Sunday, November 27, 2011

මකරෙක්ව අඳින හැටි !

පහුගිය අවුරුදු තුන පුරා එක එක අය එක එක විදිහට මකරු ඇන්දා.( එක එක විදිහට හිතේ ඇඳගන්නත් ඇති ) මේ ඒවායින් කීපයක්.

සයිබර් යායේ චූටි මහත්තයා අභියෝගතා චිත්‍ර තරඟයේ 9 වැනි ස්ථානය දිනා ගැනීම වෙනුවෙන් බුද්ධි ඇඳපු මකර අධිරාජයා.



පොඩ්ඩිව නරියාගෙන් බේරා ගැනීමේ වීර ක්‍රියාවට ස්තූති කරල සිත්තමී ඇඳපු මකරා.






මගේ 25 වෙනි උපන්දිනයට රුවන්තිකා කුමාරි ඇඳපු මකරා. 







මගේ 26 වෙනි උපන්දිනයට රුවන්තිකා කුමාරි ඇඳපු මකරා.


මගේ 27 වෙනි උපන්දිනයට  ශසීන්ද්‍ර වීරසිංහ මල්ලියා ඇඳපු මකරා.


මෙන්න මගේ සැබෑ ස්වරූපය



එහෙනම් මම ගිහින් එන්නම්
ආයුබෝවන්  !!!


[ 27 - Nov - 2011 ]

Friday, November 25, 2011

කවි හදන හැටි ?



මුල් පදය නුඹ කියන්
දෙවෙනි පද මම කියමි
එයින් පසු අනිත් අය
ගොඩක් පද  හැදුවාවෙ


Mini කවි වල නොපළ කවියකි.


[ 25 - Nov - 2011 ]

Saturday, November 19, 2011

හොර පූසෙක් කස තැලුම් කකා ..


හොර පූසෙක්, කස තැලුම් කකා
දංගෙඩියට ගෙන යන ගමනේ
තඩි මීයෙක් දැක, මස් රස සිහි කර
පුරු පුරු පුරු ගෑවාලු //


අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආශාවක්
සත්තුනි ලැබේද ඉන් සැනසීමක්


වහු පැටවෙක් පිඹ..ගෙන ආවෝතින්
දෙන්නට වේ යැයි සැක සිතලා
පිදුරු ගොඩේ හිඳ , තඩි බලු දණ්ඩෙක්
බුක් බුක් බුක් ගෑවාලූ  //


අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආශාවක්
සත්තුනි ලැබේද ඉන් සැනසීමක්


ගල් ඉබ්බෙක් ගිරි කුලකින් විසිවී
මහ පොළොවට පාවී එද්දී
අහසින් ගිය ඉබි , පුවතක් සිහි කොට
හිකි හිකි හිකි ගෑවාලු  //

අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආශාවක්
සත්තුනි ලැබේද ඉන් සැනසීමක්





සුනිල් එදිරිසිංහයන් ගායනා කරන "සොර දෙටුවෙක් කස තැලුම් කකා" ගීතය අසමින් සිටිනා අතර සිතේ මතුවූ විකාර සංකල්පනාවකි.

[ 19 - Nov - 2011 ]

Thursday, November 17, 2011

සරුංගලේ ?


නුඹෙ හිත මම අරං............ගියා
ඒක මඟදි හුලඟෙ.............ගියා
හෙට නුඹහට දෙන්න........කියා
අලුත් හිතක් ගෙනෙමි.....මෙමා

Mini කවි වල නොපළ කවියකි.  

[ 17 - Nov- 2011 ]

Tuesday, November 15, 2011

අනපේක්ෂිත ප්‍රශ්නයක්



.


අදින් දවස් 2කට කලින් නොවැම්බර් 13 ඉරිදා. මහ කම්මැලි දවසක්. කරන්න කිසිම වැඩක් නෑ. උදේට කෑම කෑවා . රෙදි හේදුවා. පොඩ්ඩක් වෙලා ඇඳේ හාන්සි වෙලා හිටියා. නින්ද එන්නෙත් නැති තරමට කම්මැලියි. කරන්න දෙයක් හිතට එන්නෙම නෑ. පාරට බැහැලා ඉබාගාතෙ ඇවිදගෙන ගියා.

ඔහොම ඇවිදගෙන යනකොට යනකොට යනකොට .... මට දුටුවා මම යන පැත්තට විරුද්ධ දෙසට ඇවිදගෙන එන කාන්තාවන් දෙන්නෙක් . ඒ දෙන්නගෙ කියන්න තරම් විශේෂත්වයක්නම් මට මතක නෑ . ඒත් එකිනෙකා පහු කර යන ගමන් අපි අතරෙ පුංචි හිනාවක් හුවමාරු වුණා.

අපි එකිනෙකා පහු කරහෙන යද්දි ඒ දෙන්නා එක්වරම නතර වුණා . මාත් නතර වුණා. ඒ දෙන්නගේ මූණු වල තිබ්බේ උදවුවක් ඉල්ලන පෙනුමක්.

One lady said "Shall I ask a Question ?"

I said  "‍Yes,OK" . I was thinking they are trying to ask about a place or road or some thing.

But

.
.
.
.
.
.
She look at me with very serious face and  asked

.
.

"What is happiness ?"
.
.
I was in "mm,m,m,m,m,m,m" mode for few seconds , may be 15 seconds

I felt they need some  answer other than "I dont know"

.
.
.
I said  "Happiness is a state of mind"
.
.
The two ladies smiled at each other like they are thinking that I am an Idiot. I slightly embarrassed due due to the way they reacted for my answer :)
.
.
Then one lady took some book from her bag and opened it and
showed  me some paragraph and asked me to read it.

It was some bible kind of book I read it. I cant remember what was there
But there were some phrases about happiness. I was reading it without understanding it much. I was confused what they will do next .

Even after finished  reading it, I did not know what to tell next. I just gave a  little smile :).
..

.
.

Then they asked Do you like to learn more about happiness

I said "yes".

They gave me a leaflet and said "Our address is there"

Quickly I realized they are belonging to "Jehovah's Witnesses" group.

I said "Thank you" and exit from the scene.

This was a very small unexpected incident last long in few minutes.
But still I was thinking "What is happiness ?"

and now I remember  the answer for unexpected question.

 සංතුෂ්ටි පරමං ධනං !!!

[ 15 - Nov - 2011 ]

Friday, November 11, 2011

ආචාර වෙඩිමුර 25

.

අද 2011 නොවැම්බර් 11. අද පෙරවරු 11.11 ට 11:11:11:11:11:11 වෙනවා. 

හැම අවුරුද්දෙම 11.11.11 (නොවැම්බර් 11 පෙරවරු 11.11 ට ) ට ගාලු මුවදොර පිටිය කිට්ටුව නැවක ඉඳන්  නාවික හමුදාව කාලතුවක්කු ආචර වෙඩිමුර 25ක් තියනවා.සාමාන්‍යයෙන් පුද්ගලයෙක් වෙනුවෙන් පූර්ණ රාජ්‍ය ගෞරවයකදි තියන්නෙ කාලතුවක්කු වෙඩිමුර 21 යි ( 21 - Gun Salute ).  ඒත් 11.11.11 ට 25ක් තියනවා. ඒ කා වෙනුවෙන්ද දන්නවද ?
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් ඇතුලු
සමස්ථ රට ජාතියම වෙනුවෙන් !!!

[ 11 - Nov - 2011 ]

Friday, October 28, 2011

බලු රාලට සනීප නෑ



චූටි දෝණි පොඩි කාලෙ ඉඳන්ම දෝණිගෙ තනි නොතනියට හිටිය, චූටි දෝණි ගෙදර නැති වෙලාවට චූටි දෝණිගේ චූටි බෝලෙ පෙරල පෙරලා මිදුලෙ හිටිය පුංචි බලුරාලට සනීප නැති වෙලා.

පුංචි බලු රාලට ඇවිදගෙන යන්න සනීප මදි නිසා අම්මි අද බලු රාලව වඩාගෙන බලු දොස්තර මාමා ගාවට එක්ක යාවි.

චූටි දෝණි දැන් ටිකක් ලොකු නිසා අදට විතරක් අම්මිගේ අත අල්ලගෙන පයින් යන්න පුලුවන්.

දොස්තර මාමා බලු රාලට බෙහෙත් දෙන හැටි බලන් ඉඳලා චූටි දෝණිත් ලොකු වුණාම දොස්තර හොඳ හිත වගේ කෙනෙක් වෙන්න ඉගෙන ගන්නවනෙ.

[ 28 - Oct - 2011 ]

Sunday, October 2, 2011

ජාතික කුකුළා


දිල් අක්කා අහුලන්නෙ අතීතයෙන්. අතීතයෙන් අහුල අහුල ඉද්දි එයාට රජ කාලෙ හිටපු රජ කුකුළෙක්ව ඇහිලිලා තිබ්බා . අතීතයේ විතරක් නෙවෙයි වර්තමානෙත් කුකුළන්ට අපේ රටේ හොඳ වැදගත් තැනක් තියෙනවා. අපේ රටේ ජාතික කුකුළා වලි කුකුළෙක් ( ජාතික කුකුළා නෙවෙයි ජාතික කුරුල්ලා තමයි. ඒ වුණාට එකමත් එක බබෙක් පොඩි කාලෙ හැම කුරුල්ලටම කීවෙ කුකුළා කියල . "පුතේ අර ඉන්නෙ මොකෙක්ද ? " කියල කපුටෙක් පෙන්නල ඇහුවත් "කුකූඌඌළා.." කියල තමයි උත්තර දුන්නෙ)

අපේ රටේ අය කුකුළත් අතින් අරන් නැගිටල කලට වෙලාවට වැඩ කරන  වලියට බර අය හින්දා වෙන්න ඇති ජාතික කුකුළාට වලි කුකුළෙක්ව තෝරා ගත්තෙ.

