Wednesday, June 30, 2010

කතන්දර කාරයාගේ පවුල රැකේ


දන්නවත් ඇතිනෙ මේ ළඟදි කතන්දර කාරයාගෙ ගෙදර පොඩි අවුලක් වුනාලු. හැබැයි දැන්නම් ඒ වලිය ශේප්ලු. රැවුලත් බේරාගෙන කැඳත් බේරාගන්නවා කියන්නේ මේ වගේ දේවල් වලටලු. 


නුඹ නාඬන් නුඹ නාඬන් 
මේවා නුඹට හොඳ පාඩම්
(අනුන්ට කතන්දර හදනවට)

[ 30 - Jun - 2010 ]

Real Time Unicode කොන්වර්ටරේ වැඩ කරන්නෙ නැත්තන් ~අතීතයෙන් අහුලන්න~




UCSC Real Time කොන්වර්ටරේ වැඩ කරන්නෙ නැත්තන් http://www.archive.org/ වලට ගිහින් ඒකෙ මැද තියෙන Text Box එකේ http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html ටයිප් කරලා Take Me Back කරන්න. ඊට පස්සෙ පරණ දවසක Archived page එකක් බලා ගන්න පුලුවන්. ඒ පිටුව HTML එකක් විදිහට SAVE කරගන්න. Off-line වැඩ කරන්න පුළුවන්

Cheers !


-මකර අධිරාජයාගෙන් පණිවිඩයක්-

[ 30 - Jun - 2010 ]

Tuesday, June 29, 2010

හාවෝ නයෝ සහ කුරුල්ලෝ


ලංකාවෙ අගනුවරට ජයවර්ධනපුර කියන නම ලැබුනේ කොහොමද කියලා දන්නවා ඇතිනෙ. සමහරුනම් කියනවා ජේ ආර් ජයවර්ධන ජනාධිපති සීයා තමන්ගේ නමෙන් ලංකාවෙ අගනුවර නම් කළා කියලත්. ඒ වුනාට ජයවර්ධනපුර කියන නම රජකාලෙ ඉඳන්ම තිබිලා තියෙනවා.

දියවන්නා නදිය අසළ තිබෙන ජයවර්ධනපුරය ගැන සැළලිහිණි සංදේශයේ වර්ණනා කරන්නෙ මෙහෙමයි.

පොහොසද්දන ඇති තුනුරුවන බැති   පෙමා
මුළුවද්දන සුරපුර පිරි සිරින්               හැමා
ජයවද්දන කැරුමෙන් සුසැදු තම          නමා
ජයවද්දන පුරවර දනු මිතුරු                තුමා

සැදි රත තඹර පෙළ රන තිසරුන්       රුවැති
විදි දිය දහර ලෙළ දෙන දිගු නරු        පටැති
රැඳි රළ රළැති හොය දියවන්නා        නමැති
ඇඳි පුර අඟන පටසළු සිරි රැපැයි           නිති

නයින් විසින් මුගටියන් පරාජය කරන, මුවන් විසින් දිවියන් පරාජය කරන මීයන් විසින් පූසන් පරාජය කරන ආදී ලෙස දුබලයන් විසින් ප්‍රබලයන් පරාජය කරන  ජය භූමියක් නිසා ජයවර්ධනපුරය  ඒ නමින් නම් කළා කියලයි කියන්නේ. 

පහළින් තියෙන වීඩියෝ දෙකේ තියෙන්නෙත් ඒ වගේ ජයභූමි. පළවෙනි වීඩියෝ එක අහිංසක හාවෙක් නපුරු නයෙක්ව පරද්දන දර්ශනයක්. දෙවෙනි වීඩියෝ එක අහිංසක කුරුල්ලො නපූඌඌරු සත්තු ජාතියක් පරද්දන දර්ශන පෙළක්.

 

සාමාන්‍යයෙන්නම් අපි දන්නේ නරියා සහ හාවාගේ කතානේ.  
ඒ වුනාට මේ කතාව නයා සහ හාවා

  

කුරුල්ලන්ගෙන් ප්‍රවේශම් වන්න !!!

[ 29 - Jun - 2010 ]

Thursday, June 3, 2010

චෞර බිළාල

 

අම්මෝ හොඳටෝම බඩගිනියි. බඩගින්න වැඩිකමටම මට ඉබේටම ඤාව් ගෑවුනා. 

