අම්මෝ හොඳටෝම බඩගිනියි. බඩගින්න වැඩිකමටම මට ඉබේටම ඤාව් ගෑවුනා.
ඊයෙ හන්දියෙ මස් කඩෙන් හොඳ මස් කුට්ටියක් අරගෙන ඇවිත් ඒකෙන් කටයි දෙකයි කන්න හම්බ වුණේ. නපූරු දඩෝරියෙක් බුරාගෙන ඇවිත් ඒක උදුරා ගත්තනෙ. දැන් දවස් ගාණකින් හරිහමන් කෑමක් නෑ. මාලු කඩේ පැත්තෙවත් ගිහින් බලන්න ඕනෙ කෑමට මොනව හරි හොයා ගන්න පුළුවන්ද කියලා.
මුදලාලියි කඩේ කොළුවයි පොඩ්ඩක් එහා මෙහා වෙනකම් බලන් ඉඳලා හොඳ මාලු කූරියෙක්ව කටට ගත්තා විතරයි,
දඩෝං !
මගේ ඇස් නිලංකාර වුණා. "මෙන්න හොර බළලා, මූව මරන්න ඕනෙ". කඩේ කොළුවගේ අතේ තිබ්බ පොල්ලෙ ලොකු යන්තම් දැක්කා විතරයි, මම දුවපු දිවිල්ල මටම හිතා ගන්න බෑ. අනේ ඒත් මම කටට ගත්ත මාලු කූරියා කොහේදිදො හැලිලා. කටට ගත්ත දේ ගිලගන්න මට වාසනාව නැති හැටියක්. ආපු පාර දිගේ ආපහු ගිහින් හොයලා බලන්න හිතුනත් ඔලුවට වැදිච්ච පාරෙ සැර මතක් වුනාම ඒ මාලු වලින් කමක් නෑ කියල හිතුනා. අනික පණ බයේ දුවපු දිවිල්ලට දුවපු පාර මතකත් නෑ.
හැබෑටම මම මේ කොහෙටද ඇවිත් ඉන්නෙ? මේ කන්ද පැත්තට මීට කලින් ඇවිල්ලම නෑ. අහල තියෙන විදිහටනම් ගමේ පන්සල තියෙන්නෙ මේ පැත්තෙලු. අහම්බෙන් ආපු එකේ පන්සල මොන වගේද කියල බලන්නත් කියල හිතාගෙන මම ඉස්සරහට ඇවිදගෙන ගියා
අපොයි , වට පිට බල බලා ගියා මිසක් ඉස්සරහ බැලුවෙම නෑනෙ. හාමුදුරුවන්ගෙ කකුල් දෙක ගාවටම යනකම් දැක්කෙ නෑ. දුවන්න කියලා ආපහු හැරුණත් මොකක්දෝ එකක් හින්දා මම නැවතුනා. මම බයෙන් බයෙන් බයෙන් හාමුදුරුවන්ගේ මූණ දිහා බැලුවා. වෙන මිනිස්සුන්ගෙ වගේ නපුරු පාටක් තිබ්බෙ නැති හින්දා වෙන්න ඇති මට දුවන්න හිතුනේ නෑ. එතකොට තමයි මම හිතන්නෙ හාමුදුරුවො මාව දැක්කෙ.
"අනේ , පූසෙක් , කෑම නැතුව වෙන්න ඇති හොඳටම කෙට්ටු වෙලා. පොඩි නම... මෙන්න පූසෙක් ඇවිත් ඉන්නවා. ඉතුරු වෙලා තියෙනවනම් දානෙ ටිකකුයි කිරි ටිකකුයි දෙන්න"
මට අදහා ගන්නත් බැරි වුණා. මෙච්චර කාලෙකට හැමෝම මට ගහල බැණලා පැන්නුවා මිසක් කවුරුවත්ම මට මෙහෙම කරුණාවෙන් කතා කරලා නෑ, කෑම දීලත් නෑ . "කිටී, කිටී" කියල පොඩි හාමුදුරුවො මට කතා කරා.හොර බළලා කියලා මිසක් මේ වගේ ලස්සන නමකින් කවුරුවත් මීට කලින් මට කතා කරලම නෑ.
පොඩි හාමුදුරුවො අනලා දීපු බත් ටික මම කාගෙන කාගෙන ගියා. කිරි ටිකත් අන්තිම බින්දුවටම ලෙව කෑවා. හම්මේ දවස් ගානක් තිස්සෙ තිබ්බ බඩගින්න දැන් තමයි නැති වුනේ. හොඳ නිදිමතකුත් ආවා.
