Thursday, June 23, 2011

භූත ගුණේගේ තුන්මස් සමරුව

.

මහා වීර දේශ බන්ධු භූත ගුණේ දැයෙන් සමු ගත්තෙ මීට මාස තුනකට කලින්. භූත ගුණේ ගැන අහල නැත්තන් සඳරු ලියපු භූත ගුණේගේ ජීවිත කතාව  කියවලා ඉන්න .

වල් අලි පහරකට ලක්වෙලා දැයෙන් සමුගත්තත් භූත ගුණේගේ කතාව එතනින් ඉවර නෑ. මෙන්න ඊට පස්සෙ වෙච්ච දේ.

===

භූත ගුණේගේ මරණය දැනිලා
සක්කර පස්සත් උණු වූවා.
ප්‍රයිවට් රියදුරු මාතලි කැඳවා
ගුණේව ගෙන එන්නට කීවා

සක් ආරක්ෂක භටයින් සමඟින්
මාතලි ලක් දෙරණට ආවා
වදෙන් පොරෙන් දෙව් රියට නංවලා
ගුණේව දෙව්ලොව ගෙන ආවා

දෙව්ලොව වටපිට විසිතුරු දැකලා
ගුණේගෙ ඇස් දෙක උඩ ඉඳුනා
මාව ගෙනාවේ කොළොම් පුරේටද ?
ගුණයා දෙයියෙක්ගෙන් ඇහුවා

නෑ බොල ගුණයෝ මේකයි දෙව්ලොව
දෙයියා ගුණේට පැවසූවා
කොළොම් පුරෙත් මේ වාගෙම වෙන්ටැති
භූත ගුණේ තනියම හිතුවා

පවස නිවන්නට අමුර්ත බඳුනක් 
භූත ගුණේ වෙත පිරිනැමුණා
රා පොල් කට්ටක් මීට සැපයි මට
ගුණයා හෙමිහිට මිමිණූවා

ෆේෂල් කරලා හැඩ වැඩ දමලා
ගුණේට දිව සළු ඇන්දවුණා
මේව එල්ලගෙන ඉන්නේ කොහොමද
භූත ගුණේ දත් මිටි කෑවා

අමුර්ත උගුරක් බීගෙන යනකොට
ගුණේට ඒකේ රස වැටුණා
දෙව්ලෝ කෙළියත් නරකම නැහැ නොවැ
භූත ගුණේ ටික ටික සිතුවා

දෙවියෙක් විලසට දිවුරුම් දෙන්නට
සක්දෙවි ගුණේව කැඳවූවා
අලුතින් දෙවි වන ගුණේ දකින්නට 
දෙවිවරු සබයට රැස් වූවා

සක්කර පුත්තර වයිමා දෙයියා
ගුණේට මල් මාලා දැමුවා
නැණ විකලව ගිය මහබඹ රාජා
ගුණේට හව් ආ යූ කිවුවා

පස්ස කූල් වුණ සක්කර දෙයියා 
සබයේ මුලසුන වාඩි වුණා
අම්මාපල් මම දෙයියෙක් වෙනවා
ගුණයා දිවුරුම ලෙස කීවා

බිම්බර දහයක් ඒ මහ මරසෙන්
මිලිටරි ආචාරය පෑවා
දේව සභාවේ දෙවියෙක් විලසට
භූත ගුණේ අබිසෙස් ලැබුවා !

ලක්වැසියන් සියළු  
දෙනාටම 
දේශබන්ධු  භූත ගුණේ 
දේව පිහිටාරක්ෂාව ලැබේවා !!!

[ 22 - Jun - 2011 ]

Monday, June 13, 2011

චෙස් ලොක්කා ලිබියාවේ


ලෝක චෙස් ලොක්කා, එහෙමත් නැත්තන් කල්මිකියා ජනරජයේ හිටපු ජනාධිපති තුමා කර්සාන් ඉලිමසිනොව් ( Kirsan Ilyumzhinov ) පහුගිය මාසේ 2600 සම්බුද්ධත්ව ජයන්ති සමරුවට සමගාමීව ලංකාවට ආපු බව මතක ඇති. (මෙතනින් කියවන්න ) . ලංකාවට ආවට පස්සෙ චෙස් ලොක්කා ලංකාවේ හොඳම මිතුරු රටවල් වලටත් යන්න පටන් අරන්. ඔන්න ඊයෙ (12/06/2011)  ගියේ දැනට දරුණු යුධමය තත්වයක් පවතින ලිබියාවට.

