=====================
ඔන්න එකමත් රටක, පොඩි කැලයක්
අයිනේ ,පොඩි කඳු ගැට්ටක තිබුනු ගේ පොඩ්ඩක පොඩ්ඩි කියලා හුරුබුහුටි, කෙලි පොඩ්ඩක් හිටියලු එයාගෙ අත්තම්මත් එක්ක.
පොඩ්ඩිගේ ගේ ළඟ තිබ්බ කැලෑවෙ හිටියලු මුකලන් බස්සෝ,
පුංචි හා පැටික්කියෝ, සුදු පූසෝ, වල් ඌරෝ, මී මින්නු, බැටලුවෝ ..... වගේ අය ගොඩාආරියක් කට්ටිය . ඒ කැලෑවෙ හිටියලු නරියෙකුත්. මෙන්න මේ නරියා තමා
භයානකම සතා . හරිම කෆටිලු.
කැලෑව මැද විලේ හිටපු මකර පැටියා තමයි පොඩ්ඩි කෙල්ලගේ හොඳම යාලුවා. මේ දෙන්නා හැමදාම කැලැවෙ ඇවිද ඇවිද සින්දු කිය කියා නට නටා සෙල්ලම් කලා. හා පැටික්කියි සුදු
පූසායිත් මේ දෙන්නගෙ සෙල්ලමට එකතු වුණා
මුකලන් බස්සා මේ අයගෙ සෙල්ලම් බල බලා නට, නටා උඩින් පියෑඹුවා. මකර පැටියාගෙ බවුවත් මේ අය එක්ක හරි හරියට නැටුවා
ඇහැළ මලින් ගස් පිරිලා බලන්න හරි ලස්සනයි
අඹ රඹුටන් ජම්බු ඉදිලා අද හැම තැන හරි හැඩයි
මෙයාලා සෙල්ලම් කරද්දි හැමදාම නරි රාළ මෙයාලා දිහා බලා
හිටියා. එයාට ඕන උනේ කොහොම හරි පොඩ්ඩි කෙල්ලව අල්ලගන්ට. පොඩ්ඩි කෙල්ලව හුරතලේට එයා ගාව තියා ගන්න.
ඉතින් හැමදාම නටලා, නටලා, පොඩ්ඩි කෙල්ල ගෙදර එන්නේ හොඳටම හැන්දෑ වෙලා. ඔච්චර හැන්දෑ වෙනකම් කැලෑවෙ ඇවිදින්න එපා කියල අත්තම්ම අවවාද කළත් මේ නෝටි කෙළි පොඩ්ඩ ඒක කණකටවත් ගත්තෙ නෑ. බලන් ඉන්ට බැරි තැන එක දවසක් අත්තම්මා
එයාට කෑගැහැව්වා. " උඹව කවදා හරි අර කැලේ ඉන්න
නරි රාළට දෙනවා කැලේටම වෙලා ඉන්න" . ගේ අද්දර කැලේට වෙලා හිටපු නරි රාළට මේක ඇහිලා
හරි සතුටු හිතුනා. මිනිස්සු බොරු නොකියන කොටසක් බව තමයි නරි රාළ හිතුවේ.
පොඩ්ඩි ඉතින් පොඩි හන්දා මේ මුකුත්
තේරෙන්නෙ නැනේ. එයා පහුවදාත් ගියා කැලේට. එදා මකර පැටියාට හොඳටම හෙම්බිරිස්සාව. කිඹුහුම් යවනකොට නහයෙන් ගිනි බෝල පිට වෙනවා. ඉතින් එදා මේ අයට සෙල්ලම් කරන්න බැරි වුණා. හා පැටික්කි කැරට් අහුලන්න කියල ගියා. සුදු පූවා සමනල්ලු බලන්න ගියා. පොඩ්ඩි කෙල්ල මකර පැටියට මල් කඩල දෙන්න හිතාගෙන ගඟ අද්දරට ගියා.
පොඩ්ඩි කෙල්ල තනියම ඉන්නවා දැකපු නරි රාළ පොඩ්ඩි කෙල්ල ගාවට ගිහින් කිවුවා "ඔයාගෙ අත්තම්මා කීවා ඔයාව මට දෙනවා කියල. යමු මාත් එක්ක". පොඩ්ඩි කෙල්ල පොඩි නිසා නරියා කියපු කතාවට රැවටුණා. අත්තම්මත් කිවුවනෙ නරියට දෙනවා කියල. එයා නරියා එක්ක නරි ගුහාවට ගියා.
රෑ බෝ වීගෙන එද්දි පොඩ්ඩි කෙල්ලට බය හිතුණා. එයා කවදාවත් එච්චර රෑ වෙනකම් කැලේ ඉඳල නෑ. පොඩ්ඩි කෙල්ලට අත්තම්මව මතක් වුණා. "මට ගෙදර යන්න ඕනෙ, මට අත්තම්මව ඕනෙ" පොඩ්ඩි කෙල්ල අඬන්න පටන් ගත්තා. "බෑ බෑ එහෙම යන්න දෙන්න බෑ" නරි රාළ සැර දැම්මා . පොඩ්ඩි කෙල්ලට කවුරුවත් එහෙම සැර දාල නෑ. පොඩ්ඩි කෙල්ල ඉකි ගගහ අඬන්න පටන් ගත්තා.
