Thursday, March 18, 2010

මහා අවතාර



ජීවිතේ සමහර වෙලාවට අපිට හම්බ වෙන්නෙ අපි හොයන දේවල් නෙවෙයි.  AVATAR ගැන Google සෙවීමක් කරද්දි ( AVATAR Film එක ගැන නෙවෙයි ) අහම්බෙන් හමු වෙච්ච ලිපියක් නිසා කාලෙකට කලින් ආසාවෙන් කියවපු පොතක් මතක් වුනා. ඒ තමයි "යෝගී ජීවිතයට දොරටුව" නමින් සිංහලට පරිවර්තනය වෙච්ච පරමහංස යෝගානන්දතුමාගේ  "Autobiography of a Yogi" පොත . යෝගී ඉගැන්වීම් ගැන දැනගන්න කැමති කෙනෙක් කියවිය යුතුම පොතක් තමයි ඒක.

බුදු දහමේ වගේම තමයි යෝගී ඉගැන්වීම් වලත් මූලික සංකල්පය තෘෂ්ණාව නැති කිරීම. තෘෂ්ණාව නැති කරලා ඉහළම ආධ්‍යාත්මික තත්වයකට පත්වෙන යෝගීන්ව හඳුන්වන්නෙ මහා අවතාර (MAHAVATAR)  කියලා. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේත් කාලෙකට කලින් පහළ වෙච්ච මහා අවතාරයක් විදිහටයි ඔවුන් සළකන්නෙ. 

ඔය උඩින් තියෙන පින්තූරෙ ඉන්නෙ මහාවතාර් බාබාජී තුමා. බාබාජීතුමා තමයි  හිමාල අඩවියේ වාසය කරනවා කියන  වර්තමාන ප්‍රධානම යෝගී ගුරුවරයා. බාබාජීතුමාගෙ ප්‍රධානම ඉගැන්වීම ක්‍රියා යෝග නමිනුයි හැඳින්වෙන්නේ. මෙ ක්‍රියා යෝග ක්‍රමයත් අපේ ගෞතම බුදුරජාණන් වහන්සේට බුද්ධත්වයට පත්වෙන්න උපකාරී වෙච්ච ආනාපානසති භාවනා ක්‍රමයට ගොඩාක් දුරට සමානයි.

අපි අදහන ථේරවාදී බුදුදහම අනුවනම්  එක කල්පයකට පහළ වෙන්නෙ එක බුදුවරයයි. නමුත් මහායාන බුදුදහමට අනුවනම් එකම කාලයේදී බුදුවරුන් රාශියක් ඉන්න පුළුවන්. අවශ්‍ය පාරමිතා සම්පූර්ණ කරන ඕනෑම කෙනෙකුට බුදු වෙන්න පුලුවන්නම් ඇයි එකම කාලයේදී බුදුවරුන් කිහිපදෙනෙක් පහළ වෙන්න බැරි කියන එක මට උත්තරයක් හම්බ වෙච්ච නැති ප්‍රශ්නයක්.

Links.

1. http://en.wikipedia.org/wiki/Mahavatar_Babaji

[ 18 - Mar - 2010 ]

17 comments:

Gayan Tharaka said...

ඹකරත් අවතාර හොයාගෙන යන ගමන් වගේ.
වෙනත් පැත්තකට සිත යොමු කරන ලිපියක්..

Chanaka Aruna Munasinghe said...

@ ගයාන් තාරක

මම හෙවුවෙ AVATAR Mobility ගැන Reserch Papers . අහම්බෙන් හම්බවුනා MAHAVATAR Babaji ගැන ලිපියක්. ඊට පස්සෙ අර හොය හොය හිටපු එක පැත්තක දාලා ඒක කියෙවුවා. ඒක කියවලා ඉවර වුනාම හිත වෙනත් පැත්තකට ගිය හින්දයි මේ ලිපිය ලියන්න හිතුනෙ

Anonymous said...

ඇයී ලොක්කෝ පසේ බුදු?

Chanaka Aruna Munasinghe said...

