Monday, July 20, 2009

මකර රජදහන දේශ සීමා වලින් පිටතට !!!


2009 ජුලි 25 වෙනිදා සිට මකර රජදහනේ පරිපාලන කටයුතු තාවකාලිකව ශ්‍රී ලංකාවේ දේශ සීමා වලින් පිටත සිට ක්‍රියාත්මක කරන බව නිල වශයෙන් දැනුම් දෙන්නයි මේ පෝස්ට් එක ලියන්නේ.


ජුලි 25 වෙනිදා මම සිංගාරප්පුවට යනවා. ( අපේ අක්කාගේ දෝණි බබා චූටි කාලෙ සිංගප්පූරුව කියන්න බැරුව කිවුවෙ සිංගාරප්පුව කියලා )



MerLion

මට වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලයේ ( National University of Singapore ) පරිගණක පාසලෙන් ( School of Computing ) ශිෂ්‍යත්වයක් හම්බ වුනා.

ජුලි 30 වෙනිදා ජාත්‍යන්තර ශිෂ්‍යයන් සඳහා සිංග්ලිෂ් ( Singlish ) පිළිබඳව වැඩමුළුවක් තියෙනවා කියලා දන්වලා එවලා තියෙනවා. හහ් .. බලමු අපි නොදන්න සිංග්ලිෂ් මොනවද කියල . නේද ?

Sunday, July 19, 2009

උප සංස්කෘතිය

උප සංස්කෘතියක් කියන්නෙ මොන වගේ දෙයක්ද කියලා දන්නෙ නැති අය මේක බලලා ඉගෙන ගන්න.

උපුටා ගැනීම E06 Works™ කැලෑ සන්නිය චිත්‍රපටයෙන්


කැලෑ සන්නිය(2008) කියන්නේ ශ්‍රී ලාංකේය සුරංගනා කතා කලාවට නව සම්ප්‍රදායක් එකතු කරපු පෙරළිකාර චිත්‍රපටියක්. මේකෙන් අදහස අරගෙන තමයි සුප්‍රකට ප්‍රහසන වැඩසටහන් මාලාවක් වූ අපි නොදන්න ලයිව් (ALa) වල සුරංගනා කතා Item එක පටන් ගත්තෙත්.

සම්පූර්ණ චිත්‍රපටියම බලන්න කැමතිනම් මූණු පොතේ
Fans of "Kelae Sanniya" group එකට Join වෙන්න.

[ 19 - JULY - 2009 ]




Saturday, July 18, 2009

කේන්තියට පුම්බන්න





කේන්ති ගියාම 1 ඉඳන් 100ට ගණන් කරන්න කියනවා අහලා ඇති නේද? කේන්ති ගියාම කරන්න පුළුවන් තවත් දෙයක් තමයි මේ .

බැලුම් බෝලයක් අරගෙන පිපිරෙනකම්ම පුම්බන්න. නිතර කේන්ති එන අය බැලුම්බෝල කීපයක් නිතරම ලඟ තබා ගැනීම නුවණට හුරුයි ( Panadol වගේ ).

මේකෙ තියෙන වාසියක් තමයි , කවුරු හරි බැලුම් බෝලයක් පුම්බනවා ඈතදිම දැකලා මාරු වෙලා යන්න පුළුවන් වීම. ගණන් කරනවා ඈතට අඳුරා ගන්න අමාරුයිනෙ.



මේ බලන්නකෝ මෙයාට කේන්ති ගිහින් තියෙන තරම


Note:


මේක මගේම අදහසක් . පේටන්ට් ගන්නෙ නැහැ . Free & Open Source . Test කරලා Bugs තියෙනවානම් කියන්න.

[ 18 - JULY - 2009 ]

බලය බෙදා හැරීම


මේ දවස් වල 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ට අදාළ බලය බෙදීම ගැන ගොඩාක් කතා වෙනවනෙ. 13 කියන්නෙ අශුභ අංකයක් හින්දා ඒක 13+ කරන්න යනවා කියලා කතාවකුත් තියෙනවා. ඉතින් ඔය බලය බෙදීම ගැන සිදුවන කතාබහ හින්දා මට පරණ සිද්ධියක් මතක් වුනා.

