Friday, August 19, 2011

බූරු කෙල්ල



ඔන්න ඉස්සර කාලෙ බරණැස් නුවර බඹදත් රජ්ජුරුවො දැහැමෙන් සෙමෙන් රාජ්‍ය කරන කාලෙ ඒ රජ්ජුරුවන්ගේ මාළිගාවෙ බර වැඩ කරල දෙන රාජකීය බූරුවෙක් හිටියලු.  මේ රාජකීය බූරුවා යාලු වෙලා හිටියලු බොහොම ලස්සන බූරු කෙල්ලෙක් එක්ක. බූරු කෙලී හරි ලස්සනයිලු. දණහිස ලඟට දිග නැට්ටක් තිබ්බලු. ඔය උඩ ඉන්නෙ ඒ බූරු කෙල්ල.


ඔය බූරු කෙල්ල එක දවසක් දැක්කලු මනුස්ස කෙල්ලො රංචුවක් කනේ මල් ගහගෙන ගං ඉවුරෙ නටනවා. ඕක දැකල මේ බූරු කෙල්ලටත් අහිංසක ආසාවක් ආවලු කනේ මලක් ගහගෙන නටන්න.  ඉතින් මේ බූරු කෙලී බූරු කොල්ලට, ඒ කිවුවෙ අර රාජකීය බූරුවට කිවුවලු "අනේ මටත් මලක් ගෙනත් දෙන්න , මට හරි ආසයි මලක් ගහගෙන නටන්න" කියල. රාජකීය බූරුවා බූරු කෙලීට උම්මා එකක් එහෙම දීල කිවුවලු හවස වැඩ ඇරිල එනකොට මලක් ගේන්නම් කියල.


ඔන්න ඉතින් බූරු කෙලී බොහොම සන්තෝසෙන් බලන් හිටියලු හවස් වෙනකම්. බූරු කොලුවා රජ මාලිගාවෙ බර වැඩ කරල ඉවර වෙලා හවස ආපහු එද්දි මතක් වුණාලු මල් පොරොන්දුව. බූරු කොලුවා ගියාලු මල් කඩ තිබ්බ වීදියට. හෆොයි ඒ කඩවල් වල මල් අස්ප ගණංලු ( බූරු ගණං නෙවෙයිලු ). බූරුවගෙ වැටුපට ඔරොත්තු දෙන්නෙ නෑ නෑ වගේලු.   බූරු කොලුවා දහ අතේ කල්පනා කළාලු මේකට මොකෝ කරන්නෙ කියල. ඉතින් බූරු කොලුවා  මලක් "ගම්දෝ නොගම්දෝ" කියල හිත හිත හෙමීට ඇවිදිනකොට ආපහු නොදැනීම වගේ බඹදත් රජ මාලිගාව කිට්ටුවට ආවලු. ඔන්න එතකොට බූරුවට මතක් වුණාලු එදා දවල් බිසවගේ කාමරේට මල් මිටියක් ඩිලිවර් කළා නේද කියල.

ඉතින් බූරු කොලුවා නිකමට වගේ බිසවගෙ කාමරේට හොම්බ දාල බැලුවලු. මේ තියෙන්නෙ මල් පොකුර දවල් තියල ගියා වගේම. බූරුවට හිතුනලු ඕකෙන් එක මලක් අඩු වුණාට බිසවට දැනෙන එකක් නෑ කියල. එහෙම හිතල මල් මිටියෙන් මලක් අරගෙන  බූරු කෙලීව බලන්න පිටත් වුණාලු.


මෙන්න බූරු කොල්ලා මලක් කටින් අරගෙන කෙල්ල බලන්න යන හැටි.


