Thursday, May 27, 2010

දුක්ඛ සත්‍යය පටලවා ගැනිල්ල




කශූගෙ බුද්ධාගම පාඩමේ කතන්දරේ කියෙවුවම මට වෙන්න ගිය අකරතැබ්බයක් මතක් වුනා.  මේ වෙසක් කාලෙ හුදී ජනයාගේ බුද්ධාලම්බන ප්‍රීතිය වැඩි කරවන්න ඒ කතන්දරේ ලියන එක සුදුසුයි කියලා හිතුනා. 

කශූගෙ කතන්දරේට හසිත දාල තියෙන කොමෙන්ට් එකේ හැටියටම තමයි ඒ කාලෙත් වැඩ සිද්ධ වුනේ. පාලි ගාථා වල තේරුම ග්‍රීක් වුනාට ගිරවෙක් වගේ ගාථා කටපාඩමෙන් කියන්න පුළුවන්කම තමයි පොර ළමයෙක් වෙන්න ඕනෙ වුනේ.

ඔන්න ඉතින් එක්තරා කාලයක එක්තරා වාර විභාගයක් සමයේ මකර අධිරාජයා වන මම බුද්ධධර්මය ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලියනා කල්හි මෙවන් පැණයක් මතු විය.

ප්‍රශ්නය: දුක්ඛ ආර්ය සත්‍යයේ අඩංගු කරුණු ලියන්න ?

ඕක ඉතින් මහ ලොකු ප්‍රශ්නයක්යැයි. ඉපදීම, ජරාවට පත්වීම , ලෙඩවීම ....ඔහොම ලැයිස්තුවක්නෙ තියෙන්නෙ. දඩ බඩ ගාලා කටපාඩම් කරගෙන තිබ්බ ලැයිස්තුවම ලියලා දැම්මා.

ඒ කාලෙ දැන් වගේ නෙවෙයි. ප්‍රශ්න පත්තරේකට උත්තර ලියලා තව පාරක් කියවලා හරි වැරදි බලන්නත් කාලය ඉතුරු වෙනවා. දැන් ඉතින් අපි වයසට ගිහිල්ල හින්දා හරි වැරදි බැලිල්ල කෙසේ වෙතත් අහල තියෙන ප්‍රශ්න වලට උත්තර ලියා ගන්නවත් කාලෙ මදි (වයසට යාම දුකකි ) 

ඔන්න ඉතින් මම උත්තර පත්තරේ ආපහු මුලක ඉඳන් කියව කියව හරි වැරදි බැලුවා. මෙන්න බොලේ එක තැනක මේ මගේ අත් අකුරෙන්ම ලියල තියෙනවා 

"ඉපදීම දුකකි, බුදුවීම දුකකි, පිරිණිවන්පෑම දුකකි"
 
හෆොයි ඉපදීම , පිරිණිවන්පෑම නම් දුක් වෙන්න පුළුවන්. ඒත් බුදුවීම දුකක් වෙන්නෙ කොහොමද ?

වහාම පෙරළලා බැලුවා ප්‍රශ්න පත්තරේ. ප්‍රශ්නය: දුක්ඛ ආර්ය සත්‍යයේ අඩංගු කරුණු ලියන්න ?. ඕකට ලියන්න ඕනෙ උත්තරේ මගේ දිව අගම තිබුණා. මට හොඳට මතකයි උත්තරේ පටන්ගන්නෙ ඉපදීම කියන වචනෙන් කියලා. ඒත් කොච්චර උත්සාහ කළත් මට මතක් වුණේම ඉපදීම, බුදු වීම , පිරිණිවන්පෑම කියන තුන. අන්තිමට කොහොම හරි ස්ථානෝචිත ප්‍රඥාව යොදලා අර මතක තිබ්බ ඉපදීම කියන වචනෙයි සතර පෙරනිමිති වලින් තුනකුයි දාල බාග උත්තරයක් ලිවුවා. හොඳ වෙලාවට පැවිදිවීම දුකක් කියලා නොලියන්න තරම් සිහි කල්පනාව තිබ්බා. අර බුදුවීම දුකකි කියලා ලියපු එක ,මොකක්ද ලියලා තියෙන්නෙ කියලා හොයා ගන්න බැරි වෙන්න කුරුටු ගාලා දාන්නත් අමතක කළේ නෑ.

