Monday, March 24, 2014

හේතු ඵල දහම - මට තේරෙන හැටියට

මූණු පොතේ සමූහයක මුස්ලිම් නමක් තියෙන කෙනෙක් ප්‍රශ්නයක් අහල තිබ්බා හේතුඵල දහම කියන්නේ මොකක්ද කියලා. ඒ ප්‍රශ්නෙට මගේ අවබෝධයේ හැටියට දීපු උත්තරේ බ්ලොග් එකටත් දාන්න හිතුනා. 

 --------------------------------------------------------------------------------------------------------------

හේතු ඵල දහම හෙවත් පටිච්ච සමුප්පාදය කියන්නෙ බුදුදහමේ තියෙන මූලිකම දෙයක්. බුදු දහමේ හැටියට මේ විශ්වයේ තියෙන එක් දෙයක් හැර අනිත් සියලුම දේ හේතු ප්‍රත්‍ය ඇසුරින් හට ගන්නෙ. මෙතනදී හැම දෙයටම ප්‍රධාන හේතුවක් සහ අතුරු හේතු තියෙනවා. උදාහරණයක් විදිහට අඹ ඇටයක් පැල වීමේදී ප්‍රධාන හේතුව අඹ ඇටය කියල ගන්න පුලුවන්. අතුරු හේතු විදිහට ඒකට අවශ්‍ය හිරු එළිය, පොහොර වගේ අනිත් හේතූන් ගන්න පුලුවනි.යම් දෙයක් ඇති වීමේ ප්‍රධාන හේතු හොයා ඉවත් කළොත් ඒ දේ නැවත ඇති වෙන්නේ නෑ.  

බෞද්ධයන් වන අපගේ අරමුණ තමයි සසර දුක නැති කිරීම හෙවත් නිර්වාණ අවබෝධය. ( නිර්වාණය කියන්නේ දිව්‍ය ලෝකය වගේ තැනක් නෙවෙයි ). දුක් නැති කරන්නනම් ඒ දුක් වලට හේතු අපි තේරුම් ගන්න ඕනෙ.  

දුක් කියන්නේ මොනවද කියල බුදු හාමුදුරුවො විස්තර කරන්නෙ මෙහෙමයි. ඉපදීම, වයසට යාම(ජරාවට පත් වීම ) , ලෙඩ වීම, මරණය, කැමති පුද්ගලයන් හා කැමති වස්තූන්ගෙන් වෙන්වීම, අකමැති පුද්ගලයන් හා වස්තූන් සමඟ එක් වීම, කැමති දේ නොලැබීම. ඔන්න ඔය කාරණා තමයි දුක් හැටියට දක්වල තියෙන්නෙ. අපි අපේ ජීවිත අත්දැකීම් එක්ක බැලුවොත් අපිට විඳින්න වෙන හැම දුකක්ම ඔය කරුණු වලින් එකකට අයිතියි.  

ඔය දුක් සහිත දේවල් අපි හැම දෙනාටම දකින්න, විඳින්න සිද්ධ වෙන නිසා ඒවා දුක් කියල තේරුම් ගැනීමේ ගැනීම පහසුයි. ඊලඟට අපි බලමු මේ දුක් වලට හේතුව. දුක් වලට ප්‍රධාන හේතුව තමා ඉපදීම. ඉපදීමක් සිද්ධ වුණේ නැත්තන් ඔය දුක් සහිත දේවල් වලට මුහුණපාන්න වෙන්නෙ නෑ. ඊලඟට තවත් අඩියක් යටට ගිහින් බලනවා ඉපදීමට හේතුව මොකක්ද කියලා. ඔහොම ඔහොම ගැඹුරට හේතු සහ ඒ හේතු වල ඵල දක්වන ධර්මය තමයි හේතුපල දහම කියන්නෙ. 

හේතු ඵල දහම තේරුම් ගන්න ගොඩක් අමාරු එකක් (මේක හරියටම තේරුම් ගත්ත කෙනා නිර්වාණය අවබෝධ කර ගන්නවා ). හේතු ඵල දහම විස්තර වෙන සූත්‍ර සිය ගණණක් තිබෙනවා. එක් එක් පුද්ගලයන්ගේ තේරුම් ගැනීමේ හැකියාවන් අනුව එක් එක් අවස්ථා වල දේශනා කරපුවා. සමහර තැන් වල අර මම කිවුවා වගේ මතු පිටින් අපිට පෙනෙන ඉපදීම, වයසට යාම, ලෙඩ වීම වගේ දුක් සහිත දේවල් වලින් පටන් අරගෙන ගැඹුරට විස්තර කරනවා. තවත් තැන්වල ගැඹුරින් පටන් අරන් මතුපිට දක්වා විස්තර කරනවා. තවත් සමහර තැන් වල මැදින් පටන් අරන් දෙපැත්තට විස්තර කරගෙන යනවා.  

