Thursday, August 25, 2011

ලින්කන්ගේ බූරු කතාව

ඔන්න එකමත් එක රටක දඩ කෙළියට බොහොම කැමති රජතුමෙක් හිටියලු. මේ රජතුමාට එක දවසක් දඩ කෙළියේ යන්න හිතිලා තමන්ගේ කාලගූණ ඇමතියගෙන් ඇහුවලු එදා දවසෙ කාලගුණය එහෙම කොහොම වෙයිද? කියලා. ඇමතියා කිවුවලු "දේවයන් වහන්ස, අද දඩකෙළියට බොහොම හොඳ දවසක් , හොඳ පැහැබර කාලගුණයක් තියෙයි" කියලා

ඉතින් රජතුමා සේනා වාහන එහෙම සංවිධානය කරගෙන දඩ කෙළියට පිටත් වුණාලු. ඔය යන අතරමඟදි මේ පිරිසට හම්බ වුණාලු ගොවියෙක්. මේ ගොවියා බොහොම යටහත් පහත්ව රජතුමාට කිවුවලු "දේවයන් වහන්ස, තව ටික වෙලාවකින් වැස්සක් පටන් ගනියි, මේක දඩ කෙළියට යන්න සුදුසු වෙලාවක් නෙවෙයි" කියලා. රජතුමා උපහාසෙන් හිනා වෙලා අර ගොවියව නොසළකා හැරල තමන්ගෙ ගමන පිටත් වුණාලු. මොකද රජතුමාගෙ නුවණැති  කාලගූණ ඇමතියා කියලනෙ තියෙන්නෙ එදා දවස දඩ කෙළියට බොහොම හොඳයි කියල.

ඒත්  රජතුමා ඇතුළු පිරිස වනාන්තර සීමාවට කිට්ටු වෙනකොටම  නොහිතපු විදිහට අනෝරා වැස්සක් වහින්න පටන් ගත්තලු. රජතුමා ඇතුළු පිරිස හොඳටම තෙතබරියන් වුණාලු. රජතුමා බොහොම කෝපවෙලා තෙතබරියන් ඇඳුම් පිටින් ආපහු මාළිගාවට ගියාලු. මාළිගාවට ගියපු ගමන් වැරදි කාලගුණ අනාවැකි කියපු ඇමතියව තනතුරෙන් පහ කළාලු. රාජපුරුෂයන්ට නියෝග කළාලු අර අතරමඟදි හම්බ වෙච්ච ගොවියව කැඳවන් එන්න කියල

ඒ ගොවියා බයෙන් ගැහි ගැහී රාජ සභාවට ආවලු.  රජතුමා ඒ ගොවියට කිවුවලු වහාම කාලගූණ ඇමති කම භාර ගන්න ලෑස්ති වෙන්න කියල. ඒ ගොවියා කිවුවලු "අනේ දේවයන් වහන්ස, මම බොහොම නූගත් ගොවියෙක්, ඇමතිකමක් වගේ භාරධූර වැඩක් කරන්න තරම් මට දැනුමක් නෑ" කියල.  රජතුමා කිවුවලු "ඔබ අද වහිනවා කියල නිවැරදිව කිවුවා, මේ ඇමති කම කරන්න ඒ දැනුම හොඳටම ඇති" කියලා. 

ගොවියා කිවුවලු "අනේ දේවයන් වහන්ස, ඒ මගේ විශේෂ දැනුමකින් කියපු දෙයක් නෙවෙයි, මගේ බූරුවා වහින්න කිට්ටු වෙලාවට එක කණක් පහත් කර ගන්නවා. බූරුවා තමයි මට මේවා කියන්නෙ" කියලා. රජතුමා ගොවියව ආපහු පිටත් කරල ඇරල ගොවියගෙ බූරුවව ගෙන්නගෙන බූරුවව කාලගුණ ඇමති කමට පත් කර ගත්තලු.

ඔන්න ඔතන තමයි රජතුමා වැඩ වරද්ද ගත්තෙ. එදායින් පස්සෙ හැම බූරුවම රජයේ තනතුරු ඉල්ලන්න පටන් ගත්තලු.

