Monday, August 24, 2009

සෝයා උයපු හැටි


සැළකිය යුතුයි:උයන්න පිහන්න දන්න කට්ටිය අපිට හිනා වෙන්න එපා හොඳේ.මේක අපි උයපු පළවෙනිම පළවෙනි පාර.

මගෙත් එක්ක මෙහේ ඉන්නව මහේෂ් කියලා කෙනෙක් . එයා ලංකාවෙ ඉඳන් එනකොට සෝයා පැකට් එකක් අරන් ඇවිත් තිබුණා. අපිට මෙහේ චීන කෑම කාල කාල ඇති වෙලා තිබ්බ හින්දා වෙනසකටත් එක්ක සෝයා එක උයලා පාන් එක්ක කන්න තීරණය කලා. ඉතින් සෝයා පැකට් එක අරගෙන කැඩුවා. කඩලා ඉවර වෙලා තමයි උයන හැටි බැලුවේ ( මොනවා හරි ඉලෙක්ට්‍රොනික් ගැජට් එකක් ගත්තම වුනත් එහෙමනෙ . පැකිං කඩල ඉවර වෙලානෙ උපදෙස් පත්‍රිකා බලන්නෙ ).

පැකට් එකේ උයන හැටි ගැන විස්තර තිබ්බා ඒක උඩින් පල්ලෙන් බැලුවා. උපදෙස් අංක 1 තිබ්බේ සෝයා ටික හෝදලා මිරිකලා බැද ගන්න හැටි. උපදෙස් අංක 2 පස්සෙ කරන්න බැරුවායැයි කියලා උපදෙස් අංක 1 ක්‍රියාත්මක කරන්න ලැහැස්ති වුනා.

ඉතින් සෝයා ටික පෙඟෙන්න දැම්මාට පස්සෙ තමයි මතක් වුනේ බදින්න තෙල් ඕනෙ කියලා ( උයන්න අවශ්‍ය භාජන එහෙම අපේ ඉන්දියානු යලුවො ටිකකගෙන් කලින් ඉල්ලගෙන තිබ්බෙ ) . මගේ Apartment එකේ ඉන්නවා බංග්ලාදේශ් එක්කෙනෙක්. එයා උයාගෙන තමයි කන්නෙ ගොඩක් දවස් වලට. ඉතින් එයා ගාව තෙල් ඇතිනේ කියලා එයාගෙන් ගිහින් තෙල් ටිකක් මල්ලකට ඉල්ලා ගත්තා. ඒ තෙල් ටික රත් කරනකොට ආපු සුවඳ එච්චර හිතට අල්ලපු නැති හින්දා පොඩ්ඩක් හොයලා බලනකොට තමයි දැන ගත්තෙ ඒක ඔලුවෙ ගාන තෙලක්ලු. එයා ගාව උයන තෙල් තිබිලා නැහැ. මමත් ඉතින් oil කියලා මිසක් cooking oil කියලා නෙවෙයිනෙ ඉල්ලුවෙ.

දැන් මොකෝ කරන්නෙ. ඒ වෙලාවෙ හැටියට තෙල් ටිකක් ඉල්ල ගන්න වෙන දන්න කියන කෙනෙක් හිටියෙ නැහැ. කඩේ ගිහින් තෙල් හොයාගෙන ඇවිත් උයලා කනවට වඩා හොඳයි ඒ ගිය ගමන් කාලම එන එක. ඔන්න එතකොට අපිට ටොපේ ටොප් අයිඩියා එකක් ආවා.

අපි සෝයා එක්ක කන්න කියලා පාන් ගෙඩිය ගෙනෙනකොට ඒත් එක්කම බටර් එකකුත් ගෙනාවා , හදිසි අවස්තාවක් වෙලා උයන සෝයා එක කන්න බැරි වුනොත් ප්‍රයෝජනයට ගන්න කියලා. මාජරින් රත් කලාම වගේ බටර් රත් කලාමත් තෙල් හැදෙයිනෙ කියලා හිතලා බටර් කෑලි ටිකක් අරගෙන තාච්චියට දාල රත් කලා.