කොන්ෆියුසිස් පඬිතුමාගේ ප්‍රසිද්ධ කියමනක් තියෙනවා 
.
I hear and I forget. 
I see and I remember. 
I do and I understand.
.
කියලා. 

ඒ දවස්වල විභාග අරමුණු කරගෙන කටපාඩම් කරපු දුක්ඛ ආර්ය සත්‍යය ඇත්තටම සත්‍යයි කියලා දැන් දැන් තමයි තේරෙන්නෙ. උදාහරණයක් විදිහට ලෙඩවීම (ඉස්කෝලෙ යන්න කම්මැලි කමට දා ගන්න බොරු ලෙඩ නෙවෙයි ) දුකක් කියලා තේරුම් ගන්නනම් ඒ අත්දැකීම ලබන්නම ඕනෙ. 

බුදුරජාණන් වහන්සේට චතුරාර්ය සත්‍යය තමන් විසින්ම අවබෝධ කරගන්න සාරාසංඛ්‍ය කල්ප ලක්ෂ ගාණක අත්දැකීම් ඉවහල් වෙන්න ඇති. බුද්ධත්වයට පත්වෙන්න පාරමිතා පුරන්න ඕනෙ කියන්නෙ ඒ අත්දැකීම් ලබා ගන්න වෙන්න ඇති.  

[ පාරමිතා සම්පූර්ණ කිරීම ගැන මම මීට කලින් ලියපු අදහසක් මෙතනින් කියවන්න. ]

ඔබ සැමට චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීමට හැකි වේවා!!!
ප්‍රීති වෙසක් !!!



[ 27 - May - 2010 ]

5 comments:

Hasitha Gunasinghe said...

ඉපදීම, ජරාවට පත්වීම, ලෙඩවීම, මරණය, ශෝකය, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස, අප්පිය සම්පයෝග, පිය විප්පයෝග, ඉච්ඡිතා ලාභ, පංච උපාදානක්ඛන්ධය මේ අයුරින් දුකකි.

මකර අයියට දැන් ටික ටික ධර්මය වැටහෙනවා වගෙයි. හුඟක් වෙලාවට පොඩි කාලේ කරන්නන් වාලේ කරපු වැඩවල තේරුම ටිකක් කල් ගියාම තමා තේරෙන්නේ. කරන්නන් වාලේ වැඩ කරන්නේ නැතිව අවබෝධයෙන් වැඩ කරන්න ඕනෙ කියන එක ගැන කියන කතාවක් තමා මේ

http://aagiyakatha.blogspot.com/2010/03/blog-post_8720.html

Hasitha Gunasinghe said...

මෙන්න අයියේ මගේ වෙසක් දින පණිවුඩේ

http://aagiyakatha.blogspot.com/2010/05/blog-post_27.html

Chanaka Aruna Munasinghe said...

@ Hasitha

ස්තූතියි,ටිකක් නිවාඩු පාඩු තියෙන වෙලාවක ධර්මය ගැන පොත් ටිකක් හොයාගෙන ආපහු කියවලා බලන්න ආසාවක් තියෙනවා. ඒකට ඉතින් 60 පනිනකම්ම ඉන්න වෙයිද මන්දා

Hasitha Gunasinghe said...

අප්පෝ 60 පනිනකම් ඉන්න එපා අයියා. අද අද එයි මරු පින් කරගන්න කියලනේ කියලා තියෙන්නේ ඒවාගේම පණ නම් තණ අග පිනි බිඳු වැන්නේ කියලනේ කියන්නේ.

අද අදම දහම් පොතක් පතක් කියවන්න

Chanaka Aruna Munasinghe said...

@ Hasitha

සුදුසු කාලයෙ ධර්මය ඇසීම, සාකච්ඡා කිරීම මංගල කරුණුලු.

පුළු පුළුවන් විදිහට වෙලාව ටිකක් හොයා ගන්න ඕනෙ. බ්ලොග් අවකාශය හින්දා තමයි යන්තමින්වත් මොකුත් කියවෙන්නෙ

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D