Tuesday, October 27, 2009

අම්බරුවා යනු ?


 

අම්බරුවා යනු හරකාට ආදරයට කියන තවත් නමකි. පුන්නක්කු යනු අම්බරුවන්ගේ කෑමකි.

මැතිවරණ ප්‍රතිඵල වලින් ද වහුපැටව් මෙන්ම ගොන්නු ද ලංකාවේ බහුලව වෙසෙන බව පෙනී ගියේ ය. ඒ නිසා ආණ්ඩුව පරිප්පු සීනි ගෑස් මිල වැඩි කොට පුන්නක්කු හා පිදුරු මිල අඩු කළෝය.  
(Copied from Ranes comment here) 

ශ්‍රී ලංකා කුමාරයා (Prince Sri Lanka) ලියා තියෙන "මාධ්‍ය කරුවන්ගේ විහිළු" නමැති සටහන අම්බරුවන් පිළිබඳව මතකය යළිත් අවදි කර ඇත්තාහ.
කුමාරයාණෙනි ඔබතුමා  රජතුමාගේ බේබිතුමා වන බැවින් ඔබතුමා ප්‍රකාශයක් කරන්නේනම් වගකීමෙන් යුතුව කළ යුතු බව බය පක්ෂපාත සහිතව මතක් කර සිටිමි.

සෞඛ්‍ය සේවය වල පල්ලට යැවූ පහුගිය කාලය කොයි  කාලය දැයි මට නොහැඟේ? 2002 ට පෙර සිටියේ ෆවුසි ඇමති තුමාය. 2002 - 2004 කාලයේ සිටියෙ පී දයාරත්න ඇමති තුමාය. මේ ඇමති තුමන්ලා දෙදෙනාම දැන් නිළමේ තුමන්ලාය. ජනතාව අම්බරුවන් යැයි සිතන මුන් යනු කවුරුදැයි පැහැදිළි කර දෙත්වා. 

ආයුබෝ වේවා කුමාරයාණෙනි!!!


පසු සටහන:

අම්බරුවා කියන්නේ කමත් භාෂාවෙන් මී හරකාට කියන වචනයකි. සාමාන්‍ය හරකුන්ට සාමාන්‍යයෙන් අම්බරුවා කියන්නේ නැත. එහෙත් ජනතාවට ආදරේට හරකා කියනවානම් හරකාට ආදරේට අම්බරුවා කීමේ වරදක් නැත.

[ 27 - Oct - 2009 ]

Wednesday, October 14, 2009

Saturday, October 10, 2009

සියට අසූව (80%)



මෙච්චර කල් 80% ගැන කතාවල් ඇහුනේ ඉස්කෝල වල සහ විශ්ව විද්‍යාල වල. 80% නැත්තන් විභාග වලට පෙනී සිටින්න බැහැ. ඔන්න දැන් දේශපාලනේදිත් 80% කතාවල් ඇහෙනවා ( 10% කතා ඇහුනේ ඉස්සර ) . හැබැයි 80% ගත්තෙ නැත්තන් එහෙම ගත්තෙ නැති අයට ඉදිරි මැතිවරණ වලදි නාමයෝජනා නැති වෙයිද ? එහෙමත් නැත්තන් 80% දුන්නෙ නැත්තන් එහෙම දුන්නෙ නැති අයට ඉදිරි මැතිවරණ වලදි ඡන්දය පාවිච්චි කිරීමේ ප්‍රජා අයිතිය නැති වෙයිද කියලනම් හරියටම දන්නෙ නැහැ.

විශ්ව විද්‍යාල වලදිනම් 80% පවත්වාගෙන යන්න අමාරුනම කරන වැඩේ තමයි කාට හරි කියල හොර අත්සනක් ගහ ගන්න එක. ඒත් නිදහස් හා සාධාරණ මැතිවරණ වලදි ?????

මගේ පරණ ලිපියක්, මේකත් කියවන්න

---- > මැතිවරණ , විභාග සහ XXX ( මෙතනින් රිංගන්න )

[ 11 - Oct - 2009 ]

Thursday, October 8, 2009

අරුම පුදුම ගුණකිරීම


මේ ලෝකෙ අපි නොදන්න , නොහිතන විදිහේ අරුම පුදුම දේවල් කොච්චරනම් ඇත්ද. මේ මට අහම්බෙන් හම්බවුනු වීඩියෝ  එකක්. මේකෙ තියෙන අසාමාන්‍ය ගුණකිරීමේ ක්‍රමය මමත් සාර්ථකව අත්හදා බැලුවා. පෑනකුයි කොලේකුයි අරගෙන උත්සාහ කරල බලන්න. හරි වැරදි බලාගන්න කැල්කියුලේටරයක් ලඟ තිබුණත් කමක් නෑ.


