා payment proof පවා දාලා තිබ්බා. මේ ක්‍රමයට මුදල් හොයන්න හිතන අය මෙන්න මේ ප්‍රශ්න වලට උත්තර දුන්නානම්.

1. ඇමරිකානු ඩොලර් එකක් ශ්‍රී ලංකා රුපියල් කීයද ? 
2. මාසයකට උපයාගත හැකි මුදල රුපියල් වලින් කීයද?
3. වෙළඳ දැන්වීම් එබීමට මාසයකට ගතකරන විනාඩි ගණන?
4. මාසයකට අන්තර්ජාලය භාවිතා කරන කාලය ?

මෙන්න වැදගත්ම ප්‍රශ්නෙ

5. වෙළඳ දැන්වීම් එබීම සඳහා භාවිතා කරන අන්තර්ජාල සම්බන්ධතාවයේ මාසික ගාස්තුව?

තව බෝනස් ප්‍රශ්නයක් විදිහට කැමතිනම් ලාභ අලාභ ගිණුමකුත් හදන්න.

ඔයිට වඩා හොඳ නැද්ද ඔය Mouse එක විකිණුවානම්. අහල ඇතිනෙ මී කුණක් විකුණලා පොහොසත් වෙච්ච සිටුතුමාගෙ කතාව


[ 24 - Aug - 2010 ]

Tuesday, August 17, 2010

GM Garry Kasparov සමඟ දවසක්


තමන් ප්‍රිය කරන නළු නිළියන්ගේ, ක්‍රීඩකයන්ගෙ එහෙමත් නැත්තන් සුපර් ස්ටාර්ලගෙ අත්සන් ගන්න, ඒ අයට අතට අත දෙන්න එහෙමත් නැත්තන් ඒ අය සමඟ ඡායාරූප වලට පෙනී සිටින්න සමහරු උන්මාදයකින් වගේ  හැසිරෙන ආකාරය අහපු, දැකපු වෙලාවල් වලදි "මේ මොන කෝළමක්ද ?" කියලා මට හිතිච්ච වාර ගණන බොහොමයි. ඒ වුණත් ඒ අයගෙ හැඟීම් මොන වගේද කියලා පහුගිය සතියෙ මට තේරුම් ගියා. ඒ සුපිරි චෙස් ක්‍රීඩක ගැරී කැස්පරොව් සම්බන්ධ වන වැඩසටහන් කීපයකට සහභාගි වීමේදී.

"ලෝකයේ බිහිවුණු විශිෂ්ඨතම චෙස් ක්‍රීඩකයා කවුද ?" කියන ප්‍රශ්නයට වැඩිපුරම හම්බ වෙන උත්තර දෙකෙන් එකක් තමයි ගැරී කැස්පරොව් ( 13 වන ලෝක ශූරයා) කියන නම. අනිත් උත්තරේ බොබී ෆිෂර් (11 වන ලෝක ශූරයා) .  විශේෂ ආරාධනාවක් මත ගැරී කැස්පරොව් පහුගිය ඉරිදා එක්දින සංචාරයක් සඳහා සිංගප්පූරුවට ආවා. ඒ ඔහු සිංගප්පූරුවට ආපු පළවෙනි වතාව. සිංගප්පූරුවේ සිටින චෙස් ක්‍රීඩාලෝලීන්ට මේක අති විශේෂ අවස්ථාවක් වුණා.

කැස්පරොව්ට සුපිරි ආරක්ෂාවක් ලබා දී තිබුණු ආකාරය



කැස්පරොව් සහභාගි වෙච්ච පළවෙනි වැඩසටහන තමයි ඔහුගේ හොඳම තරඟයක් විශ්ලේෂණය කිරීම. විශ්මයජනක සංකලන සහ උපක්‍රම වලින්  පිරුණු ඒ තරඟයේදී කැස්පරොව්ගේ ප්‍රතිවාදියා වුණේ තවත් සුපිරි ක්‍රීඩකයෙක් වෙස්ලින් ටොපලොව් (Veslin Topalov). ටොපලොව් තමයි වර්තමානයේ ක්‍රියාකාරී ක්‍රීඩකයන් අතරින් අංක 2 . ඒ තරඟය මෙතනින් බලන්න පුළුවන් .

එයින් පසුව තමයි සමරු සටහන් ලබා දීම අවස්ථාව. සමරු සටහන් ලබා දෙන්න කලින් කැස්පරොව් සහ සිංගප්පූරු ජාතික කණ්ඩායම නියෝජනය කරන ප්‍රබල ක්‍රීඩකයන් දෙදෙනෙක් අතර ප්‍රදර්ශන තරඟ දෙකකුත් පැවැත්වුණා. ඒ තරඟ දෙකෙන්ම ජයගත්තෙ කැස්පරොව්.

කැස්පරොව්ගෙන් මකර අධිරාජයාට සමරු සටහනක්


මේ තියෙන්නෙ කැස්පරොව්ගෙ අත්සන
( හොර අත්සන් ගහන්න එහෙම පුරුදු වෙන්න එපා ඕං )


දිනයේ වඩාත්ම විනෝදජනක අංගය වුණේ කැස්පරොව් විවිධ වයස් සීමාවල ක්‍රීඩකයන් 22 දෙනෙකු සමඟ එක්වර තරඟ කරන ප්‍රදර්ශන තරඟය (Simultaneous Exhibition Match). ක්‍රීඩකයන් රාශියක් සමඟ එකවර ක්‍රීඩා  කරන එවැනි තරඟයක් පැවැත්වෙන්නේ කෙහොමද කියලා පහත වීඩියෝවෙන් බලන්න.

Simultaneous Exhibition Match

මේ තරඟයේදී අනුවේදනීය සිද්ධියකුත් දැකගන්න හම්බ වුණා. කැස්පරොව් සමඟ තරඟ කරන්න අවස්ථාව හම්බ වෙච්ච ක්‍රීඩකයන් 22 දෙනා අතරින් එක්කෙනෙක් වාඩි වෙලා හිටියෙ සාමාන්‍ය පුටුවක නෙවෙයි. එයා වාඩි වෙලා හිටියෙ රෝද පුටුවක. එයාට සාමාන්‍ය චෙස් තරඟාවලියකදි ක්‍රීඩා කරන්න කොහොමවත්ම අවස්ථාවක් නෑ. මොකද එයාට අපිට වගේ පහසුවෙන් හා ඉක්මනින් අතපය චලනය කරන්න බෑ.

සාමාන්‍යයෙන් කෙනෙක් චෙස් ඉත්තන්ව චලනය කිරීමේදී කරන්නේ ඉත්තාව  උස්සලා අදාල තැනින් තියෙන එක. නමුත් මෙයාට ඉත්තන්ව උස්සන්න බැහැ. ඒ වෙනුවට එයා කරන්නෙ හෙමීට හෙමීට ඉත්තාව අදාල තැනට ඇඟිල්ලෙන් තල්ලු කරගෙන යන එක.

