Wednesday, March 23, 2011

කොල්ලා, බල්ලා, කෙල්ල සහ පූසා පිළිබඳ අතිවිශේෂ මකර අධිරාජ කොමිෂම


පහුගිය අවුරුද්දෙ අන්තිම දවස් වල බවුවෙකුටයි මියවුවෙකුටයි පොඩි පොඩි  අකරතැබ්බ දෙකකට මුහුණදෙන්න සිද්ධ වුණා. මේ සිදුවීම් දෙකම ආසන්න වශයෙන් එක හා සමාන සිදුවීම් වුණත් ඒ අවස්ථාවන් වලදි බවුවයි මියවුවයි දෙන්නා හැසිරිලා තියෙන්නෙ හාත්පසින්ම වෙනස් ආකාර වලට. එක හා සමාන සිදුවීම් වලදී බවුවා සහ මියවුවා වෙනස් ආකාර වලින් හැසිරීමට හේතුව මොකක්ද කියල හොයල බලන්න ඒ දවස්වලම විමර්ශනයක් කරන්න හිතන් හිටියත් මකර අධිරාජයාගේ කාර්ය බහුලත්වය හින්දා ඒක පොඩ්ඩක් අතපසු වුණා. කොහොම වුණත් මේක තවදුරටත් කල් දාන එක සුදුසු නැති හින්දා ඒ විමර්ශන කටයුත්ත අති විශේෂ  මකර අධිරාජ කොමිෂමක් මගින් අද පටන් සිදු කරනු ඇති. 

මෙන්න මේ කියන සිදුවීම් දෙකේ සාරාංශය. 
========================

මේ කියන බවුවයි මියවුවයි දෙන්නම වලවල් වලට වැටිලා. මියවුවව ගොඩ අරන් තියෙන්නෙ කොල්ලෙක්. බවුවව ගොඩ අරන් තියෙන්නෙ කෙල්ලෙක්. කොල්ලාගෙ පිහිටෙන් ගොඩ ගිය මියවුවා ඒ කොල්ලාට ස්තූතියි කියන්නෙවත් නැතුව පැනල ගියාලු. හැබැයි බවුවනම් කෙල්ලගෙ අතත් ලෙවකාලා හැකි උපරිම ආකාරයෙන් ස්තූතිය ප්‍රකාශ කරාලු. 

මේ සිදුවීම් දෙක ගැන සම්පූර්ණ වාර්තා දෙකක් දිනුකගේ සහ චාමිගේ බ්ලොග් වල පළ වෙලා තිබ්බා. මේ තියෙන්නේ ඒ ලිපි දෙක.

1. මියවුවාගේ සිද්ධිය - http://blog.dinuka.com/2010/10/31/post831.htm
2. බවුවාගෙ සිද්ධිය - http://reargate.blogspot.com/2010/11/blog-post.html

මියවුවන්ගේ සහ බවුවන්ගේ මාධ්‍ය ප්‍රකාශකවරුන්ගෙන් මකර අධිරාජ කොමිෂම මේ ගැන අදහස් විමසුවා.

මියවුවන්ගේ මාධ්‍ය ප්‍රකාශක
================


ප්‍රශ්නය: 

අදාළ සිද්ධියේදී ස්තූති කිරීමක්වත් කරන්නෙ නැතුව මියවුවා පැනල ගිහින් තියෙනවා. මේ ක්‍රියා කලාපය ඔබ අනුමත කරනවද ?

පිළිතුර :

අපේ මියවුවා ඒ සිද්ධියේදී කටයුතු කරලා තියෙන ආකාරය සම්පූර්ණයෙන්ම අනුමත කරනවා. ඒ වගේම සමාන සිද්ධියකදී බවුවා කටයුතු කරල තියෙන ආකාරය සම්පූර්ණයෙන්ම හෙළා දකිනවා. බවුවා සම්බන්ධ සිද්ධියේදී අත ලෙවකෑම මගින් බවුවා විසින් ඒ තැනැත්තියව බරපතල ජලභීතිකා අවධානමකට ලක් කරලා තියෙනවා. ඒක ස්තූතිය ප්‍රකාශ කිරීමක් කියලා පිළිගන්න බෑ. අපේ මියවුවාගේ සිද්ධියේදී ඒ කියන තැනැත්තාව හූරන්නේ හෝ  හපන්නේ නැතුව හැකි ඉක්මනින් ඉවත් වීම තමයි ඉතාම නිවැරදි ක්‍රියා පිළිවෙත. බුද්ධිමත්ව කටයුතු කර මියවුවන්ගේ ගෞරවය ආරක්ෂා කළ අපේ මියවුවාට ස්තූති කරන ගමන් බවුවාගේ වගකීම් විරහිත ක්‍රියා කලාපය නැවත වරක් තරයේම හෙළා දකිනවා. ඔවූඌ ඤාව් !