නේටෝ ගුවන් හමුදා ට්‍රිපෝලි නගරයට බෝම්බ හෙළද්දිත් ඒ ගැන ගාණක්වත් නැතුව කර්සානුයි  කර්නල් ගඩාෆියි චෙස් අතක් ඇද ඇද  සුහද කතාබහක නිරත වෙන ආකාරය මේ වීඩියෝවෙන් බලන්න


කර්නල් ගඩාෆි සහ කර්සාන් අතර චෙස් තරඟය ජයපරාජයෙන් තොර තරඟයක් ලෙස නිමා වුණා. මේ වගේ චෙස් තරඟ වලදි සාමාන්‍යයෙන් වෙන්නෙම ඕකයි. රාජ්‍යතාන්ත්‍රික ජයපරාජයෙන් තොර තරඟ නිමාවක් (Diplomatic Draw). 

ලිබියාවට සාමය උදා වේවා !!!

[ 13 - Jun - 2011 ]

Sunday, June 12, 2011

බැච් ෆිට් එක , දත් තිස් දෙක සහ දරුදැරියන්ගේ අපේක්ෂාව

.

පහුගිය කාලෙ ආන්දෝලනාත්මක මාතෘකාවක් වෙලා තිබ්බෙ විශ්ව විද්‍යාල වලට සුදුසුකම් ලබපු අයට ලබා දීපු නායකත්ව පුහුණුව. මේ තියෙන්නෙ ඒ පුහුණුව ලබපු පළවෙනි කණ්ඩායමේ දෙන්නෙක් ඒ ගැන ලියපු ලිපි .



මධුශාන් සහ මාලන් කියන විදිහට එයාල ලබල තියෙන පුහුණුව හොඳ එකක්ලු. ඒ සති තුන සෑහෙන සතුටින් හිටියා කියලයි ලියල තියෙන්නෙ. හැබැයි තවත් සමහර අයටනම් මේ පුහුණුව වේදනාකාරී අත්දැකීමක් වෙලා. මේ තියෙන්නෙ ඒ වගේ දෙයක්

1. නායකත්ව පුහුණුවෙන් අසරණ වූ සෙව්වන්දි

කල් වෙලාව අරගෙන නිසි පරිදි සංවිධානය කරලා කළානම් මේ නායකත්ව පුහුණුව මීටත් වඩා හොඳට හොඳට කරන ගමන් සෙව්වන්දිට වෙච්ච දේ වගේ දේවල් මඟ ඇරගන්නත් තිබුණා කියලයි මට හිතෙන්නෙ. 

============

නායකත්ව පුහුණුව කියන මාතෘකාව  කරළියට එනකොට ඒත් එක්කම ආපු අනිත් මාතෘකාව තමයි විශ්ව විද්‍යාල වල අමානුෂික නවක වධය. විවිධ බ්ලොග් , බස් සහ ෆෝරම් වල නවක වධය ගැන තිබ්බ සංවාදවලදි නවකවධයට පක්ෂපාතීව අදහස් දක්වපු අය පොදුවේ විවිධ ආකාර වලින් දක්වපු අදහස් 3ක් මම දැක්කා 
  1. නවක වධය හින්දා තමයි බැච් ෆිට් එක ඇති වෙන්නෙ
  2. නවක වධය දුන්නෙ නැත්තම් විශ්ව විද්‍යාලත් ඉස්කෝල වගේ වෙනවා
  3. නවක වධය දෙන්න විවිධ තරාතිරම් වල අය සම මට්ටම් කරන්න 
මෙන්න ඔය කියන දේවල් ගැන මගේ අදහස