අපේ ඉංජිනේරු උපාධිය සම්පූර්ණ කිරීමේ සුදුසුකමක් විදිහට තාක්ෂණික විෂයයන්ට අමතරව වෙනත් පොදු විෂයයන් (General Electives) Credits 15 කට ඉගෙන ගන්න ඕනෙ. (1 Credit = 15 Lecture Hours). කළමනාකරණය, සමාජ විද්‍යාව, දේශපාලනය , සංගීතය, චිත්‍ර හා මූර්තිකරණය වගේ දේවල් තමයි Generel Electives වලට අයිති. හැබැයි මේ විෂයයන් සමත් වීම පමණයි අවශ්‍ය. මේවා GPA ( Z-Score වගේ එකක් ) ගණනය කරන්න පාවිච්චි කරන්නෙ නැහැ. ඒක නිසා ගොඩක් දෙනා මේ විෂයයන් වලට A, A+ එහෙම ගන්න උත්සාහ කරන්නෙ නැහැ. C, C+ වගේ එකක් අරගෙන යන්තම් සමත් වෙන ගානට තමයි මහන්සි වෙන්නෙ.

අපි ඉගෙන ගත්ත එක විෂයයක් "ශ්‍රී ලංකාවේ දේශපාලනය" (Poitical Issues in Sri Lanka) . ඒකෙ ප්‍රධාන වශයෙන් තිබ්බෙ ශ්‍රී ලංකාවෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, මැතිවරණ ක්‍රමය, සහ දේශපාලන ගැටළු ගැන.

අපි ඔය විෂය ඉගෙන ගත්තෙ 2005 ජනාධිපතිවරණය කැඳවලා තිබුණු කාලෙ. ඉතින් ලෙක්චර්ස් වලදි එකම ගාලගෝට්ටියක්. වාද විවාද ගොඩායි. හැබැයි හරිම විනෝදජනකයි. මැතිවරණ උණුසුම අස්සෙනෙ ඉගෙන ගන්නෙ.

ඔයින් මෙයින් ඒ Subject එකේ Exam එකත් ආවා. අපේ එක යාළුවෙක් ඒ විෂයට ලියාපදිංචි වෙලා තිබුණත් එකම ලෙක්චර් එකකටවත් ඇවිත් නැහැ. විභාගෙ කාලසටහන ගැන දැනගෙන ඉඳලත් නැහැ . ඉතින් අන්තිම මොහොතේ විනාඩි 5 ක විතර ක්ෂණික පුනරීක්ෂණයක් කරගෙන තමයි විභාගෙට ගියේ. ඉතින් අපේ යාලුවාට විභාගයට ගියාට මේ විෂය කළුද සුදුද කියලවත් අදහසක් තිබිලා නැහැ.

විභාගෙට අහලා තිබුණු එක ප්‍රශ්නයක් තමයි "ශ්‍රී ලංකාවේ බලය බෙදා හැරීමේ ව්‍යුහයන් විස්තර කරන්න" (Explain the Structures for devolution of Power in Sri Lanka ) කියන එක. අපේ මේ යාළුවා විදුලි ඉංජිනේරු විෂය ධාරාව හදාරපු කෙනෙක්. ඉතින් එයාට Power කියන වචනෙ දැකපු ගමන් මතක් වෙලා තියෙන්නෙ විදුලි බලය. ඉතින් එයා ලංකාවෙ විදුලි බලාගාර වල පිහිටීම, ඒවායේ ධාරිතා , ඒවා එකිනෙක සම්බන්ධ කරන හැටි , ඉදිරියේදි හදන්න තියෙන බලාගාර වගේ දේවල් ගැන පිටු ගාණක් පුරා ඇට්ටි හැලෙන්න ලියලා.


අපිට ඔය කියන විෂය ඉගැන්නුවෙ කලා පීඨයෙන් ආපු කථිකාචාර්යවරු. අපේ යාළුවාගේ උත්තරය ගැන කලා පීඨයේ රස කර කර කතා වුණාලු. අපේ පීඨයේ කථිකාචාර්ය වරුන්ටත් වටින් ගොඩින් ආරන්චි වෙලා, මාර ලැජ්ජාවක් වුණේ.

කොහොම හරි පවු කියල හිතල වෙන්න අන්තිමට අපේ යාළුවාට C එකක් දීලා තිබුණා.

[ 18 - JULY - 2009 ]



Wednesday, July 15, 2009

සෑම ගෙදරකම සිටිය යුතු සත්තු දෙන්නෙක්


මතකද ගිය පාර ජනාධිපතිවරණයේදි එක්තරා අපේක්ෂකයෙක් පොරොන්දුවක් දුන්නා එතුමා ජනාධිපති වුනොත් සෑම ගෙදරකටම එළදෙනක් දෙනවා කියලා. ඔන්න මීලඟ ජනාධිපතිවරණයටත් ඒ වගේ සත්ත්ව පොරොන්දුවක් දෙන්න අවස්ථාවක් පෑදිලා.