කුකුළා ජාතික පක්ෂියා හින්දා අපේ රටේ කුකුල් හොරකම් වෙන්නෙත් නෑ. මේ තියෙන්නෙ වෙන කොහෙදො මන්දා රටක වෙච්ච කුකුල් හොරකමක පින්තූරයක්.

ප.ලි
===
1. වලි කුකුළයි , පොර කුකුළයි කියන්නෙ වර්ග දෙකක්ද ?

[ 02 - Oct - 2011 ]

Saturday, October 1, 2011

මම ළමයෝ ....


එකයි
දෙකයි

මේ ඉන්නේ මම. තණකොලේ අග්ගිස්සෙ එල්ලිලා.

ලෝකෙ ඉන්න ඔක්කොම පොඩ්ඩන්ට , පොඩ්ඩියන්ට
සතුටුදායක ළමා දිනයක් වේවා !

[ 01 - Oct - 2011 ]

Wednesday, September 28, 2011

වඩු බාසුන්නැහැ

.

වඩු බාසුන්නැහැ පුංචිම කාලෙත්....
ලී එක්කයි සෙල්ලම් කෙරුවේ....
ලී කුඩු පටවපු පුංචි කරත්තෙයි....
ඔහු සමඟින් තනියට ආවේ....

ලොකු බාසුන්නැහැ ගෙවල් හදද්දියි...
පුංචි පුංචි ලී එකතු වුණේ...
ඒවා අරගෙන හැඩ වැඩ දමලයි...
සෙල්ලම් ගේ ඇඳ පුටු තැණුනේ...

ඇඳ පුටු කිසිවක් නැති ලී මඩුවෙන්..
ඔහු අද තනිවම යන්න ගියේ..
ලැලි වලින් සැදි පුංචි පෙට්ටියක්..
ඔහු  සමගින් යන්නට සිටියේ..
 

[ 29 - Sep - 2011 ]

Thursday, September 22, 2011

අසම සම , ප්‍රති නිර්මාණය


මහාචාර්ය විස්කම් කැන්ටිමේ පැත්තක වාඩි වෙලා ලොකු කල්පනාවක. මොකක් හරි ලොකු ප්‍රශ්නයක් වෙන්න ඇති. මට හිතුණා ගිහින් කතා කළොත් හොඳයි කියලා. මට සර්ව හම්බ වෙන්න පොඩි ඕනෙ කමකුත් තිබ්බා.

"සර් , බිසීද , සර්ව හම්බ වෙන්න පොඩි උවමනාවකුත් තියෙනවා

"හ්ම්

සර් අහක බලාගෙන ආයෙත් කල්පනා කරන්න පටන් ගත්තා. සර්ට තරහ ගියාවත්ද ? විස්කම් සර් එහෙම තරහ යන කෙනෙක්නම් නෙවෙයි. අපි එක්ක හොඳට කතා බහ කරන කෙනෙක්. පොඩ්ඩක් වෙලා බලන් ඉඳලා සර්ගෙන් ප්‍රතිචාරයක් නැති නිසා මම ආපහු යන්න කියලා හැරුණා.

"පොඩ්ඩක් ඔහොම වාඩි වෙන්න, චාණකට පුලුවන්ද මට පොඩි උදවුවක් කරන්න  ? පොඩි නෙවෙයි ලොකු උදවුවක් ?

"ඇයි සර් , සර්ට මොකක්වත් කරදරයක්වත්ද ? පහුගිය සතියෙම සර්ව දැක්කෙත් නෑ ? " මම ඇහුවා.

"නෑ නෑ මට කරදරයක් නෙවෙයි. ඒක මෙහෙම කතා කරන්න බෑ, ඒක ප්ලේන්ටි පහක් විතර බොන ගමන් කියන්න ඕනෙ ලොකු කතාවක්, යමුද අපේ ගෙදර ?"

=======

කාර් එකේ යන තුරුම සර් එක වචනයක්වත් කතා කළේ නෑ. මොකක්ද සර් මගෙන් ඉල්ලන්න යන උදවුව ? විස්කම් සර්ගෙ පරීක්ෂණ ව්‍යාපෘති කීපයකටම සම්බන්ධ වෙලා හිටියත් මීට කලින් මම සර්ගෙ ගෙදරට ගිහින් තිබ්බෙ නෑ. සර්ගෙ නිල නිවාසය තියෙන්නෙත් වැඩිය කවුරුත්  නොයන පාලු පැත්තක.
කාර් එක නැවැත්තුවත් සර් කාර් එකෙන් බැස්සෙ නැහැ. සර් බහිනකම් කියා මමත් වාඩි වෙලා බලන් හිටියා.

"චාණකට පුලුවන්ද රහසක් ආරක්ෂා කර ගන්න, මේක ලොකු රහසක්"  සර් කියපු විදිහට මට බයත් හිතුණා. 

"ඒ කිවුවෙ සර් ? මොන වගේ රහසක්ද ?"

"නෑ නෑ , බය වෙන්න දෙයක් නෑ. මේක මම කරන පරීක්ෂණයක රහස්. සාමාන්‍ය සම්ප්‍රදායක් තියෙනවනෙ පරීක්ෂණයක් ඉවර කරනතුරු ඒවායේ විස්තර පිටට නොදෙන"

"ඔව් සර්, මීට කලින් කරපු පරීක්ෂණ වලත් එහෙමනෙ" මම කීවා.

"මීට කලින් ඒවා වගේ පොඩි පොඩි පරීක්ෂණ නෙවෙයි, මේක ලොකුම ලොකු වැදගත්ම එකක්, මම සෑහෙන කාලයක් තිස්සේ මහන්සි වෙච්ච, අපි යමු"

ඒක සාමාන්‍ය ගෙයක් නෙවෙයි. ගේ ඇතුල එහෙම පිටින්ම විද්‍යාගාරයක් වගේ. පැත්තක පොඩි ඉඩක ඇඳකුයි පුටු හතර පහකුයි තිබ්බා. මට පුටුවක වාඩි වෙන්න කියපු සර් ඉඳ ගත්තෙ ඇඳේ. 

"චාණක දන්නව ඇතිනෙ පෘතුවියේ ජීවය ඇති වෙච්ච හැටි, පරිණාමය වෙච්ච හැටි ගැන විවිධ මත තියෙනවා, ඒත් ඒ හැම එකක්ම  මතවාද විතරයි . සම්පූර්ණයෙන්ම නිරීක්ෂණය කරන්න බෑ.  මම කාලයක් තිස්සේ උත්සාහ කළේ ජීවය ගැන නිරීක්ෂණාත්මක ආකෘතියක් හදන්න

සර්ගෙ ප්ලේන්ටි පහක් විතර දිග ලොකු විස්තරය පටන් ගත්තෙ එහෙමයි.

=======

සර්ගෙ පරීක්ෂණය විශ්වාස කරන්නත් අමාරු , කවුරුවත්ම නොහිතන විදිහෙ අපූරු එකක් . විස්කම් සර් පෘතුවියක් ප්‍රති නිර්මාණය කරලා . පුංචිම පුංචි පෘතුවියක්. ඇහැට පේන්නෙත් නැති පුංචි පෘතුවියක්.

විකිරණශීලී පරමාණුවක න්‍යාෂ්ටිය තමයි මේ පුංචි පෘතුවියේ සූර්යයා. ඒ පරමාණුව වටේට කරකැවෙන ඉලෙක්ට්‍රෝනයක් උඩ පෘතුවියේ භෞතික තත්ව සියල්ලම ප්‍රතිනිර්මාණය කරලා හිතාගන්නත් අමාරු සෑහෙන සියුම් විදිහට.  ජීවයේ මූලික අවස්ථා ඒ ඉලෙක්ට්‍රෝනය උඩ ඇති වෙලා තියෙන හැටි අපි ප්‍රබල අන්වීක්ෂ වලින් නිරීක්ෂණය කළා. සර්ට මගේ උදවු උවමනා වෙලා තිබ්බේ ඒ පෘතුවි ආකෘතිය මත ජීවය පරිණාමය වන හැටි දිගින් දිගටම නිරීක්ෂණය කරන්න උදවු කාරයෙක් විදිහට.

එදා රෑම සර්ගෙ පරීක්ෂණාගාරයේ නතර වෙන්නම් කියා පොරොන්දු වෙලා ආවත් නොහිතපු විදිහට මට තද උණක් හැදුණා.

"කමක් නෑ , සනීප වුණාම එන්න. කොහොමටත් මම දිගටම මේක බලනවා, මම නැති පොඩි පොඩි වෙලාවල් වලට බලා ගන්න කෙනෙකුයි ඕනෙ වෙලා තිබ්බේ" සර් කීවා.

=======

මට උණ හොඳ වෙලා විස්කම් සර්ව හම්බ වෙන්න පුලුවන් වුණේ දවස් 10කට පස්සෙ. සර්ගෙ පරීක්ෂණේ විස්තර දැන ගන්න මම සෑහෙන නොඉවසිල්ලෙන් හිටියෙ.

"පරීක්ෂණය සෑහෙන සාර්ථකයි, මම හිතුවට වඩා බොහොම ඉක්මනට බුද්ධිමත් කියල කියන්න පුලුවන් ජීවීන් හැදුනා, අපි දැනට පිළිගන්න සිද්ධාන්ත ගොඩක් වැරදි බව පෙන්වන්නත් පුලුවන්

"එතකොට දැන් ඒකෙ මිනිස්සු වගේ බුද්ධිමත් ජීවීන් ඉන්නවද ?" මම පුදුමෙන් ඇහුවා.