බවුවන්ගේ මාධ්‍ය ප්‍රකාශක
===============



ප්‍රශ්නය: 

මේ සිදුවීමේදී බවුවා කටයුතු කරල තියෙන ආකාරය ඉතාම ප්‍රශංසනීයයි කියල බොහෝ දෙනක් කියනවා. ඒ වුනත් මියවුවන්නම් කියන්නේ බවුවා වගකීම් විරහිතව කටයුතු කළා කියලයි.

පිළිතුර : 

මේ සිද්ධියේදී අදාළ බවුවා කටයුතු කරල තියෙන්නෙ ඕනෙම බවුවෙක් කටයුතු කරන සාමාන්‍ය ආකාරයෙන්. එහෙම හැසිරෙන එක සාමාන්‍ය බලු ගතියක්. ඒ බවුවාගේ ක්‍රියාවේ විශේෂ ප්‍රශංශනීයත්වයක් හෝ වගකීම් විරහිත බවක් අපි දකින්න්නේ නෑ.

==

මේ පිළිබඳව අදහස් විමසන්න මියවුවන්ගේ මහජන පාර්ශවය නියෝජනය කරන ගඩොල් පූසෙක්ව සම්බන්ධ කරගන්න උත්සාහ කළත් ඒ උත්සාහය සාර්ථක වුණේ නෑ.

මේ පිළිබඳව ඔබේ නොමසුරු අදහස් කොමිෂම ඉදිරියේ ප්‍රකාශ කරන ලෙස සි‍යළුම කොල්ලන්, කෙල්ලන් බල්ලන් සහ පූසන් ඇතුළු සියළු සත්වයන්ගෙන්ම මකර අධිරාජයා ඉල්ලා සිටිනවා.  ස්තූතියි !

[ 23 - Mar - 2011 ]

26 comments:

priyantha said...

සිද්ධියට සම්බන්ධ මියවුවා හා බවුවා සම්බන්ධ කර ගැනීම සඳහා සතුන්ට අධිපති මකර අධිරාජයාගේ සහය පතමි. දෙදෙනාගේ ප්‍රකාශ වෙන වෙනම අවශ්‍යයිනේ. මොකද ඔය මාධ්‍ය ප්‍රකාශකලා කියන අමූලික ඇත්ත අරන් මදි වගේ...
සුභ දවසක් මකරාට..!!!

පූසා said...

ඇත්තෙන්ම මෙහිදී පූසාගේ ක්‍රියා කලාපය ප්‍රශංසනීයය. පූසන්ගේ මාධ්‍ය ප්‍රකාශකගේ කතාව සම්පූර්ණයෙන් නිවැරදිය. නමුත් ඔබ වැනි මකරක් පූසන් වැනි වැදගත් පරම්පරාවක සත්වයෙක්ව බල්ලෙකු හා සංසන්දය කිරීම පූසෙක් හැටියට මා දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකිමි.

Podi Kumarihami said...

මේ ප්‍රකාශනය කෙල්ලන් වෙනුවෙනි.

බවුවන්ගේ සාමාන්‍ය සිරිත එසේ අත ලෙව කෑම උනත්, එසේ හැසීරීමෙන් කෙල්ලන්ගේ හිතට සතුටක් ලැබෙනවා මිස (මෙය සිදුවන්නේ බවුවන් අත ලෙවකෑමෙන් පමනක් බව කරුනාවෙන් සලකන්න ) එම ක්‍රියාවේ වගකීම් පැහැර හැරීමක් කෙල්ලන්ට නම් කිසිසේත් පෙනෙන්නේ නැත.

පූසා ගොඩ ගත්තේ කෙල්ලක් විසින් නම් එම පූසාද මෙසේ හැසිරෙනු නියතය. පූසා කොල්ලා දුටු විගස බයේ (අප්පිරියාවේ??? මෙය පූසාගෙන්ම ඇසිය යුතුය ) දීවා මිස එය වගකීමෙන් යුතු හැසිරීමක් ලෙසින් නොදකිමි.