මේ ක්‍රමයට කියන නම නම් මම දන්නේ නැහැ. චීන ගණිත ක්‍රමයක් බවයි සඳහන් වුනේ. වැඩි විස්තර දන්නවානම් කියන්න 

පසු සටහනක්:

ඇත්තටම මේකෙ ඇති පුදුමෙකුත් නැහැ. අපි සාමාන්‍යයෙන් දන්න ගුණ කිරීමම තමයි මෙතනත් තියෙන්නෙ.ඒ බව පෙන්වා දීපු අසිත බණ්ඩාරනායක සර්ට ස්තුතියි.  ඉරි කෑලියි බෝලයි එක්ක දැක්කම එකපාරටම හිතුනෙ නිකන් මැජික් එකක් වගේ කියලයි. 

[ 08 - Oct - 2009 ]

Sunday, October 4, 2009

ප්‍රජාතන්ත්‍ර විරෝධී Linux



GNU/Linux කොච්චර හොඳ Operating System එකක් වුනත් පරිගණක ජාල වල සම්පත් භාවිතයේදීනම් හැසිරෙන්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධී විදිහට. ඒකට හේතුව තමයි Linux වල භාවිතා කරන TCP ප්‍රභේදය.

TCP කියන සර්ව නාමය පාවිච්චි කළාට TCP වල විවිධ ප්‍රභේද තියෙනවා. දැනට විවිධ TCP ප්‍රභේද 800කට වැඩි සංඛ්‍යාවක් හඳුනාගෙන තියෙන බවයි අන්තර්ජාලකරණය පිළිබඳ සාහිත්‍යයේ සඳහන් වෙන්නෙ. මේවා අතරින් මෑත කාලයේදී Linux වල පෙරනිමියෙන්(by default) භාවිතා වෙන්නෙ BIC (Kernel version 2.6.8 සිට 2.6.18 දක්වා) හා CUBIC (Kernel version 2.6.19 සිට ඉහළට) කියන TCP ප්‍රභේද දෙක.

TCP දත්ත ප්‍රවාහ දෙකක් (එකම ප්‍රභේදයේ හෝ වෙනස් ප්‍රභේද වල) එකම ජාල සම්බන්ධතාවය හරහා දත්ත යවද්දි සිදුවිය යුත්තේ ජාල සම්බන්ධතාවයේ කලාප පළල (Bandwidth එක)  50% - 50% ලෙස හෝ ඊට ආසන්න ලෙස  දෙකට බෙදාගෙන පාවිච්චි කිරීම (50% - 50 % කියන සර්ව සාධාරණ බෙදිල්ල ප්‍රයෝගිකව ලබාගත නොහැකියි) . හැබැයි මෙ බෙදා හදා ගැනිල්ලෙදි BIC TCP බොහොම අසාධාරණ විදිහට කලාප පළලෙන් ඉතා ඉහළ ප්‍රතිශතයක්  අත්පත් කර ගන්නවා. BIC තරමටම  අසාධාරණ නොවුනත් CUBIC TCP ත් අනෙකුත් ප්‍රධාන TCP වර්ග සමග තරඟ කරද්දී අත්පත් කරගන්න  කලාප පළල 50% ට වඩා වැඩියි . පහළ තියෙන පින්තූරය බලන්න.

විවිධ TCP වර්ග වල සාපේක්ෂ කලාප පළල අත්පත්කර ගැනීම්
(Figure taken from Reference no 1)

අසාධාරණ විදිහට කලාප පළල උදුරා ගන්නවා මදිවට BIC & CUBIC තවත් කට්ට කෛරාටික වැඩක් කරනවා. 

