Wednesday, June 30, 2010

කතන්දර කාරයාගේ පවුල රැකේ


දන්නවත් ඇතිනෙ මේ ළඟදි කතන්දර කාරයාගෙ ගෙදර පොඩි අවුලක් වුනාලු. හැබැයි දැන්නම් ඒ වලිය ශේප්ලු. රැවුලත් බේරාගෙන කැඳත් බේරාගන්නවා කියන්නේ මේ වගේ දේවල් වලටලු. 


නුඹ නාඬන් නුඹ නාඬන් 
මේවා නුඹට හොඳ පාඩම්
(අනුන්ට කතන්දර හදනවට)

[ 30 - Jun - 2010 ]

Real Time Unicode කොන්වර්ටරේ වැඩ කරන්නෙ නැත්තන් ~අතීතයෙන් අහුලන්න~




UCSC Real Time කොන්වර්ටරේ වැඩ කරන්නෙ නැත්තන් http://www.archive.org/ වලට ගිහින් ඒකෙ මැද තියෙන Text Box එකේ http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html ටයිප් කරලා Take Me Back කරන්න. ඊට පස්සෙ පරණ දවසක Archived page එකක් බලා ගන්න පුලුවන්. ඒ පිටුව HTML එකක් විදිහට SAVE කරගන්න. Off-line වැඩ කරන්න පුළුවන්

Cheers !


-මකර අධිරාජයාගෙන් පණිවිඩයක්-

[ 30 - Jun - 2010 ]

Tuesday, June 29, 2010

හාවෝ නයෝ සහ කුරුල්ලෝ


ලංකාවෙ අගනුවරට ජයවර්ධනපුර කියන නම ලැබුනේ කොහොමද කියලා දන්නවා ඇතිනෙ. සමහරුනම් කියනවා ජේ ආර් ජයවර්ධන ජනාධිපති සීයා තමන්ගේ නමෙන් ලංකාවෙ අගනුවර නම් කළා කියලත්. ඒ වුනාට ජයවර්ධනපුර කියන නම රජකාලෙ ඉඳන්ම තිබිලා තියෙනවා.

දියවන්නා නදිය අසළ තිබෙන ජයවර්ධනපුරය ගැන සැළලිහිණි සංදේශයේ වර්ණනා කරන්නෙ මෙහෙමයි.

පොහොසද්දන ඇති තුනුරුවන බැති   පෙමා
මුළුවද්දන සුරපුර පිරි සිරින්               හැමා
ජයවද්දන කැරුමෙන් සුසැදු තම          නමා
ජයවද්දන පුරවර දනු මිතුරු                තුමා

සැදි රත තඹර පෙළ රන තිසරුන්       රුවැති
විදි දිය දහර ලෙළ දෙන දිගු නරු        පටැති
රැඳි රළ රළැති හොය දියවන්නා        නමැති
ඇඳි පුර අඟන පටසළු සිරි රැපැයි           නිති

නයින් විසින් මුගටියන් පරාජය කරන, මුවන් විසින් දිවියන් පරාජය කරන මීයන් විසින් පූසන් පරාජය කරන ආදී ලෙස දුබලයන් විසින් ප්‍රබලයන් පරාජය කරන  ජය භූමියක් නිසා ජයවර්ධනපුරය  ඒ නමින් නම් කළා කියලයි කියන්නේ. 

පහළින් තියෙන වීඩියෝ දෙකේ තියෙන්නෙත් ඒ වගේ ජයභූමි. පළවෙනි වීඩියෝ එක අහිංසක හාවෙක් නපුරු නයෙක්ව පරද්දන දර්ශනයක්. දෙවෙනි වීඩියෝ එක අහිංසක කුරුල්ලො නපූඌඌරු සත්තු ජාතියක් පරද්දන දර්ශන පෙළක්.

 

සාමාන්‍යයෙන්නම් අපි දන්නේ නරියා සහ හාවාගේ කතානේ.  
ඒ වුනාට මේ කතාව නයා සහ හාවා

  

කුරුල්ලන්ගෙන් ප්‍රවේශම් වන්න !!!

[ 29 - Jun - 2010 ]

Thursday, June 3, 2010

චෞර බිළාල

 

අම්මෝ හොඳටෝම බඩගිනියි. බඩගින්න වැඩිකමටම මට ඉබේටම ඤාව් ගෑවුනා. 