@ kolu

පසේ බුදුවරු ගැනත් උත්තර හම්බ වෙච්ච නැති ප්‍රශ්නයක් තියෙනවා. ඒක වෙනම පෝස්ට් එකක ලියන්නම්.

Buddhi said...

ඔය යෝගි කරන කට්ටියට පුලුවන්ද එර්දි වීම වගේ දෙයක් කරන්න? වර්තමානෙ එහෙම කස්ටිය ඉන්දියාවෙ ඉන්නවද කියලා එහෙම ඔයා දන්නවද?

Chanaka Aruna Munasinghe said...

@ බුද්ධි

එහෙම පුළුවන් යොගීවරු ඉන්නවා කියලා අහලානම් තියෙනවා. දන්න අඳුරන අයනම් නැහැ. බාබාජීතුමාත් තවම ඉන්නවලු. 2002 දි රැජිනිකාන්ත් බාබා චිත්‍රපටිය(බබාජීතුමා ගැන කියවෙන චිත්‍රපටියක්) හදන්න කලින් හිමාලයට ගිහින් බාබාජිතුමාවා හම්බ වුනා කියලා කියනවා.

Kanishka Dilshan said...

බුද්ධ විශය අචින්ත්‍යයි. බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා පෙර හා පසු නොවන ආකාරයෙන් (එනම් එකම කාලයක ) බුදුවරු පහල නොවන බව. බුදුවරු පහල වෙන්නේ ලොව ඇති අවිද්‍යා අන්ධකාරය නැති කිරීමටයි. මෙය අතිශයින්ම දුර්ලභ සිදුවීමක්.ඔබ අහලා ඇතිනේ බෝසත් වරු බුදු වීමට මිනිස් ලොවට පැමිණීමට පෙර පස් මහ බැලුම් බලනවා කියලා. මෙයින් එකක් තමයි "කාලය" ලොව බුදුවරු පහල වී සිටී නම් බුදුවීමට පැමිනෙණ බෝසත්වරු මිනිස් ලොව මව් කුසක පිළිසිඳ ගන්නේ නෑ.

Chanaka Aruna Munasinghe said...

@ කණිෂ්ක දිල්ශාන්

ස්තූතියි විස්තරයට. ඔතන තමයි මටත් ප්‍රශ්නෙ තියෙන්නෙ. ඇයි එහෙම වෙන්නෙ කියලා ? බුදුවරු කීපදෙනෙක් එකම කාලයකදි පහළ වුනොත් ලෝකෙට/මිනිස්සුන්ට වෙන වැරැද්ද මොකක්ද ?

Kanishka Dilshan said...

අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙන්නේ බුදුවරු දෙදෙනෙක් පහල වීම අතර කාලය අති දීර්ඝයි කියලා. මීට පෙර වැඩසිටි බුදුරජාණන් වහන්සේ වන කාශ්‍යප තථාගථ අරහත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ වැඩ සිටියේ කල්ප 91 කට කලින් කියලා අපගේ ගෞතම බුදුන් වහන්සේ දේශනා කර තිබෙනවා. ඔබ හිතන්න යම් හෙයකින් අපගේ ගෞතම බුදු රජාණන් වහන්සේ කාශ්‍යප බුදුන් වහන්සේගේ කාලයේ පහල වූවා කියල. එසේවූවා නම් තව කොපමන කාලයකට ලෝකය බුද්ධ ශූන්‍ය වනවාද? අනෙක් අතට අපගේ බුදුවරු පහලවීම නිශ්චිත කාලාන්තරයකට අනුව සිදුවන දෙයකුත් නොවෙයි.
අනික් කාරණය තමයි ඔබ කියන ආකාරයට එකම කාලයක පහල වීම සඳහා පාරමිතා පූරණය කරන ලද බෝසත්වරු නොසිටීම.

Chanaka Aruna Munasinghe said...

ස්තූතියි විස්තර වලට.

"එකම කාලයක පහල වීම සඳහා පාරමිතා පූරණය කරන ලද බෝසත්වරු නොසිටීම"

ඇයි එහෙම වෙන්නෙ. එකම කාලයකදී බොධිසත්වවරු කිහිප දෙනෙකුටම පාරමිතා සම්පූර්ණ කරන්න බැරි මොකක් හරි හේතුවක් තියෙනවාද ?