කැස්පරොව් සමඟ තරඟ කළ ඒ සුවිශේෂී ක්‍රීඩකයා


මේ ප්‍රදර්ශන තරඟයේ සියළුම තරඟ 22 ට 0 ක් විදිහට ජයග්‍රහණය කළේ කැස්පරොව්. මේ පහළ පින්තූරෙ ඉන්න චූටි මල්ලියා තමයි කැස්පරොව් එක්ක අවසානය දක්වාම සටන් කළේ.

හැමදෙනාගේම අවධානය කැස්පරොව් වෙත යොමු වෙලා තියෙද්දි තමන්ගේම ලෝකයක තනි වෙච්ච පොඩ්ඩො දෙන්නෙක්



[ 17 - Aug - 2010 ]

Saturday, August 14, 2010

රොබින්හුඩ්, කඩුකාරයෝ සහ ජෙනරාල්වරු



රොබින්හුඩ්ගෙ කතන්දරේ කියන්නෙ මම කැමතිම කතන්දර වලින් එකක්. මෑතකදී අළුත්ම රොබින්හුඩ් චිත්‍රපටියක් තිරගත වුණා. ඒකෙ රොබින්හුඩ් චරිතයට රඟපෑවෙ පරණ ජෙනරාල්වරයෙක්. ඒ තමයි කඩුකාරයා(Gladiator) චිත්‍රපටියේ හිටපු රෝම අධිරාජයාගේ අකටයුතුකම් වලට විරුද්ධව සටන් කරපු ජෙනරාල් මැක්සිමස් .

කොහොම වුණත් ජෙනරාල් මැක්සිමස්ගෙ චරිතයට වඩා මම කැමති රොබින්හුඩ්ගේ චරිතයට. රජවරුන්ගේ අකටයුතුකම් වලට විරුද්ධව කරන සටනකදි හමුදා නීතියට යටත් ජෙනරාල් වරයෙකුට වඩා කැළෑ නීතියට යටත් ,හ(ර්)න් කෙනෙකුගෙ පිහිටාරක්ෂාව ලබන රොබින්හුඩ් කෙනෙක් වඩාත් සුදුසුයි කියලයි මට හිතෙන්නෙ. ඒ කිවුවෙ ලංකාවෙ හැටියටනම්  අයියනායක දෙවියන්ගෙ පිහිටාරක්ෂාව ලබන සරදියෙල් කෙනෙක් ??

මේ තියෙන්නෙ ජෙනරාල් මැක්සිමස් කොටියෙක් එක්ක සටන් කරන දර්ශනයක්.
හැබැයි මේක ජෙනරාල් කොටියට අතට අත දෙන දර්ශනයක් කියලත් කෙනෙකුට කියන්න බැරිකමක් නෑ. බලන්නකො දෙන්න අත් අල්ලගෙන ඉන්න අපූරුව

[ 14 - Aug - 2010 ]

Sunday, August 8, 2010

අන්තර්ජාලයෙන් පවු පුරවා ගැනීම


---------------
අන්තර්ජාලය පාවිච්චි කරලා 
හොර Softwares බාගත කරගන්න එපා
පවු සිද්ධ වෙනවා , අපායෙ යනවා
දිට්ඨධම්මවේදනීය කර්ම විදිහට
Malware ප්‍රශ්නත් ඇති වෙනවා



අන්තර්ජාලය අනතුරු සහිතයි
ප්‍රවේශමෙන් පරිහරණය කරන්න !!!



[ 08 - Aug - 2010 ]

Friday, August 6, 2010

සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලයේ රැග් කරන හැටි


රැග් එක, එහෙම නැත්තම් නවක වධය කියන එක ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල හා අනෙකුත් අධ්‍යාපන ආයතන වල පැතිරී ගිය දරුණු රෝගයක්. විකිපීඩියාවේ සඳහන් වන ආකාරයට  නවක වධය වඩාත්ම දරුණු රට ශ්‍රී ලංකාව . [Wikipedia link]

සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලයේත් හැම අධ්‍යයන වර්ෂයක් ආරම්භයේදීම රැග් කාලයක් තියෙනවා. මේ රැග් එකට විශ්ව විද්‍යාල පාලන අධිකාරියේත් සම්පූර්ණ සහයෝගය හම්බ වෙනවා. විශ්ව විද්‍යාලයේ ආචර්යවරුන් පවා නවක සිසුන්ට රැග් එකට සහභාගි වීමට පොළඹවනවා. රැග් එකට සහභාගි විය යුතු ආකාරය, ස්ථාන, දින සහ වෙලාවන් ප්‍රසිද්ධියේ දැන්වීම් පුවරු වලත් සඳහන් වෙනවා.

මෙන්න විශ්ව විද්‍යාලයේ ප්‍රධාන පුස්තකාලය ඉස්සරහ රැග් දර්ශන කීපයක්. ලංකාවෙ වගේ අහු මුළු වල හැංගිලා නෙවෙයි රැග් කරන්නෙ.



මේ ළමයින්ව කූඩුවකට දාලා

හැබැයි මේ රැග් එක අමානුෂික නවක වධයක් නෙවෙයි. අධ්‍යයන වර්ෂයේ පළවෙනි සතිය තුළ නවක සිසුන්ගේ හැඩගැස්වීමේ සහ පිළිගැනීමේ වැඩසටහන් පැවැත්වෙනවා. විශ්වවිද්‍යාලයේ සාම්ප්‍රදායික කොඩි දිනය එන්නේ පළවෙනි සතිය අවසානයේදී. එදාට පැරණි සිසුන් සහ නවක සිසුන් කණ්ඩායම් වශයෙන් රට පුරාම ගිහින් කැට හොල්ල හොල්ල  ආධාර එකතු කරනවා.

  
ලංකාවෙත් විශ්ව විද්‍යාල ශිෂ්‍යයො කැට හොල්ල හොල්ල ආධාර එකතු කරනවා දැකලා ඇතිනෙ. හැබැයි ඒ ආධාර වගේ මේවා එකතු කරන්නේ දේශපාලන පක්ෂ වල අරමුදල් වලටනම් නෙවෙයි. මේ එකතු වෙන ආධාර මුදල් යෙදවෙන්නේ වැඩිහිටි නිවාස, රෝහල් ආදී තැන් වල සුභසාධන කටයුතු වලට.

ඊට පස්සේ දවසක මේ කොඩි දිනයට ආධාර දීපු සියළුම දෙනාට ස්තූති කිරීමක් හැටියට සිසුන් විසින් විවිධාකාර සංදර්ශන පවත්වනවා. ඒකට තමයි රැග් දිනය කියන්නේ. මේ රැග් දිනය සඳහා සිසුන් විසින් අලංකාර  සංදර්ශන රථ හා සංදර්ශන භාණ්ඩ හදනවා.   අර උඩින් තියෙන්නේ රැග් දිනයට පෙර පුහුණු වීමක්.


