Wednesday, September 28, 2011

වඩු බාසුන්නැහැ

.

වඩු බාසුන්නැහැ පුංචිම කාලෙත්....
ලී එක්කයි සෙල්ලම් කෙරුවේ....
ලී කුඩු පටවපු පුංචි කරත්තෙයි....
ඔහු සමඟින් තනියට ආවේ....

ලොකු බාසුන්නැහැ ගෙවල් හදද්දියි...
පුංචි පුංචි ලී එකතු වුණේ...
ඒවා අරගෙන හැඩ වැඩ දමලයි...
සෙල්ලම් ගේ ඇඳ පුටු තැණුනේ...

ඇඳ පුටු කිසිවක් නැති ලී මඩුවෙන්..
ඔහු අද තනිවම යන්න ගියේ..
ලැලි වලින් සැදි පුංචි පෙට්ටියක්..
ඔහු  සමගින් යන්නට සිටියේ..
 

[ 29 - Sep - 2011 ]

Thursday, September 22, 2011

අසම සම , ප්‍රති නිර්මාණය


මහාචාර්ය විස්කම් කැන්ටිමේ පැත්තක වාඩි වෙලා ලොකු කල්පනාවක. මොකක් හරි ලොකු ප්‍රශ්නයක් වෙන්න ඇති. මට හිතුණා ගිහින් කතා කළොත් හොඳයි කියලා. මට සර්ව හම්බ වෙන්න පොඩි ඕනෙ කමකුත් තිබ්බා.

"සර් , බිසීද , සර්ව හම්බ වෙන්න පොඩි උවමනාවකුත් තියෙනවා

"හ්ම්

සර් අහක බලාගෙන ආයෙත් කල්පනා කරන්න පටන් ගත්තා. සර්ට තරහ ගියාවත්ද ? විස්කම් සර් එහෙම තරහ යන කෙනෙක්නම් නෙවෙයි. අපි එක්ක හොඳට කතා බහ කරන කෙනෙක්. පොඩ්ඩක් වෙලා බලන් ඉඳලා සර්ගෙන් ප්‍රතිචාරයක් නැති නිසා මම ආපහු යන්න කියලා හැරුණා.

"පොඩ්ඩක් ඔහොම වාඩි වෙන්න, චාණකට පුලුවන්ද මට පොඩි උදවුවක් කරන්න  ? පොඩි නෙවෙයි ලොකු උදවුවක් ?

"ඇයි සර් , සර්ට මොකක්වත් කරදරයක්වත්ද ? පහුගිය සතියෙම සර්ව දැක්කෙත් නෑ ? " මම ඇහුවා.

"නෑ නෑ මට කරදරයක් නෙවෙයි. ඒක මෙහෙම කතා කරන්න බෑ, ඒක ප්ලේන්ටි පහක් විතර බොන ගමන් කියන්න ඕනෙ ලොකු කතාවක්, යමුද අපේ ගෙදර ?"

=======

කාර් එකේ යන තුරුම සර් එක වචනයක්වත් කතා කළේ නෑ. මොකක්ද සර් මගෙන් ඉල්ලන්න යන උදවුව ? විස්කම් සර්ගෙ පරීක්ෂණ ව්‍යාපෘති කීපයකටම සම්බන්ධ වෙලා හිටියත් මීට කලින් මම සර්ගෙ ගෙදරට ගිහින් තිබ්බෙ නෑ. සර්ගෙ නිල නිවාසය තියෙන්නෙත් වැඩිය කවුරුත්  නොයන පාලු පැත්තක.
කාර් එක නැවැත්තුවත් සර් කාර් එකෙන් බැස්සෙ නැහැ. සර් බහිනකම් කියා මමත් වාඩි වෙලා බලන් හිටියා.

"චාණකට පුලුවන්ද රහසක් ආරක්ෂා කර ගන්න, මේක ලොකු රහසක්"  සර් කියපු විදිහට මට බයත් හිතුණා. 

"ඒ කිවුවෙ සර් ? මොන වගේ රහසක්ද ?"