මේ කතාව ඇමරිකාවෙ හිටපු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් තමන්ගෙ දේශපාලන ආධාරකරුවන් පිරිසකට කියපු කතාවක්ලු. ලින්කන් ජනාධිපති වුණාට පස්සෙ දේශපාලන ආධාරකාරයො තමන්ගෙ සුදුසුකම් වලට නොගැලපෙන එක එක තනතුරු ඉල්ලගෙන ආපු එක ලින්කන්ට මහ කරදරයක් වුණාලු. ලින්කන් ආධාරකරුවන් රැස් කරල මේ බූරු කතාව  කියල තියෙන්නෙ ඒ කරදරෙන් බේරෙන්නලු.  ලින්කන්ගෙ බූරු කතාවෙන් පස්සෙ ඒ කරදර සෑහෙන්න අඩු වුණා කියලයි කියන්නෙ.


බූරු කතාවක් කියලා 
රැවුලයි කැඳයි දෙකම බේර ගත්ත 
ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිතුමා


ප.ලි - 1

මට මේ බූරු කතාව මතක් වුණේ බඹදත් රාජ සභාවෙ නටපු බූරු කෙල්ල ගෙ කතාව ලිවුවට පස්සෙ. කාලෙකට කලින් මේ කතාව ලින්කන්ගේ චරිතාපදාන පරිවර්තන පොතක කියෙවුවා. මේ කතාවෙ ඉංගිරිස් වර්සන් එකක් මෙතන තිබේ. ලින්කන්ගේ රැවුල ගැනත් ප්‍රසිද්ධ ඇත්ත කතන්දරයක් තිබේ 


ප.ලි - 2

මේ කතාවෙ ඉංගිරිස් වර්ශන් එකක් හොයද්දියි දැන ගත්තෙ බූරුවත් අලියා වගේම දේශපාලන සත්වයෙක් කියලා. ලංකාවෙ  එක්සත් ජාතික පක්ෂයේ සහ ඇමරිකාවෙ රිපබ්ලිකන් පක්ෂයේ සළකුණ අලියා කියල දැනන් හිටියට ඇමරිකාවෙ ඩිමොක්‍රටික් පක්ෂයේ සළකුණ බූරුවා කියල අදයි දැන ගත්තෙ. මෙන්න වැඩි විස්තර.

[ 25 - Aug - 2011 ]

41 comments:

කතන්දර Kathandara said...

ලින්කන් ඩිමොක්‍රැටික් පක්‍ෂයේ නෙමේ, රිපබ්ලිකන් පක්‍ෂයේ.

පොර ඔහොම කියන්න ඇත්තේ අනිත් පැත්තේ "බූරුවෝ" මේ පැත්තට එන්න ඇමති තනතුරු ඉල්ලන කොට වෙන්න ඇති!

Chanaka Aruna Munasinghe said...

@ කතන්දර Kathandara

ඔව් ඔව් එහෙම සීන් එකක් තමයි

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

බැරි වෙලාවත් මහින්ද , ඔය කථාව තමන්ගේ උන්ට කිව්වා නම් උන් සේරම ගිහින් රනිල් එක්ක එකතු වෙලා ආණ්ඩුවකුත් පිහිටෝලා, අනික් පැත්තටත් කතන්දරේ එහෙමම තමයි . ඒ නිසා ඕනි බුරුවෙකුට තනතුරු දෙන්න සිද්ධ වෙනව .

Chanaka Aruna Munasinghe said...

@ buwa

ඒකනෙ මේක බූරු කතාවක් කිවුවෙ. ලින්කන්ට අන්තිම කාලෙ රිපබ්ලිකන් පක්ෂෙන් අයින් වෙලා වෙනමම පක්ෂයක් පිහිටුවාගන්න උත්සාහ කළා කියලත් කියනවා. ලින්කන්ව ඝාතනය කරන්නත් සමහර විට මේ බූරු කතාව යම් තරමක හේතුවක් වෙන්න ඇති

Podi Kumarihami said...

මොකද ඒ පාර බූරුවෝ ගැනම කතා කරන්නේ? බූරුවෝ ගැන කතා කරන එකත් එක අතකට ඉතින්......???????:D:D:D:D:D:D

Chanaka Aruna Munasinghe said...