"සමහර විට මිනිස්සුන්ටත් වඩා බුද්ධිමත්. මිනිස්සුන්ට වඩා හැඩයෙන්නම් වෙනස්. ඒ අය ඉලෙක්ට්‍රෝනය මත ගොඩනැගිලි වගේ දේවල් පවා හැදුවා. ඒත් දැන් ඒ අය නෑ."

"ඇහ්

"ඒ අයගෙ ක්‍රියාකාරකම් හින්දා  පද්ධතියේ  සමතුලිත බව වෙනස් වෙන්න ගත්තා මට පාලනය කර ගන්න අමාරු මට්ටමටම . සෑහෙන ඉක්මනින් ඒ අය ඉලෙක්ට්‍රෝනය වෙනස් කළා. තව ටිකක් වෙලා ගියානම් න්‍යාෂ්ටික පිපිරීමක් වෙන්නත් ඉඩ තිබ්බා  ඒ හින්දා .මට ඒ ආකෘතිය විනාශ කරන්න වුණා. ආයෙ අක්කෘතියක් හදනකොට ඒ හැනත් හිතන්න ඕන"

=======

එදා රෑ මම නිදා ගන්නෙත් නැතුව කල්පනා කළේ විස්කම් සර්ගෙ පරීක්ෂණේ ගැන . දවස් 10කින් ඇති වෙලා විනාශ වෙච්ච බුද්ධිමත් ජීවීන් කොයි වගේ වෙන්න ඇත්ද ? අපේ දවස් 10ක් ඒ අයට කොච්චර කාලයක් වෙන්න ඇත්ද ?

යාන්තමින් නින්ද යාගෙන එද්දිම මම හීනෙන්  ඔය පල්ලෙහා තියෙන රූප සටහන දැක්කා
 



ඒ අපි ස්ව-සමානතාව (Self - Similarity) ගැන ඉගෙන ගනිද්දි අපිට පෙන්නපු උදාහරණයක්. එක සමාන කුඩා කුඩා ආකෘති විශාල ගණනක් එක් වෙලා ඒ කුඩා ආකෘති වලටම සමාන විශාල ආකෘති නිර්මාණය වෙන එකටයි ස්ව සමානතාව කියන්නෙ.  

පුංචි පුංචි පරමාණු එකතු වෙලයි අපි ජීවත් වෙන පෘතුවිය , සූර්ය ග්‍රහ මණ්ඩලය , විශ්වය හැදිලා තියෙන්නෙ.

දෙවියනේ එතකොට අපි ඉන්නෙත් කවුරු හරි කෙනෙක් නිර්මාණය කරපු ආකෘතියක වෙන්න බැරිද ?  පරමාණුවේ න්‍යාෂ්ටිය සූර්යයා. පෘතුවිය සහ අනිත් ග්‍රහලෝක ඉලෙක්ට්‍රෝන.

 ඒක එහෙමනම් ? ඒ ආකෘතිය හදපු කෙනාටත් ඒක විනාශ කරන්න සිද්ධ වෙයිද ?

[ 22 - Sep - 2011 ]

Wednesday, September 21, 2011

ජලාර්දයේ අසුරයෝ ?


ජලාර්දය , විශ්වයේ ඈත කෙලවරක තියෙන මීදුමේන් වැසී ගත්ත නිල්වන් පලාවන් ලස්සන ග්‍රහ ලෝකයක් . හරියට අවතාර් වල පැන්ඩෝරා ග්‍රහ ලෝකේ වගේ. ජලාර්දයේ ජීවත් වුණේ අසුරයෝ. අසුරයෝ කීවට එයාලත් මිනිස්සු කොටසක්මයි. අභ්‍යවකාශ යුගයේ තාක්ෂණික දියුණුවෙන් හෙම්බත් වෙච්ච නිස්කලංක ජීවිතයක් හොයපු මිනිස්සු වරින්වර විශ්ව පාලන අධිකාරියේ නීති රීති වලින් නිදහස සොයා ජලාර්දයට පැන ගියා. වටිනා කියන ඛනිජ වර්ග කිසිවක් නැති නිසා විශ්ව පාලන අධිකාරිය ජලාර්දය ගැන හෝ එයට පැන යන අය ගැන සොයන්න උනන්දු වුනේ නෑ.


විශ්වයේ ආධිපත්‍යය දරපු සුරයෝ අධිතාක්ෂණික මෙවලම් , දීර්ඝ කාලයක් තරුණ බව රැකගත හැකි වාජීකරණ එන්නත් වගේ දේවල් පාවිච්චි කරමින් දේවත්වයට ලං වෙන්නට උත්සාහ කරද්දි ජලාර්දයේ අසුරයෝ උත්සාහ කලේ හැකිතරම් දුරට ස්වභාව ධර්මයත් එක්ක ස්වභාව ධර්මයේ නීති රීති වලට අනුව ජීවත් වෙන්න.


ජලාර්දයේ අසුරයන්ට හරි අපූරු පුරුද්දක් තිබ්බා. ඒ තමයි හුවමාරු කරගෙන පොත් කියවීමේ පුරුද්ද. ඒ පොත් ලිවුවෙත් අසුරයොමයි. ජලාර්දයට ආපු හැම කෙනෙක්ම යම් ආකාරයක සාහිත්‍යකාමියෙක්. එහෙමත් නැත්තන් ජලාර්දයේ පරිසරය ඒ අයව සාහිත්‍යකාමීන් බවට පත් කළා .  මුද්‍රිත පොත් පත් කියන දේ ඉතිහාසයට එකතු වෙලා තියෙද්දි සියලුම පොත්පත් ඩිජිටල්කරණය වී තියෙද්දි අසුරයෝ කැමැත්ත දැක්වුවේ කඩදාසි වල මුද්‍රිත පොත් පත් කියවන්න.


මේ මම කාලෙකට කලින් කියවපු "ජලාර්දයේ අසුරයෝ" නම් විද්‍යා ප්‍රබන්ධයක කොටසක්. අසුරයෝ වගේම මමත් කැමති කඩදාසි වල මුද්‍රිත පොත් කියවන්න. ඒ නිසා මෙවර කොළඹ පොත් ප්‍රදර්ශනයෙන් මමත් පොත් කීපයක් වෙන් කරවා ගත්තා. 


මතුයම් දිනක මම එනතුරු ලංකාවේ රහසිගත තැනක මේ පොත් ටික සුරක්ෂිත  වී තියේවි.


  1. ඈත අතීතයට ගිය ඇමරිකානුවා 1 සහ 2 --- මාක් ට්වේන් . පරිවර්තනය, රාණි රාජපක්ෂ 
  2. මන්ත්‍රකාරියගේ සිරස --- රයිඩර් හැගාර්ඩ් , පරිවර්තනය , චන්ද්‍රසිරි දසනායක  
  3. ගැඹුරු මුහුද --- ආතර් සී ක්ලාක්, පරිවර්තනය , සිරිල් සී පෙරේරා 
  4. මසුරු සිහින --- ආර් කේ නාරායන් . පරිවර්තනය පේ‍්‍රමරංජිත් තිලකරත්න 
  5. ආගන්තුක රෝගියා --- මයිකල් ඔන්ඩච්චි . පරිවර්තනය කේ. ඒ . එන්. පෙරේරා    
  6. සක්කාරං --- චම්මින්ද වෙලගෙදර    
  7. අතුරුදන් වූ බළලා --- එනිඩ් බ්ලයිට්න් , පරීවර්තනය ලීලානන්ද ගමාච්චි  
  8. ආදරණීය ගුරුතුමනි --- රිකාඩෝ බ්‍රෙත්වේට් ,පරීවර්තනය සිරිල් චන්ද්‍රසේකර ගුණවර්ධන 
  9. ගංතුලානේ ගණිතාන්දරය -- ආචාර්ය සංජීව පෙරේරා සහ අනුරුද්ධ මහසිංහ 

ආ කියන්න අමතක වුණා. ජලාර්දයේ අසුරයන්ට තවත් අපූරු පුරුද්දක් තිබ්බා. ඒ තමයි පොත්පත් මුද්‍රණය කරන්න කඩදාසි ලබාගන්න කපන ගස් වෙනුවෙන් ඒ පොත් කියවන, ලියන අයම නැවතත් ගස් වගා කරන එක.


[ 21 - Sep - 2011 ]

Monday, September 12, 2011

මා දුටු සිහිනයක්


ග්‍රහකයෙන් කැඩී ගිය කොටසක් වැදීමෙන් ක්‍රෙම්ලිනයට ගිනි ඇවිලුණි. ග්‍රහකයේ ඉතුරු කැබලි ක්ෂිතිජයෙන් ඔබ්බෙහි අතුරුදහන් විය. වරින් වර මහ පොළොව දෙදරුම් කනු දැණුනි. ග්‍රහකයේ ඉතුරු කැබලි තවත් බොහෝ තැන් වලට පහර දෙන්නට ඇත.

ක්‍රෙම්ලිනයෙන් ඇරඹි ගින්න හාත්පස පැතිර යන්නට විය. බොහෝ මිනිස්සු ගින්න නිවා දමන්නට උත්සාහ කළහ. පොළොව මතුපිටින් පමණක් නොව පොළොව අභ්‍යන්තරයේ උමං මාර්ග ඔස්සේද ගින්න පැතිරෙන්නට විය. ගිනි නිවීමේ උත්සාහය අතහැර දැමුණි.