ලස්සන ලිලී මලක් අරන් ආපු බූරු කොලුව ගැන බූරු කෙලීට ආආදරේ හිතුනලු.  උම්මා ගොඩාක් දුන්නලු. ඒ මල කනේ ගහගෙන බූරු කොලුවට පේන්න හොඳට නැටුවලු. බූරු කොලුවත් සන්තෝසෙන් අත්පුඩි ගගහ කෙලීගෙ නැටුම් බලනවලු


මේ අස්සෙ බඹදත් රජ මාලිගාවෙ හරිම ලොකු කලබගෑනියක්ලු. රජතුමා බිසවට බනිනවලු මල් 13ක මල් පොකුරක් රජතුමාට පිරිනැමුවා කියලා. 13 අසුභයි කියලලු මේ රණ්ඩුව. බිසව දහ අතේ දිවුරල කියනවලු මම ඕඩර් කළේ මල් 14ක පොකුරක් කියල. බඹදත් රජතුමා නියෝග කළාලු වහාම මේ ගැන පරීක්ෂණයක් පවත්වන්න. විගණන අංශය තහවුරු කළාලු මල් 14ක පොකුරක් ලැබුණා කියල. ඉතින් ඊට පස්සෙ ආරක්ෂක අංශ වලට පැවරුණාලු හොරකමක්වත් වුණාද කියල හොයන්න.


අන්තංපුරේ CCTV සිකුරිටි කැමරාවල පැහැදිලිවම සටහන් වෙලා තියෙනවලු බූරුවා හොරා වගේ හෙමීට හෙමීට ඇවිදින් මලක් පැහැරගන්න දර්ශනය.  බඹදත් රජතුමා නියෝග කළාලු වහාම රාජ බූරුවව  අත්අඩංගුවට ගන්න.ඔන්න ඉතින් අර බූරු කෙලී කනේ ලිලී මලක් ගහගෙන නට නට ඉන්න අතරෙ ඔතනට හදිසියෙම කඩා පාත් වුණාලු රාජ පුරුෂයො. ඇවිත් බූරුවව අත් අඩංගුවට ගත්තලු. අස්ථානගත වෙච්ච මල බූරු කෙල්ලගෙ කනේ තිබ්බ හින්දා බූරු කෙල්ලටත් මාංචු වැටුනලු . පවූඌඌඌඌ


ඉතින් මේ බූරු ජෝඩුව රාජ සභාවට එක්කන් ගියාලු. රජතුමා සැර දාල ඇහුවලු ඇහුවලු මොකද මල හොරකම් කළේ කියල කියල. බූරු කොල්ලා කඳුලු පිරි දෙනෙතින් කිවුවලු දුප්පත් කම හින්දයි එහෙම කළේ කියල. බූරු කෙල්ල කිවුවලු කනේ මලක් ගහගෙන නටන්න ඇති වෙච්ච ආසාව.


රජතුමාට පවුඌඌ හිතුනලු. බර වැඩ කරන අඩු පඩි ලබන බූරුවෙක්නෙ. ආයෙ මේවගේ වැඩ කරන්න එපා කියල අවවාද කරල සියළු චෝදනා වලින් බූරු ජෝඩුවව නිදොස් කොට නිදහස් කළාලු. සමාව විතරක් නෙවෙයි බඹදත් රජතුමාගෙන් තෑග්ගකුත් හම්බ වුණාලු. තෑග්ග තමයි බූරු කෙලීට  දවසකට මල බැගින් දීමනාවක් සමඟ  රජ මැදුරේ රැකියාවක්. බූරු කෙලීට දැන් හැමදාම මල ගානෙ හම්බ වෙනවලු. එයාගෙ ඩියුටිය තමයි ඒ මල කනේ ගහගෙන රාජ සභාවෙ නටන එක.


මෙන්න බූරු කෙල්ල බඹදත් රාජ සභාවෙ නටනව.


රජතුමායි ඇමති වරුයි හරිම ආස වුණාලු බූරු කෙලීගෙ නැටුම් වලට. දිග වලිගයක් තියෙන ලස්සන බූරු කෙල්ලෙක්නෙ. ඔන්න ඉතින් රජතුමාගෙයි ඇමතිවරුන්ගෙයි හිත දිනා ගත්ත බූරු කෙලීගෙ පඩිය හිටු කියල වැඩි වුණාලු. බූරු කොලුවා තවමත් අඩු පඩි ලබන දහඩිය දමන බර වැඩමලු. බූරු කෙලී A/C එහෙමත් තියෙන රාජ සභාවෙ වැඩි පඩි ලබන රැකියාවකලු දැන්.