අපෝයි , ඒක රත් වෙලා පාප්පයක් වගේ එකක් හැදුනා මිසක් තෙල්නම් හැදුනේ නැහැ.

දැන් ඉතින් මොකෝ කරන්නෙ. බදින step එක bypass කරලා ඊලඟ step එකට ගිහින් මොනව හරි කර ගන්න පුලුවන් වෙයිද කියලා බලනකොට තමයි දැක්කෙ අපි කරල තියෙන මහදැනමුතු වැඩේ . උපදෙස් අංක 2 තියෙන්නෙ උයන හැටි . ඒකෙ තියෙන්නෙ එක්කො බදින්න, එහෙම නැත්තන් උයන්න කියලා . එහෙම නැතුව Steps 2 ක් නෙවෙයි අපිටත් ඇත්තටම ඕනෙ වෙලා තිබ්බෙ හොද්දක් එක්ක උයා ගන්න තමයි. බැදලා පාන් එක්ක කන්න බැහැනෙ.

ඊට පස්සෙ තමයි උපදෙස් අංක 2 යටතේ තිබ්බ උයන හැටි කියෙවුවෙ. උයන්න අවශ්‍ය මිරිස් තුනපහ එහෙම සෝයා එකත් එක්කම චූටි පැකට් වල තිබුනා . හැබැයි ඉතින් ඒකෙ කියලා තිබ්බෙ මිරිස් තුනපහ කුඩු එකතු කරලා පොල් කිරි දාලා කුකුල් මස් උයන ක්‍රමයට උයන්න කියලා. දැන් ආයෙත් ප්‍රශ්න 2යි. එකක් කුකුල් මස් උයන ක්‍රමේ දන්නෙ නැහැ. අනිත් එක තමයි පොල් කිරි නැහැ

මේ වෙනකොට සෝයා ටිකත් හොඳ ගානට පෙඟිලා. ලංකාවෙ ඉඳන් උස්සගෙන ආපු සෝයා පැකට් එක විසි කරන්නත් දුකයිනෙ. අපි ගාව තිබුණා පැකට් කරපු පාස්චරිත දියර කිරි ( Daily Milk packet වගේ ඒවා - පල්ලෙහා පින්තූරෙ බලන්න) . ඒවායේ සීනි රහ ගොඩාක් අඩුයි. කමක් නැහැ වෙන දෙයක් වෙද්දෙන් කියලා සෝයා වලට ඒ කිරි පැකට් එකක් දාලා ඒකට මිරිස් තුනපහ කුඩු එහෙමත් එකතු කරලා හොට් ප්ලේට් එකේ තිබ්බා. ලුණු ටිකකුත් දාන්න මතක් වුනා. අර රත් කරලා පාප්ප වෙච්ච බටර් ටිකට කරන්න දෙයක් නැහැනෙ. ඒකත් ඔන්න ඔහේ වෙන දෙයක් වෙද්දෙන් කියල අර භාජනේටම දැම්මා.



මොනවා කරන්නද පොල් කිරි නැති කලට ...

ඔන්න ටික වෙලාවකින් කිරි ටික නටාගෙන ආවා. හොඳ සුවඳකුත් ආවා.පෙනුමත් හොඳට තිබ්බා සෝයා මාලුවක පාටට. හැබැයි කන්න පුලුවන් වෙයිද කියලනම් විශ්වාසයක් තිබ්බෙ නැහැ.



හොද්ද බොර වෙලා

වාසනාවකට වගේ කොහොම හරි අන්තිමට කන්න පුලුවන් විදිහේ මිශ්‍රනයක් හැදිලා තිබ්බා. බොරු නෙවෙයි ඇත්තටම එක මාර රසයි. අමුතුම රසක්. කවදාවත් එහෙම සෝයා මාලුවක් කාල තිබුනෙ නැහැ. මම හිතන්නේ අපේ පාප්ප බටර් එක යි පාස්චරිත කිරි එකයි වෙන්න ඇති ඒ අමුතුම රසට හේතුව.