1. නවක වධය හින්දා තමයි බැච් ෆිට් එක ඇති වෙන්නෙ
------------------------

අපි ඉස්කෝලෙ යාලුවොත් එක්ක ෆිට් වුණේ නවක වධයක් හින්දාද ? මමනම් හිතන්නෙ කොල්ලො කෙල්ලො අවුරුදු 4ක් එක තැනක ඉගෙන ගන්නකොට ෆිට්වීම නිරායාසයෙන්ම ඇති වෙනවා. අවුරුදු 4ක් ඕනෙ නෑ. මාසයක් යනකොට ෆිට් වෙන අය ෆිට් වෙලා 

2. නවක වධය දුන්නෙ නැත්තම් විශ්ව විද්‍යාලත් ඉස්කෝල වගේ වෙනවා
-----------------------

ඉස්කෝල කියන්නෙ නරක තැනක්ද ? කොහොම වුණත් දැනටමත් විශ්ව විද්‍යාල ඉස්කෝල වලින් වෙනස් වෙලා තියෙන්නෙ. විශ්ව විද්‍යාල තුළ ගුරු සිසු සම්බන්ධතාවය ඉස්කෝල වල ගුරු සිසු සම්බන්ධතාවලට වඩා ඉතාම දුර්වල මට්ටමක තියෙන්නෙ.  ඒ තත්වය ඇති වෙලා තියෙන්නෙ නවක වධයෙ අතුරු ප්‍රතිපලයක් විදිහටයි. නවක වධය දෙන කාලය තුලදී සිසුන්ට ආචාර්යවරුන් සමඟ කතාබහ කිරීම තහනම් කිරීමෙන් තමයි ඒක පටන් ගන්නෙ. 

නවක වධය ගැන මම මේ කියන දේවල් කාගෙන්වත් ඕපාදූප විදිහට අහපු දේවල් නෙවෙයි. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවුරුදු 4ක ශිෂ්‍යයෙක් විදිහට සහ තවත් අවුරුදු 2ක් සහාය කථිකාචාර්යවරයෙකු විදිහට හිටපු හින්දා නවක වධයේ ඇත්ත ස්වරූපය මම අවුරුදු 6ක් තිස්සේ එකිනෙකට වෙනස් කෝණ වලින් දැක්කා. ඒ අත්දැකීම් ඇසුරෙනුයි මම කියන්නෙ විශ්ව විද්‍යාල වල ගුරු සිසු සම්බන්ධතා දුර්වල වෙන්න ප්‍රධානම හේතුවක් නවක වධය.

3. නවක වධය දෙන්න විවිධ තරාතිරම් වල අය සම මට්ටම් කරන්න
------------------------

දත් තිස්දෙක සමමට්ටම් නෑ. බැරි වෙලාවත් දත් 32ම සම මට්ටම් වුණොත් ?

===================

විශ්ව විද්‍යාල වලින් නවක වධය තුරන් කරන බවයි කියන්නෙ. හැබැයි නවක වධය කෙසේ වෙතත් විශ්ව විද්‍යාල පද්ධතියම තුරන් වෙයිද දන්නෙ නෑ. 

විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ වැටුප් ප්‍රශ්නයට විසඳුමක් නැති වීමත්, වැටුප් වැඩි කිරීමක් කෙසේ වෙතත් දැනට තියෙන වැටුපත් නොගෙවා මර්ධනකාරී ලෙස ක්‍රියා කිරීමත් ඔවුන්ගේ උගත්කමට අපහාස වෙන ආකාරයෙන් විවිධ  දේවල් කිරීමත් නිසා කළකිරුණු විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පවුල් පිටින් රට අතහැර යන ප්‍රවණතාවයක් මේ දවස් වල ඇති වෙලා තියෙන්නෙ. දැනටමත් සැළකිය යුතු තරම් පිරිසක් රට අතඇරල ගිහින්. මේ ප්‍රශ්නය තව දුරදිග ගියොත් ලංකාවෙ විශ්ව විද්‍යාල පද්ධතිය අඩපණ වෙලා ලංකාවත් විශ්ව විද්‍යාල නැති  ලෝකයේ අතලොස්සක් රටවල් වලට එකතු වේවි. 