පොරොන්දුව:

සෑම ගෙදරකටම ගෙම්බෙක් සහ පූසෙක් !!!





ගෙම්බාව දෙන්නෙ මදුරුවො මර්ධනය කරන්න. අපිට මොකටද කියුබානු බැක්ටීරියාවො. අපි අපේම ක්‍රමයකට මදුරුවො මර්දනය කරමු!. ඉදිරියේදී මී උණ සහ මහාමාරිය වසංගතය පැතිර යාමේ අවධානමක් තියෙන බවට අනතුරු ඇඟවීම් ඇවිල්ලා තියෙනවා. පූසාව දෙන්නෙ ඒ ප්‍රශ්නෙට පිළියමක් විදිහට.

හැබැයි ඉතින් කොයිකටත් කියලා ගෙම්බාටයි පූසාටයි, අත් දිග කමීසෙකුයි කකුල් දිග කලිසමකුයි අන්දවල තියන්න නම් වෙයි.

ඉස්සර සුද්දන්ගෙ රජ කාලෙ බලු බද්දක් තිබ්බලුනෙ. ඒ වගේ ගෙඹි සහ පූස් බද්දක් දාලා මහා භාණ්ඩාගාරයේ දෑත් ශක්තිමත් කර ගන්නත් පුළුවන් වෙයි.

කොහොමද ටිකිරි මොළේ !!


[ 15 - JULY - 2009 ]

Chrome ට මනාපයක්


මම ඉතින් මකර අධිරාජයා හින්දා පූසලා, බව්වලා, නයාලා,නරියලා,කොටියලා ඇතුළු සියලු සත්වයන් වෙනුවෙන්ම පෙනී සිටින්න එපැයි. ඒක හින්දා මම අන්තර්ජාලයට සම්බන්ධ වෙනකොට පාවිච්චි කරන්නෙ ගිනි නරියා බ්‍රවුසරය.

හැබැයි මේ වෙබ් සයිට් එක දැක්කා ට පස්සෙ නම් නරියාට නැතුව Chrome ට මනාපයක් දෙන්නම වුනා. නරියාගෙනුයි Chrome ගෙනුයි වෙන වෙනම මේකට ගිහින් වෙනස බලා ගන්නකො. කොයිකටත් ඉස්සෙල්ල නරියගෙන් ගිහින් දෙවෙනියට Chrome ගෙන් යන්න. නැත්තන් නරියා මගෙත් එක්ක තරහා වෙයිනෙ.

මෙන්න වෙබ් සයිට් එකේ ලිපිනය.

http://home.comcast.net/~wolfand

ඕක බලලා ඉවර වෙලා නිවාඩු පාඩු තියෙන වෙලාවක මෙතනටත් ඇවිත් Comment එකක් දාල යන්නකො ;-)

[ 15 - JULY - 2009 ]

Sunday, July 12, 2009

අනේ මෙහෙම හදිස්සියක්


හදිසි නීතිය තවත් මාසෙකින් දීර්ඝ කරලා කියලා කියනවා ඇහුනා. ඒකනම් ඉතින් අලුත් දෙයක් නෙවෙයිනෙ. ඒක ඉතින් මතක ඇති කාලෙ ඉඳන් හැම මාසෙකට වතාවක්ම ඇහෙන ප්‍රවෘත්තියක් බවට පත් වෙලානෙ.


අනේ මන්දා , මේ මැති සබයේ ඉන්න මාමල නැන්දලා හැම මාසෙකටම එක දවසක් නාස්ති කරනවනෙ ඔය වැඩේට. අනික පාරවල් එහෙමත් වහලා බොහොම හදිස්සියෙන් තමයි මැතිසබයට යන්නෙ. මෙහෙම හදිස්සියක් තියගෙන රට සංවර්ධනය කොරන්නෙ කොහොමද හැබෑට ?


හදිස්සියට කොරස් කටේවත් අත දාගන්න බැරිලුනෙ. ( කොරස් කටේ විතරක් නෙවෙයි හදිස්සියට මකර කටේ වුනත් අත දා ගන්න බැහැ. හුඹස් කටේ නම් පුළුවන්ද වෙයිද මන්දා )




මැටිසබය

[ 12 - JULY - 2009 ]