@ Podi Kumarihami

ඉතින්.... කියල තිත් දාල නවත්තන්නෙ නැතුව නොකියපු ටිකත් කියන්න

පූසා said...

"ඔන්න ඔතන තමයි රජතුමා වැඩ වරද්ද ගත්තෙ. එදායින් පස්සෙ හැම බූරුවම රජයේ තනතුරු ඉල්ලන්න පටන් ගත්තලු."

:DDDDD

මාරයාගේ හෝරාව said...

බුවා කිව්ව එකම තමා කියන්න තියෙන්නේ...

Anonymous said...

ඒ වුනාට ආධාර කරුවන්ට එහෙම කරන එක හරිද මං අහන්නේ... ඒ අතින් බලද්දී ලංකාවේ අය ආධාරකරුවන් ගැන ගොඩක් හිතනවා....

සරත් ලංකාප්‍රිය said...

හෝ හෝ හෝ.. දැන් මට තේරෙනවා නිදහස ලැබූ දා හිට අද දක්වා හැම ආණ්ඩුවකම ඇමැතිකම්වලට බුරුවො දැම්මේ ඕක හින්ද වෙන්න ඇති..උන කන් නෙවෙයි අනිත් එවුවත් පාත් කරනවනේ ඕන ඕන විදිහට..

හරී - පිණිපළස said...

මේක බූරුවන්ට කරන අපහාසයක්..!!!

Chanaka Aruna Munasinghe said...

@පූසා

පූසත් උත්සාහයක් දාල බලන්න බූරුවගෙ යාලුවෙක් කියලවත්
========
@ මාරයාගේ හෝරාව

බුවාට කියපු එකමයි කියන්න තියෙන්නෙ
========
@ prasanna86k

ලංකාවෙ පාලකයො සංවේදීනෙ
========
@ සරත් ලංකාප්‍රිය

නෑ නෑ මේක ඇමරිකාවෙ රජ කාලෙ කතාවක්
========
@ හරී - පිණිපළස

බූරුවන්ට අපහාස කරනකොට හරී අඬන්නෙ ඇයි

Sabith said...

සිරා ටොල්ක් එක මචෝ!

හරී - පිණිපළස said...

සනුහරේ ගැන දුකට !!!!

Chanaka Aruna Munasinghe said...

@ Sabith

ස්තූතියි. මගේ නෙවෙයි ටෝක් එක. මේක ලින්කන්ගෙ ටෝක් එකක්
=========
@ හරී - පිණිපළස

මොකද දුක් වෙන්නෙ. සනුහරේටම ඇමතිකම්, සංස්ථා සභාපතිකම් එහෙම ලැබෙනවනෙ

- නිල් අහස - said...

මනුස්ස සතා කරන අමන වැඩ වලට, සම කරන්න පුලුවන් සතෙක් තාම ඉපැදිලා නෑ මයේ හිතේ.

BLOG ගඩොල් said...

මකරා දැන් බූරු කතා ලියනවා වැඩියි :)

සංජු said...

යා යා දැන් බූරු කතා ලියනව වැඩී තමා. ඕක අපේ රටේ එහෙම කිව්වොත් අපිට කරත්තෙකට බදින්න බර අදින්න වත් බූරුවෙක් .... අඩුම ගානෙ බලාගන්නවත් බූරුවෙක් හොයා ගන්න බැරි වෙයි ඔක්කොම පණ්ඩිත වෙලා ඉදියි!

නලිනි චන්දිමා said...

ඔන්න ඕකයි මේ තරම් බූරුවො දේශපාලනේට එකතු වෙන්න හේතුව. :D

Buddhi said...

බූරුවො කෑගහන සද්දෙට කුරුමිණියන්ගෙ පපුව පැලිලා මැරෙනවා.

පුත්තලම පැත්තෙ පොල් වතුවල බුරුවෙක් දෙන්නෙක් ගැටගහලා තියන්නෙ ඒකයි. හරි විදිහටනම් අක්කර දහයෙ පොල් වත්තකට බූරුවො හය දෙනෙක්වත් ඉන්ඩ ඕනැ. ඔහොම වතුවල බඳින බූරුවා දන්නැතුව තමන්ගෙ යාලුවට අඞගහන්න කෑ ගැහුවත් පොල් ගස්වල ඉන්න පොල් කුරුමිණියන්ට වැඩේ හරියනවා.