 එහෙම වුණොත් ?
දරු දැරියන්ගේ අපේක්ෂාව ?



මේකත් කියවන්න:
---> සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලයේ රැග් කරන හැටි
 {නවකවධයට පක්ෂපාතී අර ප්‍රසිද්ධ මත තුන  මේකෙත් කොමෙන්ටු විදිහට තියෙනවා}

[ 12 - Jun - 2011 ]

Wednesday, June 8, 2011

කුකුල් හොරා

.

අත්තාපල්
මුත්තාපල්
කුකුල් හොරා
කොස්තාපල්


1. 
මේ කොස්තාපල් ලංකාවේ පොලිස් කොස්තාපල් කෙනෙක් නොවේ. ලංකාවේ පොලීසියේ අය මේ වගේ සුළු හොරකම් කරන්නේ නැත.


2.
මේ දේ සිද්ධ වෙච්ච රටේදි මේ කුකුල් හොරකමේ වගකීම පැටවුණේ පොලිස් පොඩ්ඩෙක් වන කොස්තාපල් කෙනෙකු පිටය. කුකුල් හොරකමට අණදුන් ආරක්ෂක ලේකම් නිදැල්ලේය. ඒ රටවල් වල හැටි එහෙමය.

ඕං බලමුකො ඒකෙත් හැටි !!!



[ 08 - Jun - 2011 ]

Sunday, May 29, 2011

කාලීන මාතෘකා වනාහි මෙන්න මේවාය !

.

මගේ ලෝකය ලියන රංගගෙ මහා බ්ලොග් විචාරයෙදි මකර රජදහන ගැන කියල තියෙන්නෙ මෙන්න මේ විදිහට. 

"චානක ලියන මකර රජදහන තමා ඊලඟ බ්ලොග් එක. මේකෙත් විවිධත්වයක් තියෙනවා. ගොඩක්ම කාලීන මාතෘකා ගැනතමා ලියල තියෙන්නෙ. ඒ ඇරෙන්න බුවා ඉන්නෙ සිංගප්පූරුවෙ නිසා ඒ පැත්තෙ විස්තරත් ගොඩක්ම ලියල තියෙනව. මේ තියෙන්නේ මකර රජදහනට යන පාර."

අපි බලමු මේ කියන කාලීන මතෘකා මොනවද කියල. ඔන්න කාලීන මතෘකා ඔක්කොම එකම වහලක් යටින්

පූවො ගැන
---------------

බවුවො ගැන
---------------

පූවො බවුවො දෙගොල්ලන්ම ගැන
---------------


අලියො ගැන
----------------


කොටියෝ ගැන ( LTTE නෙවෙයි )
----------------

බළල් පවුල ගැන
---------------

නයෝ ගැන
----------------

හරක් ගැන
--------------

එළුවො ගැන
--------------

ඌරො ගැන
--------------

හාවො ගැන
----------------
2. එකමත් එක රටක හිටිය හා පැටියගෙ කතන්දරේ

නරියො ගැන
---------------
ගෙම්බො ගැන
---------------

පෙන්ගුයින්ල ගැන
----------------

ඉබ්බො ගැන
---------------

මීයො ගැන
--------------

බකමූණො ගැන
----------------

මාලුවො ගැන
---------------

මදුරුවො ගැන
----------------

හැම්ස්ටරයන් ගැන
---------------

විවිධ සත්තු වර්ග ගොඩක් ගැන
----------------

කාලීන මාතෘකා යටතේ ලියා ඇති
සම්පූර්ණ ලිපි ගණන 
50යි !!!

[ 29 - May - 2011 ]

Thursday, May 26, 2011

මේ මොන මළ විකාරයක්ද ?

.