"නෑ නෑ , බය වෙන්න දෙයක් නෑ. මේක මම කරන පරීක්ෂණයක රහස්. සාමාන්‍ය සම්ප්‍රදායක් තියෙනවනෙ පරීක්ෂණයක් ඉවර කරනතුරු ඒවායේ විස්තර පිටට නොදෙන"

"ඔව් සර්, මීට කලින් කරපු පරීක්ෂණ වලත් එහෙමනෙ" මම කීවා.

"මීට කලින් ඒවා වගේ පොඩි පොඩි පරීක්ෂණ නෙවෙයි, මේක ලොකුම ලොකු වැදගත්ම එකක්, මම සෑහෙන කාලයක් තිස්සේ මහන්සි වෙච්ච, අපි යමු"

ඒක සාමාන්‍ය ගෙයක් නෙවෙයි. ගේ ඇතුල එහෙම පිටින්ම විද්‍යාගාරයක් වගේ. පැත්තක පොඩි ඉඩක ඇඳකුයි පුටු හතර පහකුයි තිබ්බා. මට පුටුවක වාඩි වෙන්න කියපු සර් ඉඳ ගත්තෙ ඇඳේ. 

"චාණක දන්නව ඇතිනෙ පෘතුවියේ ජීවය ඇති වෙච්ච හැටි, පරිණාමය වෙච්ච හැටි ගැන විවිධ මත තියෙනවා, ඒත් ඒ හැම එකක්ම  මතවාද විතරයි . සම්පූර්ණයෙන්ම නිරීක්ෂණය කරන්න බෑ.  මම කාලයක් තිස්සේ උත්සාහ කළේ ජීවය ගැන නිරීක්ෂණාත්මක ආකෘතියක් හදන්න

සර්ගෙ ප්ලේන්ටි පහක් විතර දිග ලොකු විස්තරය පටන් ගත්තෙ එහෙමයි.

=======

සර්ගෙ පරීක්ෂණය විශ්වාස කරන්නත් අමාරු , කවුරුවත්ම නොහිතන විදිහෙ අපූරු එකක් . විස්කම් සර් පෘතුවියක් ප්‍රති නිර්මාණය කරලා . පුංචිම පුංචි පෘතුවියක්. ඇහැට පේන්නෙත් නැති පුංචි පෘතුවියක්.

විකිරණශීලී පරමාණුවක න්‍යාෂ්ටිය තමයි මේ පුංචි පෘතුවියේ සූර්යයා. ඒ පරමාණුව වටේට කරකැවෙන ඉලෙක්ට්‍රෝනයක් උඩ පෘතුවියේ භෞතික තත්ව සියල්ලම ප්‍රතිනිර්මාණය කරලා හිතාගන්නත් අමාරු සෑහෙන සියුම් විදිහට.  ජීවයේ මූලික අවස්ථා ඒ ඉලෙක්ට්‍රෝනය උඩ ඇති වෙලා තියෙන හැටි අපි ප්‍රබල අන්වීක්ෂ වලින් නිරීක්ෂණය කළා. සර්ට මගේ උදවු උවමනා වෙලා තිබ්බේ ඒ පෘතුවි ආකෘතිය මත ජීවය පරිණාමය වන හැටි දිගින් දිගටම නිරීක්ෂණය කරන්න උදවු කාරයෙක් විදිහට.

එදා රෑම සර්ගෙ පරීක්ෂණාගාරයේ නතර වෙන්නම් කියා පොරොන්දු වෙලා ආවත් නොහිතපු විදිහට මට තද උණක් හැදුණා.

"කමක් නෑ , සනීප වුණාම එන්න. කොහොමටත් මම දිගටම මේක බලනවා, මම නැති පොඩි පොඩි වෙලාවල් වලට බලා ගන්න කෙනෙකුයි ඕනෙ වෙලා තිබ්බේ" සර් කීවා.

=======

මට උණ හොඳ වෙලා විස්කම් සර්ව හම්බ වෙන්න පුලුවන් වුණේ දවස් 10කට පස්සෙ. සර්ගෙ පරීක්ෂණේ විස්තර දැන ගන්න මම සෑහෙන නොඉවසිල්ලෙන් හිටියෙ.