මිනිස්සු මහවැලි ගඟින් ඔබ්බට පළා ගියහ. පිළිස්සුම් තුවාල ලද බොහෝ දෙනෙක් කටුගස්තොට පාලම අසළ තාවකාලික රෝහලකට ගෙන එනු ලැබීය.

මේ සියල්ල සිදු වනු මම ප්ලේන්ටියක් බොමින් මගේ පාඩුවේ බලා සිටියෙමි. ඒත් මේ සියල්ලම දකින්නට මම සිටියේ කොහේද ?

[ 12 - Sep - 2011 ]

Thursday, September 8, 2011

චැනල් ටූ || channel 2



ඊයෙ රෑ නිදිමතේ ඉන්න වෙලේ රේඩියෝ එකේ චැනල් කරකව කරකව හිටියා.ඒ වෙලාවෙ අහු වුණේ චැනල් දෙකයි. එක චැනල් එකකනම් ප්‍රවෘත්තිද කොහෙදො ගියේ. අනිකේ මනමේ නාඩගම වෙන්න ඕනේ. සැරින් සැරේ ඇහැරිච්ච වෙලාවල් වල ඇහිච්ච ඒවයින් මතක එවුවා.
=============

"ඇමරිකානු ප්‍රහාරක ගුවන් යානා 10ක් ශ්‍රී ලංකා ගුවන් කලාපය උල්ලංඝනය කරයි . ඉවත්ව යන ලෙස දැන්වීමෙන් පසු පිටව යයි"

ගියා වැද්දෝ...
නොම විද්දෝ...
ඉඩ ලද්දෝ...
අපි මෙවරා...

"ශ්‍රී ලංකාව ස්වාධීන රාජ්‍යයක්. ජනාධිපති ආචාර්ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉන්දීය අගමැති ආචාර‍්ය මනමෝහන් සිංට පිළිතුරු දෙයි" 

මුළු දඹදිවටම තොප මහ රජ වුව
මගෙ විජිතය මෙම, මම වෙමි අගරජ

"යුධ අපරාධ සිදුවී ඇති බවට ඇමරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් නඟන චෝදනා පදනම් විරහිතයි, ආරක්ෂක ලේකම්වරයා පවසයි"

ඔබ ප්‍රිය කළ හිමි මාව මරන්නට
තැත්කල හින්දා ... තැත්කල හින්දා ...
සිය පණ ගලවා ගන්නට මැරුවෙමි
නෑ මගෙ දෝසා .... නෑ මගෙ දෝසා ...

[ 08 - Sep - 2011 ]

Tuesday, August 30, 2011

නරියා සහ පොඩ්ඩි කෙල්ල

බූරු කෙල්ලගෙ කතන්දරේ කියවපු වලවුවෙ පොඩ්ඩි කෙල්ලටත් ආසා හිතුණලු පොඩ්ඩි කෙල්ලක් ගැන කතන්දරයක් ලියන්න. මෙන්න පොඩ්ඩි කෙල්ල ලියල එවපු කතන්දරේ
=====================

ඔන්න එකමත් රටක, පොඩි කැලයක් අයිනේ ,පොඩි කඳු ගැට්ටක තිබුනු ගේ පොඩ්ඩක පොඩ්ඩි කියලා හුරුබුහුටි, කෙලි පොඩ්ඩක් හිටියලු එයාගෙ අත්තම්මත් එක්ක. 

මේ ඉන්නෙ පොඩ්ඩි කෙල්ලයි පොඩ්ඩිගේ අත්තම්මයි
පොඩ්ඩි බිත්තියේ චිත්‍ර අඳිමින්

පොඩ්ඩිගේ ගේ ළඟ තිබ්බ කැලෑවෙ හිටියලු මුකලන් බස්සෝ, පුංචි හා පැටික්කියෝ, සුදු පූසෝ, වල් ඌරෝ, මී මින්නු, බැටලුවෝ ..... වගේ අය ගොඩාආරියක් කට්ටිය .  ඒ කැලෑවෙ හිටියලු නරියෙකුත්. මෙන්න මේ නරියා තමා භයානකම සතා . හරිම කෆටිලු

කැලෑව මැද විලේ හිටපු මකර පැටියා තමයි පොඩ්ඩි කෙල්ලගේ හොඳම යාලුවා. මේ දෙන්නා හැමදාම  කැලැවෙ ඇවිද ඇවිද සින්දු කිය කියා නට නටා සෙල්ලම් කලා.  හා පැටික්කියි  සුදු පූසායිත් මේ දෙන්නගෙ සෙල්ලමට එකතු වුණා  මුකලන් බස්සා මේ අයගෙ සෙල්ලම් බල බලා නට, නටා උඩින් පියෑඹුවා. මකර පැටියාගෙ බවුවත් මේ අය එක්ක හරි හරියට නැටුවා




ඇහැළ මලින් ගස් පිරිලා බලන්න හරි ලස්සනයි
අඹ රඹුටන් ජම්බු ඉදිලා අද හැම තැන හරි හැඩයි

මෙයාලා සෙල්ලම් කරද්දි හැමදාම නරි රා  මෙයාලා දිහා බලා හිටියා. එයාට න උනේ කොහොම හරි පොඩ්ඩි කෙල්ලව අල්ලගන්ට. පොඩ්ඩි කෙල්ලව හුරතලේට එයා ගාව තියා ගන්න.

ඉතින් හැමදාම නටලා, නටලා, පොඩ්ඩි කෙල්ල ගෙදර එන්නේ හොඳටම හැන්දෑ වෙලා. ඔච්චර හැන්දෑ වෙනකම් කැලෑවෙ ඇවිදින්න එපා කියල අත්තම්ම අවවාද කළත් මේ නෝටි කෙළි පොඩ්ඩ ඒක කණකටවත් ගත්තෙ නෑ. බලන් ඉන්ට බැරි  තැන එක දවසක් අත්තම්මා එයාට කෑගැහැව්වා. " උඹව කවදා හරි අර කැලේ ඉන්න නරි රාළට දෙනවා කැලේටම වෙලා ඉන්න" . ගේ අද්දර කැලේට වෙලා හිටපු නරි රාළට මේක ඇහිලා හරි සතුටු හිතුනා. මිනිස්සු බොරු නොකියන කොටසක් බව තමයි නරි රා හිතුවේ.

පොඩ්ඩි ඉතින් පොඩි හන්දා මේ මුකුත් තේරෙන්නෙ නැනේ. එයා පහුවදාත් ගියා කැලේට. එදා මකර පැටියාට හොඳටම හෙම්බිරිස්සාව. කිඹුහුම් යවනකොට නහයෙන් ගිනි බෝල පිට වෙනවා. ඉතින් එදා මේ අයට සෙල්ලම් කරන්න බැරි වුණා. හා පැටික්කි කැරට් අහුලන්න කියල ගියා. සුදු පූවා සමනල්ලු බලන්න ගියා.  පොඩ්ඩි කෙල්ල මකර පැටියට මල් කඩල දෙන්න හිතාගෙන ගඟ අද්දරට ගියා.

පොඩ්ඩි කෙල්ල තනියම ඉන්නවා දැකපු නරි රා පොඩ්ඩි කෙල්ල ගාවට ගිහින් කිවුවා "ඔයාගෙ අත්තම්මා කීවා ඔයාව මට දෙනවා කියල. යමු මාත් එක්ක". පොඩ්ඩි කෙල්ල පොඩි නිසා නරියා කියපු කතාවට රැවටුණා. අත්තම්මත් කිවුවනෙ නරියට දෙනවා කියල. එයා නරියා එක්ක නරි ගුහාවට ගියා.

රෑ බෝ වීගෙන එද්දි පොඩ්ඩි කෙල්ලට බය හිතුණා. එයා කවදාවත් එච්චර රෑ වෙනකම් කැලේ ඉඳල නෑ. පොඩ්ඩි කෙල්ලට අත්තම්මව මතක් වුණා. "මට ගෙදර යන්න ඕනෙ, මට අත්තම්මව ඕනෙ" පොඩ්ඩි කෙල්ල අඬන්න පටන් ගත්තා. "බෑ බෑ එහෙම යන්න දෙන්න බෑ" නරි රාළ සැර දැම්මා . පොඩ්ඩි කෙල්ලට කවුරුවත් එහෙම සැර දාල නෑ. පොඩ්ඩි කෙල්ල ඉකි ගගහ අඬන්න පටන් ගත්තා. 

නරි රාළ පොඩ්ඩි කෙල්ලව නළවන්න හිතාගෙන සින්දුවක් කියන්න පටන් ගත්තා.

" හඳ පායන කල ගඟ බඩ ඉඳගන නුඹෙ හිස පීරන්නම්...නුඹෙ හිස පීරන්නම්..
 කෙහෙල් මුහ.. අ.. අ... අ.... සහ රොස් පරිප්පු සමගින් බත් උයලා දෙඤ්ඤං...
නුඹහට අයිස් කිරිඤ්ඤා දෙන්නම් …..නුඹහට වැනිලා අයිස්ක්‍රීමුත් දෙඤ්ඤං
කුමටද පොඩ්ඩියේ කඳුලු සලන්නේ...."

ඒත් ඒත් පොඩ්ඩිගේ ඇඬිල්ල නතර වුණේ නෑ

රෑ ජාමෙ රස්තියාදු ගහන මුකලන් බස්සට ඇහුණා පොඩ්ඩිගෙ ඇඬිල්ල  . සද්දෙ ඇහෙන පැත්තට බස්සා හයියෙන් හයියෙන් පියාඹගෙන ගියා . මෙන්න වැඩක් ! පොඩ්ඩි අඬනවා. නරි රා නැට්ට වන වනා සිංදු කියනවා. සින්දු කියන ගමන් සැරින් සැරේ ගොරවනවත් එක්ක.