සරසවි වලට සුදුසුකම් ලැබූ සිසුන්ට දෙන නායකත්ව පුහුණුව ගැන ලිපියක් ලියලා කට ගන්න හම්බ වුණේ නෑ. මෙන්න ඉස්කෝල වල විදුහල්පති වරුන්ටත් රන්ටැඹේදි මාස 3ක නායකත්ව පුහුණුවක් ලබා දෙන්න යනවලු. මේ කතාව මුලින්ම ඇහිච්ච වෙලේ මට හිතුනේ මේක ආණ්ඩුවට විරුද්ධව මඩක් කියල . හැබැයි කතාව ඇත්ත වගේ. එකිනෙකට විරුද්ධ දේශපාලන මතිමතාන්තර දරන වෙබ් අඩවි තුනක්ම මේ ගැන එක හා සමාන විදිහටයි වාර්තා කරල තියෙන්නෙ

මේ බලන්නකො . ලිපි වලට දාල තියෙන මාතෘකා වෙනස් වුණත් මේ ලිපි තුනේම අන්තර්ගතය එක හා සමානයි
  1. Lanka Enews ලිපිය
  2. Lanka CNews ලිපිය
  3. Lanka Truth ලිපිය
ඒවයෙ තියෙන හැටියට විදුහල්පතිවරයෙක්ට තාප්ප උඩින් පණින්න, ළමයි එක්ක රේස් දුවන්න වගේ දේවල් කරන්න පුළුවන් වෙන්න ඕනෙලු. එහෙම කරන්න බැරි දුර්වල විදුහල්පතිවරුන්ට ලු මේ පුහුණුව දෙන්නෙ. මෙහෙම කියන්නෙත් සාමාන්‍ය කෙනෙක් එහෙම නෙවෙයි. මේ කතාව කියල තියෙන්නෙ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්.

ඉස්කෝල වල විදුහල්පතිවරු කියන්නෙ ගොඩක් වෙලාවට වයස 40-50 කට්ටිය. ඒ අයට මේවා කරන්න පුළුවන්ද . විදුහල්පතිවරියන්ටත් තාප්ප උඩින් පනින්න උගන්නනවද ?

ඔයිට වඩා හොඳ නැද්ද දැන් ඉන්න විදුහල්පති වරුන්ට කරදර නොකර ඒ අයට විශ්‍රාම වැටුපක් දීල ආමි එකේ බ්‍රිගේඩියර්වරුන්ව,කර්නල් වරුන්ව එහෙම ඉස්කෝල වල විදුහල්පති වරු විදිහට පත් කොළානම්.

ප.ලි 
===
විදුහල්පති වරුන්ට මොකක් හරි පුහුණුවක් දෙන්නම ඕනෙනම් දෙන්නකො අධ්‍යාපන සහ ළමා මනෝ විද්‍යාව ගැන හොඳ පුහුණුවක්


[ 26 - May - 2011 ]

Sunday, May 22, 2011

හැම්ස්ටරයන්ගේ ආදරේ !!!



හැම්ස්ටර් මැක්බත් සහ හැම්ලට්


[ 22 - May - 2011 ]

මාර මාරුව ඔබට කොහොමද ?

.

අසව් අසව් !!!

විශ්වය ආරම්භයේ පටන් මේ දක්වා කාලයක් පරනිම්මිත වසවර්තිය ස්වකීය වාසභවන කොටගත් සීටීකූ මාරයා (සිකුරිටි මාරයා නොවේ ) හෙට මධ්‍යම රාත්‍රී 12.00ට යෙදෙන අසුභ මොහොතින් නව වාසභවනක් වන ස්වනිම්මිත වසවර්තියට අරක්ගනු ඇති. සීටීකූ මාරයා සමඟ මාරයාගේ දූවරුන් තිදෙනාත් දසබිම්බරක් මාර සේනාවත් ස්වනිම්මිත වසවර්තියට මාරු වී යනු ඇති.