ඊයෙ හන්දියෙ මස් කඩෙන් හොඳ මස් කුට්ටියක් අරගෙන ඇවිත් ඒකෙන් කටයි දෙකයි කන්න හම්බ වුණේ. නපූරු දඩෝරියෙක් බුරාගෙන ඇවිත් ඒක උදුරා ගත්තනෙ. දැන් දවස් ගාණකින් හරිහමන් කෑමක් නෑ. මාලු කඩේ පැත්තෙවත් ගිහින් බලන්න ඕනෙ කෑමට මොනව හරි හොයා ගන්න පුළුවන්ද කියලා. 

මුදලාලියි කඩේ කොළුවයි පොඩ්ඩක් එහා මෙහා වෙනකම් බලන් ඉඳලා හොඳ මාලු කූරියෙක්ව කටට ගත්තා විතරයි,

දඩෝං !

මගේ ඇස් නිලංකාර වුණා. "මෙන්න හොර බළලා, මූව මරන්න ඕනෙ". කඩේ කොළුවගේ අතේ තිබ්බ පොල්ලෙ ලොකු යන්තම් දැක්කා විතරයි, මම දුවපු දිවිල්ල  මටම හිතා ගන්න බෑ. අනේ ඒත් මම කටට ගත්ත මාලු කූරියා කොහේදිදො හැලිලා. කටට ගත්ත දේ ගිලගන්න මට වාසනාව නැති හැටියක්. ආපු පාර දිගේ ආපහු ගිහින් හොයලා බලන්න හිතුනත් ඔලුවට වැදිච්ච පාරෙ සැර මතක් වුනාම ඒ මාලු වලින් කමක් නෑ කියල හිතුනා. අනික පණ බයේ දුවපු දිවිල්ලට දුවපු පාර මතකත් නෑ.

හැබෑටම මම මේ කොහෙටද ඇවිත් ඉන්නෙ? මේ කන්ද පැත්තට මීට කලින් ඇවිල්ලම නෑ. අහල තියෙන විදිහටනම් ගමේ පන්සල තියෙන්නෙ මේ පැත්තෙලු. අහම්බෙන් ආපු එකේ පන්සල මොන වගේද කියල බලන්නත් කියල හිතාගෙන මම ඉස්සරහට ඇවිදගෙන ගියා 

අපොයි , වට පිට බල බලා ගියා මිසක් ඉස්සරහ බැලුවෙම නෑනෙ. හාමුදුරුවන්ගෙ කකුල් දෙක ගාවටම යනකම් දැක්කෙ නෑ. දුවන්න කියලා ආපහු හැරුණත් මොකක්දෝ එකක් හින්දා මම නැවතුනා. මම බයෙන් බයෙන් බයෙන් හාමුදුරුවන්ගේ මූණ දිහා බැලුවා. වෙන මිනිස්සුන්ගෙ වගේ නපුරු පාටක් තිබ්බෙ නැති හින්දා වෙන්න ඇති මට දුවන්න හිතුනේ නෑ. එතකොට තමයි මම හිතන්නෙ හාමුදුරුවො මාව දැක්කෙ.

"අනේ , පූසෙක් , කෑම නැතුව වෙන්න ඇති හොඳටම කෙට්ටු වෙලා. පොඩි නම... මෙන්න පූසෙක් ඇවිත් ඉන්නවා. ඉතුරු වෙලා තියෙනවනම් දානෙ ටිකකුයි කිරි ටිකකුයි දෙන්න"

මට අදහා ගන්නත් බැරි වුණා. මෙච්චර කාලෙකට හැමෝම මට ගහල බැණලා පැන්නුවා මිසක් කවුරුවත්ම මට මෙහෙම කරුණාවෙන් කතා කරලා නෑ, කෑම දීලත් නෑ . "කිටී, කිටී" කියල පොඩි හාමුදුරුවො මට කතා කරා.හොර බළලා කියලා මිසක් මේ වගේ ලස්සන නමකින් කවුරුවත් මීට කලින් මට කතා කරලම නෑ. 

පොඩි හාමුදුරුවො අනලා දීපු බත් ටික මම කාගෙන කාගෙන ගියා. කිරි ටිකත් අන්තිම බින්දුවටම ලෙව කෑවා. හම්මේ දවස් ගානක් තිස්සෙ තිබ්බ බඩගින්න දැන් තමයි නැති වුනේ. හොඳ නිදිමතකුත් ආවා.

මට කොච්චර වෙලා නින්ද ගිහින් තිබුණද දන්නෙ නැහැ. ඇහැරෙනකොට කළුවර වැටෙන්නත් කිට්ටුයි. ලොකු හාමුදුරුවොවත්, පොඩි හාමුදුරුවොවත් පේන්න හිටපු නැති හින්දා මම පොඩ්ඩක් එහා මෙහා ඇවිදලා බැලුවා.