 පොඩ්ඩි අඬනවා. නරි රා   සිංදු කියනවා

ඒක දැකපු බස්සා 'බස, බස, ' ගාලා ගිහින් මේ විත්තිය සුදු පූසටයි, හා පැටික්කිටයි කීවා. එයාලා දුවලා ගිහින් ඒක මකර පැටියගෙ කනේ තිබ්බා. ..දැන් ඉතින් මකර පැටියයි, සුදු පූසයිහා පැටික්කියි, බස්සයි, මකර පැටියගේ බව්වයි එකතු වෙලා පොඩ්ඩි කෙල්ලව බේරගන්න විදියක් ගැන කතා කරනවා.

'නරියෝ බව්වන්ට බයයි' බව්වා කීවා.  'එහෙනම් අපි පොඩ්ඩි කෙල්ලව කොල්ල කමු, බවුවා තමයි මුහුදු කොල්ල කාරයා ' සුදු පූ කිවුවා.  'බවුවගෙ එක ඇහැක් වහන්න ඕනෙ, මුහුදු කොල්ලකාරයො ඉන්නෙ එහෙමයි' මකර පැටියා කිවුවා. ඇත්ත නේන්නම්. කට්ටිය එකතුවෙලා බව්වගේ එක ඇහැක් වැහුවා.

මුහුදු කොල්ලකාර බවුවා

මුහුදු කොල්ලකාර බවුවා කඩදාසි බෝට්ටුවක නැගලා ගඟ දිගේ නරි ගුහාව ආක්‍රමණය කළා. බස්සා ඔත්තු බැලුවා.  නරියට බව්වගේ ඉව දැනුනා විතරයි කැලේ කඩාගන දුවන්ට පටන්ගත්තා.   නරි රාළ පැනල ගියපු ගමන් පුසයි, හා පැටික්කියි ඇවිත් පොඩ්ඩි කෙල්ල අඬන එක නවත්තා ගත්තා.  මකර පැටිය දුම්, විහිද, විහිද පොඩ්ඩිව පිට උඩ තියාගෙන පියඹලා  ගිහින් පොඩ්ඩි කෙල්ලව අත්තම්මට භාර දුන්නා

පොඩ්ඩිව නරියාගෙන් බේරාගෙන

එදායින් පස්සෙ පොඩ්ඩි කෙල්ල නෝටි වුණේ නෑ.  නරියට රැවටෙන්න මෝඩ වුණෙත් නෑ .ඉතින් ඊට පස්සේ යාලුවෝ ටික පර විදියට සතුටින් සිංදු කිය, කිය නට, නට හිටියා සතුටින් හිටියා.

  • කතාව ලියා එවුවේ පොඩ්ඩි කෙල්ල
  • කතාවට ලුණු ඇඹුල් දැම්මේ මකර පැටියා
  • සත්‍ය කතාවක් බව සහතික කළේ අත්තම්මා

[ 30 - Aug - 2011 ]

Sunday, August 28, 2011

ටෑන් ටෑන් ටෑන් ටෑන් || Tan Tan Tan Tan




අද උදේ පාන්දර සිංගාරප්පුවට අලුත් ජනාධිපති කෙනෙක් ලැබුණා. ඒ තමයි ආචාර්ය ටෝනි ටෑන් .  ඒ ඊයේ පැවැත්වුණු ජනාධිපතිවරණයේ ප්‍රතිපල අනුව.  

සිංගප්පූරුවේ ජනාධිපතිවරණයක් පැවැත්වුණේ සෑහෙන කාලෙකට පස්සෙලු. මීට පෙර හිටපු ජනාධිපතිවරයා සෙල්ලප්පන් රාමනාදන් 1999 සහ 2005 දෙවාරයකදීම නිතරඟයෙනුයි ජනාධිපති ධුරයට පත් වෙලා තියෙන්නෙ. 

කාලෙකට පස්සෙ මෙවර පවත්වපු ජනාධිපතිවරණයට අපේක්ෂකයො 4 දෙනෙක් ඉදිරිපත් වුණා. ඒ හතර දෙනාම ටෑන්ලා. ඒ අය තමයි ..

1. ආචාර්ය ටෝනි ටෑන්
2. වෛද්‍ය ටෑන් චෙන්
3. ටෑන් ජී
4. ටෑන් කින්

හිටපු උප අගමැතිවරයෙක් වන ආචාර්ය ටෝනි ටෑන් මීට මාස 2කට පෙර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව නිවේදනය කරද්දි ඔහුට නිතරඟ ජයක් හෝ පහසු ජයක් ලැබෙයි කියා අපේක්ෂා කළත් අනිත් ටෑන්ලාගේ ඉදිරිපත් වීම සමඟ ඒක එහෙම වුණේ නෑ. අන්තිමට තරඟය කොච්චර තියුණු වෙලාද කියනවනම් ඊයෙ රෑ චන්ද දෙවෙනි වරටත් ගණන් කරන්න වෙලා. ආචාර්ය ටෝනි ටෑන් සහ වෛද්‍ය ටෑන් චෙන් දෙදෙනාම 35% ට ආසන්න චන්ද ප්‍රතිශත බැගින් ලබාගෙන.  අනිත් ටෑන්ලා දෙන්නාගේ එකතුවත් 30% කට ආසන්නයි. ආචාර්ය ටෑන් වෛද්‍ය ටෑන්ට වඩා අරගෙන තියෙන්නෙ චන්ද 7,269 ක්. ඒ ලක්ෂ 21ක් පමණ වූ චන්ද සංඛ්‍යාවකින්.

පසුගිය මැයි මාසයේ පැවති පාර්ලිමේන්තු මහමැතිවරණයනම් තනි අශ්වයාගේ රේස් එකක් වගෙ තිබ්බෙ. ඒකෙදි පාලක පක්ෂය 90% කට වැඩි පාර්ලිමේන්තු බලයයක් ලබා ගත්තා.  ( 90% කට වඩා ගත්තට ඒක 1965 න් පස්සෙ බිහි වෙච්ච දුර්වලම ආණ්ඩුවලු ) මේ තියෙන්නෙ මහ මැතිවරණය ගැන ලියපුවා 


ජනාධිපති තනතුර ස්වාධීන එකක් ලෙස පැවතිය යුතු නිසා දේශපාලන පක්ෂ වලට ජනාධිපතිවරණයකදී සක්‍රීයව දායක වෙන්න බෑ. අපේක්ෂකයන් ඉදිරිපත් විය යුත්තේ තනි පුද්ගලයන් විදිහට. දේශපාලන පක්ෂ වල සාමාජිකත්වය දරන අයට ජනාධිපති තනතුරට ඉදිරිපත් වෙන්න බෑ. ආචාර්ය ටෝනි ටෑන් පහුගිය ජුනි මාසයේ මහජන ක්‍රියාකාරී පක්ෂයේ තනතුරු වලින් ඉවත් වෙලා ඊට පස්සෙයි ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන බව නිවේදනය කළේ.

ජනාධිපති තනතුර බොහෝ දුරට උත්සව අවස්ථා සඳහා සංකේතාත්මක එකක් වුණත් ජනාධිපතිවරයාටත් යම් යම් පරිපාලන සහ මුදල් බලතල හිමි වෙලා තියෙනවා.   අග්‍ර විනිශ්චයකාරවරයා, හමුදා ප්‍රධානීන් වැනි ඉහළ තනතුරු පත් කිරීමේදී ජනාධිපතිවරයාට නිෂේධ බලය හිමියි. ඒ වගේම රටේ විදේශ සංචිත භාවිතා කිරීමේ සීමා නියම කිරීම ජනාධිපති වරයාගේ පාලනය යටතේයි සිදු වෙන්නෙ. ( වැඩි විස්තර මෙතනින් බලන්න )

අලුත් ජනාධිපතිවරයාට මකර අධිරාජයාගේ උණුසුම් සුභපැතුම් !!!

[ 28 - Aug - 2011 ]

Thursday, August 25, 2011

ලින්කන්ගේ බූරු කතාව

ඔන්න එකමත් එක රටක දඩ කෙළියට බොහොම කැමති රජතුමෙක් හිටියලු. මේ රජතුමාට එක දවසක් දඩ කෙළියේ යන්න හිතිලා තමන්ගේ කාලගූණ ඇමතියගෙන් ඇහුවලු එදා දවසෙ කාලගුණය එහෙම කොහොම වෙයිද? කියලා. ඇමතියා කිවුවලු "දේවයන් වහන්ස, අද දඩකෙළියට බොහොම හොඳ දවසක් , හොඳ පැහැබර කාලගුණයක් තියෙයි" කියලා

ඉතින් රජතුමා සේනා වාහන එහෙම සංවිධානය කරගෙන දඩ කෙළියට පිටත් වුණාලු. ඔය යන අතරමඟදි මේ පිරිසට හම්බ වුණාලු ගොවියෙක්. මේ ගොවියා බොහොම යටහත් පහත්ව රජතුමාට කිවුවලු "දේවයන් වහන්ස, තව ටික වෙලාවකින් වැස්සක් පටන් ගනියි, මේක දඩ කෙළියට යන්න සුදුසු වෙලාවක් නෙවෙයි" කියලා. රජතුමා උපහාසෙන් හිනා වෙලා අර ගොවියව නොසළකා හැරල තමන්ගෙ ගමන පිටත් වුණාලු. මොකද රජතුමාගෙ නුවණැති  කාලගූණ ඇමතියා කියලනෙ තියෙන්නෙ එදා දවස දඩ කෙළියට බොහොම හොඳයි කියල.