මෙය කොල්ලන් හා කෙල්ලන් නිසා සිදුවු දෙයක් මිස පූසන් හෝ බව්වන්ගේ හැසිරීමේ ප්‍රශ්නයක් ලෙස මට නම් පෙනෙනේ නැත.
ප්‍රකාශනය වෙනුවෙන් අත්සන් තබන්නේ පොඩ්ඩි කෙල්ල.

හරී - පිණිපළස said...

හි.... හි... මරු මරු !!!!

අලුත් කොල්ලා | The New Guy said...

ප්‍රකට (obvious) නිගමනයක් (conclusion) ලෙසින් පහත කරුණු දෑක්විය හෑක

1) මියවුවා කොල්ලන්ට කෑමති නෑත....
2) බවුවා කෙල්ලන්ට කෑමතිය..........

ඈත්ත වශයෙන්ම ගතහොත් මෙය මහ දෙයක් නොවේ.....

http://aluthkolla.blogspot.com

මාරයාගේ හෝරාව said...

අපි මෙහිදී මුලික විරෝධතාවයක් ඉස්මතු කරන්න කැමතියි..
මෙම සිද්ධිය සම්බන්ධව කටයුතු කිරීමට මකරාහට බලය පැවරීම යම් අකාරයක බවුවන්ගේ හා මියැව්වන්ගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් හැටියට පෙනෙන්නට ඇති නිසා පළමුව එම පවරා ඇති බලය ඉවත් කොට එය මධ්‍යස්ථ මතධාරී වෙනත් පාර්ශයකට පවරා දෙන් මෙන් මා විසින් ඉල්ලා සිටිනු ලබනවා...

Anonymous said...

වැදගත් පරීක්‍ෂණයක් කරල තියෙන්නේ.. මේක මාධ්‍ය ප්‍රකාශකවරුන්ගෙන් විතරක් ප්‍රකාශ ගන්නෙ නැතුව අදාල මීයව්වා සහ බල්ලා ඇතුලුව සිද්ධියට සම්බන්ධ එකී නොකී මෙකී පිරිස් වලිනුත් සාක්‍ෂි සටහන් කරගත්නම් නේද හොඳ?

(පොඩ්ඩීට කොල්ලන් ඇලජික් සෙයක් පෙනේ.. :p )

Buddhi said...

විමර්ශණ කටයුතු ආරම්භ කර ඇත.

හිස් අහස said...

මරේ මරු ... මෙන්න අපේ ගෙදර බිලාලයයි . බවුවයි දෙන්නම වලියක් පටන් අරගෙන .උං දෙන්නත් මෙක කියවලාද කොහෙද ?

charmi said...

මාරයා කිව්වා වගේ මේ කොමිසමේ විනිවිදබාවය බිංදුවයි. අනිවා මෙලහට පැන්ෂන් ගිය වයසක මකරෙක් ඕකට පත්කොරලා ඇති.
ඊට පස්සෙ විමර්ෂනේ කොරලා රහසිගත වාර්තාවක් මකර අධිරාජ්‍යයාට බාරදෙයි. ඕක ඉතිං සදහටම රහසක් විදිහට මකර හමස් පෙට්ටියේ තියෙයි.....
හැබැයි පොඩ්ඩි කෙල්ලගේ සාක්කියට ඔන්න මාත් එකඟයි.

charmi said...