Kanishka Dilshan said...

හේතුවක් තියනවා,එකම කාලයකදී කිහිප දෙනෙකුටම පාරමිතා සම්පූර්ණ කරන්න තරම් බහුල පිරිසක් නොවෙයි බෝසතාණන් වහන්සේලා කියන්නේ. එහෙම අදහසක් ලොවට දීමට උත්සාහ කරන්නේ බුදු දහමේ මූලික හරවත් නොදත් මහායාන දර්ශනයයි. ලොව වැඩිපුර පවතින්නේ බුද්ධ ශූන්‍ය කාලයන්.
පරම වශයෙන් දුර්ලභ අයෙක් තමයි බෝසතාණන් වහන්සේ නමක් කියන්නේ.
අනෙක් අතට මෙය බුදුන් වහන්සේ සර්වඥතා ඤානයෙන් අවබෝධ කරගෙන ලොවට හෙලිකල ලෝක ධර්මතාවයක්. අද පුහුදුන් ලෝකය "දියුණු" යයි කියා ගන්නා නූතන විද්‍යාවක් මගින් හෝ, තර්ක කිරීමක් මගින් මෙවැනි දේවල් අවබෝධ කරන්නට යාම නිෂ්ඵල දෙයක්. එය නොකල යුත්තක්. එය කෙලවර වන්නේ උන්ම්න්තක වීමෙන්. අප කල යුත්තෙ තථාගථ අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කල පරම ගම්භීර ශ්‍රී සද්ධර්මය අවබෝධ කිරීමට බලවත් වෙහෙසක් දැරීමයි.
එවිට මෙවැනි ගැටලු තවදුරටත් ගැටලු නොවේ.

දසුන් සමීර වීරසිංහ said...

@Chanaka Aruna
මම අදයි ඔබේ සටහන දුටුවේ. බුදු වරු පහල වීම ගැන කතා කරනවනම් මං දන්නා ආකාරයට එය සිදුව්නනෙ මේ අකාරයටයි. අපි හැමෝම අහල තියෙනවනේද විවරණ ගන්නවා කියන එක. බුදුවරයෙක් ලොව පහල වෙන්නේ කවදාද කීවෙනියටද කියලා බොසත්වරුන් අතර සම්මතයක් තියෙනවා. මේ ආකාරයට ඊලඟට බුදුවන්නේ කවුද කියන එකට අවසර දීම තමයි විවරණ දෙනව කියන්නේ.

ඊලඟට නියත විවරණ කියන්නේ එම බෝසත්වරයා අනිවාර්යෙන් නිවන් දකිනව කියන එක. ඒ කිය්නනෙ ලිස්ට් එකට අනුව මේ බොස්ත්වරයාට පසුව බුදුව්නනේ මේ මේ බොසත් වරුන් බවට තෝරාගන්නවා. යම් හෙයකින් බුදුවරයෙක් පහල වුනාම. මේ සියලු බෝසත්වරුන් තමංගේ පිලිවෙල නියතබව ස්තීර කරගන්නවා බුදුවරයා මුන ගැහීමෙන්.

අනියත විවරණ කියන්නේ තව එකක්. ඒකියන්නේ බෝසත්වරුන් ඉන්නවා විශාල ප්‍රමාණ්‍යක්. නමුත් ඒ අයට නියත වෂයෙන්ම බුදුවෙන්න අවසර ලැබිලා නෑ. නුමුත් බුදු කෙනෙක්ට කියන්න පුලුවන් ඔබට තව උත්සාහ කරොත් බුදුවෙන්න අස්ථාවක් තියනව කියලා. ඒකට තමයි අනියත විවරණ කියන්නේ. මේ අනියත විවරණ ගන්න අය තමයි කාලයක් ගිහින් නියත විවරණ ගන්නේ. මේ ආකාරයේ හොඳ සංවිදානාත්මක සොභාවයක් බෝසත්වරු අතර තියෙනවා.

