Wednesday, February 17, 2010

කොළඹ පූසන්ට කිරි, ගමේ පූසන්ට කැකිරි


බලන්න මේ පූසලා දෙන්නා කන බොන විදිහෙ වෙනස.

ගමේ පූසා


කොළඹ පූසා

[ 17 - Feb - 2010 ]

Sunday, February 14, 2010

කොටියා ආවෝ !!!


 

ඔන්න තවත් අලුත් අවුරුද්දක් උදා වෙලා. ඒ තමයි චීන අලුත් අවුරුද්ද. අපි අප්‍රේල් මාසෙදි අලුත් අවුරුද්ද සමරන්නෙ සූර්ය මාස ක්‍රමයකට අනුව. චන්ද්‍ර මාස ක්‍රමයකට අනුව සමරන චීන අලුත් අවුරුද්ද සමහර අවුරුදු වලදි ජනවාරි මාසයේදීත් තවත් සමහර අවුරුදු වලදි පෙබරවාරි මාසයේදීත් උදා වෙනවලු. මේ චීන කැලැන්ඩර් ක්‍රමයට අනුව හැම අවුරුද්දකටම අදාල සතෙක්,පාටක් සහ අමුද්‍රව්‍යයක් තියෙනවා. අද, 2010 පෙබරවාරි 14 වෙනිදාතමයි සුදු යකඩ කොටියාගේ අවුරුද්ද සමරන දවස. (අහම්බෙකින් වගේ මේ පාර අලුත් අවුරුදු දිනයත් ආදරවන්තයන්ගේ දිනයටම වැටිලා)

 

චීන සම්භවය ඇති අයගේ ජනගහනය බහුතරයක් වෙන සිංගප්පූරුවෙත් චීන අලුත් අවුරුද්ද ඉහළින්ම සමරනවා. සිංගප්පූරුවේ රජයේ නිවාඩු දින තියෙන්නෙ 11යි. එයින් දින 2ක්ම වෙන් කරලා තියෙන්නෙ චීන අලුත් අවුරුද්දට.  හැම තැනම වගේ රතු පාටින් විවිධ සැරසිලි. මගේ චීන ජාතික යාලුවො කියපු විදිහට ඒ අය රතු පාට වාසනාවන්ත පාටක් කියලලු සළකන්නෙ. ඒකලු  සැරසිලි හැම එකක්ම රතු පාට. ( සමහර විට රතුපාට වාසනාවන්තයි කියන එක  කොමියුනිට්ස්වාදී රතු සහෝදරවරු ඇති කරපු මතයක් වෙන්න ඇති ). චීන අලුත් අවුරුද්ද සඳහා එකිනෙකාට සුභපැතීමේදී පැණි දොඩම් ගෙඩි දෙකක් සහ කාසියක් / හෝ කාසියක් හැඩයට හදපු රසකැවිල්ලක් දෙනවා. (දොඩම් ගෙඩි දෙකක් දෙන්නෙ , වැඩිය කඩන නරක ළමයි හෙම නෙවෙයි හින්දා වෙන්න ඇති).

මේ පාර කොටි අවුරුද්ද උදා වෙන්න කලින් ලංකාවෙ කකුල් දෙකේ කොටියො වඳ වෙලා ගියා. මීලඟ කොටි අවුරුද්ද උදා වෙන 2022 වෙනකොට කකුල් හතරෙ ඇත්ත කොටියොත් ලෝකෙන් වඳ වෙලා යන්න පුලුවන් කියලා සමහර පරිසරවේදියෝ බිය පළ කරනවා.ඒ වෙනකොට කොටියො විතරක් නෙවෙයි මිනිස්සුත් ලෝකෙන් වඳ වෙලා යයිද දන්නෙ නැහැ. 2012 කළු වතුර මකරාගේ අවුරුද්දෙ ලෝක විනාශයක් වෙනවා කියලත් අනාවැකි තියෙනවනෙ.  

