Sunday, July 16, 2017

බඩගින්නට ගවුම් කන්න


ගවුම කාපු මී පැටියට ඉතුරු ටිකත් කන්න ...........දෙන්න
කොමඩු වැලේ ගෙඩි විකුණල අලුතින් ගවුමක් ...මහන්න
අලුත් ගවුම ගෙන එනකම් වැලි කෙළියට ඇඳන් ....යන්න
කොමඩු වලින් හදපු ගවුම මටත් හොඳයි කකා........ඉන්න

[ 16 - Jul - 2017 ]

Friday, June 23, 2017

අන්තරය


"මේ ඇහුණයි , පුතාගෙ වැඩ ගැන ටිකක් හොයල බලන්න වෙයි"

"අර මොකෝ ? "

"ඒ ලෙවල් ඉවර කරන්නත් කලින්ම ඉඳන් අන්තරේට සම්බන්ධ වෙලා වගේ. මට ඇහුණා ඊයෙ යාලුවො කට්ටිය එක්ක අන්තරේ ගැන බර  සාකච්ඡාවක් කරනවා. එකතු වෙලා පාඩම් කරනව කියල ඇවිත් කට්ටිය කරන්නෙ ඕවා තමයි"

"අන්තරේ කියන්නෙ මොකක්ද ?"

"ඇයි වදේ ? මොන ලෝකෙද ඉන්නෙ. අර රැවුල් වවාගෙන හඩුවට ඉන්න කාලකණ්ණි හපුටු පෙනුමක් තියෙන ඉලන්දාරි රංචුව. නිතරම පාරවල් වල රස්තියාදුව උද්ඝෝෂණයි අරවයි මේවයි ගගා. පොලීසියෙන් තමයි මාසෙකට සැරයක් විතර ඕකුන්දලව නාවන්නෙත්"

"හැබෑට මේ අපේ එකත් එවුන් එක්ක පංගාර්තු වෙලාද ? මේකව කොටියා කාල ඒ කොටියව තව කොටියෙක් කන්න එපැයි. කෝ මේකා. මෙහෙට වර "

-----+++++++++++++++++++++++++ ---------------

"හැබෑද මේ කියන කතාව ? තෝ හිමිජ්ජා වගේ ඉඳන් අන්තරේට සම්බන්ධ වෙලාද ? කතා කරපිය. පන්ති යනවා කියල කරන්නෙ මේවද ?"

"
හෑ ? අන්තරේට ?? කවුද කිව්වෙ එහෙම එකක් ?"

"ඇත්ත කියපිය. ඊයෙ පාඩම් කරනව කියල ඇවිත් හිටපු කොල්ලො එක්ක අන්තරේ ගැන සකච්ඡා කර කර හිටිය නේද ?"


"ආ ඒ, වර්ග දෙකක අන්තරේ ගැනනෙ අපි කතා කරේ"

"වර්ග දෙකක අන්තරේ තමයි බොල. ඔය අන්තරේ එව්වො දිව දෙකේ දෙපිටකාට්ටුවො . 
වර්ග දෙකක් නොවෙයි ඔව්වෝ වර්ග 10ක 15ක එව්වො"

"
නෑ නෑ , මේ එක්ස් ධන වයි, එක්ස් රින වයි ගැන අපි කතා කළේ"

"එක්ස් කියන්නෙ කුණුහබ්බ ෆිලුම් නෙ. ධන මොකක්දො වාදයක් ගැන කියවල තමයි ඔය අන්තරේ එව්වො කොල්ලන්ගෙ ඔලු අවුල් කරල දැලේ දා ගන්නෙ. වයි කියන්නෙත් මොකක් හරි අලුත් කුණුහබ්බක් වෙන්න ඇති"

"
නෑ , නෑ , මේක මේ ගණිතමය ..........."