කොටින්ම බූරුවා දන්නැ ඌ කරන්නෙ මොනාද කියලා. ඌ කරන්නෙ කුරුමිණි මරණයට පත් කරන එක. නොදැන කරන පව් දැන දැන පව් කරනවට වඩා බලවත්නෙ. හරියට ගින්දර යගුලියක් දීලා අල්ලන්ඩ කිව්වම දන්න මිනිහා එහෙං මෙහනේ අල්ලා අත පුච්ච ගන්නෙ ටිකයි, දන්නැති එකා බදලා අල්ලලා අත දියකරගන්නවා වගේ. ඉතිං කෑගහලා කෑගහලා පව් පුරොගන්න බූරුවා මැරිලා අපායෙ යනවා. අපායේ දඩුවම් විඳින කොටත් ඔන්න ආයෙ කෑ ගහනවා. ඔන්න ඒ සද්දෙට අපායෙ නිරි සත්තුන්ගෙත් පපු පැලිලා මැරෙන්ඩ ගන්නවා. ඉතිං බුරුවට ගොඩ ඒමක් නෑ! අපායෙ සත්තු මැරුණ එකේ පාපෙත් බූරුවට. එතකොට බූරුවට දෙන දඩුවම් තව වැඩි කරනවා. එතකොට බූරුවා තව හයියෙන් කෑ ගහනවා. එතකොට තව සත්තු මැරෙනවා. ආයෙ දඬුවම වැඩිවෙනවා. කෑගහන සද්දෙ ආයෙ වැඩි වෙනවා. ඔහොම ඔහොම වෙලා අපායට ගිය බූරුවන්ට ආය කවදාවත් මිනිස් ආත්මක් ලබා ගෙන බූරුවෙක් වෙන්ඩ බැරි වෙනවා.

ඉතිං බූරුවො නැති හින්දා පොල් කුරුමිණියන්ට රජ මගුල්! කුරුමිණියෝ කෙ‍රෝලක ඉදගෙන දෙනවා පොල් ගස්වලට බැටේ. එ හින්දා බලාගෙන ඉද්දි වගේ පොල්ගස්වල කරටි කැඩි කැඩී වැටෙනවා. පොල් පලදාව අඩුවෙලා පොල් මිල ඉහල යනවා.
අන්න එහෙමයි පොල් මිල වැඩි වෙන්නෙ.

බලන්ඩ බූරුවා දන්නැතුව වෙලා තියෙන විනාසෙක මහත.

මහපොලොව.........ඉරිතැලී,
ජලනද............. වියැලී,
පවසින් දිව........... ගිලී,
35/-ක් විය ගෙඩිය... තැඹිලී.

ඔය හතර පදේ ලියවෙන්ඩත් බූරුවගෙ මැදිහත් වීමක් නැහැයි කියලද මකරා හිතන්නෙ........?

දැං තේරෙනවනේ බූරුවෙක් ගැවුනත් පැත්තක් ඉවරයි කාලෙකට. ලින්කන් මහත්තයට විතරක් නෙමේ අපේ අයටත් ඕක තේරෙනවා. ඒත් අපි කලගුණ හඳුනන ජාතියක් හින්දා අපිට ලින්කන් මහත්තයා වගේ ආත්මාර්ථකාමී වෙන්ඩ බෑ

අන්න වෙනස.....

අර කවියෙ ඉතුරු පද ටික මට මතක මේ විදිහට,

ගොස්...........ඇමරිකාවට,
මෙපවත්...........කියු විට,
අපගේ............පිපාසෙට,
කොකාකෝලා දුන්නා...ගමකට

දුන්නා කියලා කවියෙ තිබුනට ඒවා දීලා තියෙන්නෙ දීර්ඝකාලීන ණයකි විදිහට.

දැන් තේරෙනවනේ වැඩේ බරපතල කම. බුරුවො ඉන්නකම් ජාතියක් විදිහ‍ට අපි ගොඩ එනවා බොරු!