බූරු කොලුවට මේකට අස්පට් ගැහුවලු. කිවුවලු වහාම ඔය රස්සාවෙන් අස් වෙන්න කියල. මෙන්න බූරු කෙල්ලට සැර දානවා 


බූරු කෙල්ලත් කොල්ලට ආදරේ හින්දා රජතුමාට බොරුවක් කියල රස්සාවෙන් අස් වුණාලු. රස්සාවෙන් අස් වෙච්ච නිසා මල් දීමනාවත් නතර වුණාලු. ටික කාලයක් යනතුරු බැංකු පොතේ ඉතුරු වෙලා තිබ්බ සල්ලි වලින් බූරු කොල්ලා ලව්වා මල් ගෙන්නවා ගත්තලු. ඔන්න ඉතින් අඟහිඟකම් මතු වෙන්න පටන් ගත්තලු. බූරු කෙල්ල මල් වලට ඇබ්බැහි වෙලානෙ දැන්. බූරු කොල්ලගෙ අඩු පඩි ලබන බර වැඩ රැකියාවෙන් මෙ ඔක්කොම ආම්බාම් කරන්න බැරි තත්වයක් ආවලු.


බූරු කොල්ලා වැඩි පඩි ලබන්න කියල හිතන් බලු වැඩ කරන්න ගිහින් රජතුමාගෙන් හොඳටම බැනුමුත් ඇහුවලු. පෙර වැරදි තියෙන හින්දා හිටපු තනතුරෙන් පහළටත් දැම්මලු.  ඕකනෙ කියන්නෙ බල්ලගෙ වැඩ බූරුවා කරන්න හොඳ නෑ කියල. 


බූරු කොල්ලට හොඳටම තරහ ගියාලු. මෙ ඔක්කොම වුණේ මේ බූරු කෙල්ලගෙ මල් පිස්සුව හින්දනෙ කියල බූරුව කරපු වැඩේ බූරු කෙල්ලට බූට් තිබ්බලු.  දැන් බූරු කෙල්ලට බූරුවත් නැහැලු., මලුත් නෑලු, ජොබ් එකත් නෑ ලු.


බූරු කෙල්ලට දුක හිතුනලු. කමක් නෑ මමම මල් හොයා ගන්නව කියල හිතාගෙන බූරු කෙල්ල තනියම ස්වෝත්සාහයෙන් මල් වගාවක් පටන් ගත්තලු.  මේ මල් වගාව ටිකින් ටික දියුණු වුණාලු. දැන් බූරු කෙලීට කනේ ගහන්න මල් ඕනෙවටත් වඩාලු.හිටපු රාජ සේවිකා බූරු කෙලීගෙ ලස්සන මල් වගාව ගැන බඹදත් රජතුමාටත් ආරංචි වෙලා රජ මාලිගාවට මල් සප්ලයි කරන්න ඕඩර් එකකුත් ආවලු .


බූරු කෙලීගෙ ෆාම් එකෙන් හැමදාම උදේට මල් මිටියක් රජ ගෙදරට ට්‍රාන්ස්පොර්ට් කරන වැඩේ බාර වුනේ රජ ගෙදර ඔය වගේ බර වැඩ කරන බූරුවටලු. බූරුවට මේක මහ ලැජ්ජාවක් වුණාලු. බූරුවා රාජකීය රස්සාවත් අතඇරල රටෙනුත් පැනල ගියාලු


අලුතෙන් ඒ තනතුරට පත් වුණේ හොඳ කඩවසම් උගත් තරුණ බූරුවෙක්ලු. රැකියා විරහිතව හිටපු උපාධිධාරී උගත් බූරුවෙක්ලු. උගත් කමට ගැලපෙන්නෙ නෑ නෑ වගේ වුණත් වෙන රස්සාවක් ලැබුණෙ නැති නිසාලු රජ ගෙදර බර වැඩ වලට ආවෙ. 