මට කොච්චර වෙලා නින්ද ගිහින් තිබුණද දන්නෙ නැහැ. ඇහැරෙනකොට කළුවර වැටෙන්නත් කිට්ටුයි. ලොකු හාමුදුරුවොවත්, පොඩි හාමුදුරුවොවත් පේන්න හිටපු නැති හින්දා මම පොඩ්ඩක් එහා මෙහා ඇවිදලා බැලුවා.
ශාලාවක මිනිස්සු ගොඩාක් බිම වාඩි වෙලා ඉන්නවා. ලොකු හාමුදුරුවො පුටුවක වාඩි වෙලා මොනවදො කියනවා. හාම්දුරුවො කියන්නෙ මොනවද කියල අහන්න හිතුණු හින්දා මම ඒ පැත්තට ගියා. වෙනදට මිනිහෙක් දැක්කත් බයේ ගැහෙන මට අච්චර මිනිස්සු ගොඩක් දැකලත් බය හිතුණෙ නැති එක තමයි පුදුමෙ. මම අයිනෙන් ගිහින් හාමුදුරුවො ඉස්සරහම, වාඩි වුණා. මට ඕනෙ වුණේ හාමුදුරුවන්ව හොඳට පේන තැනක වාඩි වෙන්න. හාමුදුරුවොත් මාව දැක්කා.
"ආ මෙන්න බළල් උපාසක මහත්තයෙකුත් ඇවිත් ඉන්නෙ බණ අහන්න, බොහොම හොඳයි"
"පිංවතුනි , උපාසක කියන්නෙ පංච ශීලය ආරක්ෂා කරන කෙනෙකුට.අපි දැන බලමු මොකක්ද මේ පංචශීලය කියන්නෙ කියලා, පාණාතිපාතා ...."
අද දවසෙ වෙච්ච දේවල් ඔක්කොම චිත්‍රපටියක් වගේ මට මැවිලා පෙණුනා. මාලු කූරියෙක්ව හොරෙන් ගන්න ගිගින් ගුටි කාලා පණ බේරා ගන්න දුවපු දිවිල්ල, ඊට පස්සෙ අහම්බෙන් මෙතනට ආපු හැටි. ඊට පස්සෙ වෙච්ච් අමුතු දේවල්, මටම හිතා ගන්න බෑ. හරිම පුදුමයි.
"පිංවතුනි, අදින්නාදානා වේරමණී , කියන දෙවන සිල් පදයෙන් කියවෙන්නේ , මම අනුන්ගේ දේවල් හොරකම් කරන්නේ නෑ කියන එක, හොරකම් කරන කෙනාට මෙලොවත් පරලොවත් දෙකේදිම දුක් විඳින්න සිද්ධ වෙනවා."
මේ කියන්නේ මම ගැන නේද කියලා කියලා මට හිතුනා. ඇත්ත තමයි හොර කකා ගතකරපු ජීවිතේදි මම නොසෑහෙන්න දුක් වින්දානෙ. කෝ වෙන කල්පනාවක හිටපු හින්දා අර සිල්පද පහෙන් පළවෙනි එක අහගන්න බැරි වුණානෙ. ඉතුරු ටිකවත් හරියට අහගන්න ඕනෙ.
හාමුදුරුවො ඉතුරු සිල්පද ටිකත් එකින් එක පැහැදිළි කළා. ඉතුරු සිල්පද ටිකනම් මටත් යස අගේට ආරක්ෂා කර ගන්න පුළුවන්නෙ. හොරකම් නොකර හිටියානම් මටත් යස අගේට උපාසකයෙක් වෙන්න තිබ්බා.
"පිංවතුනි, මේ සිල්පද පහ ආරක්ෂා කරන හොඳ උපාසකයෙක් වෙන්න අධිෂ්ඨාන කරගන්න. එයින් ඔබේ මෙලොව සහ පරලොව දෙකේම ජීවිත සැපවත් වෙයි"
අනේ මට අර පළවෙනි සිල්පදේ හරියට අහගන්න බැරි වුණානෙ.ඒක මොකක්ද දන්නෙ නෑ. මිනිහෙකුට වගේ කතා කරන්න පුළුවන්කම තිබ්බනම් ඒක මොකක්ද කියල ආපහු කියන්න කියලා හාමුදුරුවන්ට කියන්න තිබ්බා :'( . කමක් නෑ මම අද ඉඳන් හොරකම් කරන්නේ නෑ. මමත් අද ඉඳන් සිල් පද හතරක් ආරක්ෂා කරන උපාසක බළලෙක් වෙනවා. මම අධිෂ්ඨාන කර ගත්තා.
"සාදු සාදු සාදු !!!. ඤාව් ඤාව් ඤාව් !!!"
මිනිස්සුන්ගේ සාදුකාරයට මමත් මට පුළුවන් විදිහට එකතු වුණා.
[ 04 - Jun - 2010 ]