වැඩි දුර විස්තර:

Chinese New Year
=============
1.  Chinese New Year - Wikipedia [here]
2.  Chinese Horoscope Color Zodiac Animal Signs [here]

2012
===
1. 2012X7 [here
2. Divaina Article about 2012 [here]

[ 14 - Feb - 2010 ]


Saturday, February 6, 2010

මහ මැතිවරණය 2010: මනාප ක්‍රමය වෙනුවට අමනාප ක්‍රමයක්



 

ඔන්න ඉතින් ජනාධිපතිවරණයනම් ඉවරයි.  ඒ වුනාට මැතිවරණනම් ඉවර නෑ. පාර්ලිමේන්තු මහ මැතිවරණයකුත්  ළඟදීම පවත්වන්න නියමිතයි. 

"කැමති කෙනෙක් කැමති විදිහට මැතිවරණ තියන්න" කියල මැතිවරණ කොමසාරිස්තුමා වාචිකව අවසර දුන්නනෙ ( මේ බලන්න ). ඒක නිසා මෙදා පාර මහ මැතිවරණෙ පැවැත්වෙන්නෙ මට ඕනෙ හැටියටයි. 

ජනාධිපතිවරණ වලදි අහෝසි කරන්න කතා කරන්නෙ විධායක ජනාධිපති ක්‍රමය. ඒ වගේ මහමැතිවරණ වලදි කතා කරන්නෙ මනාප ක්‍රමය අහෝසි කිරීම ගැන. මොකද මනාප ක්‍රමය හින්දා එකම පක්ෂෙ අයත් මනාප වලට පොර කනවනෙ. හැබැයි ඉතින් ඔය අහෝසි කරන්න කතා කරන අය ඒක කරන්නෙ නැහැනෙ. ඒක නිසා මේ පාර මහ මැතිවරණයේදි මනාප ක්‍රමය මමම අහෝසි කරනවා.  ඒ වෙනුවට මම හඳුන්වා දෙනවා අමනාප ක්‍රමයක්.

යෝජිත අමනාප ක්‍රමය ක්‍රියාත්මක වෙන්නෙ මෙහෙමයි. ඡන්ද දායකයන්ට පුළුවන් තමන් කැමති පක්ෂයේ සළකුණ ඉදිරියෙන් හරි ලකුණක් දාල තමන්ට කැමති පක්ෂයට ඡන්දය ප්‍රකාශ කරන්න. ඊළඟට කරන්න ඕනෙ ඒ පක්ෂයේ තමන් අකමැතිම අපෙක්ෂකයන් තුන් දෙනාගේ අංක ඉදිරියෙන් කතිර ලකුණු දාලා ඒ අයට අමනාපය ප්‍රකාශ කිරීම. අන්තිමේදි වැඩිම ඡන්ද ගන්න පක්ෂ වලින් අඩුම අමනාප ගත්ත අපේක්ෂකයො පාර්ලිමේන්තුවට තේරී පත් වෙනවා.

මේ ක්‍රමයෙදි අපේක්ෂකයන්ට  තමන්ගෙ පක්ෂ සළකුණ ප්‍රසිද්ධ කරන්න වෙනවා. හැබැයි තමන්ගෙ අංකය පුළුවන් තරම් රහසිගතව තියාගෙන. කොහොමද ටිකිරි මොළේ !

පසු සටහන්
=======

1. මැතිවරණ කොමසාරිස්තුමාම මහ මැතිවරණයත් පවත්වනවාලු. ( බලන්න ). ඒක නිසා මේ පාර මහ මැතිවරණයේදි අමනාප ක්‍රමය ක්‍රියාත්මක වෙන්නෙ නැහැ

2. පහු ගිය දවස් වල තිබ්බේ මැතිවරණයක් නෙවෙයිලු. එහෙම කිවුවෙ අපේ සචි අක්කා . මේක මූණු පොතේදි වෙච්ච සංවාදයක් (බලන්න)


සචි අක්කා :
තිබුණේ ජනාධිපතිවරණයක් මිසක් මැතිවරණයක් නෙමෙයි!!!!!!! (මැතිවරණය කියන්නේ මන්ත්රීවරුන් තෝරන චන්දය. ඕක අද හුඟක් දෙනා පටලගන්නවා. කොටින් ම 'ජනාධිපති මැතිවරණය' කියලා තමයි පත්තර වලත් යන්නෙ. හරිම විහිළුවක්!!)