සීටීකූ මාරයා,  මාරයන්ගේ පාරම්පරික වාසභවන වන පරනිම්මිත වසවර්තියෙන් ඉවත්වී  ගොස් දිව්‍යලෝක ආයතන අනුපිළිවෙල ( Organizational Hierarchy ) කඩාකප්පල් කර  දැමීම පිළිබඳව පරනිම්මිත වසවර්තියට පහළින් ඇති නිර්මාණ රතියෙන් හා ඉහළින් ඇති බ්‍රහ්ම පාරිසධ්‍යයෙන් බරපතල විරෝධතා එල්ල වන බවද සැළයි.


මාර මාරුව ලග්න 12කට අසුභයි !!!

ප.ලි
====
සීටීකූ මාරයා ඇතුළු පිරිස ඉවත්ව යාමෙන් පුරප්පාඩු වන පරනිම්මිත වසවර්තිය කුළියට හෝ බද්දට දීමට තිබේ. වැඩි විස්තර සඳහා ශක්‍ර දේවේන්ද්‍ර අමතන්න


[ 22 - May - 2011 ]

වීරයෝ


අද මැයි 22 වෙනිදා ජාතික වීර දිනය. මේ තියෙන්නේ ප්‍රසිද්ධ චිත්‍රපටි කීපයක වීර චරිත නිරූපණය කරන ප්‍රධාන නළුවන්ගේ පින්තූර

අචිලස් - Troy චිත්‍රපටිය

ආතර් රජු - King Arthur චිත්‍රපටිය

 ජෙනරාල් මැක්සිමස් - Gladiator චිත්‍රපටිය

 ස්පාර්ටන් - 300 චිත්‍රපටිය

ස්පාර්ටකස් - Spartacus: Blood and Sand චිත්‍රපටිය

තෝර් - Thor චිත්‍රපටිය


තුන්සිංහලය එක්සේසත් කළ 
ශ්‍රේෂ්ඨ නරපති දුටුගැමුණු 
 සුරංගනා ලොවින් ඇවිත් චිත්‍රපටිය


ජෙනරාල් මැක්සිමස් ගැන කලින් ලියූ ලිපියක්


[ 22 - May - 2011 ]

Saturday, May 21, 2011

සිංගප්පූරුවේ ජාතික සේවය සහ ශ්‍රීලංකාවේ නායකත්ව පුහුණුව

.
සිංගප්පූරු ජාතික සේවකයන් පිරිසක්


මගේ කලින් බ්ලොග් සටහනකට ප්‍රතිචාරයක් දක්වපු වීර පුරන් අප්පු මෙන්න මෙහෙම දෙයක් කියල තිබ්බා

"එක පරම්පරාවක් ඇතුලත ඌන සංවර්ධිත තත්වයක ඉඳලා සංවර්ධිත රටක් බවට පත් වෙච්ච එකම රට සිංගප්පූරුව මම දන්නා විදියට. එක කියන්න ලේසි උනාට කරන්න කොච්චර අමාරු වෙන්න ඇතිද...? අනික් ඒවා කෙසේ වෙතත් මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කිරීම කොයි තරම් නම් අමාරු වෙන්න ඇතිද....? විශේෂයෙන්ම එක genaration එකක් තුළ. "

මේකට උත්තරය විදිහට මම දකින්නේ සිංගප්පූරුවේ ජාතික සේවය (National Service). වයස 18 සම්පූර්ණ  කරන සෑම(පිරිමි පමණයි ) සිංගප්පූරු ජාතිකයෙක්ම සහ සෑම ස්ථීර පුරවැසියෙක්ම එයින් පසුව අනිවාර්යයෙන්ම අවුරුදු 2ක් ජාතික සේවයේ යෙදිය යුතුයි. විශ්ව විද්‍යාල වලට ඇතුලත් වීම හෝ වෙනයම් රැකියාවක් කිරීමට පෙර  මේ අවුරුදු දෙක අනිවාර්යයෙන්ම සම්පූර්ණ කළ යුතුමයි