අලුත් රාජ බූරුවා හැමදාම උදේට මල් මිටිය ගෙනියන්න ඇවිත් පැයක් හමාරක් බූරු කෙල්ල එක්ක මල් කඩ කඩ ඉන්නත් පුරුදු වුණාලු. කාලයක් ගත වෙද්දෙ මේ දෙන්නා නොදැනීම දෙන්නට දෙන්න අයි ලවු යූ වුණාලු. ඊට පස්සෙ දෙන්න කසාද බැඳල පින්වත් බූරු පැටවු එහෙම ලබල දැහැමෙන් සෙමෙන් ජීවිතය ගත කලාලු.


එතකොට අර පරණ බූරුවට මොකෝ වුණේ ?  පරණ බූරුවා රට අත ඇරල ගියා. එයා ගැන ඊට පස්සෙ පොත් පත් වල සඳහනක් නෑ.


[ 19 - Aug - 2011 ]

39 comments:

තාරක Dilsh@n said...

පඌඌඌඌ බූරුවා...
ඉතිං ඒකනේ අනේ බූරුවා කියන්නේ....

නියම කතාව!

- said...

මාර බූරු ස්ටෝරියක්නේ.අපේ කාලයේ බූරුවන්ට එහෙමත් වැදෙන්න ලියලා තියෙනවා!හික්....

මරු ඈ!

Anonymous said...

රට අතඇරල ගිය පරණ බූරුවා හිත හදාගෙන බූරු කෙලී ආපහු බාරගන්න ආවලු.එතකොට බූරු කෙලී අලුත් බූරු කොලුවා එක්ක අයි ලව් යූ ලු.හිත බිඳිලා පාරදිගේ ඇවිද ඇවිද ඉන්නකොට ආයෙත් රජවාසල රස්සාව හම්බවුනාලු.දැන් අයි ලවු යූ කියන අය දැක්කොත් අල්ලන්න රාජපුරුෂයෝ යවනවලු.රස්සාවල් නැති උපාධිකාරයෝ පාරෙදි දැක්කොත් ඔලු පලනවලු.

priyantha said...

ඒකනේ බූරුවා කියන්නේ.....
එල මකරෝ.....:D

සාතන් said...

නියම කතාව මකරො....

BLOG ගඩොල් said...

හික් හික්!! මකරාගේ පෝස්ට් එකයි, සිතුවිලිමණ්ඩියෙ කොමෙන්ට් එකයි පට්ට සිරා.

රට රැකියාවට යන්න බූරුවාට භාෂා පරීක්ෂණ විභාගයක් එහෙම ලියන්න ඕනෙ වුණේ නැද්ද දන්නෑ?

Podi Kumarihami said...

මේ කතාව මකරා කලින් පොඩ්ඩිට කියලා තිබුනද? මේ වගේම කතාවක් කොහෙන්දෝ අහලා තිබුනා වගේ මතකයි.

බූරු කෙල්ල නම් හරිම ලස්සනයි.

ඕක තමයි එක, එක්කෙනාට තමන්ගේ කෙල්ලොත් එක්ක මල් කඩන්ට දෙන්ට එපා කියන්නේ.

රෑ තිස්සේ මල් කඩන අයට මේවා හොඳ පාඩම්...:D

ජීවිතේ මල් said...

සන්දුක්කේ සන්සාරේ බූරුවන්ට ගිය කල !!!!!!

Anonymous said...

මොකක්ද බං මේ බූරු කතාව....

කතන්දර Kathandara said...

බූරුවන්ට මොන මල් ද බං? පිදුරුවල හැදෙන බිංමල් ද?

අරුණ හෙට්ටිආරච්චි said...

පරණ බුරුවා ඒ රට ඇත ඇරලා ඇවිත් දැන් මකරෙකුගේ නමින් බ්ලොග් එකක් ලියනවා කියලා කව්දෝ කිව්වා වගේ මතකයි.....

Tanikada said...

බූරු කෙල්ලන්ට බීරි නෙවෙයිද කියන්නෙ? මම හිතන්නෙ බිරිඳ හැදිල තියෙන්නෙත් මේ බීරි වචනයෙන් වෙන්න ඔනෙ....

පිලේ පැදුර said...

ආ... ඒක තමයි එහෙනං බූරුවා රට ඇරල ගියේ...

Anonymous said...