 ඇතෙක් ආකාරයට සැරසූ සංදර්ශන රථයක්


කලා සිසුන් හදපු කාල තුවක්කුවක්

ඇතාගෙ දළ සරසලා තියෙන්නේ 
ඉවත දාන බීම බෝතල් වලින්


මේ අවුරුද්දේ NUS කොඩි දිනය හෙට. රැග් දිනය 11 වෙනිදා. වැඩි විස්තර සඳහා NUSSU Rag and Flag Day නිල වෙබ් අඩවිය ට යන්න.


[ 06 - Aug - 2010 ]

Thursday, July 22, 2010

භොරෙන් ෆොටෝ ගන්න ගිහින් ....

 


පූස් අම්මාගෙ Facebook Profile එකට දාන්න
තනියම ෆොටෝ එකක් 
ගන්න හදනකොටම
පැටියා දුවලා දුවලා ඇවිත් 
ෆොටෝ එකට ඔලුව දැම්මාලු


පොඩි අය ෆොටෝ වලට ඉන්න හරීඊ...ම ආසයි!!!

[ 22 - Jul - 2010 ]

Tuesday, July 20, 2010

බබ්බුන්ගේ කතා



බබ්බුන්ගේ පාරිභාෂික ශබ්ද මාලාව ටිකක් අමුතුයි. බල්ලා නෙවෙයි බව්වා, හරකා නෙවෙයි තැත්තා . ඔය වගේ වචන ගොඩාරියයි. සමහර වචන ඒ ඒ බබ්බුන්ටම ආවේණිකයි. ඒ වචන නොදැන බබ්බුත් එක්ක ගණුදෙනු කරන එකත් හරි අමාරු වැඩක්. පොඩ්ඩ බැරි වුනොත් අඬනවනෙ.

ඔන්න එකමත් එක දවසක ගෙවල් කීපයක කට්ටිය අපේ ගෙදර ආවා. එක එක වයස් වල චූටි බබ්බුත් කීපදෙනෙක්ම හිටියා. ඉතින් ඔය බබාල ඔක්කොමට එකම මේසෙ බයියං කන්න ලෑස්ති කලා. අතින් කන්න පුළුවන් බබාලට අතින් , එහෙම බැරි බබාලට අම්මලගෙ අතින්. බබ්බුත් හරි කැමති වුණා එහෙම එකට වාඩි වෙලා කන්න.

ඔන්න ඉතින් වැඩේ නැගල ගියා. වෙනදට කන්නෙ නැති බබාලත් අනිත් බබාලත් එක්ක තරඟෙට කනවා. ටිකකින් එක බබෙක් කාලා ඉවර වෙලා තරඟෙන් ඉවත් වුණා. "ආ පුතා , කාල ඉවරද? එන්න මම ජොජෝ දෙන්නම්" කියල ඒ බබාගෙ අම්ම ඒ බබාව එක්කන් ගියා.
 
ඕක දැකපු තව බබෙක්ගෙ මූණ හොඳටම ඇඹුල් වුනා. 

"අම්මි මට ජොජෝ ඕනෙ"

"ජොජෝ නෑ පුතේ , බත් කාල ඉන්නකො , මම බම්බා ගෙඩියක් දෙන්නම්"

 "නෑඈඈඈඈ ජොජෝ තියෙනවා"

"කවුද කිවුවෙ?, ජොජෝ හැදුවෙ නෑ පුතේ

ඒ බබාගෙ අම්මා දැක්කෙ නෑ තව බබෙකුට ජොජෝ දෙන්නම් කියලා එක්කගෙන ගියපු එක. ඉතින් මේ බබා අසාධාරණයට විරුද්ධව අඛණ්ඩව සටන් කරනවා.

පස්සෙ තමයි පටලැවිල්ල තේරුම් ගියේ. එක බබෙක් ජොජෝ කියන්නෙ වතුර වලට. අනිත් බබා ජොජෝ කියන්නෙ දොදොල් වලට. අන්තිමට හැමෝටම බම්බා ගෙඩිය ගානෙ දීල තත්වය සමනය කර ගත්තා .
==================
 
බබ්බුන්ගෙ භාෂාවෙන් අපි කතා කරන්න ගියාම සමහර විට අපිටත් නොහිතන අකරතැබ්බ වෙනවා.

එකමත් එක රටක හිටිය හා පැටියගෙ කතන්දරේ කියල දීපු නවෝදයි මමයි දෙන්නම දැනට වඩා චූටි කාලෙ එකමත් එක දවසක මම එයාව වඩාගෙන ඇවිද ඇවිද හිටියා.

ඔන්න ඔය අතරෙ අපි හිටපු හරියෙන් පූසෙක් ගමනක් යන්න එනවා. මම නවෝදාට පූසව පෙන්නුවා.

"අන්න කිටියෙක්"

"නෑඈ.. පූඌ...සෙක්"

ඉතින් මමත් සෙකන්ඩ් වෙන්න කැමති නෑනෙ.


"කිටියෙක්ක්ක්ක් ..."

"නෑඈඈ ... පූඌඌඌ.....සා කියල කියන්නෙ"  (එහෙම කියන ගමන් මගේ මුණත් කෙනිත්තුවා)

"කිටිය කියලත් කියනවා"

"නෑඈඈ"

"එහෙනම් ආපහු ගියාම අම්මගෙන් අහමුකො"

ඔන්න ඉතින් අපි ආපහු ගියාට පස්සෙ

"අම්මා, පූසා කොටියෙක්ද ?? පොඩි මාමා කියනවා පූසා කොටියෙක්ලු"


[ 20 - Jul - 2010 ]

Saturday, July 10, 2010

උපවාස කිරීමේ විකල්ප ක්‍රම


අතීතයේ එක්තරා දිනයක, එක්තරා විශ්වවිද්‍යාලයකදී:

ලොකු සහෝදරයා: "සහෝදරවරුනි, අපි මේකට විරුද්ධව උපවාසයක් කරන්න ඕනෙ"

පොඩි සහෝදරයෙක්: "ඒක කොහොමද කරන්නෙ?"

ලොකු: "කෑම කන්නෙ නැතුව ඉන්න ඕනෙ. අපි සනාතන මන්දිරය ඉස්සරහින් නැගිටින්නෙ නෑ ඉල්ලීම් ලබා දෙනකම්"

පොඩි: "ඒ කිවුවෙ ලන්ච් ටයිම් එකේදිවත් කැන්ටිමට එන්නෙ නැද්ද කන්න?"

ලොකු: "තොපිට පිස්සුද බොලව්. #$%&&&***@@@ ."

පොඩි: "අනේ කන්නෙ නැතුව ඉන්න අමාරුයිනෙ. බඩගිනි වෙනවනෙ ?"

ලොකු: "#$%&&&***@@@ ,එහෙනම් තොපි මේකට මොකක්ද කරන්න කියන්නෙ?"

පොඩි: "ඉල්ලීම ලබා දෙනකම් අපි නාන්නෙ නැතුව ඉමු !!!"