ජාතික සේවය සඳහා වයස සම්පූර්ණ කරන සියළු දෙනාම රට පුරා හමුදා කඳවුරු වලට අනුයුක්ත කරනවා. ඉන්පසුව අවුරුදු 2ක් පුරාවට සතියට දින 5 බැගින් ඔවුන් ජාතික සේවයේ නිරත විය යුතුයි. සති අන්ට දිනවලදී ඔවුන්ට නිවෙස් වලට යාමට අවසර ලැබෙනවා. සෑම සිකුරාදාවකම සහ ඉරිදාවකම හවස් කාලයේදී හමුදා ඇඳුම් වලට සමාන ඇඳුම් වලින් සැරසුණු ජාතික සේවක යෞවනයන් රංචු පිටින් පොදු ප්‍රවාහන සේවා වල ගමන් කරන එක සිංගප්පූරුවේ සාමාන්‍ය දර්ශනයක්.

මේ අවුරුදු දෙක ඇතුළතදී ඔවුන්ට ලැබෙන පුහුණුව පූර්ණ හමුදාමය පුහුණුවක් නෙවෙයි. හමුදාමය පුහුණුවක යම් යම් අංගත් ඊට ඇතුළත් වුණත් පූර්ණ හමුදාමය පුහුණුවක් ලැබෙන්නෙ ඒ අවුරුදු දෙක සම්පූර්ණ කළාට පස්සෙ තවදුරටත් හමුදාවේ රැඳෙන්න කැමති කට්ටියට විතරයි. අනිත් අය විශ්ව විද්‍යාල වලට සහ වෙනත් රැකියා වලට එකතු වෙනවා

මේ අවුරුදු දෙකක ජාතික පුහුණු කාලය අතරතුර ඔවුන්ට යහපත් ශරීර සෞඛ්‍යයක් රැකගැනීමට අවශ්‍ය ව්‍යායාම් පුහුණුව, දේශපාලනය, පරිගණක තාක්ෂණය, කලමණාකරණය වගේ පරාසයක විහිදුණු පුහුණුවක් ලබා දෙනවා.  ඊට අමතරව ඔවුන්ට රට ගැන පූර්ණ අවබෝධයක් ලබා දෙනවා. ඒ පොත පතේ දැනුමෙන් නෙවෙයි. ඔවුන්ව වරායවල්, ගුවන් තොටුපොලවල් කෞතුකාගාර, විශ්ව විද්‍යාල වගේ තැන්වල ශ්‍රම දායකත්වයකට අනුයුක්ත කිරීම මගිනුයි ඔවුන්ට රටේ ආයතන වල ක්‍රියාකාරීත්වය ගැන ප්‍රායෝගික පුහුණුවක් ලබා දෙන්නේ.

මේ අවුරුදු දෙකක පුහුණුව නිම කරලා විශ්ව විද්‍යාල වලට ඇතුලත් වෙන අය තුළ සෑහෙන පෞරුෂයක් සහ සංවිධානාත්මක ශක්තියක් තියෙනවා. විශ්ව විද්‍යාල වල ශිෂ්‍ය සංගම් හා ක්‍රීඩා කණ්ඩායම් වල නායකත්වය  දරන්නේ විශ්ව විද්‍යාලයේ පළමු වසර සිසුන් . ලංකාවෙනම් එවැනි තනතුරු දරන්නේ අවසන් වසර වල සිසුන්නෙ. නමුත් මෙහේ සිසුන් පළමු වසරට ඇතුළත් වෙනකොටම ඔවුන්ට එවැනි තනතුරු දැරීමේ හැකියාව ලබා දීලයි තියෙන්නෙ.

මූලික අවුරුදු දෙකේ පුහුණුවෙන් පස්සෙ වයස 35 සම්පූර්ණ වෙනකම් හැම අවුරුද්දකටම සති දෙක බැගින් වූ කාලයකට ඔවුන් නැවතත් කඳවුරු වලට යා යුතුයි. ඒ සති දෙකක කාලයේදී කෙරෙන්නේ කලින් ඉගෙන ගත්ත දේවල් නැවත මතක් කර දීමක්. ( අමතක වූ ශාරීරික ව්‍යායාම් එහෙම වගේ දේවල් )

====

මේ දවස් වල ලංකාවේ ආන්දෝලනාත්මක ප්‍රවෘත්තියක් තමයි විශ්ව විද්‍යාල වලට ඇතුළත් වෙන්න ඉන්න සිසුන්ට ලබාදීමට නියමිත සති 3ක නායකත්ව පුහුණුව. සමහරු මේක හොඳ දෙයක් කියන අතරේ තවත් සමහරු මේක නරක දෙයක් විදිහටයි දකින්නේ. මේ පුහුණුවට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ මානව අයිතිවාසිකම් නඩුවක් පවා දාලයි තියෙන්නෙ.