අපේ වෙන්ඩ එයැයි ඕන් කට හද හදා කතාව කිව්වා...ශෝයි අප්පා...

බස්සා said...

අර බූරැවට තිබ්බේ අනිත් "මලක්" ගිහින් දෙන්න... එහෙනං ඔය ප්‍රශ්ණ මුකුත්ම නැහැ...

Bindi said...

බුරුවාට ඒ නම දාපු ඒක දැන්නේ තේරුනේ .

හා පැටික්කි (MS) said...

අර පරණ බූරුවා දැන් සිංගප්පූරුව පැත්තෙද දන්නැනේ......

නියම කතාව අයියා. බූරුවටත් ගිය කලක් ඇ....... හැබෑවට මං බ්ලොග් අවකාශේ බූරුවා කියලා අයි ඩී එකක් දැක්කේ නෑ. මේවා දැකලා එහෙම කෙනෙක් එන්න බැරිත් නෑ. හික්ස්.

malee_msg said...

එහෙනම් ෂුවර් එකට පුත්තලමේ ඇත්තේ එහෙන් පැනලා ආවා බුරුවා වෙන්න ඇති නේ???

Dilini Sarangika said...

Nice.Niyamaii

jhothishalanka said...

බූරු කතාව මරු.

සංකල්ප said...

පරණ බූරු කොල්ලා පවූඌඌඌ.
ලස්සන බූරූ කතාඅක්. මම් මේක බස් එකේ දැක්කද කොහෙද !!!!!

Buddhi said...

මේක වෙන්ඩැති මකරගේ දිගම පෝස්ට් එක.

රට ඇරලා ගිය බූරුවා ගැන පොත්පත්වල නැති උනාට අපි කව්රුත් දන්නවනේ ඒ බුරුවා රට ඇරලා ගිහිල්ලා බ්ලොග් ලියන්නෙ වෙන නමකින් කියලා.....

Buddhi said...

ඒකනෙමේ අර බස් එකේ ගිය දිවියගේ කතන්දරෙත් මරු!

Shenya de Silva said...

මරු :D

සංකල්ප said...

අර බුද්ධි අයියා කියන බස් දිවියගේ කතාවත් ඉක්කූටම ලියන්න !!!!

Anonymous said...

ඒ බං මකරෝ අර උඩම ඉන්නේ බූරු කෙල්ලගේ පිටේ තියෙන්නේ 123RF කියලා ඒක පච්චයක් වෙන්ටෑ...

අනේ අර වගේ බූරු පුතෙක්....!

සසීන්ද්‍ර වීරසිංහ said...

ශැහ්! මොන බූරු ඉස්ටෝරියක්ද මංද :/

මොනා උනත් මම බුද්ධි අයියගෙ කියමනට මම හිස නමනව :D

ඉන්දික උපශාන්ත said...

ඇයි මේකෙ හෙඩිම බූරු කෙල්ල කියල දැම්මෙ? බූරු කොල්ල උප චරිතෙද එතකොට?

ලහිරු said...

පට්ට කතාව....

Chanaka Aruna Munasinghe said...

@ තාරක Dilsh@n

බූරු කෙල්ලත් පවූඌඌඌ වුණා. මලුත් නෑ, ජොබ් එකත් නෑ කොල්ලත් නෑ වෙච්ච වෙලේ. ඒකනෙ බූරු කෙල්ල කියන්නෙ
===============
@ කතන්දර මාමා

හැම කාලෙම බූරුවො මෙහෙම තමා. පරිණාමය වෙලා නෑ තවම
===============
@ sithuwilimandiya

ආ මේ ඉන්නෙ පරණ බූරු කොල්ලගෙ යාලුවෙක්. ඔන්න පරණ බූරු කොල්ල ගැන වැඩිදුර දැනගන්න ඕනෙනම් මෙයාගෙන් අහන්න
===============
@ priyantha

බූරු කෙල්ල කියන්නෙත් ඒකනෙ

Chanaka Aruna Munasinghe said...