හේතු පල දහම විස්තර කරන එක ආකාරයක් තමයි මේ 

අවිජ්ජා පච්චයා සංඛාරා - අවිද්‍යාව නිසා සංස්කාර හට ගනී  
සංඛාර පච්චයා විඤ්ඤාණං - සංස්කාර නිසා විඤ්ඤාණය ඇතිවේ.  
විඤ්ඤාණ පච්චයා නාමරූපං - විඤ්ඤාණය නිසා නාම රූප හටගනී.  
නාම රූප පච්චයා සලායතන - නාම රූප නිසා ආයතන හය හට ගනී  
සලායතන පච්චයා ඵස්ස - ආයතන හය නිසා ස්පර්ශය හට ගනී  
ඵස්ස පච්චයා වේදනා - ස්පර්ශය නිසා විඳීම හටගනී  
වේදනා පච්චයා තණ්හා - විඳීම නිසා තණ්හාව හට ගනී  
තණ්හා පච්චයා උපාදාන -තණ්හාව නිසා උපාදාන (බැඳීම) හට ගනී  
උපාදාන පච්චයා භවෝ - බැඳීම නිසා භවය හටගනී  
භව පච්චයා ජාතී - භවය නිසා ඉපදීම ඇතිවේ 
ජාති පච්චයා ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්සං - ඉපදීම නිසා ජරාව, මරණය සෝක වැළපීම් දුක් දොම්නස් සෝ සුසුම් ඇති වන බව පටිච්චසමුප්පාද ධර්මතාවයයි.  

කෙනෙකුට ඇති වෙන්න පුලුවන් තව ප්‍රශ්නයක් තමයි අවිද්‍යාවට හේතුව මොකක්ද කියලා. හැබැයි ඇත්තටම මේවා එකක් අනෙක මත පවතින දේවල්. ඒ කියන්නෙ අවිද්‍යාව නිසා සංස්කාර පවතිනවා වගේම සංස්කාර නිසා අවිද්‍යාව පවතිනවා. ඒක උපමාවකින් පැහැදිළි කරනවනම් මෙහෙමයි. හිතන්න දර කෝටු මිටි 2ක් V අකුර අනිත් පැත්ත හරවල වගේ එකිනෙකට හේත්තු කරලා තියෙනවා. ඒ එක් එක් දර කෝටු මිටිය අනිත් දර කෝටු මිටියට හේත්හු වෙලා නිසයි කෙලින් තියෙන්නෙ. හේතු පල දහමේ එක් එක් කොටස් අතර සම්බන්ධතාවයත් ඒ වගේ.   

තෙරුවණ් සරණයි !!!

----------------------------------------------------------------
//
බුදු දහමේ හැටියට මේ විශ්වයේ තියෙන එක් දෙයක් හැර අනිත් සියලුම දේ හේතු ප්‍රත්‍ය ඇසුරින් හට ගන්නෙ// මේ කොටස ගැන පොඩ්ඩි අහල තිබ්බා කොමෙන්ටුවක. සබ්බේ සංඛාරා අනිච්චා
සබ්බේ සංඛාරා දුක්ඛා
සබ්බේ ධම්මා අනත්තා


මේ දැක්වෙන්නේ බුදුදහමේ මූලික සංකල්පයක් වන ත්‍රිලක්ෂණය. එනම් අනිත්‍ය, දුක්ඛ හා අනාත්ම ස්වභාවය.

සංස්කාර කියන වචනයට විවිධ තේරුම් තියෙනවා. මෙතනදී සංස්කාර ධර්ම ලෙස අදහස් වන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හට ගන්නා සියළුම දේ. ඒ දේවල් වලට පොදු ලක්ෂණ තමයි

1. හට ගැනීමක් තිබීම

2. වෙනස් වෙමින් පැවතීමක් තිබීම
3. නැති වීමක් තිබීම

සංස්කාර ධර්ම වල මේ ස්වභාවය හඳුන්වන්න උප්පාද, තිථි, භංග කියන වචන භාවිතා වෙනවා . එවැනි සංස්කාර ධර්ම සියල්ලම අනිත්‍ය සහ දුක් සහිත දේ ලෙස හඳුන්වනවා


නිර්වාණය සංස්කාර ධර්මයක් නෙවෙයි. එහි හේතු ප්‍රත්‍ය වලින් හටගැනීමේ ,පැවත්මේ හෝ නැති වීමේ ස්වභාවයක් නෑ. එම නිසා නිර්වාණයේ අනිත්‍ය සහ දුක්ඛ ලක්ෂණ නැහැ. නමුත් නිර්වාණයත් අනාත්මයි. එහිත් මමය මාගේය කියා ගත හැකි ස්වභාවයක් නෑ.