අනුග්‍රහය: 
මන්චී !!!
නයිස් අයටයි නෝටි අයටයි

[ 10 - Jul - 2010 ]

Wednesday, June 30, 2010

කතන්දර කාරයාගේ පවුල රැකේ


දන්නවත් ඇතිනෙ මේ ළඟදි කතන්දර කාරයාගෙ ගෙදර පොඩි අවුලක් වුනාලු. හැබැයි දැන්නම් ඒ වලිය ශේප්ලු. රැවුලත් බේරාගෙන කැඳත් බේරාගන්නවා කියන්නේ මේ වගේ දේවල් වලටලු. 


නුඹ නාඬන් නුඹ නාඬන් 
මේවා නුඹට හොඳ පාඩම්
(අනුන්ට කතන්දර හදනවට)

[ 30 - Jun - 2010 ]

Real Time Unicode කොන්වර්ටරේ වැඩ කරන්නෙ නැත්තන් ~අතීතයෙන් අහුලන්න~




UCSC Real Time කොන්වර්ටරේ වැඩ කරන්නෙ නැත්තන් http://www.archive.org/ වලට ගිහින් ඒකෙ මැද තියෙන Text Box එකේ http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html ටයිප් කරලා Take Me Back කරන්න. ඊට පස්සෙ පරණ දවසක Archived page එකක් බලා ගන්න පුලුවන්. ඒ පිටුව HTML එකක් විදිහට SAVE කරගන්න. Off-line වැඩ කරන්න පුළුවන්

Cheers !


-මකර අධිරාජයාගෙන් පණිවිඩයක්-

[ 30 - Jun - 2010 ]

Tuesday, June 29, 2010

හාවෝ නයෝ සහ කුරුල්ලෝ


ලංකාවෙ අගනුවරට ජයවර්ධනපුර කියන නම ලැබුනේ කොහොමද කියලා දන්නවා ඇතිනෙ. සමහරුනම් කියනවා ජේ ආර් ජයවර්ධන ජනාධිපති සීයා තමන්ගේ නමෙන් ලංකාවෙ අගනුවර නම් කළා කියලත්. ඒ වුනාට ජයවර්ධනපුර කියන නම රජකාලෙ ඉඳන්ම තිබිලා තියෙනවා.

දියවන්නා නදිය අසළ තිබෙන ජයවර්ධනපුරය ගැන සැළලිහිණි සංදේශයේ වර්ණනා කරන්නෙ මෙහෙමයි.

පොහොසද්දන ඇති තුනුරුවන බැති   පෙමා
මුළුවද්දන සුරපුර පිරි සිරින්               හැමා
ජයවද්දන කැරුමෙන් සුසැදු තම          නමා
ජයවද්දන පුරවර දනු මිතුරු                තුමා

සැදි රත තඹර පෙළ රන තිසරුන්       රුවැති
විදි දිය දහර ලෙළ දෙන දිගු නරු        පටැති
රැඳි රළ රළැති හොය දියවන්නා        නමැති
ඇඳි පුර අඟන පටසළු සිරි රැපැයි           නිති

නයින් විසින් මුගටියන් පරාජය කරන, මුවන් විසින් දිවියන් පරාජය කරන මීයන් විසින් පූසන් පරාජය කරන ආදී ලෙස දුබලයන් විසින් ප්‍රබලයන් පරාජය කරන  ජය භූමියක් නිසා ජයවර්ධනපුරය  ඒ නමින් නම් කළා කියලයි කියන්නේ. 

පහළින් තියෙන වීඩියෝ දෙකේ තියෙන්නෙත් ඒ වගේ ජයභූමි. පළවෙනි වීඩියෝ එක අහිංසක හාවෙක් නපුරු නයෙක්ව පරද්දන දර්ශනයක්. දෙවෙනි වීඩියෝ එක අහිංසක කුරුල්ලො නපූඌඌරු සත්තු ජාතියක් පරද්දන දර්ශන පෙළක්.

 

සාමාන්‍යයෙන්නම් අපි දන්නේ නරියා සහ හාවාගේ කතානේ.  
ඒ වුනාට මේ කතාව නයා සහ හාවා

  

කුරුල්ලන්ගෙන් ප්‍රවේශම් වන්න !!!

[ 29 - Jun - 2010 ]

Thursday, June 3, 2010

චෞර බිළාල

 

අම්මෝ හොඳටෝම බඩගිනියි. බඩගින්න වැඩිකමටම මට ඉබේටම ඤාව් ගෑවුනා. 

ඊයෙ හන්දියෙ මස් කඩෙන් හොඳ මස් කුට්ටියක් අරගෙන ඇවිත් ඒකෙන් කටයි දෙකයි කන්න හම්බ වුණේ. නපූරු දඩෝරියෙක් බුරාගෙන ඇවිත් ඒක උදුරා ගත්තනෙ. දැන් දවස් ගාණකින් හරිහමන් කෑමක් නෑ. මාලු කඩේ පැත්තෙවත් ගිහින් බලන්න ඕනෙ කෑමට මොනව හරි හොයා ගන්න පුළුවන්ද කියලා. 

මුදලාලියි කඩේ කොළුවයි පොඩ්ඩක් එහා මෙහා වෙනකම් බලන් ඉඳලා හොඳ මාලු කූරියෙක්ව කටට ගත්තා විතරයි,

දඩෝං !

මගේ ඇස් නිලංකාර වුණා. "මෙන්න හොර බළලා, මූව මරන්න ඕනෙ". කඩේ කොළුවගේ අතේ තිබ්බ පොල්ලෙ ලොකු යන්තම් දැක්කා විතරයි, මම දුවපු දිවිල්ල  මටම හිතා ගන්න බෑ. අනේ ඒත් මම කටට ගත්ත මාලු කූරියා කොහේදිදො හැලිලා. කටට ගත්ත දේ ගිලගන්න මට වාසනාව නැති හැටියක්. ආපු පාර දිගේ ආපහු ගිහින් හොයලා බලන්න හිතුනත් ඔලුවට වැදිච්ච පාරෙ සැර මතක් වුනාම ඒ මාලු වලින් කමක් නෑ කියල හිතුනා. අනික පණ බයේ දුවපු දිවිල්ලට දුවපු පාර මතකත් නෑ.

හැබෑටම මම මේ කොහෙටද ඇවිත් ඉන්නෙ? මේ කන්ද පැත්තට මීට කලින් ඇවිල්ලම නෑ. අහල තියෙන විදිහටනම් ගමේ පන්සල තියෙන්නෙ මේ පැත්තෙලු. අහම්බෙන් ආපු එකේ පන්සල මොන වගේද කියල බලන්නත් කියල හිතාගෙන මම ඉස්සරහට ඇවිදගෙන ගියා 

අපොයි , වට පිට බල බලා ගියා මිසක් ඉස්සරහ බැලුවෙම නෑනෙ. හාමුදුරුවන්ගෙ කකුල් දෙක ගාවටම යනකම් දැක්කෙ නෑ. දුවන්න කියලා ආපහු හැරුණත් මොකක්දෝ එකක් හින්දා මම නැවතුනා. මම බයෙන් බයෙන් බයෙන් හාමුදුරුවන්ගේ මූණ දිහා බැලුවා. වෙන මිනිස්සුන්ගෙ වගේ නපුරු පාටක් තිබ්බෙ නැති හින්දා වෙන්න ඇති මට දුවන්න හිතුනේ නෑ. එතකොට තමයි මම හිතන්නෙ හාමුදුරුවො මාව දැක්කෙ.