"කට වහපං. මීට පස්සෙ පන්ති යන්න ඕනි නෑ. ඉගෙන ගන්න දෙයක් ඉස්කෝලෙන් ඉගෙන ගං. ඉස්කෝලෙ ඉවර වෙච්ච ගමන් ගෙදර එන්න ඕනි වෙන කොහේවත් යන්න බෑ"

"
පන්ති නොගිහින් කැම්පස් ....."

"ඔය කැම්පුස් අර පුස් මේ පුස් වලින් වැඩක් නෑ. තෝ ඒවට යන්න ඕනි නෑ. ගෙදරට වෙලා වත්ත පිටියෙ තියෙන වැඩක් බලං හිටපිය"


[ 23 - Jun - 2017 ]

Sunday, May 7, 2017

පෝරුවේ ජරමරේ



මේක ඇත්තම ඇත්ත සිද්ධියක්. අපේ මිතුරෙක්ගේ විවාහ මංගල උත්සවේකදි වෙච්ච දෙයක්.
.
පෝරුවේ චාරිත්‍ර වලට වෙලාව නියමිත නැකැත් වෙලාවට හොඳටම ලං වෙලා තියෙද්දිත් මනමාල මහත්තයා තවම ඇවිත් නැහැ. කට්ටිය හොඳටම කලබල වෙලා. සමහරු එහාට මෙහාට දුරකථන ඇමතුම් ගන්නවා මොකද වෙලා තියෙන්නෙ හොයා බලන්න. ඒ අස්සෙ තව සමහරු තව අයට දෝෂාරෝපණ. මනමාලියි එයාගෙ දෙමව්පියොයි මොකද කරන්නෙ කියල හිතා ගන්න බැරුව ඔහේ බලා ඉන්නවා.
.
කොහොම හරි ජෝඩුව පෝරුවට නගින්න නියමිත වෙලාවට විනාඩි 2ක් 3ක් තියෙද්දි මනමාල මහත්තයයි, දෙවෙනි මනමාලයා මල්කුමාරයො ඇතුලු පිරිසයි කොහෙදෝ ඉඳන් හති දාගෙන දුවගෙන ආවා.

.
පරක්කු ඇයි ? මොකද වුණේ ? කියල විස්තර අහන්න වෙලාවකුත් නැහැ. "ජෝඩුව ඔහොම්මම පෝරුවට නග්ගල ඉම්මු. විස්තර පස්සෙ අහන්න බැරියැයි". වැඩිහිටියෙක් කිව්වා. හැමෝම ඒක පිළිගත්තා.

.
"ඔන්න දැන් වෙලාව හරි" කියලා ඔරලෝසුව බලාගෙන හිටපු කෙනා කියනවත් එක්කම දෙපැත්තෙ වැඩිහිටියෝ දෙන්නා මනමාලයාවයි මනමාලිවයි අත් වලින් අල්ලලා දෙපැත්තෙන් පෝරුවට නැග්ගුවා.
.
හොඳටම කලබල වෙලා හිටපු දෙවෙනි මනමාලයත් මනමාලයා නගිනවත් එක්කම එයා පිටිපස්සෙන් පෝරුවට නැග්ගා. දැන් පෝරුව උඩ තුන්දෙනයි. මනමාලයයි මනමාලියි දෙන්නා තක්බීර් වෙලා ඒ  දිහා බලන් ඉද්දි දෙවෙනි මනමාලයත් මොකක්ද අවුල කියල හිතා ගන්න බැරුව කට ඇරන් බලා ඉන්නවා.

.
දෙවෙනි මනමාලයට ඉක්මනින්ම පොරුවෙන් බහින්න වුණා. හැබැයි පෝරුව උඩ උඩරට මංගල ඇඳුමෙන් සැරසිච්ච තුන්දෙනෙක් බිරන්තට්ටු වෙලා මූණෙන් මූණ බලා ඉන්න අපූරු ඡායාරූපයක් කැමරා වල සටහන් වෙලා තිබ්බා.


[ 07 - May - 2017 ]