ශාලාවක මිනිස්සු ගොඩාක් බිම වාඩි වෙලා ඉන්නවා. ලොකු හාමුදුරුවො පුටුවක වාඩි වෙලා මොනවදො කියනවා. හාම්දුරුවො කියන්නෙ මොනවද කියල  අහන්න හිතුණු හින්දා මම ඒ පැත්තට ගියා. වෙනදට මිනිහෙක් දැක්කත් බයේ ගැහෙන මට අච්චර මිනිස්සු ගොඩක් දැකලත් බය හිතුණෙ නැති එක තමයි පුදුමෙ. මම අයිනෙන් ගිහින් හාමුදුරුවො ඉස්සරහම, වාඩි වුණා. මට ඕනෙ වුණේ හාමුදුරුවන්ව හොඳට පේන තැනක වාඩි වෙන්න. හාමුදුරුවොත් මාව දැක්කා.

"ආ මෙන්න බළල් උපාසක මහත්තයෙකුත් ඇවිත් ඉන්නෙ  බණ අහන්න, බොහොම හොඳයි"

"පිංවතුනි , උපාසක කියන්නෙ පංච ශීලය ආරක්ෂා කරන කෙනෙකුට.අපි දැන බලමු මොකක්ද මේ පංචශීලය කියන්නෙ කියලා, පාණාතිපාතා ...."

අද දවසෙ වෙච්ච දේවල් ඔක්කොම චිත්‍රපටියක් වගේ මට මැවිලා පෙණුනා. මාලු කූරියෙක්ව හොරෙන් ගන්න ගිගින් ගුටි කාලා පණ බේරා ගන්න දුවපු දිවිල්ල, ඊට පස්සෙ අහම්බෙන් මෙතනට ආපු හැටි. ඊට පස්සෙ වෙච්ච් අමුතු දේවල්, මටම හිතා ගන්න බෑ. හරිම පුදුමයි.

"පිංවතුනි, අදින්නාදානා වේරමණී , කියන දෙවන සිල් පදයෙන් කියවෙන්නේ , මම අනුන්ගේ දේවල් හොරකම් කරන්නේ නෑ කියන එක, හොරකම් කරන කෙනාට මෙලොවත් පරලොවත් දෙකේදිම දුක් විඳින්න සිද්ධ වෙනවා."

මේ කියන්නේ මම ගැන නේද කියලා කියලා මට හිතුනා. ඇත්ත තමයි හොර කකා ගතකරපු ජීවිතේදි මම නොසෑහෙන්න දුක් වින්දානෙ. කෝ  වෙන කල්පනාවක හිටපු හින්දා අර සිල්පද පහෙන් පළවෙනි එක අහගන්න බැරි වුණානෙ. ඉතුරු ටිකවත් හරියට අහගන්න ඕනෙ.

හාමුදුරුවො ඉතුරු සිල්පද ටිකත් එකින් එක පැහැදිළි කළා. ඉතුරු සිල්පද ටිකනම් මටත් යස අගේට ආරක්ෂා කර ගන්න පුළුවන්නෙ. හොරකම් නොකර හිටියානම් මටත් යස අගේට උපාසකයෙක් වෙන්න තිබ්බා. 

"පිංවතුනි, මේ සිල්පද පහ ආරක්ෂා කරන හොඳ උපාසකයෙක් වෙන්න අධිෂ්ඨාන කරගන්න. එයින් ඔබේ මෙලොව සහ පරලොව දෙකේම ජීවිත සැපවත් වෙයි"

අනේ මට අර පළවෙනි සිල්පදේ හරියට අහගන්න බැරි වුණානෙ.ඒක මොකක්ද දන්නෙ නෑ. මිනිහෙකුට වගේ කතා කරන්න පුළුවන්කම තිබ්බනම් ඒක මොකක්ද කියල ආපහු කියන්න කියලා හාමුදුරුවන්ට කියන්න තිබ්බා :'( . කමක් නෑ මම අද ඉඳන් හොරකම් කරන්නේ නෑ. මමත් අද ඉඳන් සිල් පද හතරක් ආරක්ෂා කරන උපාසක බළලෙක් වෙනවා. මම අධිෂ්ඨාන කර ගත්තා.

"සාදු සාදු සාදු !!!. ඤාව් ඤාව් ඤාව් !!!"

මිනිස්සුන්ගේ  සාදුකාරයට මමත් මට පුළුවන් විදිහට එකතු වුණා.