ඊයෙ හන්දියෙ මස් කඩෙන් හොඳ මස් කුට්ටියක් අරගෙන ඇවිත් ඒකෙන් කටයි දෙකයි කන්න හම්බ වුණේ. නපූරු දඩෝරියෙක් බුරාගෙන ඇවිත් ඒක උදුරා ගත්තනෙ. දැන් දවස් ගාණකින් හරිහමන් කෑමක් නෑ. මාලු කඩේ පැත්තෙවත් ගිහින් බලන්න ඕනෙ කෑමට මොනව හරි හොයා ගන්න පුළුවන්ද කියලා. 

මුදලාලියි කඩේ කොළුවයි පොඩ්ඩක් එහා මෙහා වෙනකම් බලන් ඉඳලා හොඳ මාලු කූරියෙක්ව කටට ගත්තා විතරයි,

දඩෝං !

මගේ ඇස් නිලංකාර වුණා. "මෙන්න හොර බළලා, මූව මරන්න ඕනෙ". කඩේ කොළුවගේ අතේ තිබ්බ පොල්ලෙ ලොකු යන්තම් දැක්කා විතරයි, මම දුවපු දිවිල්ල  මටම හිතා ගන්න බෑ. අනේ ඒත් මම කටට ගත්ත මාලු කූරියා කොහේදිදො හැලිලා. කටට ගත්ත දේ ගිලගන්න මට වාසනාව නැති හැටියක්. ආපු පාර දිගේ ආපහු ගිහින් හොයලා බලන්න හිතුනත් ඔලුවට වැදිච්ච පාරෙ සැර මතක් වුනාම ඒ මාලු වලින් කමක් නෑ කියල හිතුනා. අනික පණ බයේ දුවපු දිවිල්ලට දුවපු පාර මතකත් නෑ.

හැබෑටම මම මේ කොහෙටද ඇවිත් ඉන්නෙ? මේ කන්ද පැත්තට මීට කලින් ඇවිල්ලම නෑ. අහල තියෙන විදිහටනම් ගමේ පන්සල තියෙන්නෙ මේ පැත්තෙලු. අහම්බෙන් ආපු එකේ පන්සල මොන වගේද කියල බලන්නත් කියල හිතාගෙන මම ඉස්සරහට ඇවිදගෙන ගියා 

අපොයි , වට පිට බල බලා ගියා මිසක් ඉස්සරහ බැලුවෙම නෑනෙ. හාමුදුරුවන්ගෙ කකුල් දෙක ගාවටම යනකම් දැක්කෙ නෑ. දුවන්න කියලා ආපහු හැරුණත් මොකක්දෝ එකක් හින්දා මම නැවතුනා. මම බයෙන් බයෙන් බයෙන් හාමුදුරුවන්ගේ මූණ දිහා බැලුවා. වෙන මිනිස්සුන්ගෙ වගේ නපුරු පාටක් තිබ්බෙ නැති හින්දා වෙන්න ඇති මට දුවන්න හිතුනේ නෑ. එතකොට තමයි මම හිතන්නෙ හාමුදුරුවො මාව දැක්කෙ.

"අනේ , පූසෙක් , කෑම නැතුව වෙන්න ඇති හොඳටම කෙට්ටු වෙලා. පොඩි නම... මෙන්න පූසෙක් ඇවිත් ඉන්නවා. ඉතුරු වෙලා තියෙනවනම් දානෙ ටිකකුයි කිරි ටිකකුයි දෙන්න"

මට අදහා ගන්නත් බැරි වුණා. මෙච්චර කාලෙකට හැමෝම මට ගහල බැණලා පැන්නුවා මිසක් කවුරුවත්ම මට මෙහෙම කරුණාවෙන් කතා කරලා නෑ, කෑම දීලත් නෑ . "කිටී, කිටී" කියල පොඩි හාමුදුරුවො මට කතා කරා.හොර බළලා කියලා මිසක් මේ වගේ ලස්සන නමකින් කවුරුවත් මීට කලින් මට කතා කරලම නෑ. 

පොඩි හාමුදුරුවො අනලා දීපු බත් ටික මම කාගෙන කාගෙන ගියා. කිරි ටිකත් අන්තිම බින්දුවටම ලෙව කෑවා. හම්මේ දවස් ගානක් තිස්සෙ තිබ්බ බඩගින්න දැන් තමයි නැති වුනේ. හොඳ නිදිමතකුත් ආවා.