මම: 
එතකොට Election වලට කියන සිංහල වචනෙ මොකක්ද ?

සචි අක්කා :
චන්දය එහෙම නැත්නම් වරණය (තේරීම) 
මැතිවරණය = මන්ත්රීවරුන් තේරීම
ජනාධිපතිවරණය = ජනාධිපති තේරීම

මැතිවරණ කොමසාරිස් ට ඒ නම ලැබුණේ 1978 න් ඉස්සර තිබුණේ මැතිවරණ පමණක් නිසා...

මම:
හෆොයි දැන් කට්ටිය කියයි මැතිවරණ ප්රචණ්ඩක්රියා එකක්වත් වෙලා නැහැ කියලා :D. එතුමා ඕක දන්නවනම් ස්වාධීන මැතිවරණ කොමිසම පත් කරන්න බය වෙන්නෙත් නෑ.

මේවත් බලන්න
=========




[ 06 - Feb - 2010 ]


Sunday, January 3, 2010

බනින්න පෙර සිතා බලනු (එක එක අය කියපු කතා - 02)



මූණු පොතේත් මැතිවරණ උණුසුම හොඳටම ඉහළ නැගලා.මේ දවස් වල අලුතෙන් එකතු වෙන දේවල් වලින් වැඩි හරියක් දේශපාලනීකරණය වෙලා. ප්‍රධාන අපේක්ෂකයන්  දෙන්නාටම සහාය පළ කරන Status Messages, Photoes වගේ දේවල් නිතරම  වගේ බිත්තියට අලුතින් එකතු වෙනවා. ඒවාට දෙගොල්ලොම කරන Comments හින්දා ඇතිවෙන වාද විවාද ගොඩයි. ඒ වාද විවාද අතරෙ මම දැකපු අපූරු දෙයක් මේ. 


SF ට සහයෝගය පළ කරන අපේ යාලුවෙක් ඉන්නවා උපුල් කියලා. එයා පහුගිය දවසක මහින්ද චින්තනයේ (2005 දී නිකුත් කරපු 1 වෙනි මහින්ද චින්තනය) තියෙන ඉටු නොකරපු කරුණු රාශියක් (විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, පාර්ලිමේන්තු ක්‍රමය ශක්තිමත් කිරීම, උසස් අධ්‍යාපන ප්‍රතිපත්ති වගේ දේවල් ගොඩාරියක් ) ෆොටෝස් විදිහට මූණුපොතට එකතු කළා. 


මෙන්න ටික වෙලාවකින් MRට සහයෝගය පළකරන අය මේ ෆොටෝස් වලට දිගට හරහට බැනලා Comments කරනවා. අපිට තේරුනා MR ගෙ කට්ටිය හිතල තියෙන්නෙ මේවා මේ SF ගෙ පොරොන්දු කියල,ඒකයි මේ පලු යන්න බනින්නෙ කියල.ඉතින් අපිත් පූසො වගේ  ඉඳගෙන MRගෙ කට්ටිය ලවාම  මහින්ද චින්තනය ට හොඳටම බන්නවා ගත්තා. :D


MRගෙ කට්ටිය මහින්ද චින්තනය ගැන දක්වපු අදහස් වලින් තෝරාගත් අදහස් කීපයක් මේ.