Buddhi said...

ඔය කවි දෙක මොටාගෙදර මහත්තයගේ මට මතක හැටියට. ඔය කවිදෙක පත්තරේකින් කියෝලා අවුරුදු 8කට වැඩියි මගේ හිතේ.

හරී - පිණිපළස said...

පෝස්ට් එකකට හොඳයි නේ බුද්ධිගේ කමෙන්ට් එක, ඕක චූටි මහත්තයා ලියයිද මන්දා,,,,,,
හැබෑට දැං කීයද තැඹිලි ගෙඩියක මිල?

හා පැටික්කි (MS) said...

ඕක මාත් 11 වසරෙදි ඇහුවා මතකයි....... හැබෑට බූරු කතා වැඩි වෙනවා. ඒ කියන්නේ කලින් කතාවේ රට අත ඇරලා ගිය බූරුවගේ ලක්ෂණ මතුවෙනවා වත්ද? හික්ස්....

චූටි මහත්තැන්ගේ කතාව තමා මරු කතාව........

The Lion said...

මොකෝ දැන් දිගටම බූරු කතා ලියන්නද කල්පනාව ..............

Chanaka Aruna Munasinghe said...

@ - නිල් අහස -

ඉස්සරහට උපදීවි
===========
@ blog gadol

කාලයක් චෝදනාවක් තිබ්බනෙ පූස් කතා වැඩියි කියලත්
===========
@ සංජු

ඒක හින්දා දැන්මම බූරුවෙක්ව අරන් තියා ගන්න
===========
@ නලිනි චන්දිමා

ඒකනෙ. මේ රජවරු කරන වැඩ හින්දා වෙන දේවල් තමා ඔය

Unknown said...

හෑ කිව්වෙ මෝඩ බව්වෙක් ගැන ලියනවා කියලා නේද?කෝ බව්වා..වී වෝන්ට් බවුවා..
මර කතාව හැබැයි..මමත් කලිං අහලා තියනවා මුතුහරේ ගියාද කොහෙද..

Chanaka Aruna Munasinghe said...

@ බුද්ධි

හෆොයි , පරිසර පද්ධති වල බූරුවො අඩු වෙන හින්දයි එහෙනම් මේ ආර්ථික අර්බුධ ඇති වෙන්නෙ. මේකෙන් ගොඩ එන්නනම් බූරුවන්ගෙ කතා කිරීමේ නිදහස නවත්තන්න වෙනවා. එතකොට බූරු අයිතිවාසිකම් උල්ලංඝනය කලා කියල සම්බාධක වැටෙනවා. එතකොට අයෙමත් ආර්ථික අර්බුධයක්. බලන්න මේ බූරුවො හින්දා වෙන විනාශෙ


==
" නොදැන කරන පව් දැන දැන පව් කරනවට වඩා බලවත්නෙ. "

නොදැන පවු කරන්න බෑ. චේතනාව කර්මය කියල තියෙනවා නේද ?
==
"බූරුවන්ට ආය කවදාවත් මිනිස් ආත්මක් ලබා ගෙන බූරුවෙක් වෙන්ඩ බැරි වෙනවා."

මේක බූරු ආත්මයක් කියල වෙන්න ඕනෙ නේද ?

Chanaka Aruna Munasinghe said...

@ හරී - පිණිපළස

චුට්ටි මහත්තයා මේ දවස් වල චිත්තර තරඟෙක හිර වෙලානෙ. ඒක ඉවර වුණාම ලියයි. මට අවුරුදු 2කට විතර කලින් පොරොන්දු වෙච්ච මහතෙක් ගැන කතාවත් තවම ලිවුවෙ නෑ චුට්ටි මහතා
============
@ හා පැටික්කි (MS)

කලින් කතාවෙ බූරුවා හිටියෙ දඹදිවනේ. එයා රට අතඇරල යද්දි ඇමරිකාවට යැවෙන්න ඇති
============
@ The Lion

සිංහ හම පොරව ගත්ත බූරුවෙක් ගැන කතාවකුත් තිබේ. ඒකත් ලියන්නද ?
============
@ මදුශාන්

මෝඩ බවුවෙක් ගැන කතාවකුත් ඉස්සරහට ලියන්නම්

අලුත් කොල්ලා | The New Guy said...