මේ මං දන්න අහලතියන ක්‍රමය. වැරදිනම් නිවැරදි කරන්න.

දසුන් සමීර වීරසිංහ said...

තවත් පොඩි උනපූර්ණයක්

බෝසත්වරු බුදුවෙන්නේ තමං ගැන හිතල විතරක්නෙවෙයි. ලෝක සත්වයා කෙරෙහි පහලවුනු මහා කරුණාවෙන්. ඉතින් බුදුවරු තනියෙන් බුදුවෙන්න හිතන්නෑ ලෝකයාට ධර්මය අවශ්‍ය කරන මොහොතේ වඩාත්ම යෝග්‍ය ක්‍රමයටයි එය ලබාදෙන්න ඕන. කණිෂ්ක කිව්ව වගේ බුදුවරු පහල වීම ඉතා දුර්ලභ සිද්ධියක්. මෙය ඉතාමත් සැලසුම් සහගතව සිදුකරන්නේ මේනිසයි. නමුත් මේ කාලයේ පවා පසේ බුදුවරු සිටිය හැක. සාමාන්යෙන් බුදුවරයෙක් ලොව පහල වෙන අවස්ථාවේදි සියලු පසේ බුදුවරු පරිණිවන් පාන බව පැවසෙනවා. ඒකට හේතුව හරියටම මම දන්නේ නෑ. කොහොමවුනත් ගෞතම බුදුන් මුලින්ම පරිහරණය කල සිවුරු කරේ එක් පසේ බුදුවරයෙකුවිසින් භාවිතා කරන ලද ඒවා බව පැවසෙනවා. එම පසේ බුදුවරයා මෙනමින් බුදුවන උත්තමයෙක් සිටිනබවත් ඔහුට තම සිවුරු පූජා කරන ලෙසත් තම ඥාතීන්ට දන්වා එම පසේ බුදුවරයා පිරිණිවන්පා ඇති බව පැවසෙනවා.

Chanaka Aruna Munasinghe said...

@ දසුන් සමීර

"අනියත විවරණ කියන්නේ තව එකක්. ඒකියන්නේ බෝසත්වරුන් ඉන්නවා විශාල ප්‍රමාණ්‍යක්. නමුත් ඒ අයට නියත වෂයෙන්ම බුදුවෙන්න අවසර ලැබිලා නෑ"

ඒ බෝධිසත්ව වරුන්ටත් විශාල ප්‍රමාණයටත් වරින්වර බුදු වෙන්න අවසර දුන්නානම් සත්වයාට මීට වඩා යහපතක් වෙන්නෙ නැති වෙයිද ???

================
බුදුවීමේ අනුපිළිවෙල ගැන මම අහලා තියෙනවා. එක කතාවක් තියෙනවා මුලින්ම බුදුවෙන්න හිටියේ මෛත්‍රී බෝසතාණන්ලු. ගෞතම බෝසතාණන් මෛත්‍රී බෝසතාණන්ගෙ ශිෂ්‍යයෙක් විදිහටලු හිටියෙ. නමුත් බඩගිනි වෙච්ච කොටියෙකුට කන්න දෙන්න ගිය වෙලාවෙ ඒ අනුපිළිවෙල වෙනස් වුණාලු.

තවත් කතාවක් තියෙනවා ගෞතම බුදුහාමුදුරුවන්ගේ දාන පාරමිතාව සම්පූර්ණ කිරීමේ පොඩි අඩුපාඩුවක් තිබුණලු (වෙස්සන්තර ජාතකයේ දරුවන් දන්දෙන අවස්ථාවෙ ) . වසවර්ති මාරයාට බුදුහාමුදුරුවො ළඟටම එන්න පුළුවන්කම ලැබුනෙ ඒ අඩුපාඩුව නිසාලු. එහෙම නැතිනම් බුදුවරයෙක් කිට්ටුවට එන්න මාරයෙකුට බැරිලු. වසවර්ති මාරයාට බුදුහාමුදුරුවන් ළඟට එන්න පුළුවන් වෙච්ච නිසයි ඉක්මනින් පිරිණිවන් පාන්න ආරාධනා කරන්නත් පුළුවන් වුනේ කියනවා. අනෙකුත් මන්දායුෂ්ක බුදුවරුන්ගේත් පාරමිතා සම්පූර්ණ කිරීමෙ සුළු අඩුපාඩු තියෙන්න ඇතිලු

Kanishka Dilshan said...