"පරීක්ෂණය සෑහෙන සාර්ථකයි, මම හිතුවට වඩා බොහොම ඉක්මනට බුද්ධිමත් කියල කියන්න පුලුවන් ජීවීන් හැදුනා, අපි දැනට පිළිගන්න සිද්ධාන්ත ගොඩක් වැරදි බව පෙන්වන්නත් පුලුවන්

"එතකොට දැන් ඒකෙ මිනිස්සු වගේ බුද්ධිමත් ජීවීන් ඉන්නවද ?" මම පුදුමෙන් ඇහුවා.

"සමහර විට මිනිස්සුන්ටත් වඩා බුද්ධිමත්. මිනිස්සුන්ට වඩා හැඩයෙන්නම් වෙනස්. ඒ අය ඉලෙක්ට්‍රෝනය මත ගොඩනැගිලි වගේ දේවල් පවා හැදුවා. ඒත් දැන් ඒ අය නෑ."

"ඇහ්

"ඒ අයගෙ ක්‍රියාකාරකම් හින්දා  පද්ධතියේ  සමතුලිත බව වෙනස් වෙන්න ගත්තා මට පාලනය කර ගන්න අමාරු මට්ටමටම . සෑහෙන ඉක්මනින් ඒ අය ඉලෙක්ට්‍රෝනය වෙනස් කළා. තව ටිකක් වෙලා ගියානම් න්‍යාෂ්ටික පිපිරීමක් වෙන්නත් ඉඩ තිබ්බා  ඒ හින්දා .මට ඒ ආකෘතිය විනාශ කරන්න වුණා. ආයෙ අක්කෘතියක් හදනකොට ඒ හැනත් හිතන්න ඕන"

=======

එදා රෑ මම නිදා ගන්නෙත් නැතුව කල්පනා කළේ විස්කම් සර්ගෙ පරීක්ෂණේ ගැන . දවස් 10කින් ඇති වෙලා විනාශ වෙච්ච බුද්ධිමත් ජීවීන් කොයි වගේ වෙන්න ඇත්ද ? අපේ දවස් 10ක් ඒ අයට කොච්චර කාලයක් වෙන්න ඇත්ද ?

යාන්තමින් නින්ද යාගෙන එද්දිම මම හීනෙන්  ඔය පල්ලෙහා තියෙන රූප සටහන දැක්කා
 



ඒ අපි ස්ව-සමානතාව (Self - Similarity) ගැන ඉගෙන ගනිද්දි අපිට පෙන්නපු උදාහරණයක්. එක සමාන කුඩා කුඩා ආකෘති විශාල ගණනක් එක් වෙලා ඒ කුඩා ආකෘති වලටම සමාන විශාල ආකෘති නිර්මාණය වෙන එකටයි ස්ව සමානතාව කියන්නෙ.  

පුංචි පුංචි පරමාණු එකතු වෙලයි අපි ජීවත් වෙන පෘතුවිය , සූර්ය ග්‍රහ මණ්ඩලය , විශ්වය හැදිලා තියෙන්නෙ.

දෙවියනේ එතකොට අපි ඉන්නෙත් කවුරු හරි කෙනෙක් නිර්මාණය කරපු ආකෘතියක වෙන්න බැරිද ?  පරමාණුවේ න්‍යාෂ්ටිය සූර්යයා. පෘතුවිය සහ අනිත් ග්‍රහලෝක ඉලෙක්ට්‍රෝන.

 ඒක එහෙමනම් ? ඒ ආකෘතිය හදපු කෙනාටත් ඒක විනාශ කරන්න සිද්ධ වෙයිද ?

[ 22 - Sep - 2011 ]

Wednesday, September 21, 2011

ජලාර්දයේ අසුරයෝ ?


ජලාර්දය , විශ්වයේ ඈත කෙලවරක තියෙන මීදුමේන් වැසී ගත්ත නිල්වන් පලාවන් ලස්සන ග්‍රහ ලෝකයක් . හරියට අවතාර් වල පැන්ඩෝරා ග්‍රහ ලෝකේ වගේ. ජලාර්දයේ ජීවත් වුණේ අසුරයෝ. අසුරයෝ කීවට එයාලත් මිනිස්සු කොටසක්මයි. අභ්‍යවකාශ යුගයේ තාක්ෂණික දියුණුවෙන් හෙම්බත් වෙච්ච නිස්කලංක ජීවිතයක් හොයපු මිනිස්සු වරින්වර විශ්ව පාලන අධිකාරියේ නීති රීති වලින් නිදහස සොයා ජලාර්දයට පැන ගියා. වටිනා කියන ඛනිජ වර්ග කිසිවක් නැති නිසා විශ්ව පාලන අධිකාරිය ජලාර්දය ගැන හෝ එයට පැන යන අය ගැන සොයන්න උනන්දු වුනේ නෑ.