ජාලයේ තියෙන්නෙ එක  TCP ප්‍රවාහයක්(Stream) විතරයිනම්  ඒක ජාල සම්බන්ධතාවයේ සම්පූර්ණ කලාප පළලම පාවිච්චියට ගත්තාට කමක් නැහැ (100% ම නෙවෙයි ). හැබැයි එහෙම පාවිච්චි කර කර ඉඳිද්දි තවත් TCP ප්‍රවාහයක් ඒ ජාලය තුළම පටන් ගත්තොත් අර කලින් එක එයාගේ කලාප පළල භාවිතය හැකි ඉක්මනින් තිබුනායින් 1/2කට අඩු කරලා අලුත් කෙනාටත් ඉඩකඩ ලබා දිය යුතුයි. මේකට කියන්නේ අභිසරණය (Convergence) කියලා.

BIC, CUBIC දෙකම මේ අභිසරණයේදී ඉතාම ප්‍රමාදයි. බෑ බෑ කිය කියා හෙමීට හෙමීට තමයි අභිසරණය වෙන්නෙ. එහෙම වෙලත් 50% ට නෙවෙයි අන්තිමටම අභිසරණය වෙන්නෙ. ඉතින් එහෙම වෙනකොට පෙරහැරේ වැඩි හරියක් ගිහිලා ඉවරයි කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ.  ඉතින් ජාලයේ BIC, CUBIC  වර්ග වල TCP සම්බන්ධතාවයක් කලින් පටන් අරන් තිබුණොත් දෙවෙනියට එන අසරණයාට හුලං. දෙවෙනියට එන කෙනාත් BIC, CUBIC වර්ගයේම වුනත් එයාටත් ඒ සැළකිල්ලම  තමයි.  හැබැයි දෙවෙනියා වෙනත් වර්ගයක කෙනෙක්නම් තත්වය වඩාත් දරුණුයි. අපායට ගියත් කලිං යන්න කියන්නෙ ඕකනෙ!!! 

Linux වල BIC & CUBIC වල තත්වෙ ඔහොම වෙද්දි Microsoft එකේ බිල් මාමාගේ TCP එක තමයි දැනට තියෙන හොඳම සහ වඩාත්ම ප්‍රජාතන්ත්‍රවාදී TCP වර්ගය විදිහට පිළිගැනෙන්නේ. බිල් මාමගෙ TCP එකේ නම CTCP (Compound TCP). [ බිල් මාමගෙයි කියල කිවුවට ඒකෙ නිෂ්පාදන ගෞරවය ලැබිය යුත්තේ Microsoft සමාගමේ ආසියානු පර්යේෂණ කණ්ඩායමට ].  මේ CTCP කියන එක පළවෙනියටම Windows Vista වලදි පෙරනිමියෙන් හඳුන්වා දුන්නා. දැන්නම් XP වගේ බිල් මාමගෙ පරණ පෙට්ටි වලටත් CTCP පැලැස්තර (patches) ඇවිත් තියෙන්නෙ. 

Linux වල කරන්න වැඩ ඕනෙ තරම්නෙ. ඒක හින්දා ප්‍රජාතන්ත්‍රවාදී වෙන්න කැමති ඕනෙම කෙනෙකුට Linux වලදිත් CTCP පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි CTCP එක බිල් මාමගෙ හින්දා වල CTCP පෙරනිමියෙන් හඳුන්වා දෙන්නනම් ලැජ්ජයි වගේ ඇති.

ඔබ ප්‍රජාතන්ත්‍ර විරෝධීනම් අන්තර්ජාලයට දත්ත මුදා හරිද්දී(uploading)  Linux පාවිච්චි කරන්න . ඔබ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන Linux පරිශීලකයෙක්නම් බිල් මාමගෙ CTCP එක ගැන පොඩ්ඩක් සළකලා බලන්න. මමනම්  දාගෙන ඉන්නෙ BIC. මම ඉතින් අධිරාජයනෙ ;-). මම ප්‍රජාතන්ත්‍රවාදී වෙන්නෙ අහවල් එකකටද ? 

වැඩි දුර විස්තර දැන ගන්න කැමති අය පල්ලෙහායින් References  යටතේ දාල තියෙන  පර්යේෂණ පත්‍රිකා අරගෙන කියවන්න.

References 

[1] .  Kashif Munir, Michael Welzl and Dragana Damjanovic -   "Linux beats Windows or the Worrying Evolution of TCP in Common Operating Systems"  {download link}

[2].  Stephen Hemminger - "TCP testing – Preventing global Internet warming" {download link}

[ 04 - Oct - 2009 ]