ඔන්න ඔහොමයි අපි සෝයා උයලා පාන් එක්ක කෑවෙ.



පුංචි කෑම රත්තරං


ඊලඟට උයන්න හිතන් ඉන්නෙ මල්ගෝවා.

කාට හරි පුලුවන්නම් උයන පිහන හැටි ගැන හොඳ බ්ලොග් එකක් ලියන්න.

[ 24 - Aug - 2009 ]

20 comments:

Unknown said...

එල එල !
උඹට පුලුවන් නෙ ඔය පලාතෙ සිංහල කෑම කඩයක් දාගන්න? හොඳට බිස්නස් තියේවි ! :D

Derick Suranga Widanalage said...

http://www.infolanka.com/recipes/

Narada said...

මචං ඔය පැත්තේ දෙමල කඩ නැද්ද? එවායේ සෝයා වරදින්නේ නෑ, අඩුම තරමේ ඉන්දියන් කඩේක.

මිගාරත් දවසක් කිව්වාලුනේ දෙමල අය ගොඩාක් ඉන්නවා කියලා.

කිව්වට මොකඳ අපිත් වෙලාවක ඔහොම තමා උයන්නේ, විශේෂයෙන් කැලේ පැන්නාම එහෙම, ඒවට ගියත් පුරුදු කෑම නැතිව බෑනේ. ඉතිං කිරි, වයින්, සිනි-මිරිස් මිශ්‍රණය (වෙන වෙනම ගෙන්න බෑනේ පැකැට්ටුව පොඩි හා හැකි තරම් ලේසියෙන් එළියට දාන්න, පැකට් කරන්න ලේසි වෙන්න ඕනේ නිසා) වගේ තව තව අනංමනං එක්ක ආශ්‍රයෙන් හඳනවා ඉතිං කෑම.

Narada said...

"මේක අපි උයපු පළවෙනිම පළවෙනි පාර."

උයන්නේ ගෑණු කියලා හිතන අපේ සිස්ටම් එකේ ප්‍රතිඵලයක්නේ මචං ඔය. අපේ පුරුෂ පක්ෂයෙන් කියෙන් කී දෙනාද දන්නේ උයන්න? ( අඩුම තරමේ බිත්තරයක් බඳින්නවත්? )

උෂාන් කෝදාගොඩ විතාරණ said...

බ‍ඩේ අමාරුවක් ආවෙ නැද්ද?

අනූ said...

මරු කතන්දරේ
ඉක්මනටම උයන්න පුරුදු වෙන්න..

Anonymous said...

ලංකාවෙ අපි කන ගොඩක් දේවල් හදා ගන්න ඕනෙ බඩු මෙහෙ ( සිංගප්පූරුවෙ ) තියෙනව. සාන්ද්‍ර පොල් කිරිත් තියෙනව. රම්පෙ, කරපිංචා ඇතුළුව එකි මෙකී නොකී ගොඩක් දේවල් තියෙනව. පොඩ්ඩක් ඇවිදල බලන්න විතරයි ඔනෙ. මමත් උයන්න ඉගෙනගත්තෙ මෙහෙ ආවට පස්සෙ තමයි. අනුන් ගැන හිතන්නෙ නැතුව මුලින්ම තමුන්ට කන්න පුලුවන් විදිහට හදාගත්තහම හරි. ටික කාලෙකින් ඕක කිසි ගේමක් නැති දෙයක් වෙනව.

malee_msg said...

මකර අයියේ ආයේ හැදුවොත්.. බදින්නේ මෙහෙයි.. අර බටර් ටික රත්වේගෙන එද්දි ඒකට අර මිශ්‍රණේ තියන තුනපහ මිශ්‍රණේදාන්න ඒක සුවදට බැදීගෙන එද්දි ළුණු.. අමුමිරිස් තක්කලි ටිකක් කපලා දාන්න (තියනවා නම් ඉගුරු පොඩි කෑල්ලක් සුදුළුණු බික් එකක් දෙකක් බටර් රත්වෙද්දි දාන්න).. ඒකට වතුර මිරික ගත්තු සෝයා ටික දාලා කලවම් කරලා වතුර ටිකක් හරි කිරි ටිකක් හරි දාලා ලුණු ටිකකුත් දාලා බොරේට හින්දලා ගන්න. පාන් කන්න රසයි.

