Tuesday, November 16, 2021

රාජ ඤාව්වා

"ඤාව් ඤාව් ඤාවෝ."
"ඤාආ..............ව්."
"ඤෑස් .."
.
එක එක විදිහෙ ඤාව් හඬවල් කැකිල්ලේ රාජ මාලිගා සංකීර්ණය පුරා රැව් පිළිරැව් දුන්නා. ගොරෝසු ඤාව් හඬවල් , ළඳ බොළඳ හීනි ඤාව් හඬවල්, දිග ඤාව් හඬවල්, කොට ඤාව් හඬවල් අතරේ අතරින් පතර පුරු පුරු හඬවල් ග්ර් ග්ර් හඬවල් කීපෙකුත් ඇහුණා .
.
රටේ හැම පැත්තක්ම නියෝජනය කරමින් ආපු ඤාව්වො හයසිය විසි එක් දෙනෙක් කැකිල්ලේ රාජ මාලිගාවෙ එළිමහන් රංග පීඨ භූමියට එක් රැස් වෙලා හිටියා. තඩි ඤාව්වො, කෙට්ටු ඤාව්වො, බූල් බූල් ඤාව්වො, බූල් නැති ඤාව්වො, උස ඤාව්වො, කොට ඤාව්වො, නැට්ට දිග ඤාව්වො, නැට්ට නැති ඤාව්වො ආදී ලෙසින් එකී මෙකී නොකී හැම ආකාරෙකම ඤාව්වො එතන හිටියා.
.

කැකිල්ලේ රජතුමා තමන්ගෙ රාජ ඤාව්වව තෝරාපත් කරගන්න ස්වයංවරය පවත්වන දවස උදා වෙලා. අල්ලපු රටේ රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක යෙදිච්ච වෙලාවෙ ඒ රටේ රජතුමාගෙ රාජ ඤාව්වව දැක්කට පස්සෙ තමයි තමන්ටත් තමන්ගෙම කියල රාජ ඤාව්වෙක් හිටියනම් හොඳයි නේද කියන අදහස කැකිල්ලේ රජතුමාගෙ රාජකීය මොළයට පහළ වුණේ.
.
රාජ ඤාව්වව තෝරා පත් කර ගන්න ස්වයංවර උත්සවය සියැසින් දැකබලා ගන්න රටවැසියෝ දහස් ගණනක් රාජකීය එළිමහන් රංග පීඨ භූමියට එක් රැස් වෙලා හිටියා. උත්සවයේ රාජකීයත්වයට ගැලපෙන ආකාරයෙන් උත්සව භූමිය ධජ පතාක ආදියෙන් අලංකාර කරල තිබ්බා. රාජකීය වන්දිභට්ට වෘන්දය උත්සව අවස්ථාව වර්ණනා කරමින් ගීත ගායනා කළා.
.
විශ්වය පුරා විහිදී ගියා ඤාව් ඤාව් රාවේ
අපි වෙනුවෙන් අපි අතරම නැගෙනා
බළල් පොරොත්තුව...... මේ //
.
නිදි කිරන අපේ පුරුවා
පුරු පුරු ..
හැම තැන හැඩි කෙරුවා
පුරු පුරු ..
හැඩි කරන කෙනෙක් වේ නම්
පුරු පුරු ..
ඒ ඔබයි නෝටි මිව්වා
පුරු පුරු ..
.
විශ්වය පුරා විහිදී ගියා ඤාව් ඤාව් රාවේ
අපි වෙනුවෙන් අපි අතරම නැගෙනා
බළල් පොරොත්තුව...... මේ //
.
හැමෝම ඇසිපිය නොහෙළා බලාපොරොත්තුවෙන් හිටපු ඒ ඓතිහාසික මොහොත උදා වුණා. රාජකීය පංච තූර්ය වාදන නාදය මධ්‍යයේ කැකිල්ලේ රාජෝත්තමයා ස්වයංවර භූමියට සැපත් වුණා. මහ ඇමතිතුමා ලේඛනයක් බලාගෙන ස්වයංවරයට ඇවිත් හිටපු එක් එක් ඤාව්වගෙ වත ගොත රජතුමාට විස්තර කළා.
.
එක් එක් ඤාව්වව වෙන වෙනම අත ගාල, පොඩි කරල, කුචි කුචි කරල, වඩාගෙන බලල , හීරුම් පාරවල්, හැපුම් පාරවල් කාලා පැය හතර පහක් ගත කරපු රජතුමා අන්තිමේදි රාජ ඤාව්වා වෙන්න සුදුසු එක ඤාව්වෙක්ව තෝරා ගත්තා. 