ලංකාවේ සිසුන්ට ලබාදෙන්න යන සති තුනේ පුහුණුවේ ස්වරූපය ගැන තවම ආණ්ඩුව හෙළි කරලා නැහැ. ලංකාවේ මෙවැනි දෙයක් වෙන්න යන්නෙ ලෝක ඉතිහාසයේ පළවෙනි වතාවටයි. ඒක හින්දා මේ පුහුණුවේ ස්වරූපය ගැන ගොඩක් දෙනා තවම දන්නෙ නෑ . එස්.බී දිසානායක ඇමතිතුමානම් කියන්නෙ සිසුන්ට දත් මදින ආකාරය ගැන පුහුණුවක් දෙනවා කියලයි.  


හැබැයි මට ලැබුණු අතිශය රහසිගත බුද්ධි වාර්තා දෙකකට අනුවනම් මේ පුහුණුව දත් මැදීමේ පුහුණුවෙන් ඔබ්බට යන පුහුණුවක්. ශාරීරික ව්‍යායාම් සහ කාල කළමණාකරණ පුහුණු වලට අමතරව ගැහැණු ළමයින්ට සහ පිරිමි ළමයින්ට අති විශේෂ පුහුණු 2ක් ලබා දීමට නියමිතයි

මේ නායකත්ව පුහුණුව පැවැත්වෙන සති 3ක කාලය පුරාවට කඳවුරේ සිටින සියළුම දෙනාට (දාහකට දෙදාහකට විතර පිරිසකට ) ආහාර පාන උයා දීම වගකීම පැවරෙන්නේ කඳවුරට සහභාගි වෙන ගැහැණු ළමයින්ටයි. උයන්න දන්නෙ නැති ගැහැණු ළමයින්ට උයන කටට රහට උයන ආකාරය කියා දෙනු ඇති.ගැහැණු ළමයි උයන අතරේ පිරිමි ළමයින්ටත් නිකං ඉන්න ලැබෙන්නේ නෑ. ඒ අයට කැලේ ගිහින් දර කඩාගෙන ඒම. දර පලා දීම. පොල් ලෙලි ගසා දීම ආදිය ගැන පුහුණුවක් ලැබෙනු ඇති.

පුහුණු කඳවුරු ව්ලට සහභාගි වෙන නංගිලා මල්ලිලා හෙට සිට සති තුනක් මේ පුහුණුව අත්දකීවි. පුහුණුව ඉවර වුණාට පස්සෙ ඔබේ අත්දැකීම් ගැන බ්ලොග් සටහන් ලියා අපිත් එක්ක බෙදා හදා ගන්නත් අමතක කරන්න එපා

හෙට දින නායකත්ව පුහුණුවට යන නංගිලාට සහ මල්ලිලාට 
මකර අධිරාජයාගෙන් උණුසුම් සුභපැතුම් !!!


ප.ලි 
===
කවුරු කොහොම කිවුවත් ඔය නායකත්ව පුහුණුවෙන් ලැබෙන දේවල් අපතේ යන එකක් නැති වේවි. ඔයවැනි කඳවුරු කිහිපයකට සහභාගී වී ලබපු අත්දැකීම් ඇසුරෙනුයි මම කියන්නෙ. ලෝකයේ විනයගරුකම සහ විශිෂ්ඨතම හමුදාවෙන් ඔබ ලබන සති 3ක නායකත්ව පුහුණුව සුපිරි අත්දැකීමක් වේවි. 

[ 21 - May - 2011 ]