විශ්වයේ ආධිපත්‍යය දරපු සුරයෝ අධිතාක්ෂණික මෙවලම් , දීර්ඝ කාලයක් තරුණ බව රැකගත හැකි වාජීකරණ එන්නත් වගේ දේවල් පාවිච්චි කරමින් දේවත්වයට ලං වෙන්නට උත්සාහ කරද්දි ජලාර්දයේ අසුරයෝ උත්සාහ කලේ හැකිතරම් දුරට ස්වභාව ධර්මයත් එක්ක ස්වභාව ධර්මයේ නීති රීති වලට අනුව ජීවත් වෙන්න.


ජලාර්දයේ අසුරයන්ට හරි අපූරු පුරුද්දක් තිබ්බා. ඒ තමයි හුවමාරු කරගෙන පොත් කියවීමේ පුරුද්ද. ඒ පොත් ලිවුවෙත් අසුරයොමයි. ජලාර්දයට ආපු හැම කෙනෙක්ම යම් ආකාරයක සාහිත්‍යකාමියෙක්. එහෙමත් නැත්තන් ජලාර්දයේ පරිසරය ඒ අයව සාහිත්‍යකාමීන් බවට පත් කළා .  මුද්‍රිත පොත් පත් කියන දේ ඉතිහාසයට එකතු වෙලා තියෙද්දි සියලුම පොත්පත් ඩිජිටල්කරණය වී තියෙද්දි අසුරයෝ කැමැත්ත දැක්වුවේ කඩදාසි වල මුද්‍රිත පොත් පත් කියවන්න.


මේ මම කාලෙකට කලින් කියවපු "ජලාර්දයේ අසුරයෝ" නම් විද්‍යා ප්‍රබන්ධයක කොටසක්. අසුරයෝ වගේම මමත් කැමති කඩදාසි වල මුද්‍රිත පොත් කියවන්න. ඒ නිසා මෙවර කොළඹ පොත් ප්‍රදර්ශනයෙන් මමත් පොත් කීපයක් වෙන් කරවා ගත්තා. 


මතුයම් දිනක මම එනතුරු ලංකාවේ රහසිගත තැනක මේ පොත් ටික සුරක්ෂිත  වී තියේවි.


  1. ඈත අතීතයට ගිය ඇමරිකානුවා 1 සහ 2 --- මාක් ට්වේන් . පරිවර්තනය, රාණි රාජපක්ෂ 
  2. මන්ත්‍රකාරියගේ සිරස --- රයිඩර් හැගාර්ඩ් , පරිවර්තනය , චන්ද්‍රසිරි දසනායක  
  3. ගැඹුරු මුහුද --- ආතර් සී ක්ලාක්, පරිවර්තනය , සිරිල් සී පෙරේරා 
  4. මසුරු සිහින --- ආර් කේ නාරායන් . පරිවර්තනය පේ‍්‍රමරංජිත් තිලකරත්න 
  5. ආගන්තුක රෝගියා --- මයිකල් ඔන්ඩච්චි . පරිවර්තනය කේ. ඒ . එන්. පෙරේරා    
  6. සක්කාරං --- චම්මින්ද වෙලගෙදර    
  7. අතුරුදන් වූ බළලා --- එනිඩ් බ්ලයිට්න් , පරීවර්තනය ලීලානන්ද ගමාච්චි  
  8. ආදරණීය ගුරුතුමනි --- රිකාඩෝ බ්‍රෙත්වේට් ,පරීවර්තනය සිරිල් චන්ද්‍රසේකර ගුණවර්ධන 
  9. ගංතුලානේ ගණිතාන්දරය -- ආචාර්ය සංජීව පෙරේරා සහ අනුරුද්ධ මහසිංහ 

ආ කියන්න අමතක වුණා. ජලාර්දයේ අසුරයන්ට තවත් අපූරු පුරුද්දක් තිබ්බා. ඒ තමයි පොත්පත් මුද්‍රණය කරන්න කඩදාසි ලබාගන්න කපන ගස් වෙනුවෙන් ඒ පොත් කියවන, ලියන අයම නැවතත් ගස් වගා කරන එක.