"අනේ , පූසෙක් , කෑම නැතුව වෙන්න ඇති හොඳටම කෙට්ටු වෙලා. පොඩි නම... මෙන්න පූසෙක් ඇවිත් ඉන්නවා. ඉතුරු වෙලා තියෙනවනම් දානෙ ටිකකුයි කිරි ටිකකුයි දෙන්න"

මට අදහා ගන්නත් බැරි වුණා. මෙච්චර කාලෙකට හැමෝම මට ගහල බැණලා පැන්නුවා මිසක් කවුරුවත්ම මට මෙහෙම කරුණාවෙන් කතා කරලා නෑ, කෑම දීලත් නෑ . "කිටී, කිටී" කියල පොඩි හාමුදුරුවො මට කතා කරා.හොර බළලා කියලා මිසක් මේ වගේ ලස්සන නමකින් කවුරුවත් මීට කලින් මට කතා කරලම නෑ. 

පොඩි හාමුදුරුවො අනලා දීපු බත් ටික මම කාගෙන කාගෙන ගියා. කිරි ටිකත් අන්තිම බින්දුවටම ලෙව කෑවා. හම්මේ දවස් ගානක් තිස්සෙ තිබ්බ බඩගින්න දැන් තමයි නැති වුනේ. හොඳ නිදිමතකුත් ආවා.

මට කොච්චර වෙලා නින්ද ගිහින් තිබුණද දන්නෙ නැහැ. ඇහැරෙනකොට කළුවර වැටෙන්නත් කිට්ටුයි. ලොකු හාමුදුරුවොවත්, පොඩි හාමුදුරුවොවත් පේන්න හිටපු නැති හින්දා මම පොඩ්ඩක් එහා මෙහා ඇවිදලා බැලුවා.

ශාලාවක මිනිස්සු ගොඩාක් බිම වාඩි වෙලා ඉන්නවා. ලොකු හාමුදුරුවො පුටුවක වාඩි වෙලා මොනවදො කියනවා. හාම්දුරුවො කියන්නෙ මොනවද කියල  අහන්න හිතුණු හින්දා මම ඒ පැත්තට ගියා. වෙනදට මිනිහෙක් දැක්කත් බයේ ගැහෙන මට අච්චර මිනිස්සු ගොඩක් දැකලත් බය හිතුණෙ නැති එක තමයි පුදුමෙ. මම අයිනෙන් ගිහින් හාමුදුරුවො ඉස්සරහම, වාඩි වුණා. මට ඕනෙ වුණේ හාමුදුරුවන්ව හොඳට පේන තැනක වාඩි වෙන්න. හාමුදුරුවොත් මාව දැක්කා.

"ආ මෙන්න බළල් උපාසක මහත්තයෙකුත් ඇවිත් ඉන්නෙ  බණ අහන්න, බොහොම හොඳයි"

"පිංවතුනි , උපාසක කියන්නෙ පංච ශීලය ආරක්ෂා කරන කෙනෙකුට.අපි දැන බලමු මොකක්ද මේ පංචශීලය කියන්නෙ කියලා, පාණාතිපාතා ...."

අද දවසෙ වෙච්ච දේවල් ඔක්කොම චිත්‍රපටියක් වගේ මට මැවිලා පෙණුනා. මාලු කූරියෙක්ව හොරෙන් ගන්න ගිගින් ගුටි කාලා පණ බේරා ගන්න දුවපු දිවිල්ල, ඊට පස්සෙ අහම්බෙන් මෙතනට ආපු හැටි. ඊට පස්සෙ වෙච්ච් අමුතු දේවල්, මටම හිතා ගන්න බෑ. හරිම පුදුමයි.

"පිංවතුනි, අදින්නාදානා වේරමණී , කියන දෙවන සිල් පදයෙන් කියවෙන්නේ , මම අනුන්ගේ දේවල් හොරකම් කරන්නේ නෑ කියන එක, හොරකම් කරන කෙනාට මෙලොවත් පරලොවත් දෙකේදිම දුක් විඳින්න සිද්ධ වෙනවා."

මේ කියන්නේ මම ගැන නේද කියලා කියලා මට හිතුනා. ඇත්ත තමයි හොර කකා ගතකරපු ජීවිතේදි මම නොසෑහෙන්න දුක් වින්දානෙ. කෝ  වෙන කල්පනාවක හිටපු හින්දා අර සිල්පද පහෙන් පළවෙනි එක අහගන්න බැරි වුණානෙ. ඉතුරු ටිකවත් හරියට අහගන්න ඕනෙ.

හාමුදුරුවො ඉතුරු සිල්පද ටිකත් එකින් එක පැහැදිළි කළා. ඉතුරු සිල්පද ටිකනම් මටත් යස අගේට ආරක්ෂා කර ගන්න පුළුවන්නෙ. හොරකම් නොකර හිටියානම් මටත් යස අගේට උපාසකයෙක් වෙන්න තිබ්බා. 

"පිංවතුනි, මේ සිල්පද පහ ආරක්ෂා කරන හොඳ උපාසකයෙක් වෙන්න අධිෂ්ඨාන කරගන්න. එයින් ඔබේ මෙලොව සහ පරලොව දෙකේම ජීවිත සැපවත් වෙයි"

අනේ මට අර පළවෙනි සිල්පදේ හරියට අහගන්න බැරි වුණානෙ.ඒක මොකක්ද දන්නෙ නෑ. මිනිහෙකුට වගේ කතා කරන්න පුළුවන්කම තිබ්බනම් ඒක මොකක්ද කියල ආපහු කියන්න කියලා හාමුදුරුවන්ට කියන්න තිබ්බා :'( . කමක් නෑ මම අද ඉඳන් හොරකම් කරන්නේ නෑ. මමත් අද ඉඳන් සිල් පද හතරක් ආරක්ෂා කරන උපාසක බළලෙක් වෙනවා. මම අධිෂ්ඨාන කර ගත්තා.

"සාදු සාදු සාදු !!!. ඤාව් ඤාව් ඤාව් !!!"

මිනිස්සුන්ගේ  සාදුකාරයට මමත් මට පුළුවන් විදිහට එකතු වුණා.