ඔය මාධ්‍ය ප්‍රකාශකලා මොකද ඔච්චර ඔරොප්පු මූඩ් එකේ ඉන්නේ?

``` Outsider``` said...

මාධ්‍ය ප්‍රකාශකයො කොහෙත් ඉන්නෙ හොරගෙඩියො. ඒක නිසා මේක බල්ලගෙන් හා මීයවුවගෙන් අහන්න ඕනි කියල මටනම් වැටහුණා. කොහොම වුණත් සිද්ධියට මුහුන දුන් එකා ලෙස සැක කල හැකි එකෙක්ගෙන් අහල බැලුවම ඌ කිව්වෙ පැය ගාණක් වලේ ලැගල ඉද්දි ශරීර කෘත්‍ය අවශ්‍යතාවයක් දැඩිව දැණුන බවත් මේ කාළකණ්ණි කොල්ලා වල ගැට්ටෙ හිටපු නිසා වල ඇතුළෙ එය කරන්න බැරිවූ බවත්, ඉතින් ගොඩ ආපු ගමන් දිව්වේ ඒ වැඩේට බවත්ය.

සංකල්ප said...

මම නම් කියන්නේ බව්වගේ ක්‍රියා කලාපය නිවැරදියි කියලා. මම නිවරදි කියලා නම් දන්නේ නෑ. මහජනතාවගේ මතත් විමසලා බලන එක වටිනවා.

සරත් ලංකාප්‍රිය said...

හොඳ වෙලාවට ඔය දෙකම කැලණිය පැත්තේ සිද්ද නොවුනේ. එහෙම වුණා නම් ගෙවල් වල බල්ලෝ බළල්ලු හදල ඉවරය් ඔන්න !

Anonymous said...

මල කෙලියයි මහ රජ... මේ මකර අධිරාජයාණෙනි, ඉබ්බෙක් ලෙවකෑවොත් ගන්න පියවර මක්කෙයි?

Chanaka Aruna Munasinghe said...

@ priyantha

මියවුවාව සම්බන්ධ කර ගැනීමට මියවුවා ගොඩගත් කොල්ලා වන දිනුකවත්, බවුවාව සම්බන්ධ කර ගැනීමට බවුවා ගොඩගත් කෙල්ලගේ නිර්මාතෘ චමීවත් අමතන ලෙස දන්වා සිටිනවා. [ ඒ දෙදෙනාම පහතින් කොමෙන්ට් කර ඇත ]

============
@ පූසා

මකර අධිරාජයා කරන්නෙ මේ ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කිරීම පමණයි. මකර අධිරාජයාට එරෙහිව ඔබගේ පක්ෂග්‍රාහී ප්‍රකාශය ඉල්ලා අස් කර ගන්නා ලෙස දන්වා සිටිනවා.
============
@ Podi Kumarihami

කෙල්ලන් වෙනුවෙන් සාක්ෂි දුන්නට ඉස්තූතියි. බලමු කොල්ලන්ගෙ සාක්ෂිත් විමසලා

Chanaka Aruna Munasinghe said...

@ හරී - පිණිපළස

තැන්කූ
============
@ අළුත් කොල්ලා

මේ තියෙන්නෙ කොල්ලෙකුත් සාක්ෂි දීලා. දැන් සිද්ධියට සම්බන්ධ පාර්ශව 4න්ම කරුණු දක්වලයි තියෙන්නෙ. බලමු සිද්ධියට සම්බන්ධ නැති කට්ටියගෙ අදහසුත්

===========
@ මාරයාගේ හෝරාව

තාක්ෂණික අඩුපාඩු රාශියක් ඇති නිසා ඔබගේ මූලික විරෝධතාවය ප්‍රත්ක්ෂේප කළ බව දන්වා සිටිනවා

Chanaka Aruna Munasinghe said...

@ කාංචන දිනූක

ඔය කියන සියලු දෙනාටම සාක්ෂි දීම සඳහා කොමිෂම විවෘතයි . මියවුවා ගොඩ ගත් කොල්ලා විදිහට ඔබගේ සාක්ෂියත් ඉතාම වැදගත්.

===============
@ බුද්ධි

ස්තූතියි
===============
@ හිස් අහස

ඒ දෙන්නගේ අදහසුත් විමසලා කොමිෂමට දැනුම් දෙන්න

Chanaka Aruna Munasinghe said...

@ charmi

ඔබගේ විරෝධතාවය උපකල්පන මත පමණක් පදනම් වූ බව පැහැදිළිවම හැඟී යන බැවින් එය ප්‍රතික්ෂේප කරන ලදී. තවද බල්ලා ගොඩගත් කෙල්ලගේ නිර්මාතෘ වශයෙන් මේ වෙන අනන් මනන් නොකියා ඔබගේ අදහස් සිද්ධියට අදාලව කොමිෂම ඉදිරියේ ප්‍රකාශ කරන්නේනම් මැනැවි.

මාධ්‍ය ප්‍රකාශකල ඔය මූඩ් එකෙන් හිටියෙ නැත්තන් පත්තර කාරයො එක එක මෝඩ ප්‍රශ්න අහනවනෙ. ඒකයි ඔය