[ 04 - Jun - 2010 ]

Tuesday, June 1, 2010

චෙස් ක්‍රීඩාවේ මාලු-මාලු සටන



චෙස් ක්‍රීඩාව ගැන යන්තමින් හරි දන්න හැමෝම දන්නවා ඇති ඒකෙ ඉන්න අශ්වයො ගැන. චෙස් ක්‍රීඩාවෙදි ශ්‍රීමත් නයිට්වරුන්ව අශ්වයන්ට අන්දලයි තියෙන්නෙ. චෙස් ක්‍රීඩාවේ පූර්වජයා වන චතුරංග ක්‍රීඩාවෙනම් අලියොත් ඉන්නවා. ඒ විතරක් නෙවෙයි මූලික ප්‍රවේශන ශෛලීන් (Openings) රාශියකුත් විවිධ සත්තුන්ගේ නම් වලින් නම් කරලා තියෙනවා ( See here ). මෑත කාලයේදී චෙස් ක්‍රීඩාව ආක්‍රමණය කරපු අලුත්ම සතා තමයි මාලුවා.

එක මාලුවෙක් නෙවෙයි මාලු දෙන්නෙක්ම කරට කර සටනක නිරත වෙලා ඉන්නෙ. මෙයින් එක මාලුවෙක්නම් හරි ගණන්. අනිත් මාලුවනම් නොමිලේ අල්ලා ගන්න පුළුවන්.

දැනට ලෝකයේ තියෙන ප්‍රබලම Chess Engine දෙකම නම් කරල තියෙන්නෙ මාලුවන්ගෙ නම් වලින්. වාණිජ නිෂ්පාදනයක් වන Rybka කාලයක් තිස්සේ ලෝකෙ හොඳම Chess Engine එක ලෙස කිරුළු පැළඳගෙන ඉන්නවා. චෙක් ( Czech Republic ) සහ පෝලන්ත භාෂා දෙකෙන්ම Rybka කියන්නෙ චූටි මාලුවාට. මේ පුංචි මාලුවාත් එක්ක කරට කර සටනක යෙදිලා ඉන්න වේලපු මාලුවා ( StockFish ) තනිකරම FOSS නිෂ්පාදනයක්.  මේ මාලු යාලුවො දෙන්නාගේ තරඟකාරීත්වය ගැන ප්‍රමාණාත්මක සංසන්දනයක් මෙතනින් බලන්න පුළුවන්.

පසුගිය අප්‍රේල් 24 සිට මැයි 11 දක්වා පැවැත්වුණු ලෝක චෙස් ශූරතාවයට සමගාමීව පැවැත්වුණු අන්තර්ජාල සජීව සංවාද මණඩප වලට StockFish Engine එකේ නිර්මාතෘවරයෙක් වන  Joona Kiiski ඇවිත් හිටියා. Chess Engines සඳහා CUDA තාක්ෂණය යොදා ගැනීමේ හැකියාව ගැන මම ඔහුත් සමඟ සංවාදයක් පැවැත්වුවා. ඒ අතරේ මම නිකමට වගේ ඇහුවා ලෝකෙ හොඳම Chess Engines මාලුවො වුණේ ඇයි කියලා.

ඔවුන්ගෙන් සමහරෙකුට ඕනෙ වෙලා තිබිලා තියෙන්නෙ ඔවුන්ගෙ Engine එක Bobby Fischer වෙනුවෙන් නම් කරන්න. Bobby Fischer තමයි පසුගිය සියවසේ වඩාත්ම ආන්දෝලනාත්මක පුවත් මවපු චෙස් ක්‍රීඩකයා. ඒ අතරේ ඔවුන්ගේ ප්‍රධානම ප්‍රතිවාදියා චූටි මාලුවා හින්දා ඒකටත් ඇනුම්පදයක් විදිහට වේලපු මාලුවා Stock-fish කියන නම යොදා ගන්න තීරණය කළා කියලයි ඔහු කිවුවේ. ඔන්න ඔහොමයි මාලුවො චෙස් ලෝකය ආක්‍රමණය කළේ!

[ 01 - Jun - 2010 ]


Thursday, May 27, 2010

දුක්ඛ සත්‍යය පටලවා ගැනිල්ල




කශූගෙ බුද්ධාගම පාඩමේ කතන්දරේ කියෙවුවම මට වෙන්න ගිය අකරතැබ්බයක් මතක් වුනා.  මේ වෙසක් කාලෙ හුදී ජනයාගේ බුද්ධාලම්බන ප්‍රීතිය වැඩි කරවන්න ඒ කතන්දරේ ලියන එක සුදුසුයි කියලා හිතුනා. 

කශූගෙ කතන්දරේට හසිත දාල තියෙන කොමෙන්ට් එකේ හැටියටම තමයි ඒ කාලෙත් වැඩ සිද්ධ වුනේ. පාලි ගාථා වල තේරුම ග්‍රීක් වුනාට ගිරවෙක් වගේ ගාථා කටපාඩමෙන් කියන්න පුළුවන්කම තමයි පොර ළමයෙක් වෙන්න ඕනෙ වුනේ.