[ 04 - Jun - 2010 ]

Tuesday, June 1, 2010

චෙස් ක්‍රීඩාවේ මාලු-මාලු සටන



චෙස් ක්‍රීඩාව ගැන යන්තමින් හරි දන්න හැමෝම දන්නවා ඇති ඒකෙ ඉන්න අශ්වයො ගැන. චෙස් ක්‍රීඩාවෙදි ශ්‍රීමත් නයිට්වරුන්ව අශ්වයන්ට අන්දලයි තියෙන්නෙ. චෙස් ක්‍රීඩාවේ පූර්වජයා වන චතුරංග ක්‍රීඩාවෙනම් අලියොත් ඉන්නවා. ඒ විතරක් නෙවෙයි මූලික ප්‍රවේශන ශෛලීන් (Openings) රාශියකුත් විවිධ සත්තුන්ගේ නම් වලින් නම් කරලා තියෙනවා ( See here ). මෑත කාලයේදී චෙස් ක්‍රීඩාව ආක්‍රමණය කරපු අලුත්ම සතා තමයි මාලුවා.

එක මාලුවෙක් නෙවෙයි මාලු දෙන්නෙක්ම කරට කර සටනක නිරත වෙලා ඉන්නෙ. මෙයින් එක මාලුවෙක්නම් හරි ගණන්. අනිත් මාලුවනම් නොමිලේ අල්ලා ගන්න පුළුවන්.

දැනට ලෝකයේ තියෙන ප්‍රබලම Chess Engine දෙකම නම් කරල තියෙන්නෙ මාලුවන්ගෙ නම් වලින්. වාණිජ නිෂ්පාදනයක් වන Rybka කාලයක් තිස්සේ ලෝකෙ හොඳම Chess Engine එක ලෙස කිරුළු පැළඳගෙන ඉන්නවා. චෙක් ( Czech Republic ) සහ පෝලන්ත භාෂා දෙකෙන්ම Rybka කියන්නෙ චූටි මාලුවාට. මේ පුංචි මාලුවාත් එක්ක කරට කර සටනක යෙදිලා ඉන්න වේලපු මාලුවා ( StockFish ) තනිකරම FOSS නිෂ්පාදනයක්.  මේ මාලු යාලුවො දෙන්නාගේ තරඟකාරීත්වය ගැන ප්‍රමාණාත්මක සංසන්දනයක් මෙතනින් බලන්න පුළුවන්.

පසුගිය අප්‍රේල් 24 සිට මැයි 11 දක්වා පැවැත්වුණු ලෝක චෙස් ශූරතාවයට සමගාමීව පැවැත්වුණු අන්තර්ජාල සජීව සංවාද මණඩප වලට StockFish Engine එකේ නිර්මාතෘවරයෙක් වන  Joona Kiiski ඇවිත් හිටියා. Chess Engines සඳහා CUDA තාක්ෂණය යොදා ගැනීමේ හැකියාව ගැන මම ඔහුත් සමඟ සංවාදයක් පැවැත්වුවා. ඒ අතරේ මම නිකමට වගේ ඇහුවා ලෝකෙ හොඳම Chess Engines මාලුවො වුණේ ඇයි කියලා.

ඔවුන්ගෙන් සමහරෙකුට ඕනෙ වෙලා තිබිලා තියෙන්නෙ ඔවුන්ගෙ Engine එක Bobby Fischer වෙනුවෙන් නම් කරන්න. Bobby Fischer තමයි පසුගිය සියවසේ වඩාත්ම ආන්දෝලනාත්මක පුවත් මවපු චෙස් ක්‍රීඩකයා. ඒ අතරේ ඔවුන්ගේ ප්‍රධානම ප්‍රතිවාදියා චූටි මාලුවා හින්දා ඒකටත් ඇනුම්පදයක් විදිහට වේලපු මාලුවා Stock-fish කියන නම යොදා ගන්න තීරණය කළා කියලයි ඔහු කිවුවේ. ඔන්න ඔහොමයි මාලුවො චෙස් ලෝකය ආක්‍රමණය කළේ!

[ 01 - Jun - 2010 ]


Thursday, May 27, 2010

දුක්ඛ සත්‍යය පටලවා ගැනිල්ල




කශූගෙ බුද්ධාගම පාඩමේ කතන්දරේ කියෙවුවම මට වෙන්න ගිය අකරතැබ්බයක් මතක් වුනා.  මේ වෙසක් කාලෙ හුදී ජනයාගේ බුද්ධාලම්බන ප්‍රීතිය වැඩි කරවන්න ඒ කතන්දරේ ලියන එක සුදුසුයි කියලා හිතුනා. 

කශූගෙ කතන්දරේට හසිත දාල තියෙන කොමෙන්ට් එකේ හැටියටම තමයි ඒ කාලෙත් වැඩ සිද්ධ වුනේ. පාලි ගාථා වල තේරුම ග්‍රීක් වුනාට ගිරවෙක් වගේ ගාථා කටපාඩමෙන් කියන්න පුළුවන්කම තමයි පොර ළමයෙක් වෙන්න ඕනෙ වුනේ.

ඔන්න ඉතින් එක්තරා කාලයක එක්තරා වාර විභාගයක් සමයේ මකර අධිරාජයා වන මම බුද්ධධර්මය ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලියනා කල්හි මෙවන් පැණයක් මතු විය.

ප්‍රශ්නය: දුක්ඛ ආර්ය සත්‍යයේ අඩංගු කරුණු ලියන්න ?

ඕක ඉතින් මහ ලොකු ප්‍රශ්නයක්යැයි. ඉපදීම, ජරාවට පත්වීම , ලෙඩවීම ....ඔහොම ලැයිස්තුවක්නෙ තියෙන්නෙ. දඩ බඩ ගාලා කටපාඩම් කරගෙන තිබ්බ ලැයිස්තුවම ලියලා දැම්මා.

ඒ කාලෙ දැන් වගේ නෙවෙයි. ප්‍රශ්න පත්තරේකට උත්තර ලියලා තව පාරක් කියවලා හරි වැරදි බලන්නත් කාලය ඉතුරු වෙනවා. දැන් ඉතින් අපි වයසට ගිහිල්ල හින්දා හරි වැරදි බැලිල්ල කෙසේ වෙතත් අහල තියෙන ප්‍රශ්න වලට උත්තර ලියා ගන්නවත් කාලෙ මදි (වයසට යාම දුකකි ) 

ඔන්න ඉතින් මම උත්තර පත්තරේ ආපහු මුලක ඉඳන් කියව කියව හරි වැරදි බැලුවා. මෙන්න බොලේ එක තැනක මේ මගේ අත් අකුරෙන්ම ලියල තියෙනවා 

"ඉපදීම දුකකි, බුදුවීම දුකකි, පිරිණිවන්පෑම දුකකි"
 
හෆොයි ඉපදීම , පිරිණිවන්පෑම නම් දුක් වෙන්න පුළුවන්. ඒත් බුදුවීම දුකක් වෙන්නෙ කොහොමද ?