.
"අපේ රාජ ඤාව්වට ජයශ්‍රී !!! ".
රැස්වෙලා හිටපු පිරිස 
ප්‍රීති ඝෝෂා කළා.
.
මේ ඤාව්වා තමයි අද පටන් අපේ රාජධානියේ රාජ ඤාව්වා..
මේ ඤාව්වට මාලිගාවේ ඕනිම තැනක කැමති විදිහකට නිදහසේ සැරිසරන්න ඉඩ දෙන්න ඕනි. .
.
කවුරු හරි කෙනෙක් මේ ඤාව්වට අඩත්තේට්ටමක් එහෙම කරල අහු වුණොත් මම නරක රජා කියන්න එපා..
.
රාජ ඤාව්වට කවුරු හරි කෙනෙක් පොඩි හරි අඩත්තේට්ටමක් කළොත් ඒ කෙනාට මුලින්ම කස පහර සීයයි..... එයින් පස්සෙ ජීවිතාන්තය වෙනකම් හිර දඬුවම්. .
.
හෙක් හෙක් ... හෛයි හෛයි හෛයි .... හෛයික්
".
රජතුමා රාජ ඤාව්වව නිල වශයෙන් ප්‍රකාශයට පත් කරමින් රාජාඥාව නිකුත් කළා.
.
තේරී පත් වෙච්ච රාජ ඤාව්වව වර්ණනා කරමින්, තේරීමේ ක්‍රියාවලියේ ගුණ දොස් විවේචනය කරමින් රැස්ව සිටි පිරිස සතුටින් විසිර ගියා. ඒ අපූරු පුරු පුරු දවස ගෙවිලා ගිහින් තවත් දවසක් උදා වුණා
.

++++

.
උදේ සුබ මොහොතින් ආරම්භ කරන්න ලෑස්ති වෙලා හිටපු රාජ සභාවෙ මහ කලබගෑනියක්. කැකිල්ලේ රජතුමා සභාවට සැපත් වෙලා සිංහාසනාරූඪ වෙන්න සැරසුණා. ඒත් රජතුමා සිංහාසනාරූඪ වෙන්න කලින් වෙන කෙනෙක් සිංහාසනාරූඪ වෙලා. බොහොම තේජාන්විත විදිහට සිංහාසනාරූඪ වෙලා හිටපු රාජ ඤාව්වා නියපොතු විහිදාගෙන රජතුමාට සිංහාසනයේ වාඩි වෙන්න ඉඩ නොදී "ඤාවෝඕ......ර්හ්" හඬ නගමින් තර්ජනය කරනවා.