ඔන්න ඉතින් එක්තරා කාලයක එක්තරා වාර විභාගයක් සමයේ මකර අධිරාජයා වන මම බුද්ධධර්මය ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලියනා කල්හි මෙවන් පැණයක් මතු විය.

ප්‍රශ්නය: දුක්ඛ ආර්ය සත්‍යයේ අඩංගු කරුණු ලියන්න ?

ඕක ඉතින් මහ ලොකු ප්‍රශ්නයක්යැයි. ඉපදීම, ජරාවට පත්වීම , ලෙඩවීම ....ඔහොම ලැයිස්තුවක්නෙ තියෙන්නෙ. දඩ බඩ ගාලා කටපාඩම් කරගෙන තිබ්බ ලැයිස්තුවම ලියලා දැම්මා.

ඒ කාලෙ දැන් වගේ නෙවෙයි. ප්‍රශ්න පත්තරේකට උත්තර ලියලා තව පාරක් කියවලා හරි වැරදි බලන්නත් කාලය ඉතුරු වෙනවා. දැන් ඉතින් අපි වයසට ගිහිල්ල හින්දා හරි වැරදි බැලිල්ල කෙසේ වෙතත් අහල තියෙන ප්‍රශ්න වලට උත්තර ලියා ගන්නවත් කාලෙ මදි (වයසට යාම දුකකි ) 

ඔන්න ඉතින් මම උත්තර පත්තරේ ආපහු මුලක ඉඳන් කියව කියව හරි වැරදි බැලුවා. මෙන්න බොලේ එක තැනක මේ මගේ අත් අකුරෙන්ම ලියල තියෙනවා 

"ඉපදීම දුකකි, බුදුවීම දුකකි, පිරිණිවන්පෑම දුකකි"
 
හෆොයි ඉපදීම , පිරිණිවන්පෑම නම් දුක් වෙන්න පුළුවන්. ඒත් බුදුවීම දුකක් වෙන්නෙ කොහොමද ?

වහාම පෙරළලා බැලුවා ප්‍රශ්න පත්තරේ. ප්‍රශ්නය: දුක්ඛ ආර්ය සත්‍යයේ අඩංගු කරුණු ලියන්න ?. ඕකට ලියන්න ඕනෙ උත්තරේ මගේ දිව අගම තිබුණා. මට හොඳට මතකයි උත්තරේ පටන්ගන්නෙ ඉපදීම කියන වචනෙන් කියලා. ඒත් කොච්චර උත්සාහ කළත් මට මතක් වුණේම ඉපදීම, බුදු වීම , පිරිණිවන්පෑම කියන තුන. අන්තිමට කොහොම හරි ස්ථානෝචිත ප්‍රඥාව යොදලා අර මතක තිබ්බ ඉපදීම කියන වචනෙයි සතර පෙරනිමිති වලින් තුනකුයි දාල බාග උත්තරයක් ලිවුවා. හොඳ වෙලාවට පැවිදිවීම දුකක් කියලා නොලියන්න තරම් සිහි කල්පනාව තිබ්බා. අර බුදුවීම දුකකි කියලා ලියපු එක ,මොකක්ද ලියලා තියෙන්නෙ කියලා හොයා ගන්න බැරි වෙන්න කුරුටු ගාලා දාන්නත් අමතක කළේ නෑ.

කොන්ෆියුසිස් පඬිතුමාගේ ප්‍රසිද්ධ කියමනක් තියෙනවා 
.
I hear and I forget. 
I see and I remember. 
I do and I understand.
.
කියලා. 

ඒ දවස්වල විභාග අරමුණු කරගෙන කටපාඩම් කරපු දුක්ඛ ආර්ය සත්‍යය ඇත්තටම සත්‍යයි කියලා දැන් දැන් තමයි තේරෙන්නෙ. උදාහරණයක් විදිහට ලෙඩවීම (ඉස්කෝලෙ යන්න කම්මැලි කමට දා ගන්න බොරු ලෙඩ නෙවෙයි ) දුකක් කියලා තේරුම් ගන්නනම් ඒ අත්දැකීම ලබන්නම ඕනෙ. 

බුදුරජාණන් වහන්සේට චතුරාර්ය සත්‍යය තමන් විසින්ම අවබෝධ කරගන්න සාරාසංඛ්‍ය කල්ප ලක්ෂ ගාණක අත්දැකීම් ඉවහල් වෙන්න ඇති. බුද්ධත්වයට පත්වෙන්න පාරමිතා පුරන්න ඕනෙ කියන්නෙ ඒ අත්දැකීම් ලබා ගන්න වෙන්න ඇති.  