වහාම පෙරළලා බැලුවා ප්‍රශ්න පත්තරේ. ප්‍රශ්නය: දුක්ඛ ආර්ය සත්‍යයේ අඩංගු කරුණු ලියන්න ?. ඕකට ලියන්න ඕනෙ උත්තරේ මගේ දිව අගම තිබුණා. මට හොඳට මතකයි උත්තරේ පටන්ගන්නෙ ඉපදීම කියන වචනෙන් කියලා. ඒත් කොච්චර උත්සාහ කළත් මට මතක් වුණේම ඉපදීම, බුදු වීම , පිරිණිවන්පෑම කියන තුන. අන්තිමට කොහොම හරි ස්ථානෝචිත ප්‍රඥාව යොදලා අර මතක තිබ්බ ඉපදීම කියන වචනෙයි සතර පෙරනිමිති වලින් තුනකුයි දාල බාග උත්තරයක් ලිවුවා. හොඳ වෙලාවට පැවිදිවීම දුකක් කියලා නොලියන්න තරම් සිහි කල්පනාව තිබ්බා. අර බුදුවීම දුකකි කියලා ලියපු එක ,මොකක්ද ලියලා තියෙන්නෙ කියලා හොයා ගන්න බැරි වෙන්න කුරුටු ගාලා දාන්නත් අමතක කළේ නෑ.

කොන්ෆියුසිස් පඬිතුමාගේ ප්‍රසිද්ධ කියමනක් තියෙනවා 
.
I hear and I forget. 
I see and I remember. 
I do and I understand.
.
කියලා. 

ඒ දවස්වල විභාග අරමුණු කරගෙන කටපාඩම් කරපු දුක්ඛ ආර්ය සත්‍යය ඇත්තටම සත්‍යයි කියලා දැන් දැන් තමයි තේරෙන්නෙ. උදාහරණයක් විදිහට ලෙඩවීම (ඉස්කෝලෙ යන්න කම්මැලි කමට දා ගන්න බොරු ලෙඩ නෙවෙයි ) දුකක් කියලා තේරුම් ගන්නනම් ඒ අත්දැකීම ලබන්නම ඕනෙ. 

බුදුරජාණන් වහන්සේට චතුරාර්ය සත්‍යය තමන් විසින්ම අවබෝධ කරගන්න සාරාසංඛ්‍ය කල්ප ලක්ෂ ගාණක අත්දැකීම් ඉවහල් වෙන්න ඇති. බුද්ධත්වයට පත්වෙන්න පාරමිතා පුරන්න ඕනෙ කියන්නෙ ඒ අත්දැකීම් ලබා ගන්න වෙන්න ඇති.  

[ පාරමිතා සම්පූර්ණ කිරීම ගැන මම මීට කලින් ලියපු අදහසක් මෙතනින් කියවන්න. ]

ඔබ සැමට චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීමට හැකි වේවා!!!
ප්‍රීති වෙසක් !!!



[ 27 - May - 2010 ]

Thursday, May 20, 2010

මෙදා පොටෙත් E-කේක්



කේක් සඳහා අනුග්‍රාහක දායකත්වය : 
රුවන්තිකා කුමාරි

ඔන්න හැමෝම ඇවිත් කේක් කෑල්ලක් කාලා යන්න

ගිය අවුරුද්දෙ කේක් එකත් තවම ඉතුරුයි. 
කෑවෙ නැති අය මෙතනින් ගිහින් කන්න

[ 20 - May - 2010 ]

Monday, May 3, 2010

මේ ජීවන කතරේ - සැප දුක සමබර වේ !!!



"බල්ලෝ අපිට හරිම කීකරුයිනේ. බල්ලා අපිව සලකන්නේ උන්ගේ ස්වාමියා කියලා. ඒත් පූසගෙන් කවදාවත් එහෙම සැළකිලි බලාපොරොත්තු වෙන්න එපා. ගෙදර පූසා කොහොමත් ඉන්නේ ගෙදර උගේ, ඌ අපිට ගේ රෙන්ට් එකට දීලා වගේනේ... නැද්ද මං අහන්නේ...

මම ලියපු " ලංකාවට පූසො ගෙනාවෙ කවුද ? "  කියන ලිපියට පැතුම් පුංචිහේවා සහෝදරයා දක්වපු අදහසක් ඒ. ඔය උඩින් තියෙන පින්තූරෙ බැලුවම ඒ කතාවෙ ඇත්තක් නැත්තෙත් නෑ කියල හිතෙනවා.

හැබැයි ඉතින් සමහර අය කිරි, මාලු ඔලු වගේ දේවල් දීල පූසට රෙන්ට් එක ගෙවනවට අමතරව පූසන්ගෙන් වැඩිපුර ලකුණු දාගන්න කියලා අමතර සැළකිලිත් දක්වනවා. හැබැයි ඉතින් ඒ වැඩි සැළකිලි දක්වද්දි පූසන්ගෙ පැත්තෙන් හිතන්නෙ නැති එක තමයි වැරැද්ද. ඇල්බට් අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයට අනුවනම් මේ වගේ අවස්ථාවකදි පූසගෙ නිර්දේශ රාමුවට සාපේක්ෂව තමයි බලන්න ඕනෙ. එහෙම කළේ නැති වුනාම වෙන දේ පේනවා නේද. (පහළ පින්තූරෙන් )


දිය පාරක් ලඟ යාන්තමට රත් වෙච්ච ගල් තලාවක දිගා වෙලා කකුල් දෙක වතුරෙ ඔබාගෙන ඉන්නකොට මාර සනීපයි. හැබැයි ඉතින් ඒ සැප ගල රත් වෙනකම් විතරයි.


[ 03 - May - 2010 ]

Wednesday, April 14, 2010

ආකිමිඩිස්ට වැරදුනාවත්ද ?



අමිලගේ මෙන්න මේ සිතුවිල්ල කියෙවුවාම ඉස්කෝලෙ යන කාලෙ ලීවර ගැන ඉගෙන ගනිද්දි කරපු අති පණ්ඩිත වැඩක් මතක් වුනා.

ලීවර මූලධර්ම පිළිබඳව මුලින්ම ගණිතානුකූල අධ්‍යයනයක් කළ පුද්ගලයා විදිහට සැළකෙන්නෙ ග්‍රීක ජාතික ගණිතඥ ආකිමිඩිස්. ලීවර වල බලසම්පන්න බව ගැන කියන්න ආකිමිඩිස් යොදාගත්ත ප්‍රසිද්ධ කියමනක් තමයි "මට හිටගෙන ඉන්න තැනක් දෙන්න, මම  පෘතුවිය  පෙරළන්නම් (ලීවර යොදාගෙන) " ["Give me a place to stand, and I shall move the earth."] .