ඒත්  රජතුමා ඇතුළු පිරිස වනාන්තර සීමාවට කිට්ටු වෙනකොටම  නොහිතපු විදිහට අනෝරා වැස්සක් වහින්න පටන් ගත්තලු. රජතුමා ඇතුළු පිරිස හොඳටම තෙතබරියන් වුණාලු. රජතුමා බොහොම කෝපවෙලා තෙතබරියන් ඇඳුම් පිටින් ආපහු මාළිගාවට ගියාලු. මාළිගාවට ගියපු ගමන් වැරදි කාලගුණ අනාවැකි කියපු ඇමතියව තනතුරෙන් පහ කළාලු. රාජපුරුෂයන්ට නියෝග කළාලු අර අතරමඟදි හම්බ වෙච්ච ගොවියව කැඳවන් එන්න කියල

ඒ ගොවියා බයෙන් ගැහි ගැහී රාජ සභාවට ආවලු.  රජතුමා ඒ ගොවියට කිවුවලු වහාම කාලගූණ ඇමති කම භාර ගන්න ලෑස්ති වෙන්න කියල. ඒ ගොවියා කිවුවලු "අනේ දේවයන් වහන්ස, මම බොහොම නූගත් ගොවියෙක්, ඇමතිකමක් වගේ භාරධූර වැඩක් කරන්න තරම් මට දැනුමක් නෑ" කියල.  රජතුමා කිවුවලු "ඔබ අද වහිනවා කියල නිවැරදිව කිවුවා, මේ ඇමති කම කරන්න ඒ දැනුම හොඳටම ඇති" කියලා. 

ගොවියා කිවුවලු "අනේ දේවයන් වහන්ස, ඒ මගේ විශේෂ දැනුමකින් කියපු දෙයක් නෙවෙයි, මගේ බූරුවා වහින්න කිට්ටු වෙලාවට එක කණක් පහත් කර ගන්නවා. බූරුවා තමයි මට මේවා කියන්නෙ" කියලා. රජතුමා ගොවියව ආපහු පිටත් කරල ඇරල ගොවියගෙ බූරුවව ගෙන්නගෙන බූරුවව කාලගුණ ඇමති කමට පත් කර ගත්තලු.

ඔන්න ඔතන තමයි රජතුමා වැඩ වරද්ද ගත්තෙ. එදායින් පස්සෙ හැම බූරුවම රජයේ තනතුරු ඉල්ලන්න පටන් ගත්තලු.

මේ කතාව ඇමරිකාවෙ හිටපු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් තමන්ගෙ දේශපාලන ආධාරකරුවන් පිරිසකට කියපු කතාවක්ලු. ලින්කන් ජනාධිපති වුණාට පස්සෙ දේශපාලන ආධාරකාරයො තමන්ගෙ සුදුසුකම් වලට නොගැලපෙන එක එක තනතුරු ඉල්ලගෙන ආපු එක ලින්කන්ට මහ කරදරයක් වුණාලු. ලින්කන් ආධාරකරුවන් රැස් කරල මේ බූරු කතාව  කියල තියෙන්නෙ ඒ කරදරෙන් බේරෙන්නලු.  ලින්කන්ගෙ බූරු කතාවෙන් පස්සෙ ඒ කරදර සෑහෙන්න අඩු වුණා කියලයි කියන්නෙ.


බූරු කතාවක් කියලා 
රැවුලයි කැඳයි දෙකම බේර ගත්ත 
ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිතුමා


ප.ලි - 1

මට මේ බූරු කතාව මතක් වුණේ බඹදත් රාජ සභාවෙ නටපු බූරු කෙල්ල ගෙ කතාව ලිවුවට පස්සෙ. කාලෙකට කලින් මේ කතාව ලින්කන්ගේ චරිතාපදාන පරිවර්තන පොතක කියෙවුවා. මේ කතාවෙ ඉංගිරිස් වර්සන් එකක් මෙතන තිබේ. ලින්කන්ගේ රැවුල ගැනත් ප්‍රසිද්ධ ඇත්ත කතන්දරයක් තිබේ 


ප.ලි - 2

මේ කතාවෙ ඉංගිරිස් වර්ශන් එකක් හොයද්දියි දැන ගත්තෙ බූරුවත් අලියා වගේම දේශපාලන සත්වයෙක් කියලා. ලංකාවෙ  එක්සත් ජාතික පක්ෂයේ සහ ඇමරිකාවෙ රිපබ්ලිකන් පක්ෂයේ සළකුණ අලියා කියල දැනන් හිටියට ඇමරිකාවෙ ඩිමොක්‍රටික් පක්ෂයේ සළකුණ බූරුවා කියල අදයි දැන ගත්තෙ. මෙන්න වැඩි විස්තර.

[ 25 - Aug - 2011 ]

Friday, August 19, 2011

බූරු කෙල්ල



ඔන්න ඉස්සර කාලෙ බරණැස් නුවර බඹදත් රජ්ජුරුවො දැහැමෙන් සෙමෙන් රාජ්‍ය කරන කාලෙ ඒ රජ්ජුරුවන්ගේ මාළිගාවෙ බර වැඩ කරල දෙන රාජකීය බූරුවෙක් හිටියලු.  මේ රාජකීය බූරුවා යාලු වෙලා හිටියලු බොහොම ලස්සන බූරු කෙල්ලෙක් එක්ක. බූරු කෙලී හරි ලස්සනයිලු. දණහිස ලඟට දිග නැට්ටක් තිබ්බලු. ඔය උඩ ඉන්නෙ ඒ බූරු කෙල්ල.


ඔය බූරු කෙල්ල එක දවසක් දැක්කලු මනුස්ස කෙල්ලො රංචුවක් කනේ මල් ගහගෙන ගං ඉවුරෙ නටනවා. ඕක දැකල මේ බූරු කෙල්ලටත් අහිංසක ආසාවක් ආවලු කනේ මලක් ගහගෙන නටන්න.  ඉතින් මේ බූරු කෙලී බූරු කොල්ලට, ඒ කිවුවෙ අර රාජකීය බූරුවට කිවුවලු "අනේ මටත් මලක් ගෙනත් දෙන්න , මට හරි ආසයි මලක් ගහගෙන නටන්න" කියල. රාජකීය බූරුවා බූරු කෙලීට උම්මා එකක් එහෙම දීල කිවුවලු හවස වැඩ ඇරිල එනකොට මලක් ගේන්නම් කියල.


ඔන්න ඉතින් බූරු කෙලී බොහොම සන්තෝසෙන් බලන් හිටියලු හවස් වෙනකම්. බූරු කොලුවා රජ මාලිගාවෙ බර වැඩ කරල ඉවර වෙලා හවස ආපහු එද්දි මතක් වුණාලු මල් පොරොන්දුව. බූරු කොලුවා ගියාලු මල් කඩ තිබ්බ වීදියට. හෆොයි ඒ කඩවල් වල මල් අස්ප ගණංලු ( බූරු ගණං නෙවෙයිලු ). බූරුවගෙ වැටුපට ඔරොත්තු දෙන්නෙ නෑ නෑ වගේලු.   බූරු කොලුවා දහ අතේ කල්පනා කළාලු මේකට මොකෝ කරන්නෙ කියල. ඉතින් බූරු කොලුවා  මලක් "ගම්දෝ නොගම්දෝ" කියල හිත හිත හෙමීට ඇවිදිනකොට ආපහු නොදැනීම වගේ බඹදත් රජ මාලිගාව කිට්ටුවට ආවලු. ඔන්න එතකොට බූරුවට මතක් වුණාලු එදා දවල් බිසවගේ කාමරේට මල් මිටියක් ඩිලිවර් කළා නේද කියල.

ඉතින් බූරු කොලුවා නිකමට වගේ බිසවගෙ කාමරේට හොම්බ දාල බැලුවලු. මේ තියෙන්නෙ මල් පොකුර දවල් තියල ගියා වගේම. බූරුවට හිතුනලු ඕකෙන් එක මලක් අඩු වුණාට බිසවට දැනෙන එකක් නෑ කියල. එහෙම හිතල මල් මිටියෙන් මලක් අරගෙන  බූරු කෙලීව බලන්න පිටත් වුණාලු.


මෙන්න බූරු කොල්ලා මලක් කටින් අරගෙන කෙල්ල බලන්න යන හැටි.


ලස්සන ලිලී මලක් අරන් ආපු බූරු කොලුව ගැන බූරු කෙලීට ආආදරේ හිතුනලු.  උම්මා ගොඩාක් දුන්නලු. ඒ මල කනේ ගහගෙන බූරු කොලුවට පේන්න හොඳට නැටුවලු. බූරු කොලුවත් සන්තෝසෙන් අත්පුඩි ගගහ කෙලීගෙ නැටුම් බලනවලු


මේ අස්සෙ බඹදත් රජ මාලිගාවෙ හරිම ලොකු කලබගෑනියක්ලු. රජතුමා බිසවට බනිනවලු මල් 13ක මල් පොකුරක් රජතුමාට පිරිනැමුවා කියලා. 13 අසුභයි කියලලු මේ රණ්ඩුව. බිසව දහ අතේ දිවුරල කියනවලු මම ඕඩර් කළේ මල් 14ක පොකුරක් කියල. බඹදත් රජතුමා නියෝග කළාලු වහාම මේ ගැන පරීක්ෂණයක් පවත්වන්න. විගණන අංශය තහවුරු කළාලු මල් 14ක පොකුරක් ලැබුණා කියල. ඉතින් ඊට පස්සෙ ආරක්ෂක අංශ වලට පැවරුණාලු හොරකමක්වත් වුණාද කියල හොයන්න.