[M = MR Supporters]
[S  = SF Supporters]

=====
මේවගේ කිසි විශේෂත්වයක් නෑ.ඕවා කියන්නෙ චන්දෙ වෙනකම් විතරයි.මේ වගේ පොරොන්දුනම් සිද්ධාලේප වෙද මහත්තයත් දුන්නා.
=====
S: මේ දේවල් ටිකම MR පොරොන්දු වුනොත් එයාට ඒවා කරන්න පුළුවන්ද? 
M: එයා එහෙම පොරොන්දු දීල නැහැ. දෙන්නෙත් නැහැ 
=====
මේවා මීට වඩා පැහැදිලි කළානම් නරකද?මේවා ප්‍රායෝගිකව කරන්න පුළුවන්ද?කොහොමද දන්නෙ නැහැ මේවා කරන්නේ
=====
දැනට තියෙන කොමිෂන් වලට අමතරව තවත් මේ වගේ ඒවා පත් කරන එක අලි මදිවට හරක් වගේ වැඩක් නේද?
=====
M: SF මේවා කරනවමයි කියන්නෙ කොහොමද ?
S:එතකොට M 100%ක් ෂුවර් එකටම කරනවමයි කියනවද මොනව හරි.
M:කවුරු කොහොම කිවුවත් MR අද වෙනකම් කරනව කියපු හැම දේම කරා.
S:කොහොමද එහෙම කියන්නෙ
M:මහින්ද චින්තනේ කියවල බලන්න එතකොට තේරෙයි
=====
මෙයා හදන්නෙ මෙතනට ජාතිවාදය දාලා මුස්ලිම් අයගෙ චන්ද කඩා ගන්න.
=====
ane machan... u ppl must b talking about SF.... patta joke he is... do u think it is possible to give mati promises as such... who on earth can provide free education to all... they must be talking about education Privatization then..... okatada positive kiyanne.
=====
මෙයා කතා කරන්නෙ හැම දේම ඉබේ පහළ වෙනවා වගේනෙ.ඕවා ඉතින් උපාසක අම්මලවත් විශ්වාස කරන්නෙ නැහැ. ඒ වුනාට උඹලා විශ්වාස කරනවනෙ
=====
දෙයි දෙයි, මේවා දෙයි. බලාගෙනම හිටපල්ලා
=====
S: මේකම MR කිවුවනම් හිනා වෙන්නෙ නැහැ නේද
M: MR මෙහෙම කරන්න බැරි දේවල් කියන්නෙ නැහැනෙ
=====
M: මේවා ටික හොයා ගත්තෙ  COMICS Book එකකින්ද ?
S: මේවා COMICS කියන්නෙ මොන පදනමකින්ද
M: COMICS වලට COMICS නොකියා පදනම් දාල වැඩක් තියෙනවද ?
=====

මේ කියන ෆොටෝ ඇල්බම් එක  මෙතනින් බලන්න. ඕකෙ මහින්ද චින්තනයට බැනල Commentsදාල තියෙන හැම කෙනාම මූණු පොතේදි MR ට සක්‍රීයව සහයෝගය දක්වන අය.සමහර අය හැම විනාඩි 5කට 10කටම සැරයක් විතර මොකක් හරි ෆොටෝ එකක්,ලින්ක් එකක් වගේ දාල ප්‍රචාරණයටත් දායක වෙනවා.


ඉතින් මම මේ කට්ටියගෙන් ඇහුවා මහින්ද චින්තනේ කියවල තියෙනවද කියලා.කට්ටියම කියවලත් තියෙනවලු.පහුගිය දවස්වල කට්ටියම පතුරු යනකම් බැන්නේ මහින්ද චින්තනයට කියලා ඔන්න දැන්වත් දැන ගනිත්වා!  :D



මේක හාස්‍යජනක දෙයක් වුනාට,අපේ රටේ ඡන්දදායකයො කොයිතරම් දුරට ප්‍රතිපත්ති මත පදනම් වෙලා එක්  එක් අපේක්ෂකයන්ට සහයෝගය දක්වනවාද කියල බලන්න මේ ක්‍රමය යොදල හොඳ Research එකක් කරන්නත් පුළුවන් වෙයි.