[ 21 - Sep - 2011 ]

Monday, September 12, 2011

මා දුටු සිහිනයක්


ග්‍රහකයෙන් කැඩී ගිය කොටසක් වැදීමෙන් ක්‍රෙම්ලිනයට ගිනි ඇවිලුණි. ග්‍රහකයේ ඉතුරු කැබලි ක්ෂිතිජයෙන් ඔබ්බෙහි අතුරුදහන් විය. වරින් වර මහ පොළොව දෙදරුම් කනු දැණුනි. ග්‍රහකයේ ඉතුරු කැබලි තවත් බොහෝ තැන් වලට පහර දෙන්නට ඇත.

ක්‍රෙම්ලිනයෙන් ඇරඹි ගින්න හාත්පස පැතිර යන්නට විය. බොහෝ මිනිස්සු ගින්න නිවා දමන්නට උත්සාහ කළහ. පොළොව මතුපිටින් පමණක් නොව පොළොව අභ්‍යන්තරයේ උමං මාර්ග ඔස්සේද ගින්න පැතිරෙන්නට විය. ගිනි නිවීමේ උත්සාහය අතහැර දැමුණි.

මිනිස්සු මහවැලි ගඟින් ඔබ්බට පළා ගියහ. පිළිස්සුම් තුවාල ලද බොහෝ දෙනෙක් කටුගස්තොට පාලම අසළ තාවකාලික රෝහලකට ගෙන එනු ලැබීය.

මේ සියල්ල සිදු වනු මම ප්ලේන්ටියක් බොමින් මගේ පාඩුවේ බලා සිටියෙමි. ඒත් මේ සියල්ලම දකින්නට මම සිටියේ කොහේද ?

[ 12 - Sep - 2011 ]

Thursday, September 8, 2011

චැනල් ටූ || channel 2



ඊයෙ රෑ නිදිමතේ ඉන්න වෙලේ රේඩියෝ එකේ චැනල් කරකව කරකව හිටියා.ඒ වෙලාවෙ අහු වුණේ චැනල් දෙකයි. එක චැනල් එකකනම් ප්‍රවෘත්තිද කොහෙදො ගියේ. අනිකේ මනමේ නාඩගම වෙන්න ඕනේ. සැරින් සැරේ ඇහැරිච්ච වෙලාවල් වල ඇහිච්ච ඒවයින් මතක එවුවා.
=============

"ඇමරිකානු ප්‍රහාරක ගුවන් යානා 10ක් ශ්‍රී ලංකා ගුවන් කලාපය උල්ලංඝනය කරයි . ඉවත්ව යන ලෙස දැන්වීමෙන් පසු පිටව යයි"

ගියා වැද්දෝ...
නොම විද්දෝ...
ඉඩ ලද්දෝ...
අපි මෙවරා...

"ශ්‍රී ලංකාව ස්වාධීන රාජ්‍යයක්. ජනාධිපති ආචාර්ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉන්දීය අගමැති ආචාර‍්ය මනමෝහන් සිංට පිළිතුරු දෙයි" 

මුළු දඹදිවටම තොප මහ රජ වුව
මගෙ විජිතය මෙම, මම වෙමි අගරජ

"යුධ අපරාධ සිදුවී ඇති බවට ඇමරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් නඟන චෝදනා පදනම් විරහිතයි, ආරක්ෂක ලේකම්වරයා පවසයි"

ඔබ ප්‍රිය කළ හිමි මාව මරන්නට
තැත්කල හින්දා ... තැත්කල හින්දා ...
සිය පණ ගලවා ගන්නට මැරුවෙමි
නෑ මගෙ දෝසා .... නෑ මගෙ දෝසා ...

[ 08 - Sep - 2011 ]