@Chanaka Aruna Munasinghe
මෙහෙම එකක් සද්ධර්මයේ ඔබ උපුටා ගත්තෙ කොහෙන්ද කියන එක මට ගැටලුවක්.
මම නම් අහලා තිබෙන්නේ බුදුවරුන් ශ්‍රද්ධාධික, වීර්‍යාධික , ප්‍රඥ්ඥාධික ආකාරයෙන්. "මන්දායුෂ්ක බුදුවරුන්" කියලා එකක් මම නම් අහලා නැහැ. ඒකාලයේ මිනිස් ලොවේ ආයුශ අනුවයි "මන්දායුෂ්ක බුදුවරුන්" කියලා ව්‍යවහාරයක් ඇත්තේ.
මාර සේනා ආවේ බෝධි සත්වයෝ බුදු වුනාම නොවෙයි. බුදුවන අරමුනින් ආනාපානසතිය වැඩීමට පටන්ගත්විටයි.මේවා පසුකාලීනව එකතු වුන දේවල්.
බෝධි සත්වයන්ගේ පෙර ජීවිතවල කර්ම ත්‍රිපිටක පොත් වහන්සේගේ අපදාන පාලි කොටසේ ඇතුලත් වනවා එය සොයාගෙන කියවා බලන්න.
බුදුන් වහන්සේලා තුල අඩුපාඩු නැහැ උන්වහන්සේලා ප‍රිපූර්ණයි කියලා කිව්වොත් නිවැරදියි. උන්වහන්සේලාගේ ගුණයක් තමයි ඒක.

Chanaka Aruna Munasinghe said...

@ Kaniskha Dilshan


ඒ මම අහලා සහ කියවලා තියෙන කතන්දර.
දහම් පොත් වල ඒවා නැතුව ඇති. ජාතක කතා වුනත් බුද්ධ ධර්මය නෙවෙයිනෙ.

හැබැයි මම අහලා තියෙන්නෙ බුදුවරුන්ට ආයු සංස්කාර කරන්න පුළුවන් කියලා. ගෞතම බුදුහාමුදුරුවන්ට වුනත් ආනන්ද හාමුදුරුවො ආරාධනා කළානම් කල්පයක් ආයු සංස්කාර කරන්න පුළුවන්කම තිබ්බලු. ආනන්ද හාමුදුරුවන්ගෙ ප්‍රමාදයක් හින්දා

ආනන්ද හාමුදුරුවන්ගෙ ප්‍රමාදයක් හින්දා වසවර්ති මාරයාගේ ආරාධනයෙන් මාස තුනකින් පිරිණිවන් පාන්න ආයු සංස්කාරය කරා කියලයි මම අහල තියෙන්නෙ.

මම එකපාරක් හාමුදුරු කෙනෙකුගෙන් ඇහුවා බුදුවෙද්දි පරාජය කරපු වසවර්ති මාරයා ආපහු බුදුහාමුදුරුවො ගාවට ආවෙ කොහොමද කියලා. ඒ හාමුදුරුවො තමයි ඔය කතාව කිවුවෙ.
සාමාන්‍යයෙන් බුදුකෙනෙක් පහළ වෙලා ඉඳිද්දී මාරයෙකුට ඒ සක්වලට එන්න බැරිලු. එන්න ආවත් සක්වල ගල(මොකක්ද දන්නෙ නෑ) සීමාවෙදිම බය වෙලා ආපහු යනවලු. එහෙම වුනත් ගෞතම බුදු හාමුදුරුවන් ලඟටම ඇවිත් කරදර කරන්න වරින් වර වසවර්ති මාරයා උත්සාහ කළාලු.