ඒ නිසා සබ්බේ සංඛාරා අනිච්චා, දුක්ඛා කියා සියලු සංස්කාර ධර්ම වල අනිත්‍ය සහ දුක්ඛ ස්වභාවය කියනවා. අනාත්ම ලක්ෂණයට නිර්වාණයද ඇතුලත් කර සබ්බේ ධම්මා අනත්තා කියනවා.


[ 24 - Mar - 2014 ]

13 comments:

කතන්දර කාරයා said...

පාන්දර තුනටවත් නින්දට ගියා යැයි සිතමි.

හොඳ නින්දක් සහ goid sleeping pattern එකක් ශරීර සෞඛ්‍යයට අත්යාවශ්‍යයි.

මහසොහොන් පිල්ලිය said...

කකා ටත් මේච්චර හොඳ පොස්ට් එකකින් ගන්න තිබ්බේ පොස්ට් එක දාපු වෙලාව විතරයි වගේ. කොහෙද ඉතින් මුනින් නවපු කලේකට කොච්චර වතුර වත්කරත් වැඩක් තියේ යැ. :)

Podi Kumarihami said...

හොඳ විස්තරයක් මකරෝ...

//බුදු දහමේ හැටියට මේ විශ්වයේ තියෙන එක් දෙයක් හැර අනිත් සියලුම දේ හේතු ප්රත්ය ඇසුරින් හට ගන්නෙ.//

මේ මොකක්ද කියලා නෑ.

අර යටින් තියෙන හේතු පල දහමේ විස්තරය සරල සිංහලෙන් තිබ්බා නම් හොඳයි කියලා හිතෙනවා...

මට තේරෙන හැටියට, මකරා තේරුම් අරගෙන තියෙන හැටි හරි.:)

දේශක යා said...

මට නං බණ ටිකක් ඇලජික් මහප්පරාන වැඩි උනාම

Chanaka Munasinghe said...

@කතන්දර කාරයා

ඇයි අපිට Scheduled Posts දාන්න බෑද ? :)
-----------------------------------------------
@ මහසොහොන් පිල්ලිය

පිල්ලිය මොනාද ගත්තෙ මේකෙන් ? :)
----------------------------------------------
@ දේශක යා

මහප්‍රාණ , බැඳි අකුරු එව්වා මෙව්වා තියෙනෝ ඉතින් පාලි වල
---------------------------------------------
@ Podi Kumarihami

ඉන්න පෝස්ට් එක එඩිට් කරල ඒ ගැනත් දාන්නම්

Podi Kumarihami said...

මකරට ගොඩක් පින්...:)

කතන්දර කාරයා said...

පාන්දර 02:55ට ෂෙඩියුල් පෝස්ට් කරන්නේ ඔහේ සීජීආර් එකේ ද වැඩ?

w a thilak said...

මේ දවස්වල මා සවන්දෙන මාතෘකාවක් ගැනම ඔබ ලියා තිබෙනවා

Chanaka Munasinghe said...

@w a thilak

සවන් දෙන්නෙ කොහෙන්ද ?

මහසොහොන් පිල්ලිය said...

@Chanaka
හිත පහදවා ගත්තා ...

Hasitha said...

සාදු සාදු සාදු

//..අවිද්‍යා පච්චයා සංඛාරා..//

අවිද්‍යා කියලා වචනයක් පාලියේ නැහැ. නිවැරදි එක "අවිජ්ජා පච්චයා සංඛාරා.."

Kanishka Dilshan said...

බොහෝම පින්!

1. හට ගැනීමක් තිබීම
2. වෙනස් වෙමින් පැවතීමක් තිබීම
3. නැති වීමක් තිබීම
නිවන මේ ස්වභාවයෙන් යුක්ත නොවීම අසංඛත කියලත් හඳුන්වනව නේද? අසංඛත නිවන කියලත් නිවන හඳුන්වනව අහල තිබුන.

සංයුක්ත නිකායේ අසංඛත සංයුක්තයේ නිවන හඳුන්වල තියෙන්නෙ "අසංඛතය" කියල.

Chanaka Munasinghe said...

@Hasitha

ඒක නිවැරදි කළා. වැරැද්ද පෙන්වා දුන්නට බොහොම පිං
--------------------------------
@Kanishka Dilshan

ඔව් මේ ස්වභාවයන් පවතින දේවල් සංඛත සහ නොපවතින දේවල් අසංඛත කියන නම් වලිනුත් හඳුන්වනවා.

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D