මකර කතාවක්

Bindi said...

ප්‍රශ්නේ ඔය බුරුවො ජනතාවට කරතියන් යන වෙන එකනේ

Buddhi said...

මකරා,

01
"බූරුවන්ට ආය කවදාවත් මිනිස් ආත්මක් ලබා ගෙන බූරුවෙක් වෙන්ඩ බැරි වෙනවා."
මේක බූරු ආත්මයක් කියල වෙන්න ඕනෙ නේද ?
............
නෑ නෑ ඔය තියෙන විදිහ හරි!

02.
" නොදැන කරන පව් දැන දැන පව් කරනවට වඩා බලවත්නෙ. "
නොදැන පවු කරන්න බෑ. චේතනාව කර්මය කියල තියෙනවා නේද ?
............

මකරා ඇත්තටම ගොඩක් කට්ටිය මේ සිද්දිය අනාගෙන ඉන්නෙ. ඒක පැහැදිලි කරන්න ටිකක් වෙලා යනවා. ඒ හින්දා ඒක හෙට දිහාට තියන්නම්. අරහේ සිත්තර තරගයක් යනවනේ ඒක ඉවරයක් කරලා මේකට උත්තර දෙනවා කිව්වොත් දෙනවමයි

බස්සා said...

අපේ ගොඩක් මිනිස්සුන්ට ඕක නොතේරෙන එන තමයි ප්‍රශ්ණේ.... දැන් ඔය ඉස්සරහට එන ඡන්දෙදිත් කාව හරි බූරැවෙක්ව පත්කරලා යවයි අවුරැදු 5 ක් හොඳට හම්බ කරගනින් කියලා..

Chanaka Aruna Munasinghe said...

@ අලුත් කොල්ලා

නෑ නෑ මේ බූරු කතාවක්. මකර කතා වෙනස්
=============
@ Bindi

ඒක තමා. රජතුමාගෙයි සම්පූර්ණ වරද
=============
@ බුද්ධි

චිත්තර තරඟෙ පැත්තක තියල මේක පැහැදිලි කරල දෙන්න.
චිත්තර තරඟෙ වගේද මේක. ආත්ම ගාණකටම බලපාන දෙයක්
=============
@ බස්සා

බස්සෙක්ව පත් කරමු පාර්ලිමේන්තුවට
බස්සා කියෙවුවෙ නැද්ද අවුල් පාර්ලිමේන්තුව ලිපිය.

http://status-chanaka.blogspot.com/2010/10/blog-post_08.html

Buddhi said...

මකරා,

මෙන්න නොදැන කරන පව් ගැන හරියටම දැන ගන්න පුලුවන් තැන.

http://www.scribd.com/doc/36539379/23-Dharma-Vinishchaya-%E0%B6%B0%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8-%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B6%A0%E0%B6%BA

මේ පොතේ 51 වැනි ප්‍රශ්ණයෙ තියෙන්නෙ ඔය ගැන. "නොදැන කරන පව්කම්වලිනුත් විපාක ලැබේද?" කියලා (PDF පිටුව 125 / පොතේ නම් 126 )

Chanaka Aruna Munasinghe said...

මට තේරෙන ලෙස

එතන කියන්නේ කරන දෙය පවක් බව නොදැන සිටීම ගැන.
පින් පවු නොහඳුනන බව.

සත්තු මරන එක පවු කියා නොදැන සත්තු මැරුවත් පවු සිද්ධ වෙනවා.

සත්තු මරන එක පවක් කියා නොදැන සිටියත් සතකුව මරන බව දන්නවා. මරණ චේතනාව ඇති වෙලා තියෙනවා.

=====
රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ පොත් මෙතන තිබේ

http://www.ogatharana.org/

ඕකෙ බෞද්ධයාගේ අත්පොත download කරගෙන 43 වෙනි පිටුවේ සිට පිටු කීපයක් ඉදිරියට කියවන්න

Chanaka Aruna Munasinghe said...