මට කොච්චර වෙලා නින්ද ගිහින් තිබුණද දන්නෙ නැහැ. ඇහැරෙනකොට කළුවර වැටෙන්නත් කිට්ටුයි. ලොකු හාමුදුරුවොවත්, පොඩි හාමුදුරුවොවත් පේන්න හිටපු නැති හින්දා මම පොඩ්ඩක් එහා මෙහා ඇවිදලා බැලුවා.

ශාලාවක මිනිස්සු ගොඩාක් බිම වාඩි වෙලා ඉන්නවා. ලොකු හාමුදුරුවො පුටුවක වාඩි වෙලා මොනවදො කියනවා. හාම්දුරුවො කියන්නෙ මොනවද කියල  අහන්න හිතුණු හින්දා මම ඒ පැත්තට ගියා. වෙනදට මිනිහෙක් දැක්කත් බයේ ගැහෙන මට අච්චර මිනිස්සු ගොඩක් දැකලත් බය හිතුණෙ නැති එක තමයි පුදුමෙ. මම අයිනෙන් ගිහින් හාමුදුරුවො ඉස්සරහම, වාඩි වුණා. මට ඕනෙ වුණේ හාමුදුරුවන්ව හොඳට පේන තැනක වාඩි වෙන්න. හාමුදුරුවොත් මාව දැක්කා.

"ආ මෙන්න බළල් උපාසක මහත්තයෙකුත් ඇවිත් ඉන්නෙ  බණ අහන්න, බොහොම හොඳයි"

"පිංවතුනි , උපාසක කියන්නෙ පංච ශීලය ආරක්ෂා කරන කෙනෙකුට.අපි දැන බලමු මොකක්ද මේ පංචශීලය කියන්නෙ කියලා, පාණාතිපාතා ...."

අද දවසෙ වෙච්ච දේවල් ඔක්කොම චිත්‍රපටියක් වගේ මට මැවිලා පෙණුනා. මාලු කූරියෙක්ව හොරෙන් ගන්න ගිගින් ගුටි කාලා පණ බේරා ගන්න දුවපු දිවිල්ල, ඊට පස්සෙ අහම්බෙන් මෙතනට ආපු හැටි. ඊට පස්සෙ වෙච්ච් අමුතු දේවල්, මටම හිතා ගන්න බෑ. හරිම පුදුමයි.

"පිංවතුනි, අදින්නාදානා වේරමණී , කියන දෙවන සිල් පදයෙන් කියවෙන්නේ , මම අනුන්ගේ දේවල් හොරකම් කරන්නේ නෑ කියන එක, හොරකම් කරන කෙනාට මෙලොවත් පරලොවත් දෙකේදිම දුක් විඳින්න සිද්ධ වෙනවා."

මේ කියන්නේ මම ගැන නේද කියලා කියලා මට හිතුනා. ඇත්ත තමයි හොර කකා ගතකරපු ජීවිතේදි මම නොසෑහෙන්න දුක් වින්දානෙ. කෝ  වෙන කල්පනාවක හිටපු හින්දා අර සිල්පද පහෙන් පළවෙනි එක අහගන්න බැරි වුණානෙ. ඉතුරු ටිකවත් හරියට අහගන්න ඕනෙ.

හාමුදුරුවො ඉතුරු සිල්පද ටිකත් එකින් එක පැහැදිළි කළා. ඉතුරු සිල්පද ටිකනම් මටත් යස අගේට ආරක්ෂා කර ගන්න පුළුවන්නෙ. හොරකම් නොකර හිටියානම් මටත් යස අගේට උපාසකයෙක් වෙන්න තිබ්බා. 

"පිංවතුනි, මේ සිල්පද පහ ආරක්ෂා කරන හොඳ උපාසකයෙක් වෙන්න අධිෂ්ඨාන කරගන්න. එයින් ඔබේ මෙලොව සහ පරලොව දෙකේම ජීවිත සැපවත් වෙයි"

අනේ මට අර පළවෙනි සිල්පදේ හරියට අහගන්න බැරි වුණානෙ.ඒක මොකක්ද දන්නෙ නෑ. මිනිහෙකුට වගේ කතා කරන්න පුළුවන්කම තිබ්බනම් ඒක මොකක්ද කියල ආපහු කියන්න කියලා හාමුදුරුවන්ට කියන්න තිබ්බා :'( . කමක් නෑ මම අද ඉඳන් හොරකම් කරන්නේ නෑ. මමත් අද ඉඳන් සිල් පද හතරක් ආරක්ෂා කරන උපාසක බළලෙක් වෙනවා. මම අධිෂ්ඨාන කර ගත්තා.