Narada said...

"සිනි-මිරිස් මිශ්‍රණය" යන්න ලුණු-මිරිස් ලෙසින් නිවැරදි විය යුතුය.

said...

මකරා සෝයා කෑව වගේ නේ??

අපිත් දවසක් බයිට් එකට සෝයා හදන්න ගිහින් අන්තිමේ ඒක විසික්කරලා දැම්ම

දිලාන් said...

මට මතකයි රුපවාහිනියේ වැඩසටහනකදි සුපවේදි පබ්ලිස් සිල්වා මහතා කිවා "කොයි උපාධිය පාස් කලත් වැඩක් නැහැ කුස්සියේ උපාධිය පාස් නොකර කියලා". ඒ කතාව සහතික ඇත්ත, අත්දැකිමෙන්මයි කියන්නේ. මෙ ලගදි මමත් බටු මෝජු හදන්න ගිහින් හැදුනේ මාලු මිරිස් මෝජු( දැම්මේ බටු පොඩ්ඩයි,මාලු මිරිස් ගොඩයි, එ ටිකත් අතින් හොදට මිශ්‍ර කලානේ, අත්තිමට බටු නැ) ඔහොම තමයි ආරම්භය.ටික කාලයක් උයන්න එතකොට හොදට පුරුදු වේවි.

පැතා said...

ඔක තමයි කියන්නෙ උත්සහවන්තය ණය ගනී කියල, 'ණය' නෙමේ වැරදුනා 'ජය' හොදේ

Thameera said...

අඩේ, එහෙත් දාන්නකො මාතර බත් කඩයක්, අපිත් දෙන්නම් හෙල්ප් එක මෙහේ ඉඳන්!

Gayan said...

මම නම් මුලින්ම උයන්න පුරුදු උනේ මෙහෙ ඇවිල්ල උයන්න පුලුවන් කට්ටියට අත් උදවු දීල. දැන් නම් අවුලක් නැහැ ඇස් පියාගෙන ඕනෙ එකක් උයා ගන්න පුලුවන් දෙයියනේ කියල. උයන්න උදව්වක් උපදෙසක් ඕනෙ නම් මහේෂ්ට (මම උගෙ බැචෙක්) කියන්න මගෙන් අහන්න කියල. මගේ ජීටෝක් එකෙන් එන්න කියන්න.

Pahan said...

බැරිවැඩ නොකරන් මකරෝ කිව්වලු :P

Chanaka Aruna Munasinghe said...


@ INDRA KUMAR

අපෝයි තවම සෝයායි තව ජාති ටිකකුයි විතරයි උයන්න දන්නෙ.

-------------------
@ Derick Suranga Widanalage

Thankyou !

-------------------
@ -බිன்ku-

ඉන්දියන් කඩ තියෙනවා. ඒ වුනත් ඒවයෙ තියෙන කෑම වල රසත් අපිට පුරුදු සයිවර් කෑම රස නෙවෙයි. එයාල තෙල් මාර ගොඩාක් දානවද කොහෙදො කෑම වලට.

කැලේ කිවුවෙ කොහේ කැලේටද පනින්නෙ?

"උයන්නේ ගෑණු කියලා හිතන අපේ සිස්ටම් එකේ ප්‍රතිඵලයක්නේ මචං ඔය"

ඒක ඇත්ත මචං, ඒ වුනාට හොඳ හොඳ Chefලනම් පිරිමි අය නේද?

ආ ආ වැරදුනාට ගණන් ගන්න එපා. වැරදිලා සීනි දැමුනොත් සීනි සම්බල් හදන්න.