[ පාරමිතා සම්පූර්ණ කිරීම ගැන මම මීට කලින් ලියපු අදහසක් මෙතනින් කියවන්න. ]

ඔබ සැමට චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීමට හැකි වේවා!!!
ප්‍රීති වෙසක් !!!



[ 27 - May - 2010 ]

Thursday, May 20, 2010

මෙදා පොටෙත් E-කේක්



කේක් සඳහා අනුග්‍රාහක දායකත්වය : 
රුවන්තිකා කුමාරි

ඔන්න හැමෝම ඇවිත් කේක් කෑල්ලක් කාලා යන්න

ගිය අවුරුද්දෙ කේක් එකත් තවම ඉතුරුයි. 
කෑවෙ නැති අය මෙතනින් ගිහින් කන්න

[ 20 - May - 2010 ]

Monday, May 3, 2010

මේ ජීවන කතරේ - සැප දුක සමබර වේ !!!



"බල්ලෝ අපිට හරිම කීකරුයිනේ. බල්ලා අපිව සලකන්නේ උන්ගේ ස්වාමියා කියලා. ඒත් පූසගෙන් කවදාවත් එහෙම සැළකිලි බලාපොරොත්තු වෙන්න එපා. ගෙදර පූසා කොහොමත් ඉන්නේ ගෙදර උගේ, ඌ අපිට ගේ රෙන්ට් එකට දීලා වගේනේ... නැද්ද මං අහන්නේ...

මම ලියපු " ලංකාවට පූසො ගෙනාවෙ කවුද ? "  කියන ලිපියට පැතුම් පුංචිහේවා සහෝදරයා දක්වපු අදහසක් ඒ. ඔය උඩින් තියෙන පින්තූරෙ බැලුවම ඒ කතාවෙ ඇත්තක් නැත්තෙත් නෑ කියල හිතෙනවා.

හැබැයි ඉතින් සමහර අය කිරි, මාලු ඔලු වගේ දේවල් දීල පූසට රෙන්ට් එක ගෙවනවට අමතරව පූසන්ගෙන් වැඩිපුර ලකුණු දාගන්න කියලා අමතර සැළකිලිත් දක්වනවා. හැබැයි ඉතින් ඒ වැඩි සැළකිලි දක්වද්දි පූසන්ගෙ පැත්තෙන් හිතන්නෙ නැති එක තමයි වැරැද්ද. ඇල්බට් අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයට අනුවනම් මේ වගේ අවස්ථාවකදි පූසගෙ නිර්දේශ රාමුවට සාපේක්ෂව තමයි බලන්න ඕනෙ. එහෙම කළේ නැති වුනාම වෙන දේ පේනවා නේද. (පහළ පින්තූරෙන් )


දිය පාරක් ලඟ යාන්තමට රත් වෙච්ච ගල් තලාවක දිගා වෙලා කකුල් දෙක වතුරෙ ඔබාගෙන ඉන්නකොට මාර සනීපයි. හැබැයි ඉතින් ඒ සැප ගල රත් වෙනකම් විතරයි.


[ 03 - May - 2010 ]

Wednesday, April 14, 2010

ආකිමිඩිස්ට වැරදුනාවත්ද ?



අමිලගේ මෙන්න මේ සිතුවිල්ල කියෙවුවාම ඉස්කෝලෙ යන කාලෙ ලීවර ගැන ඉගෙන ගනිද්දි කරපු අති පණ්ඩිත වැඩක් මතක් වුනා.

ලීවර මූලධර්ම පිළිබඳව මුලින්ම ගණිතානුකූල අධ්‍යයනයක් කළ පුද්ගලයා විදිහට සැළකෙන්නෙ ග්‍රීක ජාතික ගණිතඥ ආකිමිඩිස්. ලීවර වල බලසම්පන්න බව ගැන කියන්න ආකිමිඩිස් යොදාගත්ත ප්‍රසිද්ධ කියමනක් තමයි "මට හිටගෙන ඉන්න තැනක් දෙන්න, මම  පෘතුවිය  පෙරළන්නම් (ලීවර යොදාගෙන) " ["Give me a place to stand, and I shall move the earth."] .