එක එක අය කියපු කතා - 01



[ 03 - Jan - 2009 ]


Friday, December 25, 2009

එක එක අය කියපු කතා

මේ දවස්වල හැම දෙනාම වගේ කතා වෙන්න ජනාධිපතිවරණය ගැන.මේ තියෙන්න ඒ ගැන එක එක අය කියපු කතා



එක්කෙනෙක් "පළමුවත් දෙවනුවත් තෙවනුවත් මවුබිම". ඒ කියන්නෙ රටට තුනයි , හතර වෙනියට තමයි හොරා කන්නෙ. අනිත් කෙනා "මට පෙර රට". ඒ කියන්නෙ රටට එකයි ඊලඟට මට. එතකොට කවුද වැඩියෙන් හොඳ ?


---------------------------------------------

"තාරුණ්‍යයට හෙටක්". ඒකත් අර බාලගිරි අද නෙවෙයි හෙට වගේද?

---------------------------------------------

"දෙවෙනි මෙහෙයුම", අපොයි එක මෙහෙයුමක් ඉවර වෙනකල් මෙච්චර කල් පටි තද කරගෙන හිටියා. තවත් එකක් පටන් ගත්තද? 


---------------------------------------------


SF = Swine Flue


---------------------------------------------


ජනාධිපති අපේක්ෂකයන්ගේ ඇඳුම සුදෝ සුදු කරවන රෙදි සෝදන කුඩු වර්ගය මොකක්ද?


---------------------------------------------


පිටි මිල අඩු කළේ අපිට කන්න නෙවෙයි. පෝස්ටර් අලවන්න පාප්ප හදන්න ඕනෙ හින්දා


---------------------------------------------


වැඩිපුරම සංවේදී කවුද කියලා දැනගන්නනම් දෙන්නවම කොනිත්තලා බලන්න වෙයි කවුද වැඩිම  සද්දෙන් ඌයි කියන්නෙ කියලා.


---------------------------------------------


A: සිරස සුපර් ස්ටාර් වලටත් පොදු අපේක්ෂකයෙක්ව දාන්න ඕනෙ
B: ඇයි  O/L වලට පොදු විභාග අපේක්ෂකයෙක් ? 
C: ඇයි පොදු විවාහ අපේක්ෂකයෙක් වෙන එකත් මරු වැඩේ


---------------------------------------------


මට ඔය පොදු අපේක්ෂක කම දුන්නානම් මම භාර ගන්නෙත් නෑ ප්‍රතිෂේප කරන්නෙත් නෑ.


---------------------------------------------


Generals Should contest for General Elections
Presidential Elections are for Presidents


---------------------------------------------


මහ රජතුමාගේ අපේක්ෂාව කුමක්ද?
සක්විති රජ වීම (සක්විති රණසිංහ ගැනයි මේ කියන්නේ)


---------------------------------------------


"දරු දැරියන්ගේ අපේක්ෂාව කුමක්ද?"

A: ටොෆී, චොකලට්, අයිස්ක්‍රීම්, සෙල්ලම් බඩු
B:දරුවන්ගේ අපේක්ෂාවනම් දැරියක්. දැරියන්ගේ අපේක්ෂාව දැරියකගෙන්ම අහන්න ඕනෙ.
C:දරුවන් පොඩි කාලෙ අපේක්ෂා කරන්නෙ කාර්, දැරියොනම් බෝනික්කො හැබැයි ලොකු වුනාම දරුවො බෝනික්කො, දැරියො කාර්


---------------------------------------------

ලංකාවෙ මැතිවරණ හරීම නිදහස් හා සාධාරණයි

ලෝකෙ වංචනිකම මැතිවරණය ගැන මෙතනින් කියවන්න

[ 25 - Dec - 2009 ]

Friday, December 11, 2009

එකමත් එක රටක හිටිය හා පැටියගෙ කතන්දරේ



මේ ඉන්නෙ අපේ අක්කගෙ දෝණි බබා නවෝදා යි එයාගෙ හා පැටියා හැරී යි. හැබැයි මේ කතන්දරේ මේ හා පැටියා ගැන නම් නෙවෙයි, වෙන හා පැටියෙක් ගැන.