@ සාතන්

ස්තූතියි
============
@ blog gadol

නෑලු. ඒ කාලෙ අද වගේ ආගමන විගමන නීති තිබ්බෙත් නෑලු
============
@ Podi Kumarihami

මේ කතාව බස් එකේ ගියා. පොඩ්ඩක් එඩිට් කරලා ආපහු ලිවුවෙ. බූරු කෙල්ල පොඩ්ඩිට වඩා ලස්සනයිද කොහෙදො
============
@ ජීවිතේ මල්

බූරුවන්ට විතරක් නෙවෙයි, බූරු කෙල්ලන්ටත් මේවා හොඳ පාඩම්

Chanaka Aruna Munasinghe said...

@ Anonymous

මේ නිකං කං කං බූරු කතාවක්
=============
@ කතන්දර Kathandara

ලිලී මල්
=============
@ අම්බලම

කවුදෝ කියපුවා වැඩිය ගණං ගන්න එපා
=============
@ Tanikada Jeewithe

තනිකඩ ජීවිතේ ඉවර වෙච්චි දවසක බිරිඳගෙන් අහල බලන්න

Chanaka Aruna Munasinghe said...

@ උන්නැහේ (පිලේ පැදුර)

ඔන්න උන්නැහේට තේරෙන්නෙ හරකට වගේ
===============
@ අසනි

වෙන්ඩ එයැයිට පරණ බූරුව වගේ වෙන්න එපයි කියන්න. ඔයා බූරු කෙල්ල වගේ වෙන්න
==============
@ බස්සා

පවූඌඌඌ ඌ බූරුවනේ
==============
@ Bindi

කෙල්ලත් බූරු වුණානෙ , මලුත් නෑ, රස්සාවත් නෑ, කොල්ලත් නැති වෙච්ච වෙලේ

Chanaka Aruna Munasinghe said...

@ හා පැටික්කි (MS)

ඉත්තෑවට කියන්න බූරුවා වගේ වෙන්න එපා කියල
===============
@ malee_msg

ලංකාවට මිනිස්සු ආවෙ ඉන්දියාවෙන්ලුනෙ. බූරුවො එන්න ඇත්තෙත් එහෙන්ම තමා. හැබැයි බඹදත් රජ්ජුරුවො හිටියෙ විජය කුමාරයගෙ කාලෙට සෑහෙන ඉස්සර. ඒ කියන්නෙ ලංකාවෙ මිනිස්සුන්ට වඩා දිග ඉතිහාසයක් ඇති බූරුවන්ට
================
@ Dilini Sarangika

Tnxxx
===============

Chanaka Aruna Munasinghe said...

@ JHOTHISHALANKA

ස්තූතියි
============
@ මධුරංග

ඔවු බස් එකේ ගිය කතාව තමයි පොඩ්ඩක් වෙනස් කරල දැම්මෙ
============
@ බුද්ධි

ඔව් වෙන්න ඇති. ලියල ඉවර වුණාට පස්සෙ තමා දිග දැක්කෙ . මේ කතාවත් මුලින්ම ගියේ බස් එකේ
============
@ Shenya de Silva

ස්තූතියි

Chanaka Aruna Munasinghe said...

@ prasanna86k

ඔව් ඔවු. ඒක මේ ඉස්ටයිල් එකට ගහ ගත්ත පච්චයක්
===============
@ සසීන්ද්‍ර වීරසිංහ

කොයි කියමනටද හිස නමන්නෙ
===============
@ ඉන්දික උපශාන්ත

කෙල්ලත් බූරු වුණානෙ. රස්සාවත් නැති කරගෙන, මලුත් නැති කරගෙන , කොල්ලත් නැති කරගෙන බූඌරුම බූරු වුණානෙ
==============
@ ලහිරු

ස්තූතියි

සරත් ලංකාප්‍රිය said...

දැන් කාලේ නම් රජවාසල් බුරුවන්ගෙන් පිරිලා.. බුරිච්චියෝ පෝලිමේ එනවනේ බුරුවන්ට මල් අරගෙන..

Chanaka Aruna Munasinghe said...

@ සරත් ලංකාප්‍රිය

මේ ඉතින් රජ කාලෙ කතානෙ. දැන් කාලෙ වෙනකොට මේවා වෙනස් වෙලා

Anonymous said...

lassana kathawa :)

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D