අපිට ලීවර ගැන උගන්නපු ගුරුතුමා ඔය ප්‍රසිද්ධ කියමන ගැනත් අපිට කිවුවා. අපිටත් ඉතින් ඒ දවස් වල ඕනෙ නැති දෙයක් නෑනෙ. දවල් කෑම කන අතරෙ ආකිමිඩිස්ගෙ ඔය කියන කියමන ගැන අපි අතරෙ ලොකු විවාදයක් ඇති වුනා.  ආකිමිඩිස්ට ඉන්න තැනක් දීම, ඉල්ලන තරම් දිග පොල්ලක් දීම වගේ දේවල් කොහොමටවත්ම ප්‍රායෝගික නෑ. ඒත් අපි වාද කළේ ආකිමිඩිස්ට පය ගහගෙන ඉන්න තැනක් දුන්නත් , ඉල්ලන තරම් දිග පොල්ලක් දුන්නත් ඇත්තටම ආකිමිඩිස්ට පෘතුවිය පෙරළන්න පුලුවන්ද බැරිද කියලයි.  අවසාන තීරණය වුනේ ආකිමිඩිස්ට පෘතුවිය පෙරළන්න පුලුවන්ද කියලා ගණිතානුකූලව අධ්‍යයනය කරලා බැලීම. මෙන්න මෙහෙමයි අපේ ගණනය කිරීම් කලේ.

උපකල්පන: 

1. ආකිමිඩිස්ට ඉන්න තැනක් සහ අවශ්‍ය තරම් දිග සහ ශක්තිමත් පොල්ලක් තියෙනවා. 

2. පෘතුවිය පෙරළන ලීවරයේ ධරය විදිහට යොදා ගන්නේ චන්ද්‍රයා. (පෘතුවියට ළඟපාතින්ම හොයාගන්න පුළුවන් ගැළපෙන ප්‍රමාණයේ ධරය තමයි හඳ ).

3. ආකිමිඩිස්ට යෙදිය හැකි උපරිම බලය 100Kg ක බරකින් ඇතිවෙන බලයට සමානයි.

ඔන්න ඊළඟට ලොකු ප්‍රශ්නයක් ආවා. මේ ගණනය කිරීම කරන්න පොළොවෙ ඉඳන් හඳට තියෙන දුරයි, පොළොවෙ බරයි ඕනෙ. දැන් වගේ අන්තර්ජාල පහසුකම් තිබුණානම් පටස් ගාල Google Search එකක් දාන්න තිබ්බා. අපිට ඒ දවස් වල අන්තර්ජාල පහසුකම් නැති හින්දා පුස්තකාලයේ පොත් පෙරළලා පෙරළලා ඕනෙ කරන දත්ත හොයා ගන්න තුරු ගණනය කිරීම පහු වෙනිදාට කල් දාන්නත් වුනා.

ලීවර වල අඩු බලයක් යොදන පැත්තට පොල්ලෙ වැඩි දිගක් ඕනෙ. ඒ කියන්නෙ 10Kg බලයකින් 100Kg හොළවනවානම් 100Kg වල ඉඳන් ධරයට තියෙනවා වගේ 10 ගුණයක් දුරක් 10Kg ඉඳන් ධරයට තියෙන්න ඕනෙ.  ඉතින් පෘතුවියේ සුපිරි ස්කන්ධයයි අකිමිඩිස්ට යොදන්න පුළුවන් කියලා උපකල්පනය කරපු දුප්පත් 100Kg බලයයි පොළොවෙ ඉඳන් හඳට තියෙන දුරයි  දාලා ගාණ හදලා බැලුවාම ආකිමිඩිස්ට දෙන්න ඕනෙ පොල්ලෙ දිග කිලෝමීටර් කෝටි ප්‍රකෝටි ගාණක උත්තරයක් ආවා. ඒ උත්තරේ හාෆ්ෂීට් පිටුවක් පුරා ලිවුවා මතකයි.


දැන් ඊළඟ ප්‍රශ්නෙ. ලීවර වල වැඩි බලයක් තියෙන පැත්ත පොඩි දුරක් ගමන් කරවන්න අඩු බලයක් තියෙන පැත්ත වැඩි දුරක් ගමන් කරවන්න ඕනෙ  (උඩින් තියෙන රූපෙ බලන්න).  ඉතින් පෘතුවිය සෙන්ටිමීටරයක් හොල්ලන්න ලීවර පොල්ලේ ආකිමිඩිස් අල්ලගෙන ඉන්න පැත්ත ගමන් කරවිය යුතු දුර තවත් හාෆ්ෂීට් පිටුවක් පුරා ලියවුනා. ආකිමිඩිස් ඉල්ලන්නේ හිටගෙන ඉන්න තැනක් . ඒත් ආකිමිඩිස්ට එකතැන හිටගෙනනම් ඒ තරම් දුරක් ලීවරයේ තමන් අල්ලගෙන ඉන්න කොන ගමන් කරවන්න බැහැ. ඉතින් අපි එකඟ වුනා ආකිමිඩිස්ට ලීවර පොල්ල අල්ලගෙන අභ්‍යවකාශයේ ගමන් කරන්න අවසර දෙන්න.