ඔන්න නවෝදා පොඩි කාලෙ එකමත් එක දවසක මම එයාට කතන්දරයක් කියල දෙන්න පටන් ගත්තා.  (එතකොට එයා මේ ෆොටෝ එකේ ඉන්නවාට වඩා චූටියි, මමත් එතකොට දැනට වඩා චූටියි ;-)

"ඔන්න එකමත් එක රටක හාවෙක් හිටියලු"
 
"ලොකු හාවෙක්ද ?"
 
"ඔව් ඔව් ලොකුම ලොකු හාවෙක්"
 
"එපා එපා පොඩි හාවෙක් ගැන කියන්න"
 
"ඒ හාවා කන්නෙ නැතුව ඉඳලා කෙට්ටු වෙලා හිටියෙ"
 (එයා කෑම කන්න හොර වෙනකොට අපි  කියනවා කන්නේ නැතුව හිටියොත් කෙට්ටු වෙලා පොඩි වෙනවා, එතකොට ඉක්මනට ලොකු වෙන්න බැරි වෙයි කියලා.  ) 

"නෑ නෑ පැටියා හාවෙක් ගැන අ... අ.. අ..  :'(  :'(  :'( "  

"ආ හරි, ඒ හාවා පොඩි පැටියා කාලෙ කතන්දරයක් කියන්නද?" 

"හා :D :D :D "

ඔයින් මෙයින් කියන්න ඕනෙ මොන වගේ හාවෙක් ගැනද කියලා එකඟතාවයකට ආවට පස්සේ මම කියන්න හිටපු  කතන්දරේ කියන්න පටන් ගත්තා. ඒ වෙලාවෙ මගේ හිතේ තිබ්බෙ අර "ලෝකෙ පෙරලෙනවෝ" කියල දුවපු හාවා ගැන කතන්දරේ. ඔය කතාවට ඉතින් ඕනෙ හාවෙක්වා දා ගන්න පුළුන්නෙ. මම ඉතින් හාවා කියල තියෙන තැන් වලට හා පැටියා කියලා ආදේශ කරලා කතන්දරේ කිවුවා. එයත් හොඳට අහගෙන හිටියා.

මෙන්න කතන්දරේ කියලා ඉවර වුනාට පස්සෙ බේරිල්ලක් නෑ. ඒ හාවා ලොකු වෙච්ච හැටියි කන්නෙ නැතුව ඉඳලා කෙට්ටු වෙච්ච හැටියි ගැනත් කියන්නලු. මමත් ඉතින් කිවුවෙ අර කන්නෙ නැතුව ඉඳලා කෙට්ටු වෙච්ච ලොකු හාවගෙම චූටි කාලෙ ගැන කතන්දරයක්නෙ. 

කොහොම හරි අන්තිමට කොහෙවත් හිටපු නැති හා පැටියෙක් ලොකු වෙනකනුයි කන්නෙ නැතුව කෙට්ටු වෙනකනුයි ගැන හිටිවන කතන්දරයක් කියන්න වුනා.

පොඩි අයට කතන්දර කියල දෙන්න යද්දි හරිම පරෙස්සමෙන් !


[ 11 - Dec - 2009 ]

Thursday, November 19, 2009

අනේ මාව හෝදන්න


අපේ ශිෂ්‍ය විවේක කාමරයේ (Graduate Students Lounge) තියෙනවා සුදුපාට ලියන පුවරුවක් (White Board). සාමාන්‍ය සිරිත තමයි කවුරු හරි ඒක පාවිච්චි කළොත් , පාවිච්චි කරලා ඉවර වුනාම ඒකෙ ලියපු දේවල් මකලා යන එක.