බුදු වුනත් කර්ම ශක්තීන් මුළුමනින්ම අහෝසි වෙන්නෙ නැහැලු. ඒකලු දේවදත්ත පෙරළපු ගලෙන් පොඩි පතුරක් වැදිලා ඇඟිල්ලක් තුවාල වුනා කියන්නෙ.

ආයුෂ අනුව බුදුවරුන් පිරිණිවන්පෑ පසුව ධාතූන් ඉතිරි වෙන විවිධ ආකාර තියෙනවා කියලා මම කියවලා තියෙනවා.

කොහොම වුනත් මම බුද්ධ ධර්මය ගැන ගැඹුරින් දන්න කෙනෙක් නෙවෙයි. නොදන්නා දේවල් ගැන කියා දීම ගැන පිං

Kanishka Dilshan said...

@Chanaka Aruna Munasinghe
"බුදුකෙනෙක් පහළ වෙලා ඉඳිද්දී මාරයෙකුට ඒ සක්වලට එන්න බැරිලු." මේක සම්පුර්ණයෙන් වැරදි කතාවක් මාර කියන්නෙත් ඕපපාතිකව උපදින ජීවයක්. ඔවුන්ට පුලුවන් මිනිසුන්ගේ දුර්වලකම් වලින් ප්‍රයෝජනගෙන දහම් ඇස(ධර්මාවබෝධය) වසාලන්න. බුදුවරුන් වහන්සේලා සිටියත් නැතත් ඔවුන් ඉන්නවා. මේක ඉතාම ගැඹුරු තත්වයක්(මාරයා එකව‍්ර හදුනා ගත හැක්කේ බුදුන් වහන්සේලාට පමණයි) මේ මාරයාට අරමුණු නොවී සිටිමට එකම මාර්ගය තමයි සතිපඨ්ඨානය මහා සතිපඨ්ඨාන සූත්‍රය කියවා බැලීමට පුලුවන්නම් ඔබට මෙය තේරුම් ගත හැකිවේවි.
බුදුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට නිත‍ර උපදෙස් දී තිබෙන්නේ මාරයාට අරමුණු නොවී සිටීමට සතිපඨ්ඨානයෙන් වාසය ක‍රන ලෙසයි. නැතහොත් මැටි පිඩකට බ‍ර යමක් කාවදින්නේ යම් ආකාරයකටද , එලෙසට මාර ග්‍රහණයට ලක්වන බවයි.
මාර තජ්ජනීය සූත්‍රයකියවා බැලුවොත් ඔබට වැටහෙයි තථාගථ වූ අරහත් වූ කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලයේදී "දුසී" නම් මාරයා ගැන.ජීවීන් සහිත කිසියම් සක්වලක් මාර ග්‍රහණයෙන් තොරයි නම් එහෙම චක්‍රාවාටයක් නෑ. මාරයාගෙන් තොර ලෝක නැහැ. මාරයාගෙන් මිදී සිටින්නේ අරහත් උතුමන් පමණයි.
බුදු වුනත් කර්ම සියල්ල අවසන් වෙන්නේ නැහැ නමුත් ඒක බුදුව‍්රයෙකුගේ ප‍්රිපූර්ණත්වයට ගැටලුවක් නොවේ. නමුත් නැවත උපතක් ක‍රා යා හැකි සියලු කර්ම නම් ක්ෂය කරලයි බුදුවරු, රහත් මුණිවරු වැඩසිටින්නේ. බුදුවරුන්ට තමන්ට ඇති කර්ම විපාක වලක්වන එකත් දෙයක් නොවෙයි.මන්ද සියල්ල ප‍රිපූර්ණව අවබෝධ ක‍ර ඇති නිසා. නමුත් උන්වහන්සේලාට එසේ කිරීමට අවශ්‍ය නැහැ.
ඔබට වැඩිදුර තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම් උතුම් ත්‍රිපිටක ධර්මයම ඇසුරු කරන්න(link එකක් දාලා ඇති) ඉන් පිට කතා ධර්මය ලෙස සැලකීම අහිත පිනිසමයි පවතින්නෙ!

http://www.metta.lk/tipitaka/index.html

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D