ඊළඟට අපි ගණනය කරලා බැලුවා ඒ දුර යන්න ආකිමිඩිස්ට කොච්චර කාලයක් ගත වෙනවාද කියලා. ලීවර පොල්ල අල්ලගෙන ආලෝකයේ වෙගයෙන් දිවුවත් ඒ දුර ගමන් කරන්න සාමාන්‍ය මිනිහෙක්ගෙ ජීවිත කාලයේදී බැරි බව  අපිට ආපු උත්තරෙන් පෙණුනා. ආකිමිඩිස් කියන්නේ මහළු කෙනෙක් හින්දා ඒ දුරෙන්  පොඩිම පොඩි කොටසක්වත් ආකිමිඩිස්ට යා ගන්න බැරි වෙයි කියලා අපි එකඟ වුණා. ඒ විතරක් නෙවෙයි අපි උපකල්පනය කරපු 100Kg බලයක් ආකිමිඩිස් වගේ මහළු කෙනෙක්ට යොදන්න පුළුවන්ද කියන සැකයත් මතු වුණා.  අවසාන නිගමනය වුණේ ඉල්ලන දේවල් ඔක්කොම දුන්නත් ආකිමිඩිස්ට පෘතුවිය සෙන්ටිමීටරයක්වත් හොල්ලන්න බැරි බවයි.

ඉතින් අපි වීරයො වගේ ගිහින් අපේ මහා සොයාගැනීම අපේ ගුරුතුමාට විස්තර කළා. ගුරුතුමාත් අපේ ගණනය කිරීම් , තර්කන ඔක්කොම හිනා වෙවී අහගෙන ඉඳලා අන්තිමට කිවුවා "කියන්නා කෙසේ කිවුවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි" කියලා කතාවක් තියෙනවා කියලා දන්නවා නේද? කියලා.

අලුත් අවුරුද්දේ නිවාඩු පාඩුවෙ ඉන්න වෙලාවෙ වෙන කරන්න වැඩකුත් නැත්තන් හාෆ්ෂීට් 4 5කුත් අරගෙන ගණන් හදලා බලන්න ආකිමිඩිස්ට පොළොව සෙන්ටිමීටරයක්  හොල්ලන්න කොච්චර කල් යනවද කියලා. ඕනෙ කරන ඔක්කොම දත්ත Google ගෙන් අහන්න.

ඔබ සැමට
කිරි ඉතිරෙන පැණි බේරෙන
සුභ නව වසරක් වේවා!

[ 14 - Apr - 2010 ]

Thursday, April 1, 2010

මහමැතිවරණය 2010- විද්‍යාත්මක ඇසින්



චාල්ස් ඩාවින් ඉදිරපත් කරපු පරිණාමවාදයේ  ස්‌වාභාවිකවරණය පිළිබඳ සංකල්පය අනුව පරිසරයට වඩාත්ම හොඳින් අනුවර්තනය විය හැකි ශක්තිමත් අය ඉතුරු වෙද්දී දුර්වලයන් විනාශ විය යුතුයි. ඒ වුනාට  අද ලෝකයේ සැළකිය යුතු පිරිසක් පිළිගන්න  ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සංකල්පය  ස්‌වාභාවිකවරණය පිළිබඳ සංකල්පයට පරස්පර විරෝධීයි. ප්‍රජාතන්ත්‍රවාදය මගින් දුර්වලයන් මෙන්ම ශක්තිවන්තයන්ද සමාන තත්වයේ ලා සැළකීම මගින් දුර්වලයන්ටත් නොනැසී සිටීමට අවස්ථාව ලබා දෙනවා. මෙය පරිණාමවාදයට අනුව ආපස්සට ගමන් කිරීමක්.

ලෝකයේ අනිත් රටවල් පටිසෝතගාමීව ගියාට කමක් නෑ. අපි අනුසෝතගාමී විය යුතුයි. ඒක නිසා වේගයෙන් පරිණාමය වෙන ශ්‍රී ලංකාවක් උදෙසා ඔබේ වටිනා චන්දයෙන් පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතරය ප්‍රජාතන්ත්‍රවිරෝධී කණ්ඩායමට ලබා දෙන්න.

- මෝඩයන්ගේ  දිනය වෙනුවෙන් මකර අධිරාජයාගෙන් පණිවිඩයක් -
 
[ 01 - Apr - 2010 ]