ඔන්න පහුගිය දවසක උදේ යනකොට කවුදෝ මන්දා බෝඩ් එක පිරෙන්නම මොනවාදෝ ලියලා ගිහින් . මකලා යන්න අමතක වුනාද , එහෙමත් නැත්තන් කාට හරි ඕනෙ වෙන දෙයක් හින්දා මකන්නෙ නැතුව තිබ්බාද දන්නෙ නැති හින්දා මම ඒක මකන්නෙ නැතුව ඒ විදිහටම තියෙන්න ඇරියා. හවස බලනකොට කවුදෝ ඒ ටික ඔක්කොම මකලා, බෝඩ් එකේ කොනකින් "Please Keep me Clean"කියලත් ලියල තිබ්බා. මටත් ඉතින් නිකං ඉන්න බැරුවට ඒකට යටින් සිංහලෙන් ලිවුවා "අනේ මාව හෝදන්න" කියලා.

මෙන්න බලන්න පහුවෙනිදා වෙනකොට වෙලා තිබ්බ වැඩේ..



[ 19 - Nov - 2009 ]

Tuesday, November 17, 2009

ස්වයංඝාතක ප්‍රහාරයක් ??



උපුටා ගැනීම . ලංකාදීප 15/11/2009

[ 17 - Nov - 2009 ]

Saturday, November 7, 2009

පනින්න පෙර සිතා බලනු !!!



නුඹේ චූටි බළල් අතින්
අනුන්ට කොස් ඇට බාන්න
වට පිට බලලා බලලා
බළලා මල්ලෙන් එලියට
පනීවිදෝ!!!
 
අහසෙ මාළිගා හදන්න
උඩ පැන්නොත් බිම වැටේවි
කොළඹ කොටුවෙ දුම් රිය පොළෙ
ගිණි ගානට ඩොලර් වලට
නුඹේ මසුත් අලෙවි වේවි!!!

ඤාව් ඤාව් ඤාව් <(~_~)>;


[ 08 - NOV - 2009 ]

Tuesday, October 27, 2009

අම්බරුවා යනු ?


 

අම්බරුවා යනු හරකාට ආදරයට කියන තවත් නමකි. පුන්නක්කු යනු අම්බරුවන්ගේ කෑමකි.

මැතිවරණ ප්‍රතිඵල වලින් ද වහුපැටව් මෙන්ම ගොන්නු ද ලංකාවේ බහුලව වෙසෙන බව පෙනී ගියේ ය. ඒ නිසා ආණ්ඩුව පරිප්පු සීනි ගෑස් මිල වැඩි කොට පුන්නක්කු හා පිදුරු මිල අඩු කළෝය.  
(Copied from Ranes comment here) 

ශ්‍රී ලංකා කුමාරයා (Prince Sri Lanka) ලියා තියෙන "මාධ්‍ය කරුවන්ගේ විහිළු" නමැති සටහන අම්බරුවන් පිළිබඳව මතකය යළිත් අවදි කර ඇත්තාහ.
කුමාරයාණෙනි ඔබතුමා  රජතුමාගේ බේබිතුමා වන බැවින් ඔබතුමා ප්‍රකාශයක් කරන්නේනම් වගකීමෙන් යුතුව කළ යුතු බව බය පක්ෂපාත සහිතව මතක් කර සිටිමි.

සෞඛ්‍ය සේවය වල පල්ලට යැවූ පහුගිය කාලය කොයි  කාලය දැයි මට නොහැඟේ? 2002 ට පෙර සිටියේ ෆවුසි ඇමති තුමාය. 2002 - 2004 කාලයේ සිටියෙ පී දයාරත්න ඇමති තුමාය. මේ ඇමති තුමන්ලා දෙදෙනාම දැන් නිළමේ තුමන්ලාය. ජනතාව අම්බරුවන් යැයි සිතන මුන් යනු කවුරුදැයි පැහැදිළි කර දෙත්වා. 

ආයුබෝ වේවා කුමාරයාණෙනි!!!


පසු සටහන:

අම්බරුවා කියන්නේ කමත් භාෂාවෙන් මී හරකාට කියන වචනයකි. සාමාන්‍ය හරකුන්ට සාමාන්‍යයෙන් අම්බරුවා කියන්නේ නැත. එහෙත් ජනතාවට ආදරේට හරකා කියනවානම් හරකාට ආදරේට අම්බරුවා කීමේ වරදක් නැත.

[ 27 - Oct - 2009 ]