=====================
@ ``` Outsider```

ඔබගේ සාක්ෂිය අනුව මේ පිළිබඳව වැඩිදුර තොරතුරු මියවුවන්ගේ ශරීර කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් විමසීමට තීරණය කරන ලදී
====================
@ මධුරංග

මහජනතාව වශයෙන් ඔබේ මතය නොබියව ප්‍රකාශ කරන්න. කොමිෂම මිනිසුන් අතුළු සියළු සත්වයන්ටම විවෘතයි

Chanaka Aruna Munasinghe said...

@ Lankapriya

මීගමුව තියෙන්නෙ කැළණිය පැත්තෙ නෙවෙයිද ?
================
@ prasanna86k

ඉබ්බෙක් ලෙවකෑවොත් ඒ ලෙවකාපු තැන හම යනකං ඒ ඉබ්බාගෙම කටුවෙ අතුල්ලන්න ඕනෙ

Chanaka Aruna Munasinghe said...

@ All

පොඩ්ඩි කෙල්ලගෙයි අලුත් කොල්ලගෙයි සාක්ෂි දෙකත් හරියට නිකන් අර මියවුවන්ගෙයි බවුවන්ගෙයි මාධ්‍ය ප්‍රකාශකල දෙන්නාගේ සාක්ෂි වගේ නැද්ද ?

Hasitha Gunasinghe said...

ඔය කොමිසම්වල සාක්කි දෙන්න ගිහින් අපි තමා අමාරුවේ වැටෙන්නේ. අපි නැහැ ඔව්වාට :))

D.G.M බස්සා said...

මේකට පක්ෂියෙකුගේ සාක්කියකුත් දෙන්න පුළුවන්ද?

ඔය කියන දවසේ, මං හිටියෙ ඔය ගැරේජ් එක ලඟ දොරකඩ ගහේ. මං ඔය බලු තඩියව දන්නවා. මහ නෝන්ජල් හාදයා, කොච්චෝරවත් නකුට දෙප‍රැන්ද අස්සෙමයි.ඒ උනාට ඕකා හරි මනමාලයා. ඔය කෙල්ල එනවා දැකලා,ඕන කමින්මයි වලට වැ‍ටුනෙ. පස්සෙ මාත් එක්ක කිව්වා" හප්පේ එහෙම සනීපයක්. වලලු දාපු අතකින් මහේ බූල් කෝට් එක ඇල්ලුවත්, සැපා....යි" කියලා

BLOG ගඩොල් said...

හපොයි! මියැව්වන්ගේ මහජන පාර්ශවය මේ කොමිසම ගැන දැනගත්තෙ අද නොවැ!

කොහොමවුණත් මේ සිද්දියේදී මියැව්වා අනුගමනය කරපු ක්‍රියාමාර්ගය අපේ පාර්ශවයත් 100%ක්ම අනුමත කරනවා. අපි ඔය බව්වෝ වගේ එක එකාට දෙන්නේ නෑ නෙව. වැදගත් විදිහට තමයි අපේ වැඩ.

අනික ඔය පොඩි කුමාරිහාමි කියපු දේත් අපි හෙළා දකිනවා. මියැව්වෝ කොල්ලන්ට විතරක් නෙවෙයි, කෙල්ලන්ට දෙන්නෙත් නෑ. දෙන්නෑ කිව්වේ හිත හරිය?

Chanaka Aruna Munasinghe said...

@ Hasitha

පුරවැසියෙකුගේ වගකීම් පැහැර හැරීමක්
==============
@ D.G.M බස්සා

බස්සා ඕක දැක්කෙ දවල්ද?
===============
@ blog gadol

මියැව්වන්ගේ මහජන පාර්ශවයේ සාක්ෂිත් සටහන් කර ගත්තා. ඉදිරියේදී වැඩිදුර සාක්ෂි ඕනෙ වුනොත් දන්වන්නම්. ස්තූතියි

Unknown said...

කොල්ලන් පූසියන් ආදරේට ගොඩ ගත්තද කොල්ලන්ගේ ඇති ආදරයක් නැත කෑදරයක් මිස.ඒ බව දන්නා මියව්වා පැන ගියේ රෑ වැටුණ වල දවල් නො වැටෙමියි සිතාය.ඒ නිසා මියවුවා තැනට සුදුසු නුවණින් කටයුතු කර පූසියන්ගේ ගෞරවය හා නම්බුව ආරක්ෂා කොට ඇත.

කෙල්ලන්ගෙන් බල්ලන්ට කිසිදා අකටයුතු කම් නොවන බව දන්නා බල්ලෝ නිතරම කෙල්ලන්ගේ සියල්ල ලෙවකන්නට කැමැත්තේමය.ඒ න්‍යාය අනුගමනය කරමින් බව්වා අත ලෙව කෑමෙහි එතරම් ගත යුත්තක් නැති බව මගේ හැගීමයි.

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D