---------------------
@ ushan

නැහැ නැහැ. ඔච්චර අමාරුවෙන් උයපු එක හින්දා බඩේ අමාරුවක් එන එක පවු කියලා හිතෙන්න ඇති.

---------------------
@ අනූ

ඔවු, දැන් ටික ටික පුරුදු වෙනවා. ඊලඟ පාර ගෙදර ආවම හොඳට පුරුදු වෙන්න ඕනෙ ගෙදර අයගෙන් අහගෙන.

---------------------
@ m3mad

පොල් කිරිනම් FairPrice එකෙන් හොයා ගත්තා.රම්පෙ, කරපිංචානම් හම්බ වුනේ නැහැ තවම.

----------------------
@ malee_msg

ක්‍රමේ කියලා දුන්නට ස්තූතියි. ඒ වුනාට ඒ බටර් එක්කනම් ඔය සෙල්ලම හරි යන්නෙ නැති වෙයි. මම පාප්ප එකක් වගේ කිවුවට ඒකට කියන්න ඕනෙ හරි වචනෙ කොහොල්ලෑ ගුලියක් වගේ කියලා. ඒවා මහ යක්ෂ බටර් ජාතියක්.

--------------------------
@ ම

ඒ අතින් අපි හොඳයිනෙ. අර රත් කරපු ඔලුවෙ ගාන් තෙල් ටික විතරයි විසි කරන්න වුනේ. අනිත් ඒවා කොහොමහරි පාවිච්චි කලානෙ.

--------------------------
@ දිලාන්

ඔව් ඔව්, හෙමිහිට හෙමිහිට පුරුදු වෙන්න ඕනෙ, බයිසිකල් පදින්න පුරුදු වෙන්නෙත් වැටි වැටීනෙ.

--------------------------
@ පැතා

හී හී, "උත්සාහය උක්දඬු වැනිය" කියල කියන්නෙ කට කහනවට නෙවෙයිනෙ.

--------------------------
@ තමීර

කරන්න පුළුවන්නම් හොඳ අදහස ,මෙහේ අයට මාතර බත් පුරුදු කලොත් අන්තිමට මාතරටත් වඩා වැඩියෙන් මාතර බත් කඩ මෙහේ තියෙයි.

--------------------------
@ Gayan Balasooriya

කොයි අප්පා, අත් උදවු දෙන්නෙ කාටද. අපි කාටවත් ඉවීමෙ මළපොතේ අකුරක්වත් බැරුව හිටියෙ. දැන්නම් චුට්ටක් පුලුවන්.

--------------------------
@ පහන්

උයන්න පෙර සිතා බලනු කියල ඉගෙන ගත්ත.
අපි මෙලෝ පෙර සූදානමක් නැතුවනෙ උයන්න හදල තියෙන්නෙ. යස පාඩම.

Buddhi said...

මමනං හවසට ප්ලේන්ටියක් එක්ක සෝයා අමුවෙනුත් කන එකේ කොහොම ඉව්වත් කතහැකි! හැබැයි සෝයා වෙන්න ඕනැ!

Anonymous said...

podiayata hodai me katha. mekathawata hinawennath baha, adannath bahane.

Chanaka Aruna Munasinghe said...

@ බුද්ධි

ඇෆූ , ප්ලේන්ටි එක්ක අමු සෝයා. ඊක් :)
සෝයා ඇට බැදලනම් මරු. කාල තියෙයිද ?
========
@ Anonymous

පොඩි අයට ලොකු අයට ඕනෙ කෙනෙකුට තහනමක් නෑ

ලොකු පුතා said...

මකරෝ, මම බ්ලොග් ලියන්න කලින් මාස ගානක් නිහඬ රසිකයෙක් වෙලා හිටියා උඹල හැමෝගෙන වගේ.
ඒ කාලෙම මම මේක කියෙව්වා බං කමෙන්ට් කලේ නැති වුනාට.

ඇත්තටම තමන් දෙයක් උයාගෙන කද්දී හිතට පුදුම සන්තෝසයක් දැනෙනවා තමයි සහෝ...

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D