@ බුද්ධි

ප්‍රාණඝාත කර්මය වීමට කරුණු 5ක් සම්පූර්ණ විය යුතුලු

1.පණ ඇති සතකු වීම
2.පණ ඇති සතකු බව දැනීම
3.මරණු කැමති සිත
4.මරන්නට උපක්‍රම යෙදීම
5.ඒ උපක්‍රමය නිසා මරණයට පත් වීම

මේ අංග පහ සම්පූර්ණ වුණේ නැත්තන් ප්‍රාණඝාත කර්මය වෙන්නෙ නැහැලු

බෞද්ධයාගේ අත්පොත පොතේ 43 පිටුවේ සිට පිටු කීපයක් ඉදිරියට ප්‍රාණඝාත කර්මය සිදු වන සහ සිදු නොවන අවස්ථා වලට උදාහරණ සාකච්ඡා කරල තියෙනවා

Buddhi said...

අපිට 43 වෙනි පිටුවෙ සිට පිටු කිහිපයක් කියනවනවට වඩා පොතම කියවන්න පුලුවන් නම් තවත් හොදයි!

මම කැමතියි මගේ පොල් මිල වැඩිවීමේ කමෙන්ටුවෙන් මේ වගේ දෙයකට මඟ පෑදිච්ච එක ගැන.....

හැබැයි සමහරුන්ට මගේ කමෙන්ටුව සම්ප්‍රප්ලාපයක් වගේ පෙනෙයිද දන්නැ!

කමක් නෑ! කොහොම පෙනුනත් ඒකෙන් ලැබෙන මේ ඵලය නම් හරිම වටිනවා!

Chanaka Aruna Munasinghe said...

@ බුද්ධි

සම්ඵප්‍රලාප ගැන ඒ පොතේ 67 වෙනි පිටුවේ තිබේ .

Buddhi said...

යම්කිසි උපදේශයක් උගැන්වීම සදහා ගොතා තිබෙන කතා අසත්‍ය වුවද, ප්‍රෙයෝජනයක් ඇති හෙයින් සම්ඵප්‍රලාප සංඛ්‍යාවට නොගැනේ. බෞද්ධයාගේ අත්පොත - 67 වෙනි පිටුව

Kanishka Dilshan said...

@බුද්ධි
බුදු රජාණන් වහන්සේ සෙවිතබ්බා සෙවිතබ්බ සූත්‍රයේ එක් තැනක මෙලෙස පෙන්වා දී තිබෙනවා
______________________________________________
නොකල්හි කථා කරන්නේ, බොරු කියන්නේ, අවැඩ බස් කියන්නේ, අධර්‍ම වචන කියන්නේ, අවිනය වචන කියන්නේ, සිත තබා ගැනීමට නුසුදුසු, නොකල්හි, අයෝග්‍ය ලෙස, සීමාවක් නැතිව, අවැඩට හේතුවූ වචන කියන්නේ, සම්ඵප්‍රලාප බස් ඇත්තේ වේද

සම්ඵප්‍රලාපය හැර, සම්ඵප්‍රලාප කීමෙන් වෙන්වූයේ වේ. කාලෝචිත, (වෙලාවට සුදුසු) වචන කියන්නේ, සිදුවූවක්ම කියන්නේ, වැඩ පිණිස පවත්නා වචනයක්ම කියන්නේ, දැහැමි වචනයක්ම කියන්නේ, විනය වචනයක්ම කියන්නේ, නිධානයක් මෙන් තැන්පත්කොට තබාගතයුතු, සුදුසු කල්හි, යෝග්‍ය ලෙස, සීමාවක් ඇතිව, වැඩ පිණිසවූ, වචන කියන්නේ වේද, මහණෙනි, මෙබඳුවූ වචනයේ පැවැත්ම සේවනය කරන්නහුගේ අකුශල ධර්‍මයෝ පිරිහෙත්. කුශල ධර්‍මයෝ වැඩෙත්.
______________________________________________

ඔබට හිත රිදීමට දෙයක් ඇතිවුනා කියල මම හිතන්නෙ නැ.

Kanishka Dilshan said...

මම අදහස් දක්වා තිබුනේ මේ ගැන පමණයි
http://status-chanaka.blogspot.com/2011/08/blog-post.html?showComment=1314266463966#c7570790192959348106

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D