නරි රාළ පොඩ්ඩි කෙල්ලව නළවන්න හිතාගෙන සින්දුවක් කියන්න පටන් ගත්තා.
" හඳ පායන කල ගඟ බඩ ඉඳගන නුඹෙ හිස
පීරන්නම්...නුඹෙ හිස පීරන්නම්..
කෙහෙල් මුහ.. අ.. අ... අ.... සහ
රොස් පරිප්පු සමගින් බත් උයලා දෙඤ්ඤං...
නුඹහට අයිස් කිරිඤ්ඤා දෙන්නම් …..නුඹහට
වැනිලා අයිස්ක්‍රීමුත් දෙඤ්ඤං
කුමටද පොඩ්ඩියේ කඳුලු සලන්නේ...."
ඒත් ඒත් පොඩ්ඩිගේ ඇඬිල්ල නතර වුණේ නෑ
රෑ ජාමෙ රස්තියාදු ගහන මුකලන් බස්සට ඇහුණා පොඩ්ඩිගෙ ඇඬිල්ල . සද්දෙ ඇහෙන පැත්තට බස්සා හයියෙන් හයියෙන් පියාඹගෙන ගියා . මෙන්න වැඩක් ! පොඩ්ඩි අඬනවා. නරි රාළ නැට්ට වන වනා සිංදු කියනවා. සින්දු කියන ගමන් සැරින් සැරේ ගොරවනවත් එක්ක.
රෑ ජාමෙ රස්තියාදු ගහන මුකලන් බස්සට ඇහුණා පොඩ්ඩිගෙ ඇඬිල්ල . සද්දෙ ඇහෙන පැත්තට බස්සා හයියෙන් හයියෙන් පියාඹගෙන ගියා . මෙන්න වැඩක් ! පොඩ්ඩි අඬනවා. නරි රාළ නැට්ට වන වනා සිංදු කියනවා. සින්දු කියන ගමන් සැරින් සැරේ ගොරවනවත් එක්ක.
ඒක දැකපු බස්සා 'බස, බස, ' ගාලා ගිහින් මේ විත්තිය සුදු පූසටයි, හා පැටික්කිටයි කීවා. එයාලා දුවලා ගිහින් ඒක මකර පැටියගෙ කනේ තිබ්බා. ..දැන් ඉතින් මකර පැටියයි, සුදු පූසයි, හා පැටික්කියි, බස්සයි, මකර පැටියගේ බව්වයි එකතු වෙලා පොඩ්ඩි කෙල්ලව බේරගන්න විදියක් ගැන කතා කරනවා.
'නරියෝ බව්වන්ට බයයි' බව්වා කීවා. 'එහෙනම් අපි පොඩ්ඩි කෙල්ලව කොල්ල කමු, බවුවා තමයි මුහුදු කොල්ල කාරයා ' සුදු පූ කිවුවා. 'බවුවගෙ එක ඇහැක් වහන්න ඕනෙ, මුහුදු කොල්ලකාරයො ඉන්නෙ එහෙමයි' මකර පැටියා කිවුවා. ඇත්ත නේන්නම්. කට්ටිය එකතුවෙලා බව්වගේ එක ඇහැක් වැහුවා.
මුහුදු කොල්ලකාර බවුවා කඩදාසි බෝට්ටුවක නැගලා ගඟ දිගේ නරි ගුහාව ආක්‍රමණය කළා. බස්සා ඔත්තු බැලුවා. නරියට බව්වගේ ඉව දැනුනා විතරයි කැලේ කඩාගන දුවන්ට පටන්ගත්තා. නරි රාළ පැනල ගියපු ගමන් පුසයි, හා පැටික්කියි ඇවිත් පොඩ්ඩි කෙල්ල අඬන එක නවත්තා ගත්තා. මකර පැටිය දුම්, විහිද, විහිද පොඩ්ඩිව පිට උඩ තියාගෙන පියඹලා ගිහින් පොඩ්ඩි කෙල්ලව අත්තම්මට භාර දුන්නා
එදායින් පස්සෙ පොඩ්ඩි කෙල්ල නෝටි වුණේ නෑ. නරියට රැවටෙන්න මෝඩ වුණෙත් නෑ .ඉතින් ඊට පස්සේ යාලුවෝ ටික පරණ විදියට සතුටින් සිංදු කිය, කිය නට, නට හිටියා සතුටින් හිටියා.
- කතාව ලියා එවුවේ පොඩ්ඩි කෙල්ල
- කතාවට ලුණු ඇඹුල් දැම්මේ මකර පැටියා
- සත්‍ය කතාවක් බව සහතික කළේ අත්තම්මා
[ 30 - Aug - 2011 ]