අපිට ලීවර ගැන උගන්නපු ගුරුතුමා ඔය ප්‍රසිද්ධ කියමන ගැනත් අපිට කිවුවා. අපිටත් ඉතින් ඒ දවස් වල ඕනෙ නැති දෙයක් නෑනෙ. දවල් කෑම කන අතරෙ ආකිමිඩිස්ගෙ ඔය කියන කියමන ගැන අපි අතරෙ ලොකු විවාදයක් ඇති වුනා.  ආකිමිඩිස්ට ඉන්න තැනක් දීම, ඉල්ලන තරම් දිග පොල්ලක් දීම වගේ දේවල් කොහොමටවත්ම ප්‍රායෝගික නෑ. ඒත් අපි වාද කළේ ආකිමිඩිස්ට පය ගහගෙන ඉන්න තැනක් දුන්නත් , ඉල්ලන තරම් දිග පොල්ලක් දුන්නත් ඇත්තටම ආකිමිඩිස්ට පෘතුවිය පෙරළන්න පුලුවන්ද බැරිද කියලයි.  අවසාන තීරණය වුනේ ආකිමිඩිස්ට පෘතුවිය පෙරළන්න පුලුවන්ද කියලා ගණිතානුකූලව අධ්‍යයනය කරලා බැලීම. මෙන්න මෙහෙමයි අපේ ගණනය කිරීම් කලේ.

උපකල්පන: 

1. ආකිමිඩිස්ට ඉන්න තැනක් සහ අවශ්‍ය තරම් දිග සහ ශක්තිමත් පොල්ලක් තියෙනවා. 

2. පෘතුවිය පෙරළන ලීවරයේ ධරය විදිහට යොදා ගන්නේ චන්ද්‍රයා. (පෘතුවියට ළඟපාතින්ම හොයාගන්න පුළුවන් ගැළපෙන ප්‍රමාණයේ ධරය තමයි හඳ ).

3. ආකිමිඩිස්ට යෙදිය හැකි උපරිම බලය 100Kg ක බරකින් ඇතිවෙන බලයට සමානයි.

ඔන්න ඊළඟට ලොකු ප්‍රශ්නයක් ආවා. මේ ගණනය කිරීම කරන්න පොළොවෙ ඉඳන් හඳට තියෙන දුරයි, පොළොවෙ බරයි ඕනෙ. දැන් වගේ අන්තර්ජාල පහසුකම් තිබුණානම් පටස් ගාල Google Search එකක් දාන්න තිබ්බා. අපිට ඒ දවස් වල අන්තර්ජාල පහසුකම් නැති හින්දා පුස්තකාලයේ පොත් පෙරළලා පෙරළලා ඕනෙ කරන දත්ත හොයා ගන්න තුරු ගණනය කිරීම පහු වෙනිදාට කල් දාන්නත් වුනා.

ලීවර වල අඩු බලයක් යොදන පැත්තට පොල්ලෙ වැඩි දිගක් ඕනෙ. ඒ කියන්නෙ 10Kg බලයකින් 100Kg හොළවනවානම් 100Kg වල ඉඳන් ධරයට තියෙනවා වගේ 10 ගුණයක් දුරක් 10Kg ඉඳන් ධරයට තියෙන්න ඕනෙ.  ඉතින් පෘතුවියේ සුපිරි ස්කන්ධයයි අකිමිඩිස්ට යොදන්න පුළුවන් කියලා උපකල්පනය කරපු දුප්පත් 100Kg බලයයි පොළොවෙ ඉඳන් හඳට තියෙන දුරයි  දාලා ගාණ හදලා බැලුවාම ආකිමිඩිස්ට දෙන්න ඕනෙ පොල්ලෙ දිග කිලෝමීටර් කෝටි ප්‍රකෝටි ගාණක උත්තරයක් ආවා. ඒ උත්තරේ හාෆ්ෂීට් පිටුවක් පුරා ලිවුවා මතකයි.


දැන් ඊළඟ ප්‍රශ්නෙ. ලීවර වල වැඩි බලයක් තියෙන පැත්ත පොඩි දුරක් ගමන් කරවන්න අඩු බලයක් තියෙන පැත්ත වැඩි දුරක් ගමන් කරවන්න ඕනෙ  (උඩින් තියෙන රූපෙ බලන්න).  ඉතින් පෘතුවිය සෙන්ටිමීටරයක් හොල්ලන්න ලීවර පොල්ලේ ආකිමිඩිස් අල්ලගෙන ඉන්න පැත්ත ගමන් කරවිය යුතු දුර තවත් හාෆ්ෂීට් පිටුවක් පුරා ලියවුනා. ආකිමිඩිස් ඉල්ලන්නේ හිටගෙන ඉන්න තැනක් . ඒත් ආකිමිඩිස්ට එකතැන හිටගෙනනම් ඒ තරම් දුරක් ලීවරයේ තමන් අල්ලගෙන ඉන්න කොන ගමන් කරවන්න බැහැ. ඉතින් අපි එකඟ වුනා ආකිමිඩිස්ට ලීවර පොල්ල අල්ලගෙන අභ්‍යවකාශයේ ගමන් කරන්න අවසර දෙන්න.

ඊළඟට අපි ගණනය කරලා බැලුවා ඒ දුර යන්න ආකිමිඩිස්ට කොච්චර කාලයක් ගත වෙනවාද කියලා. ලීවර පොල්ල අල්ලගෙන ආලෝකයේ වෙගයෙන් දිවුවත් ඒ දුර ගමන් කරන්න සාමාන්‍ය මිනිහෙක්ගෙ ජීවිත කාලයේදී බැරි බව  අපිට ආපු උත්තරෙන් පෙණුනා. ආකිමිඩිස් කියන්නේ මහළු කෙනෙක් හින්දා ඒ දුරෙන්  පොඩිම පොඩි කොටසක්වත් ආකිමිඩිස්ට යා ගන්න බැරි වෙයි කියලා අපි එකඟ වුණා. ඒ විතරක් නෙවෙයි අපි උපකල්පනය කරපු 100Kg බලයක් ආකිමිඩිස් වගේ මහළු කෙනෙක්ට යොදන්න පුළුවන්ද කියන සැකයත් මතු වුණා.  අවසාන නිගමනය වුණේ ඉල්ලන දේවල් ඔක්කොම දුන්නත් ආකිමිඩිස්ට පෘතුවිය සෙන්ටිමීටරයක්වත් හොල්ලන්න බැරි බවයි.

ඉතින් අපි වීරයො වගේ ගිහින් අපේ මහා සොයාගැනීම අපේ ගුරුතුමාට විස්තර කළා. ගුරුතුමාත් අපේ ගණනය කිරීම් , තර්කන ඔක්කොම හිනා වෙවී අහගෙන ඉඳලා අන්තිමට කිවුවා "කියන්නා කෙසේ කිවුවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි" කියලා කතාවක් තියෙනවා කියලා දන්නවා නේද? කියලා.

අලුත් අවුරුද්දේ නිවාඩු පාඩුවෙ ඉන්න වෙලාවෙ වෙන කරන්න වැඩකුත් නැත්තන් හාෆ්ෂීට් 4 5කුත් අරගෙන ගණන් හදලා බලන්න ආකිමිඩිස්ට පොළොව සෙන්ටිමීටරයක්  හොල්ලන්න කොච්චර කල් යනවද කියලා. ඕනෙ කරන ඔක්කොම දත්ත Google ගෙන් අහන්න.

ඔබ සැමට
කිරි ඉතිරෙන පැණි බේරෙන
සුභ නව වසරක් වේවා!

[ 14 - Apr - 2010 ]