.
"ඇයි මේ ඤාව්වට මෙතනට එන්න ඉඩ දුන්නෙ"
රජතුමා දොරටුපාලකයන්ගෙන් සහ රාජ සභා ආරක්ෂක නිලධාරීන්ගෙන් විමසුවා.
.
"රාජ ඤාව්වට මාලිගාවෙ ඕනිම තැනක කැමති විදිහකට නිදහසේ සැරිසරන්න ඉඩ දෙන්න කියල ඊයෙ නිකුත් කරපු රාජාඥාවෙන් කියවුනා"
හැමෝම එක හඬින් පිළිතුරු දුන්නා.
.
"කවුරු හරි කෙනෙක් මේ ඤාව්වව මෙතනින් අයින් කරන්න."
රජතුමා රාජ සභාවට නියෝග කළා.
.
"අපේ මහ ඇමතිතුමා තමයි රාජ සභාවෙ ඉන්න මහතම කෙනා. ඒ නිසා රාජ ඤාව්වව අයින් කරන වැඩේට සුදුස්සා අපේ මහ ඇමති"
පුරෝහිත තුමා යෝජනා කළා.
.
"අනේ මටනම් බෑ .. අයින් කරන්න ගිහින් රාජ ඤාව්වට මගේ පෘෂ්ටිමත් අතින් නොදැනුවත්වම හරි අඩත්තේට්ටමක් වෙලා ඤාව්වට රිදුණොත් මට කසපහර කාල හිරේ යන්න වෙයි.."
මහ ඇමති වැඩේට පස්ස ගැහුවා.
.
"මටත් බෑ මගේ බඩ රිදෙනවා"
මහ සෙනෙවි තුමා හෙමීට සභාවෙ පිටිපස්සෙ තියෙන වැසිකිළිය පැත්තට ගියා.
.
"මටත් බෑ, මගේ අත රිදෙනවා"
"මටත් බෑ, මට හෙම්බිරිස්සාව වගේ"
"මටත් බෑ, මට ඤාව් බූල් ඇලජික්"
"මටත් බෑ"
"මටත් බෑ"
"මටත් බෑ"
.
රාජ සභාවෙ හැමෝම ඤාව්වව අයින් කරන වැඩේ මග ඇරියා.
.
"බොලාට බැරිනම් මමම මේ ඤාව්වව අයින් කරන්නම්කො"
ඤාව්වව සිංහාසනෙන් අයින් කරන වැඩේ තමන්ගේ රාජකීය හස්තයෙන්ම කරන්න රජතුමා ඉදිරිපත් වුණා.
.
"ෂ් ෂ් ෂ්, , අන්න අන්න"
.
එක මොහොතකට රාජ සභාවම තුෂ්නිම්භූත වෙලා ගල් ගැහිලා නිහඬ වුණා.
.
කැකිල්ලේ රාජෝත්තමයා රාජා ඤාව්වගෙ නැස්ටෙන් අල්ලලා අදිනවා. රාජ ඤාව්වා බූල් පුම්බගෙන නියපොතු වලින් සිංහාසනේ විල්ලුද මෙට්ටය අල්ලගෙන ඉන්නවා.



.
"අන්න අන්න රජතුමා රාජ ඤාව්වට අඩත්තේට්ටමක් කරනවා"
තරුණ ඇමති කෙනෙක් කෑ ගැහුවා.
.
රාජ ඤාව්වට කවුරු හරි කෙනෙක් පොඩි හරි අඩත්තේට්ටමක් කළොත් ඒ කෙනාට මුලින්ම කස පහර සීයයි. එයින් පස්සෙ ජීවිතාන්තය වෙනකම් හිර දඬුවම්.
මහ ඇමති තුමා රාජාඥාව මතක් කළා.
.
"එක රටක් එක නීතීයක්. රාජාඥාවෙන් ස්ථාපිත කරපු නීතිය රජතුමාටත් අදාළයි"
අධිකරණ ඇමතිතුමා නීතිමය තත්වය පැහැදිළි කළා.
.
"භටයිනි, රජතුමාව අත් අඩංගුවට ගනු, මුලින් කස පහර සීයයි එයින් පසු ජීවිතාන්තය දක්වා සිර දඬුවම්"
මහ සෙනෙවි ආරක්ෂක භටයන්ට නියෝග කළා.
.
මේ මේ පොඩ්ඩක් ඉන්නවලකො. මම කියන දේත් පොඩ්ඩක් අහනවලකො"
ආරක්ෂක භටයන් විසින් ඇදගෙන යද්දි රජතුමා මොන මොනවදො කියන්න උත්සාහ කළා.
මේ ඔක්කොටම ගත වුණේ විනාඩි දෙක තුනයි. 


.