අන්තංපුරේ CCTV සිකුරිටි කැමරාවල පැහැදිලිවම සටහන් වෙලා තියෙනවලු බූරුවා හොරා වගේ හෙමීට හෙමීට ඇවිදින් මලක් පැහැරගන්න දර්ශනය.  බඹදත් රජතුමා නියෝග කළාලු වහාම රාජ බූරුවව  අත්අඩංගුවට ගන්න.ඔන්න ඉතින් අර බූරු කෙලී කනේ ලිලී මලක් ගහගෙන නට නට ඉන්න අතරෙ ඔතනට හදිසියෙම කඩා පාත් වුණාලු රාජ පුරුෂයො. ඇවිත් බූරුවව අත් අඩංගුවට ගත්තලු. අස්ථානගත වෙච්ච මල බූරු කෙල්ලගෙ කනේ තිබ්බ හින්දා බූරු කෙල්ලටත් මාංචු වැටුනලු . පවූඌඌඌඌ


ඉතින් මේ බූරු ජෝඩුව රාජ සභාවට එක්කන් ගියාලු. රජතුමා සැර දාල ඇහුවලු ඇහුවලු මොකද මල හොරකම් කළේ කියල කියල. බූරු කොල්ලා කඳුලු පිරි දෙනෙතින් කිවුවලු දුප්පත් කම හින්දයි එහෙම කළේ කියල. බූරු කෙල්ල කිවුවලු කනේ මලක් ගහගෙන නටන්න ඇති වෙච්ච ආසාව.


රජතුමාට පවුඌඌ හිතුනලු. බර වැඩ කරන අඩු පඩි ලබන බූරුවෙක්නෙ. ආයෙ මේවගේ වැඩ කරන්න එපා කියල අවවාද කරල සියළු චෝදනා වලින් බූරු ජෝඩුවව නිදොස් කොට නිදහස් කළාලු. සමාව විතරක් නෙවෙයි බඹදත් රජතුමාගෙන් තෑග්ගකුත් හම්බ වුණාලු. තෑග්ග තමයි බූරු කෙලීට  දවසකට මල බැගින් දීමනාවක් සමඟ  රජ මැදුරේ රැකියාවක්. බූරු කෙලීට දැන් හැමදාම මල ගානෙ හම්බ වෙනවලු. එයාගෙ ඩියුටිය තමයි ඒ මල කනේ ගහගෙන රාජ සභාවෙ නටන එක.


මෙන්න බූරු කෙල්ල බඹදත් රාජ සභාවෙ නටනව.


රජතුමායි ඇමති වරුයි හරිම ආස වුණාලු බූරු කෙලීගෙ නැටුම් වලට. දිග වලිගයක් තියෙන ලස්සන බූරු කෙල්ලෙක්නෙ. ඔන්න ඉතින් රජතුමාගෙයි ඇමතිවරුන්ගෙයි හිත දිනා ගත්ත බූරු කෙලීගෙ පඩිය හිටු කියල වැඩි වුණාලු. බූරු කොලුවා තවමත් අඩු පඩි ලබන දහඩිය දමන බර වැඩමලු. බූරු කෙලී A/C එහෙමත් තියෙන රාජ සභාවෙ වැඩි පඩි ලබන රැකියාවකලු දැන්.


බූරු කොලුවට මේකට අස්පට් ගැහුවලු. කිවුවලු වහාම ඔය රස්සාවෙන් අස් වෙන්න කියල. මෙන්න බූරු කෙල්ලට සැර දානවා 


බූරු කෙල්ලත් කොල්ලට ආදරේ හින්දා රජතුමාට බොරුවක් කියල රස්සාවෙන් අස් වුණාලු. රස්සාවෙන් අස් වෙච්ච නිසා මල් දීමනාවත් නතර වුණාලු. ටික කාලයක් යනතුරු බැංකු පොතේ ඉතුරු වෙලා තිබ්බ සල්ලි වලින් බූරු කොල්ලා ලව්වා මල් ගෙන්නවා ගත්තලු. ඔන්න ඉතින් අඟහිඟකම් මතු වෙන්න පටන් ගත්තලු. බූරු කෙල්ල මල් වලට ඇබ්බැහි වෙලානෙ දැන්. බූරු කොල්ලගෙ අඩු පඩි ලබන බර වැඩ රැකියාවෙන් මෙ ඔක්කොම ආම්බාම් කරන්න බැරි තත්වයක් ආවලු.


බූරු කොල්ලා වැඩි පඩි ලබන්න කියල හිතන් බලු වැඩ කරන්න ගිහින් රජතුමාගෙන් හොඳටම බැනුමුත් ඇහුවලු. පෙර වැරදි තියෙන හින්දා හිටපු තනතුරෙන් පහළටත් දැම්මලු.  ඕකනෙ කියන්නෙ බල්ලගෙ වැඩ බූරුවා කරන්න හොඳ නෑ කියල. 


බූරු කොල්ලට හොඳටම තරහ ගියාලු. මෙ ඔක්කොම වුණේ මේ බූරු කෙල්ලගෙ මල් පිස්සුව හින්දනෙ කියල බූරුව කරපු වැඩේ බූරු කෙල්ලට බූට් තිබ්බලු.  දැන් බූරු කෙල්ලට බූරුවත් නැහැලු., මලුත් නෑලු, ජොබ් එකත් නෑ ලු.


බූරු කෙල්ලට දුක හිතුනලු. කමක් නෑ මමම මල් හොයා ගන්නව කියල හිතාගෙන බූරු කෙල්ල තනියම ස්වෝත්සාහයෙන් මල් වගාවක් පටන් ගත්තලු.  මේ මල් වගාව ටිකින් ටික දියුණු වුණාලු. දැන් බූරු කෙලීට කනේ ගහන්න මල් ඕනෙවටත් වඩාලු.හිටපු රාජ සේවිකා බූරු කෙලීගෙ ලස්සන මල් වගාව ගැන බඹදත් රජතුමාටත් ආරංචි වෙලා රජ මාලිගාවට මල් සප්ලයි කරන්න ඕඩර් එකකුත් ආවලු .


බූරු කෙලීගෙ ෆාම් එකෙන් හැමදාම උදේට මල් මිටියක් රජ ගෙදරට ට්‍රාන්ස්පොර්ට් කරන වැඩේ බාර වුනේ රජ ගෙදර ඔය වගේ බර වැඩ කරන බූරුවටලු. බූරුවට මේක මහ ලැජ්ජාවක් වුණාලු. බූරුවා රාජකීය රස්සාවත් අතඇරල රටෙනුත් පැනල ගියාලු


අලුතෙන් ඒ තනතුරට පත් වුණේ හොඳ කඩවසම් උගත් තරුණ බූරුවෙක්ලු. රැකියා විරහිතව හිටපු උපාධිධාරී උගත් බූරුවෙක්ලු. උගත් කමට ගැලපෙන්නෙ නෑ නෑ වගේ වුණත් වෙන රස්සාවක් ලැබුණෙ නැති නිසාලු රජ ගෙදර බර වැඩ වලට ආවෙ. 


අලුත් රාජ බූරුවා හැමදාම උදේට මල් මිටිය ගෙනියන්න ඇවිත් පැයක් හමාරක් බූරු කෙල්ල එක්ක මල් කඩ කඩ ඉන්නත් පුරුදු වුණාලු. කාලයක් ගත වෙද්දෙ මේ දෙන්නා නොදැනීම දෙන්නට දෙන්න අයි ලවු යූ වුණාලු. ඊට පස්සෙ දෙන්න කසාද බැඳල පින්වත් බූරු පැටවු එහෙම ලබල දැහැමෙන් සෙමෙන් ජීවිතය ගත කලාලු.


එතකොට අර පරණ බූරුවට මොකෝ වුණේ ?  පරණ බූරුවා රට අත ඇරල ගියා. එයා ගැන ඊට පස්සෙ පොත් පත් වල සඳහනක් නෑ.


[ 19 - Aug - 2011 ]

පාතාල මර්ධනය



නිති නිරිඳුගෙ රැකවලෙහි .........නියුත්තෝ
රුති ලෙස රුපුනොද බිඳ ජය....... ගත්තෝ
පැති රෙන වෙණ නද බැඳුණු.....සිතැත්තෝ
අති නවි ගිලිහෙන බව නොම.........දත්තෝ

- ගුත්තිල කාව්‍යයෙන් -


[ 19 - Aug - 2011 ]

Wednesday, August 17, 2011

ඕං ග්‍රීං කට්ටු කට්ටු - ග්‍රීස් යකා මට්ටු මට්ටු



දෙවිවරු සිටිනවානම් යක්ෂයන්ද සිටිය යුතුමය. ආසනික් දෙවියන්ගෙන් පසුව අලුත්ම ප්‍රවණතාවය ග්‍රීස් යක්කුය. ග්‍රීස් යක්කු මිස ග්‍රීස් යකින්නියන් නැත. මෙය ග්‍රීස් යක්කු ඕපපාතික බවට හොඳම සාක්ෂියකි.

ග්‍රීස් යක්කු එන්නේ යකාගේ කම්මලේ සිටය. ඒ අය යක්ෂ කම්මලේ බර වැඩ කර ජීවිකාව කර ගන්න අහිංසක යක්කුය.  කම්මල් වැඩ මුරය ඉවර කර ග්‍රීස් ගෑවුනු ඇඳුම් පිටින් ගඟට යන යක්කුන්ට මිනිස්සු බය වෙනවාය. 