"සාදු සාදු සාදු !!!. ඤාව් ඤාව් ඤාව් !!!"

මිනිස්සුන්ගේ  සාදුකාරයට මමත් මට පුළුවන් විදිහට එකතු වුණා.

[ 04 - Jun - 2010 ]

Tuesday, June 1, 2010

චෙස් ක්‍රීඩාවේ මාලු-මාලු සටන



චෙස් ක්‍රීඩාව ගැන යන්තමින් හරි දන්න හැමෝම දන්නවා ඇති ඒකෙ ඉන්න අශ්වයො ගැන. චෙස් ක්‍රීඩාවෙදි ශ්‍රීමත් නයිට්වරුන්ව අශ්වයන්ට අන්දලයි තියෙන්නෙ. චෙස් ක්‍රීඩාවේ පූර්වජයා වන චතුරංග ක්‍රීඩාවෙනම් අලියොත් ඉන්නවා. ඒ විතරක් නෙවෙයි මූලික ප්‍රවේශන ශෛලීන් (Openings) රාශියකුත් විවිධ සත්තුන්ගේ නම් වලින් නම් කරලා තියෙනවා ( See here ). මෑත කාලයේදී චෙස් ක්‍රීඩාව ආක්‍රමණය කරපු අලුත්ම සතා තමයි මාලුවා.

එක මාලුවෙක් නෙවෙයි මාලු දෙන්නෙක්ම කරට කර සටනක නිරත වෙලා ඉන්නෙ. මෙයින් එක මාලුවෙක්නම් හරි ගණන්. අනිත් මාලුවනම් නොමිලේ අල්ලා ගන්න පුළුවන්.

දැනට ලෝකයේ තියෙන ප්‍රබලම Chess Engine දෙකම නම් කරල තියෙන්නෙ මාලුවන්ගෙ නම් වලින්. වාණිජ නිෂ්පාදනයක් වන Rybka කාලයක් තිස්සේ ලෝකෙ හොඳම Chess Engine එක ලෙස කිරුළු පැළඳගෙන ඉන්නවා. චෙක් ( Czech Republic ) සහ පෝලන්ත භාෂා දෙකෙන්ම Rybka කියන්නෙ චූටි මාලුවාට. මේ පුංචි මාලුවාත් එක්ක කරට කර සටනක යෙදිලා ඉන්න වේලපු මාලුවා ( StockFish ) තනිකරම FOSS නිෂ්පාදනයක්.  මේ මාලු යාලුවො දෙන්නාගේ තරඟකාරීත්වය ගැන ප්‍රමාණාත්මක සංසන්දනයක් මෙතනින් බලන්න පුළුවන්.

පසුගිය අප්‍රේල් 24 සිට මැයි 11 දක්වා පැවැත්වුණු ලෝක චෙස් ශූරතාවයට සමගාමීව පැවැත්වුණු අන්තර්ජාල සජීව සංවාද මණඩප වලට StockFish Engine එකේ නිර්මාතෘවරයෙක් වන  Joona Kiiski ඇවිත් හිටියා. Chess Engines සඳහා CUDA තාක්ෂණය යොදා ගැනීමේ හැකියාව ගැන මම ඔහුත් සමඟ සංවාදයක් පැවැත්වුවා. ඒ අතරේ මම නිකමට වගේ ඇහුවා ලෝකෙ හොඳම Chess Engines මාලුවො වුණේ ඇයි කියලා.

ඔවුන්ගෙන් සමහරෙකුට ඕනෙ වෙලා තිබිලා තියෙන්නෙ ඔවුන්ගෙ Engine එක Bobby Fischer වෙනුවෙන් නම් කරන්න. Bobby Fischer තමයි පසුගිය සියවසේ වඩාත්ම ආන්දෝලනාත්මක පුවත් මවපු චෙස් ක්‍රීඩකයා. ඒ අතරේ ඔවුන්ගේ ප්‍රධානම ප්‍රතිවාදියා චූටි මාලුවා හින්දා ඒකටත් ඇනුම්පදයක් විදිහට වේලපු මාලුවා Stock-fish කියන නම යොදා ගන්න තීරණය කළා කියලයි ඔහු කිවුවේ. ඔන්න ඔහොමයි මාලුවො චෙස් ලෝකය ආක්‍රමණය කළේ!

[ 01 - Jun - 2010 ]