++++

.
පොඩ්ඩ වෙලාවකට සන්සුන් වෙලා තිබ්බ රාජසභාව ආපහු සැරයක් ගාලගෝට්ටියක් වුණා.
.
"දැන් එතකොට අපිට රජෙක් නැද්ද ? "
තරුණ ඇමති කෙනෙක් අලුත්ම තත්වය ගැන හැමෝගෙම අධානය යොමු කෙරෙව්වා
.
"මෙතන ඉන්න මහතම කෙනා මම. ඒනිසා රජකමට සුදුස්සා මම තමයි"
මහ ඇමති කිව්වා.
.
"ඔබතුමා පෘෂ්ටිමත් වැඩියි. සිංහාසනේ සයිස් එක ඔබතුමාට වාඩි වෙන්න ප්‍රමාණවත් නෑ"
විරෝධතා එල්ල වුණා
.
"මෙතන හොඳටම කළේ මම. ඒ නිසා මමයි රජකමට සුදුසු"
මහ සෙනෙවි තුමා රජකමට තමන්ගෙ සුදුසුකම් ප්‍රකාශ කළා
.
"හොඳට හිටියි හැම වෙලාවෙම බඩේ අමාරුව හැදිලා වැසිකිළි දුවන බඩේ අමාරුකාරයෙකුට රජකම දුන්නොත්"
හැම අතින්ම විරෝධතා එල්ල වුණා.
.
"මමයි රජා"
"මම තමයි රජකමට සුදුසු"
"මට තමයි රජ ඇඳුම් හොඳටම ගැලපෙන්නෙ"
"එහෙම බෑ මම තමයි ඉස්සෙල්ලම රජකම ඕනි කිව්වෙ"
.
හැමෝම රජකමට පොරකන්න පටන් ගත්තා.
.
"මේ මේ. ඕකට ඔච්චර බෙරිහන් දෙන්න ඕනි නෑ. 
රජකමට සුදුස්සා දැනටමත් සිංහාසනාරූඪ වෙලා ඉන්නවා"
රාජ සභාවේ කවටයා සිංහාසනයට අත දික් කරලා පෙන්නුවා.
.
"හැබෑමයි"
"ඒක ඇත්ත"
"සිංහාසනේටම ගැලපෙන තේජසක් තියෙනවා"
හැමෝම ඒකමතිකව එකඟ වුණා.
.
"රාජ ඤාව් රාජෝත්තමයට ජය ශ්‍රී !!!"
හැමෝම අලුතින් පත් වුණු රාජ ඤාව් රාජෝත්තමයව අභිවන්දනය කළා.
.
"ඤාව් ඤාව් ඤාවෝ"
රාජ ඤාව් රාජෝත්තමයා රාජ සභාවෙ ආචාරය පිළි ගත්තා.

++++

.
රාජ ඤාව් රාජෝත්තමය ලබා දෙන "ඤාව් ඤාව්" රාජ නියෝග අර්ථ නිරූපණය කරන්න වියත් මණ්ඩලයක් පත් කෙරුණා. වියත් මණ්ඩලය සාකච්ඡා කරල "ඤාව් ඤාව්" රාජ නියෝගවලට රටට ගැලපෙන හොඳම විදිහට අර්ථ නිරූපණය ලබල දුන්නා.
.
ඉඳල හිටල සූරනවා හපනවා ඇරෙන්න රාජ ඤාව් විධායකයෙන් රටේ පාලන කටයුතු වලට අනවශ්‍ය බළල්පෑම් එල්ල වුණේ නැති නිසා රටේ පාලන කටයුතු දැහැමෙන් සෙමෙන් සාමූහික සාකච්ඡාවෙන් සිද්ධ වෙලා රට දියුණුවෙන් දියුණුවට පත් වුණා.
.
"අන්න වාසනාවන්ත රටවල්. 
ඕනි ඤාව්වෙකුට ඒ රට පාලනය කරන්න පුලුවන්"
ඒ රටේ දියුණුව , සමෘද්ධිය දැකපු අනිත් රටවල් වල මිනිස්සු බොහෝම ඉරිසියාවෙන් කිව්වා.
.
නිමි.

[ බුකියේ විනෝද සමය - කෙටිකතා තරඟයට ලියපු කෙටිකතාවක් වගේ එකක් ]


[ 11 - Nov - 2021 ]

3 comments:

Anonymous said...

එතුමා ඊට පස්සෙ සයන්ටි‍ෆික් ඇමති මන්ඩලයක් පත් කලා.

ඔක්කොම හොඳට ගියා ..ඔන්න එතකොටයි රසායනික ඔර්ගනික් පොහොර වගයක් ඤාව්වාට කැව්වේ

sarath said...

Raja niyoga eka eka welawata eka eka widihata artha nirupanaya karana bawa nam sahathika aththa!

sandhakadapahana said...

තරමක දිගු විවේකයකින් පසුව හමු උනේ! ඔබ සඳහා අපගේ සින්ඩියේ "බ්ලොග් සඟරා" යටතේ ගොනු කොට ඇත! අපගේ සින්ඩියට ප්‍රචාරයක් ලභා දෙන්න!

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D