සමහර අයනම් කියන්නේ ග්‍රීස් යකුන් මිනිස්සු හිතෙන් මවා ගත් දේවල් කියාය. ඒත් යකාගේ කම්මල වනාහි කලබල වූ සිත බව දන්නෝ දනිති. නොදන්නෝ දැන ගනිත්වා !

[ 17 - Aug - 2011 ]

Saturday, July 23, 2011

ෆෝන් ෆෝබියා



මේ චූටි හතරැස් කෑල්ල
කොයි වෙලේ හරි ට්‍රීං ට්‍රීං ගාලා
මගේ හිත අවුල් කරයිද කියල 
මම හරිම බයෙන් ඉන්නෙ

ඇල්බට් අයින්ස්ටයින් කියල තියෙන්නෙ මේ ලෝකෙන් මී මැස්සෝ වඳ වෙලා ගියොත් එයින් අවුරුදු 4ක් ඇතුළත මිනිස්සු වඳ වෙලා යනවා කියලා. පරිසර පද්ධති වල බිඳ වැටීම නිසා මේ කියන දේ ඇත්තටම වෙන්න පුළුවන්.මී මැස්සන්ට අද තියෙන ප්‍රධානම තර්ජනයක්ලු ජංගම දුරකථන සඥා. ඒවා මී මැස්සන්ගෙ ගමන් මාර්ග හඳුනා ගැනීම් වලට බාධා කරනවලු.

ජංගම දුරකථන නැති මීමැස්සො පිරිච්ච ලෝකයක් විශ්වයේ අනිත් කෙළවර තියෙනවා. ඒ ලෝකෙ මිනිස්සු පණිවිඩ හුවමාරු කර ගන්නෙ ටෙලිපති ක්‍රමයෙන්. 

අයිසැක් ඇසිමෝව්ගෙ දෙවෙනි පදනම කියවපු අයනම් දන්නව ඇති විශ්වයේ අනිත් කෙළවර හොයා ගත්තෙ කොහොමද කියලා. ඒකට යොදා ගත්ත ඉඟි වැකිය තමයි "වෘත්තයකට කෙළවරක් නෑ" කියන එක. කාලය සරල රේඛීය දෙයක්. සරල රේඛීය සඥාවක් සංඛාත විෂයයට රූපාන්තර  කළාම ඒක වෘත්තාකාර වෙනවා (Transform to Frequency domain). හීරෝ නකමුරා කාල අවකාශය වක්‍ර කලේ ඒ විදිහටද ?

අතීතය වර්තමානය අනාගතය හා  පිහිටලා තියෙන්නෙ සම ද්විපාද ත්‍රිකෝණයකලු. ඒ කියන්නෙ අතීතයේ ඉඳන් වර්තමානය හරහා අනාගතයට යනවට වඩා ඉක්මනින් අතීතයේ ඉඳන් අනාගතයට යන්න පුළුවන්ලු. බර්මියුඩා ත්‍රිකෝණය කියන්නෙ සම ද්විපාද ත්‍රිකෝණයක්. හැබැයි විශ්වයේ අනිත් තැන් වලට වලංගු ත්‍රිකෝණමිතික අනුපාත බර්මියුඩා ත්‍රිකෝණෙදි අවලංගු වෙනවා. ගුවන් යානා , නැව් වලට පාර හොයා ගන්න බැරුව මංමුලා වෙන්නෙ  ඒකයි. 

අනන්තයට යන පාර දිගේ යනකොට මංමුලා වුණොත් පාර අහ ගන්න වෙන්නෙ ප්‍රාග් ඓතිහාසික කුරුමිණියෙක්ගෙන්. ඩයිනසෝරයො කොච්චර හිටියත් උන් පාර දන්නෙ නෑ. 

ඩයිනසෝරයො වඳ වෙලා ගියෙත් ජංගම දුරකථන හින්දා. ඩ‍යිනසෝරයො ලොකු ලොකු සයිස් ජංගම දුරකථන පාඉච්චි කරපු හින්දා මී මැස්සො තරහ වෙලා හඳට ගියා. හඳේ ආවාට හැදිලා තියෙන්නෙ මී මැස්සො ජනාවාස හදපු තැන්. ඩයිනසෝරයො වඳ වෙලා ගියාට පස්සෙ මී මැස්සො ආයෙමත් පෘතුවියට ආවා. ඒ වුණාට හඳේ ගුරුත්ව බලයයි ආන්තරීක්ෂ කිරණ වල බලපෑමයි හින්දා මී මැස්සො හිටපු ප්‍රමාණයෙන් 1/1.61803399 වෙනකම් පොඩි වෙලා ආපහු පෘතුවියට එනකොට.

හැබැයි මමනම් හඳට ගියොත් ආයෙ පෘතුවියට එන්නෙ නෑ නෑ නෑ නෑමයි.

[ 23 - Jul - 2011 ]

Sunday, July 17, 2011

ඊට පස්සෙ වෙච්ච දේ ?


හිතන්න පුළුවන්ද මේ ෆොටෝ එක අරන් මොහොතකට පස්සෙ වෙච්ච දේ ?

.

Tuesday, July 12, 2011

ෆ්‍රයි එන්ඩ් || FRI + END



මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම......... පැවති
බිතු සිතුවම් රූ මෙන් අව පැහැ..........ගැනෙති
විහිඟුම් කුලෙන් යුතු උතුමෝ.........අබිමනැති
 දිවිහිමි කොටත් නොතරම් කම්..නොමකෙරෙති


මිතුරු මිතුරියෝ පිලිබදව ඇති කරගන්නා බලාපොරොත්තු, විශ්වාසය වැඩි වුණාම එක පොඩි දෙයකට පුළුවන් මහා කළකිරීමක් ඇති කරන්න. ඒ කළකිරීම බෝම්බයක් වගේ පුපුරන්න අවශ්‍ය වෙන්නේ චුටිම චුටි තරහ සිතුවිල්ලක් විතරයි. 

දීප්ස්ගේ ලිපියකින් උපුටා ගන්න ලදී

[ 12 - Jul - 2011 ]

Thursday, June 23, 2011

භූත ගුණේගේ තුන්මස් සමරුව

.

මහා වීර දේශ බන්ධු භූත ගුණේ දැයෙන් සමු ගත්තෙ මීට මාස තුනකට කලින්. භූත ගුණේ ගැන අහල නැත්තන් සඳරු ලියපු භූත ගුණේගේ ජීවිත කතාව  කියවලා ඉන්න .

වල් අලි පහරකට ලක්වෙලා දැයෙන් සමුගත්තත් භූත ගුණේගේ කතාව එතනින් ඉවර නෑ. මෙන්න ඊට පස්සෙ වෙච්ච දේ.

===

භූත ගුණේගේ මරණය දැනිලා
සක්කර පස්සත් උණු වූවා.
ප්‍රයිවට් රියදුරු මාතලි කැඳවා
ගුණේව ගෙන එන්නට කීවා

සක් ආරක්ෂක භටයින් සමඟින්
මාතලි ලක් දෙරණට ආවා
වදෙන් පොරෙන් දෙව් රියට නංවලා
ගුණේව දෙව්ලොව ගෙන ආවා

දෙව්ලොව වටපිට විසිතුරු දැකලා
ගුණේගෙ ඇස් දෙක උඩ ඉඳුනා
මාව ගෙනාවේ කොළොම් පුරේටද ?
ගුණයා දෙයියෙක්ගෙන් ඇහුවා

නෑ බොල ගුණයෝ මේකයි දෙව්ලොව
දෙයියා ගුණේට පැවසූවා
කොළොම් පුරෙත් මේ වාගෙම වෙන්ටැති
භූත ගුණේ තනියම හිතුවා

පවස නිවන්නට අමුර්ත බඳුනක් 
භූත ගුණේ වෙත පිරිනැමුණා
රා පොල් කට්ටක් මීට සැපයි මට
ගුණයා හෙමිහිට මිමිණූවා

ෆේෂල් කරලා හැඩ වැඩ දමලා
ගුණේට දිව සළු ඇන්දවුණා
මේව එල්ලගෙන ඉන්නේ කොහොමද
භූත ගුණේ දත් මිටි කෑවා

අමුර්ත උගුරක් බීගෙන යනකොට
ගුණේට ඒකේ රස වැටුණා
දෙව්ලෝ කෙළියත් නරකම නැහැ නොවැ
භූත ගුණේ ටික ටික සිතුවා

දෙවියෙක් විලසට දිවුරුම් දෙන්නට
සක්දෙවි ගුණේව කැඳවූවා
අලුතින් දෙවි වන ගුණේ දකින්නට 
දෙවිවරු සබයට රැස් වූවා

සක්කර පුත්තර වයිමා දෙයියා
ගුණේට මල් මාලා දැමුවා
නැණ විකලව ගිය මහබඹ රාජා
ගුණේට හව් ආ යූ කිවුවා

පස්ස කූල් වුණ සක්කර දෙයියා 
සබයේ මුලසුන වාඩි වුණා
අම්මාපල් මම දෙයියෙක් වෙනවා
ගුණයා දිවුරුම ලෙස කීවා

බිම්බර දහයක් ඒ මහ මරසෙන්
මිලිටරි ආචාරය පෑවා
දේව සභාවේ දෙවියෙක් විලසට
භූත ගුණේ අබිසෙස් ලැබුවා !

ලක්වැසියන් සියළු  
දෙනාටම 
දේශබන්ධු  භූත ගුණේ 
දේව පිහිටාරක්ෂාව ලැබේවා !!!

[ 22 - Jun - 2011 ]